කල්පනාගේ කවි කල්පනා | සිළුමිණ

කල්පනාගේ කවි කල්පනා

ඉන්ද්‍රචාපගෙ පහුගිය සතියෙ සමීපරූප කතාව වුණේ ජීවිතය නැවතිලා කියන පශ්චත්තාප ලියවිල්ල. ඒකෙන් මිදෙන මගක් ගැන ඔළුවට කිසිම අදහසක් එන්නෙම නෑ මාසයකටත් වැඩි මේ දිග කාලයෙ, අරාජක කාලයෙ. ඒත් පහුගිය සෙනසුරාදා, ඒ කියන්නෙ මේ මාසෙ පළමුවැනිදා ඕන්න හිතට යන්තම් හරි වෙනසක් දැනුණු සතුටක් වින්ද හැන්දෑවක් උදා වුණා අලුත් පරම්පරාවෙ කවිකාරියකගේ අලුත් කවි පොත් දෙකක් ජනගත කිරීමේ උත්සවයකට එන්න කියල ලැබුණු ආරාධනාවෙන්.

ඉන්ද්‍රචාපගෙ ආදි කැම්පස් මිතුරන් එක්ක කොළඹින් පිටට යන චාරිකාවකට ආරාධනාවක් තිබුණත්, ඉන්ද්‍රචාපට, කල්පනා මුහුණු පොතේ මෙසෙන්ජර් ඔස්සේ කළ ආරාධනාව වෙනුවෙන් කනබොන චාරිකාව අතෑරියෙ කල්පනාගෙ ආරාධනාවට කළ සැලකිල්ලට වගේම එදාට කතා කරන්න හිටපු සමන්චන්ද්‍ර රණසිංහ මහාචාර්ය තුමාගෙත් මිත්‍ර උපුල් ශාන්ත සන්නස්ගලගෙත් දේශන අහන්න හිතේ තිබුණු කැමැත්තට. කල්පනා මාලතී ඇම්බ්‍රොස්, දැන් එයා මාලතී කෑල්ල අතෑරලා, ඇයි කියල අහන්න ඉන්ද්‍රචාපට අයිතියක් නැති වුණත්, මාලතී කෑල්ලට කැමැති බව නම් ඉන්ද්‍රචාප සමීපරූපෙ සටහන් කරනවා.

සමීපරූපයෙ ඇඳුණු කල්පනාගෙ අලුත්ම කවි පොත් දෙක, නොපවතිනු වස් ප්‍රේමයමව පවතිමි සමග පියා නොහැඹූ පියාපත් සංහිඳ ප්‍රකාශන. දෙවැනි පොත කවි සියල්ලම කෙටි කවි විදියට සමීපරූප අතර ඇඳෙන්නෙ. ඒ එක්කම කල්පනාගෙ කවි කල්පනා ඉන්ද්‍රචාප දැක්ක පරණ කවි පොත් දෙකේම සමීපරූපත් මතකයට ඇවිත්. මේ නිහඬ වෙරළට එන්න (2011) ඔබ ගැඹුරු නින්දක (2016) කල්පනාගෙ පෙර කවි පොත් දෙකෙන්ම ඈ ඉන්ද්‍රචාප ඇතුළු කවියට ආදරය කරන පිරිසට කියල දුන්න එකම දේ තමයි, කල්පනාට හොඳ කවිත්වයක් තිබෙන වග, කිවිඳි පරම්පරාවෙ අනෙක් බොහෝ දෙනා තුළ දකින්න නැති විරල ගණයේ නිර්මාණශීලී කවිකම ඇගේ නිර්මාණ තුළින් පෙනෙන බව. එක පොතකින් අනිත් පොතට යන්න අවුරුදු පහක් ගන්න කල්පනා ඉන්ද්‍රචාප දකින්නෙ පොත් සංඛ්‍යාව වැඩි කර ගන්න කවි ලියන ලියන්නියක් විදියට නෙවි.

මහාචාර්ය සමන්චන්ද්‍ර රණසිංහ කල්පනාගෙ කෙටි කවිය විමර්ශනයට ලක් කළේ භාරතීය රසවාදීන්ගෙ මූලික සංකල්ප සනිදර්ශන කොට ගනිමින්. ඒක අපූරු, ශාස්ත්‍රීය කියවිල්ලක් විදියටයි ඉන්ද්‍රචාපගෙ සමීපරූපයෙ ඇඳුණෙ. උපුල් ශාන්ත මිත්‍රයා කල්පනාගෙ දිගු කවි සංග්‍රහය, ‘නොපවතිනු වස් ප්‍රේමයව පවතිමි සංග්‍රහයෙ කවි කීපයක් තෝරාගෙන රස විඳීමට ලක් කළේ කල්පනාගේ මුහුකුරා ගිය කවිත්වය අගය කරමින් මෙන්ම ඈට අද දවසෙ කවිකාරියන් අතර හිමි උස් තැන පිළිබඳ ද කරුණු දක්වමින්. ඒත් කවියක අනුභූතිය ගැන විමල් දිසානායක කවියගෙ දියේ ගිලුණු අය්යාට කවි පන්තිය නිදසුන් කර ගනිමින් කළ ප්‍රකාශය විවාදසම්පන්න බවයි ඉන්ද්‍රචාපට හිතුණෙ. ඒක වෙනම කතා කළ යුතු මාතෘකාවක්. උපුල්ගෙ දේශනය පෙර සූදානමකින් යුතු සංයමය ද රඳවා ගත් සම්පූර්ණ කියවීමක් විදියටයි ඉන්ද්‍රචාපගෙ සමීපරූප අතර ඇඳිල තියෙන්නෙ. දේශනවලින් පස්සෙ මිතුරු කවි සමාජය හමු වෙලා කතාබහක යෙදෙන්න ලැබුණු අවස්ථාව තමයි, නැවතිලා තිබුණු ජීවිතය ආපහු පටන්ගත්ත වගේ දැනුණු සුන්දර මොහොත. ඊට ස්තුතිය කල්පනාට ඉන්ද්‍රචාපට කළ ආරාධනාවට. කල්පනාගෙ අලුත් කවි පොත් දෙකේම, කෙට් කවිත් එක්කම හුඟාක් කවිවලින් ඇගේ ප්‍රතිභාව, ජීවිත පරිඥානය පේනවා. මේ කවි පිළිබඳ ගැඹුරු කියවීමක් අවශ්‍ය බවයි ඉන්ද්‍රචාපට හිතෙන්නෙ. මේ ඇගේ එක් කෙටි කවියක් සමීපරූපයේ ඇඳුණු.

"අප කොතෙක් පෙම් කළත්

මල් පර ව ගිලිහෙත්"

සමීපරූප අතර ඇඳුණු කල්පනාගේ දිගු කවි පොතේ ඉන්ද්‍රචාප කැමැති එක කෙටි කවියක් සටහන් කරමින් සමීපරූප අතරින් නික්ම යමි.

මලක් යනු

"මලක් යනු

පලක් ඇති දෙයක් නොවෙයි සකියනි

සුවඳ බෙදුමට තබා ඇති

විලවුන් බඳුනකට නො දෙවෙනි

වරක් දෙවරක් නො ව සිය වරක්

රුදු වැසි මැදත් නො ගිලිහුණි

දිනක් ඒ මල තනි ව ම

කටු සිරියකින් ඇනගෙන

නටුවෙහි අග ම මියැදුණි"

 

Comments