ඔරුවේ නැගී ගොස් හිරිවඩුන්න වැවේ සුන්දරත්වය විඳිමු | සිළුමිණ

ඔරුවේ නැගී ගොස් හිරිවඩුන්න වැවේ සුන්දරත්වය විඳිමු

අවුරුද්දේ අවසන් මාසය වන දෙසැම්බර් මාසයත් එළඹුුණා. ඒ සමගම වසර අවසාන පාසල් නිවාඩු කාලයත් ලැබිලා. පාසල් යන වයසේ දූ දරුවන් සිටින මාපියන්ට මේ නිවාඩු සමයේ තමයි ඔවුන් සමඟ කොහේ හෝ දුර බැහැරක සංචාරයක නිරත වන්නට අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා පුංචි දරුවන්ට වැදගත් වන ඉසව්වකට යමින් අද ගත සිත නිවනා සොඳුරු සැරිසර චාරිකාවේ තවත් පියවරක් ඔබ සමඟ තබන්නයි මේ සූදානම.

මෙවර අප සංචාරය සඳහා තෝරාගත්තේ අපේ රටේ ඓතිහාසික වටිනාකම් රැසක් ඇති හබරණ ප්‍රදේශයයි. ලෝක උරුමයන් වන රන්ගිරි දඹුලු විහාරය, සීගිරිය වැනි ස්ථාන මෙවැනි සංචාරයකදී බොහෝ දෙනෙක් නැරඹීමට යන ස්ථානයි. එහෙත් අද අප ඔබව රැගෙන යන්නට සූදානම් වන්නේ විශේෂයෙන් පාසල් දරුවන්ට අතිශයින් වැදගත් ස්ථාන කිහිපයක් වෙතයි. අප දන්නවා අපේ රට පැය කිහිපයක ගමනකින් පසු වෙනස්ම වූ පරිසර පද්ධති ඇති දේශගුණික වෙනස්කම්වලින් පිරුණු අතිශයින් සුන්දර රටක්. මේ වන විට සංචාරය කරන්නට සුදුසුම රටක් බවටත් අපේ රට පත්වෙලා. මේ නිසාම ලෝකයේ විවිධ රටවල විවිධ ජාතීන් අපේ රටේ සුන්දරත්වය විඳින්නට මෙහි සංචාරය කරන්නට පැමිණෙනවා. එලෙස සංචාරකයන් බහුලව ගැවසෙන සංචාරක කලාපයක් ලෙසද හබරණ හඳුන්වන්න පුළුවන්.

මමත් ඡායාරූප ශිල්පී ශාන් රූපස්සරත් පසුගියදා හිමිදිරියේම හබරණ බලා පිටත් වූයේ වාහන තදබදයෙන් මිදී අවශ්‍ය වේලාවට ගමනාන්තයට ළඟා විය යුතු නිසා. කොළඹ නුවර පාරේ අඹේපුස්සෙන් හැරී කුරුණෑගල හරහා ත්‍රිකුණාමල පාරේ යනවිට හබරණ නගරය හමුවෙයි. මේ දුර කිලෝ මීටර් 173ක් පමණ වන අතර පැය 4කින් පමණ පහසුවෙන් මෙහි ළඟාවිය හැකියි. අප හබරණට පැමිණෙන විට පෙරවරු 10.30 පමණ වූ අතර මෙම සංචාරය සංවිධානය කරමින් අපට සහාය දෙන ටිෂාන් රංගේ මහතා සුහදව අප පිළිගත්තේ මෙම ප්‍රදේශයේ සංචාරක මඟ පෙන්වන්නන් සහ සෆාරි රියැදුරන් ලෙස කටයුතු කරන ඔහුගේ මිතුරන් පිරිසත් සමඟින්.

පාසල් නිවාඩු සමයේ දූ දරුවන්ට විනෝදයත් දැනුමත් ලබා දෙන්නට සුදුසු ලෙස මෙම ගමන සැලසුම් කර තිබූ නිසා අප පළමුවෙන්ම සංචාරය කිරීම ඇරැඹුවේ හිරිවඩුන්න ගම්මානයටයි. අතිශයින් සුන්දර වැවකින් අලංකාර වුණු කුඹුරු, එළවළු ගොවිතැනෙන් ජීවත් වන ගැමියන් සිටිනා මෙම ගම්මානය ද තරමක් නාගරීකරණය වෙමින් පැවතුණත් විශේෂයෙන් විදෙස් සංචාරකයින්ට දැකගන්නට අවැසි නිසා අතීතයේ තිබූ ගොම මැටි ගා ගෙබිම සකසා පොල් අතු හෙවිලි කළ ගැමි ගෙවල් තවමත් මෙහි දැකගන්නට හැකියි. මෙම ගමේ සවාරිය යන්නට අප සමඟ පැමිණියේ සංචාරක මඟ පෙන්වන්නකු ලෙස කටයුතු කරන ප්‍රියන්ත කුමාරයි. අද මෙන් මෝටර් රථ නොතිබුණු අතීතයේ අපේ රටේ ප්‍රධාන වාහනය වූයේ ගොන් බැඳි කරත්තයයි. මෙම හිරිවඩුන්න ගම්මානයේ තවමත් මෙම කරත්ත දැකිය හැකිය. ගාම්භීර අං දෙකක් ඇති සුදු පැහැ එළ හරක් මෙම කරත්ත ඇද ගෙන යයි. මෙම කරත්තවලින් ගම පුරා සවාරියක් යන්නට විදේශිකයින් බොහෝ කැමැතිය.

එය මෙම ගැමියන්ගේ අතමිට සරුකරන ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්ව තිබේ. අප ගම පුරා පයින් ඇවිද ගියෙමු. ගමට ඇතුළුවන පාර පසුගිය දිනවල ඇද හැළුණු මහ වැස්සෙන් තරමක් මඩ සහිතව තිබුණද අප පයින්ම ගම පුරා ඇවිද යන්නට තීරණය කළේ සැබැවින්ම කොන්ක්‍රීට් වනාන්තරයක් වන අගනුවර සේවය කරන අපට ගහ කොළ සමඟ ගත කරන මෙම හෝරා කිහිපය වුවත් අතිශයින් සුවදායි බැවිනි.

වී වපුරා යන්තම් ගොයම් පැළ මෝදුවී ඇති වෙල් යාය සොඳුරු දසුනකි. වෙල් යාය සිසාරා හමා එන මන්ද මාරුතය ගතට සුවදායකය. විනාඩි තිහක පමණ ගමනකින් පසු අප පිවිසියේ පොල් අතු හෙවිලි කළ තරමක විශාල ගෙයකටය. මෙය ලී කණු උඩ ඉදිකර බිම ගොම මැටි ගා තිබේ. සුසිලාවතී සහ සුනීතා මල්කාන්ති දෙදෙනාගේ නිවහන වන මෙහි එන දෙස් විදෙස් සංචාරකයින්ට පැරැණි ගැමි ගෙදරක ක්‍රියාකාරකම් සජීවීව දැකගත හැකිය. මුලින්ම අපට ලැබුණේ හකුරු සමඟ බෙලිමල් පානයකි.

අවශ්‍යතාව අනුව කොත්තමල්ලි, පොල්පලා, ටිකිරි, රණවරා වැනි පානයක් පිළියෙල කරදෙන්නට ඔවුහු මැළි නොවෙති. අප යන විට මෙහි පැමිණ සිටි විදේශික යුවළකට වංගෙඩියේ කොටා වී කොටා කුල්ලෙන් පොළා හාල් කර ගන්නා අන්දම කියාදෙමින් සිටි සුසිලාවතී මහත්මිය පසුව කුරහන් ගලේ හාල් පිටි කරගන්නා අන්දමද කියා දුන්නාය. ඇය අත්දෙක මාරුවෙන් මාරුවට මෝල්ගස ඔසවමින් දෙමෝලෙන් වී කොටන හැටි බලන්නටම වටින දෙයකි. සැබැවින්ම මෙය පාසල් දරුවනට කදිම පාඩමකි. මෙහි දිවා ආහාරය සැකසෙන්නේ ගෙවත්තෙන් සපයා ගන්නා එළවළු වලිනි. ඒවා පිසගත් පසු පන්කොළ වට්ටිවලට නෙළුම් කොළ දමා එයට බෙදාගෙන කන්නට හැකිය. රාත්‍රී කාලයට අලි එන බැවින් මේ දෙදෙනා නිදාගන්නේ මෙහි මිදුලේ ගසක් මත ඉදි කර ඇති පැලේය. අපි ඒ මතට නැග්ගෙමු.

මීළගට අප ඔවුන්ගෙන් සමුගෙන ගියේ හිරිවඩුන්න වැව වෙතය. අක්කර 20ක පමණ වපසරියකින් යුතු මෙම වැව තවමත් සම්පූර්ණයෙන් පිරී නැත. හබරණට පැමිණෙන විදෙස් සංචාරකයන්ගේ ප්‍රියතම චාරිකාවක් වන්නේ මෙම වැවේ ඔරුවේ යන ගමනය. වැවේ එක් කෙළවරක සිට අනෙක් කෙළවරට යන්නට පැය බාගයක් පමණ ගතවේ. අපගේ ඔරුව පැදයන්නේ චානකය. වැව මැදදී නෙළුම් කොළයක් කඩාගත් චානක අපූරු තොප්පියක් තැනු අතර එය දැඩි අව්වෙන් බේරීමට කදිමය. මේ නෙළුම් කොළ තොප්පියට විදේශිකයෝ බොහෝ කැමැතිය.

ඔරුවෙන් වැව මැදට ගිය විට ඈතින් පිදුරංගල විහාර කන්දත් සීගිරි ගලත් අපූරු කෝණයකින් දැකිය හැකිය. ඔරුව ඉවුරට ළඟාවෙයි. තොටුපොළ ඇත්තේ වැව් බැම්මේ ඇති යෝධ සියඹලා ගස අසලය. මේ සියඹලා ගස වසර සියයකට වඩා පැරැණි බවත් කුඹුරු වැඩ ආරම්භ කිරීමට පෙර පූජාව පවත්වන්නේ මෙම සියඹලා ගස යට බවත් ප්‍රියන්ත අපට පැහැදිලි කර දෙයි.

මේ සංචාරකයන් පැමිණෙන කාලය නිසා වැව පුරා සංචාරකයන් රැගත් ඔරු රැසකි. විදෙස් සංචාරකයෝ මේ සුන්දරත්වයට වශී වී සිටිති. කොරියන් පිරිසක් ඔරුවේ යන්නේ ගීත ගයමිනි. දැන් මද්දහනට ආසන්නය. දිවා ආහාරයෙන් පසු සවස වන අලි බලන්නට සෆාරියක් යන්නට සූදානම් කර තිබේ.

 

  

ලබන සතියේ අප ඒ සෆාරි අත්දැකීම විඳිමු.

විශේෂ ස්තූතිය Sri Craft Village හිමිකරු සමීර රංගන නන්දසිරි මහතාට, හබරණ Elephant Kingdom හිමිකරු ටිෂාන් රංගේ මහතාට

 

අදහස්