දේශීය ටින් මාළු නිෂ්පාදකයන්ගේ කර්මාන්තය නංවන සැලැස්ම රජයට | සිළුමිණ

දේශීය ටින් මාළු නිෂ්පාදකයන්ගේ කර්මාන්තය නංවන සැලැස්ම රජයට

ඡායාරූප - චමින්ද නිරෝෂන

ආනයනික ටින් මාළු මෙරට වෙළෙදපොළ ආක්‍රමණය කරමින් සිටින බවත් මෙරට නිෂ්පාදනය වන ටින් මාළුවලට වඩා අඩු මිලකට එකී ආනයනික ටින් මාළු අලෙවි වන නිසා දේශීය ටින් මාළු කර්මාන්තය දිනෙන් දින කඩා වැටෙමින් ඇති බවත් දේශීය ටින් මාළු නිෂ්පාදකයිගේ සංගමයේ සභාපති ශිරාන් ප්‍රනාන්දු මහතා අවධාරණය කරයි.

සිය කර්මාන්තය මුහුණ දෙන ගැටලු පිළිබදව දැනුවත් කිරීම සදහා පසුගියදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව සදහන් කළ දේශීය ටින් මාළු නිෂ්පාදකයිගේ සංගමයේ සභාපතිවරයා එහිදී බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ දේශීය ටින් මාළු නිෂ්පාදනය දිරි ගැන්වීම සදහා මේ වන විටත් තම සංගමය විසින් රජයට ඉදිරිපත් කර ඇති පස් අවුරුදු සැලැස්ම පිළිබදව අවධානය යොමු කරමින් මෙරට ආර්ථිකයට ඵලදායී සේවාවක් ඉටු කරන දේශීය ටින් මාළු නිෂ්පාදකයින් ආරක්ෂා කිරීමට පියවර ගත යුතු බවයි.

එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශිරාන් ප්‍රනාන්දු මහතා- මෙරට ටින් මාළු අවශ්‍යතා‍වයෙන් සියයට තිහකට වැඩි ප්‍රතිශතයක් නිශ්පාදනය කරනු ලබන්නේ දේශීය කර්මාන්ත කරුවන් විසින්. අප රටට තරම් විශාල මුහුදක් නොමැති ර‍ටවල් පවා මේ ක්ෂේත්‍රයේ විශාල දියුණුවක් ලබා තිබෙනවා. උදාහරණයක් විදියට තායිලන්තය මේ වන විට ටින් මාළු අපනයනයේ ප්‍රමුඛයින් බවට පත්වී තිබෙනවා.

ඒත් ශ්‍රී ලාංකික ටින් මාළු ව්‍යාපාරිකයින් හැම විට ප්‍රශ්න වලින් මිරිකිලා. රට වටා හොද මාළු අස්වැන්නක් තිබියදී චීනය වැනි රටවල් අඩු මුදලකට ටින් මාළු මෙරට වෙළෙදපොළ තුළ අලෙවි කරනවා. මේ නිසා ඩොලර් බිලියන ගණනින් අප රටේ ජාතික ධනය විදේශ රටවලට ඇදී යනවා. කර්මාන්ත කරුවන් විදිහට අපි තරගයට මුහුණ දීමට කැමතියි. නමුත් දේශීය ටින් මාළු කර්මාන්තයේදී ඊට අවශ්‍ය මාළු පමණක් නොව ටින්,ලේබල් හා ශ්‍රමයද සම්පූර්ණයෙන්ම දේශීයව ලබා ගන්නා නිසා ආනයනික ටින් මාළු සදහා මෙලෙස වැය වන විදේශ විනිමය මෙරට තුළම ඉතිරි කර ගත හැකි.

දේශිය ටින් මාළු ප්‍රවර්ධනය සඳහා කටයුතු කිරීමේදී දේශීයත්වයට මුල්තැන දිය යුතු බවට පාරිභෝගිකයා පෙළ­ැඹවීම අත්‍යාවශ්‍යයි.

ඒ සඳහා අවශ්‍ය සහාය රජය විසින් ලබා දිය යුතු අතර සතොස , සමූපකාරය හා රාජ්‍ය අංශයේ වෙ‍ෙළඳපොළ දේශීය ටින් මාළු නිෂ්පාදකයින් සඳහා වඩ වඩාත් පුළුල් කිරීමටද අවශ්‍ය ක්‍රියා මාර්ග ගත යුතු වෙනවා. වසරකට ඩොලර් බිලියන 65 ක් පමණ මුදලක් ‘ටින්මාළු’ සඳහා රටින් පිටතට ඇදීයෑම කනගාටුදායක කරුණක් බවට පත්වී තිබෙනවා. ඒ මහතා මෙසේද කීය

වර්ග කිලෝමීටර් 65610 විශාල රටක් වන අප රට වටා සාගරය එය මෙන් 9 ගුණයක් විශාලයි. මෙරට දිනක පරිභෝජන වන මාළු ටින් එක්ලක්ෂ හැත්තෑපන් දහසක ප්‍රමාණයෙන් සියයට 80 ක් පමණම ආනයනික ටින්මාළුයි. මෙරට පිහිටි ටින්මාළු කර්මාන්තශාලා ප්‍රමාණය 3 කි. ඉන් 100% දේශීය ආයෝජනය වන්නේ ටෙස් ගෲප් සමූහ ව්‍යාපාරයයි.මේ කර්මාන්තශාලාව ආරම්භ කළේ රුපියල් බිලියනයකට වැඩි මුදලක් ආයෝජනය කිරීමෙන්. ඊට පෙර අපගේ ප්‍රමුඛතම ආදායම් මාර්ගය වූයේ ‘ටූනා’ අපනයනය සහ ධීවරයින් සඳහා ශීත කාමර ගබඩා පහසුකම් අයිස් සැපයීම ආදියයි.රටපුරා විසිරී සිටින කුඩා ධීවරයින‍්ගේ ජීවන තත්ත්වය දියුණු වීමට නම් ඔවුන්ට හොඳ මිලක් ලැබිය යුතුයි. අපි ‘ටින්මාළු’ කර්මාන්ත ශාලාව ආරම්භ කළේ එවැනි ධීවරයින්ට සේවය කිරීමේ අදහසින්. ඒ අනුව ‘ලින්නා’ මාළු ලබාදෙන දකුණේ මෙන්ම නැගෙනහිර පළාතේ ධීවරයින්ගේ මාළු සඳහා අපගේ කර්මාන්ත ශාලාව නිසා හොඳ ඉල්ලුමක් ඇතිවුණා. එසේ නොවී නම් ඔවුන්ට ඉතා අඩු මුදලකට මේ මාළු කරවල සඳහා ලබාදීමට සිදුවෙනවා. වසරකට අපගේ ආයතනය පමණක් ඔවුන්ගෙන් මිලදී ගන්නා මාළු ප්‍රමාණය කිලෝ මිලියනයක් පමණ වෙනවා.

නමුත් අපගේ නිෂ්පාදන වෙළෙපොළේ ඇති ආනයනික ටින්මාළු සමඟ තරග කිරීමේදී පසුබෑමට ලක්වෙනවා. ඊට හේතුව තත්ත්වය හෝ ගුණාත්මකබව නොවේ. මිලයි.

ආනයනික ටින් මාළු සඳහා රජය විසින් අය කළ බද්ද 102 සිට 50 දක්වා අඩු කිරීමෙන් අපගේ කර්මාන්තශාලා පවත්වාගත නොහැකි තත්ත්වයකට පත්වී තිබෙනවා. බදු අඩුකිරීම නිසා ටින් මාළු මිල අඩුවීම පාරිභෝගිකයාට වාසියක්. රජය පැවසුවේ එවැනි තීරණයක් ගැනීමට හේතුව ප්‍රෝටීන් ඌනතාව අවමකිරීම සඳහා වන පිළියමක් බවයි.

මෙරට ටින්මාළු අවශ්‍යතාව 75% අපිට සැපයිය හැකි යි. නිෂ්පාදනය වැඩි කිරීමට අවස්ථාව ලබාදෙනවා නම් ඉදිරියේදී මිලද අඩු කළ හැකියි.

 

Comments