දෙමළ සන්ධානය එක්ක අපේ කිසිම රහස් ගිවිසුමක් නැහැ | සිළුමිණ

දෙමළ සන්ධානය එක්ක අපේ කිසිම රහස් ගිවිසුමක් නැහැ

අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය අධිකරණය විසින් අක්‍රීය කර තිබෙනවා. ඒත් සමඟ ම ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට පියවර ගත්තා. එවැනි තත්ත්වයක් තුළ එජාපයටත් තනි පක්ෂයක් ලෙස පිළිගත හැකි බහුතරයක් නැහැ නේද?

225න් 113 කියන්නේ සාමාන්‍ය පාර්ලිමෙන්තු බහුතරය. ඕනම පනතක් සම්මත කරද්දි පාර්ලිමෙන්තුවේ පැමිණ සිටින මන්ත්‍රීවරුන්ගේ බහුතරය තමයි පිළිගැනීමට ලක්වන්නේ. ඒ අනුව මේ වෙද්දී එ.ජා.පෙ ට 103යි. එ.ජ.නි.ස 100ක් කිබෙනවා. ජ.වි.පෙ 06යි... ආදී වශයෙන් නියෝජනය වෙනවා. ඒ අනුව බැලුවත් 103 කියන්නේ තනි පක්ෂයක් විදියට බහුතරය. ඒ අනුව පාර්ලිමේන්තුව තුළ අදටත් බහුතරය තිබෙන්නේ අපිට. නමුත් අද පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය කියල කියාගන්න කණ්ඩායමක් ඉන්නවා ඒ අය පාර්ලිමේන්තුව වර්ජනය කරනවා. නමුත් ලෝකයේ කිසිම රටක ආණ්ඩු පක්ෂයක් මේ විදියට පාර්ලිමේන්තුව වර්ජනය කරන්නේ නැහැ. ඒය පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනි ක්‍රියාවක්. මේ අයට ආණ්ඩුව විදියට එක පනතක් පාර්ලිමේන්තුවට ගෙනැවිත් සම්මත කරගන්න පුළුවන් කමක් නැහැ. මේ නිසා තමයි මේ අය පාර්ලිමේන්තුව වර්ජනය කරන්නේ.

දැන් ඒ අය කියනවා කතානායකවරයා පක්ෂග්‍රාහී තීන්දු ලබාදෙනවා කියලා. එහෙම පක්ෂග්‍රාහී තීන්දු ගන්නව නම් ඒ අයට කරන්න තියෙන එකම දේ කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමයි. නමුත් ඒ අය ඒකට යන්නේ නැහැ. ඒ වෙනුවට මේ අය ප්‍රවෘත්ති සාකච්ඡා තිය තිය ජනතාවට එක එක මත ප්‍රකාශ කරමින් යනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා ප්‍රමුඛ එ.ජ.නි.ස ඔය කියන තරම් බලයක් තියෙනව නම් ඇයි ඒ අය පාර්ලිමේන්තුවට පැමිණ නිවැරදි ආකාරයට ක්‍රියාත්මක නොවෙන්නේ. ඒකෙන් ම පේනවා මේ අයට ඔය කියන තරම් බහුතරයේ විශ්වාසයක් නොමැති බව.

නමුත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට ඔවුන් සහය නොදෙන බව.

225න් හයක් අඩු කළාම 219යි. ඒ අය ඡන්දය දෙන්නේ නැති නම් පාර්ලිමේන්තුවේ ඉන්නේ 219යි. 219යෙන් භාගය කියන්නේ 110 ය යි. එහෙමනම් පාර්ලිමේන්තුව තුළ ඒ අය 110ක් පෙන්නුවොත් අපි ලෑස්තියි ඒ අයට බලයදීල අයින් වෙන්න. මම මේ කියන්නේ අගමැතිගේ උසාවි තීන්දුව එන්න ඉස්සෙල්ලා. ඉතිං ඒ අය එහෙමවත් කටයුතු කළේ නැහැ. ඒගොල්ලෝ හැම වෙලේම කතානයකයා වැරදියි, අරක වැරදියි, මේක වැරදියි කිය කිය හිටිය මිසක් මෙය විසඳා ගැනීමට කටයුතු කළේ නැහැ. නමුත් අපි අවස්ථා හතරකදී පක්ෂයක් විදියට අපේ බහුතරය අපි පෙන්නුවා. පාර්ලිමෙන්තුව පත්වන ඕනෑම අවස්ථාවක අපිට එය පෙන්වන්න හැකියාව තිබෙනවා. නමුත් අණ්ඩුව යැයි කියා ගන්නා කණ්ඩායමට තවමත් බහුතරයක් පෙන්න ගන්න බැහැ. මේක තමයි ඇති වී තිබෙන තත්ත්වය. මේක සමනය කරගන්න අපි උසාවි ගිහින් තිබෙනවා. ඒ තීන්දුව අනුව අපි ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා.

මේ වන විට දෙමළ ජාතික සන්ධානය ඔබ පක්ෂට සාහය දක්වන බව ප්‍රකාශ කර තිබෙනවා. එසේ නම් ඔවුන්ට තවදුරටත් විපක්ෂයේ කටයුතු කිරීමට සුජාතභාවයක් නැහැ නේද?

රජය සහ විරුද්ද පක්ෂය කියල දෙකකින්තමයි පාර්ලිමේන්තු සංයුතිය සකස් වෙන්නේ. එහෙත් රජය නියෝජනය කරන එක පාර්ෂවයක් රජයෙන් ඉවත් වූ පමණින් එහි අසන 95ක් තිබුණා කියල එය විපක්ෂය බවට පත් වන්නේ නැහැ. මොකද රජය පැවතියේ මේ පක්ෂ දෙකේම එකතුවකින්. පාර්ලි මේන්තුවේ මන්ත්‍රීවරු 16යකින් සමන්විත කණ්ඩායමක් විදියට ඒ මොහොතේ ඊළඟට වැඩිම අසන සංඛ්‍යාවක් දිනාසිටි දෙමළ සන්ධානය විපක්ෂය ලෙස පත් කළා. එහි නායකයා විපක්ෂ නායකවරයා බවට පත් වුණා. ඒ නිසා තමයි ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරු කණ්ඩායම බහුතරය ලෙස විපක්ෂ නායක කම ඉල්ලුවාම එය කතානායක වරයා විසින් ප්‍රතික්ෂේප කළේ. දෙමළ ජාතික සන්ධානය කියනව නම් අපි එ.ජා.පෙ සහය දෙනව කියල කියනව නම්, එතනදි ඒ අයට දිගටම විරුද්ද පක්ෂයේ කටයුතු කළ හැකිද කියලා නීතිමය තත්ත්වය බලන්න ඕන. ඒත් ඒ අය ආණ්ඩුවට එකතුවන බවට කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නැහැ. ඔවුන් පවසන්නේ විපක්ෂය ලෙස ඉඳිමින් එජාපය ගෙන එන වැදගත් අනපනත්වලට සහය දක්වන බවයි.

මේ ආකාරයට සහය දැකිවීම සිදුවන්නේ කිසියම් රහස් ගිවිසුමක් මත නේද?

දෙමළ සන්ධානය එක්ක අපේ කිසිම රහස් ගිවිසුමක් නැහැ. ඒ බව අපේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුම ප්‍රකාශ කර තිබෙනවා. ඒ බව ජනමාධ්‍යවලින් ප්‍රචාරය වුණා. ඇත්තටම ඔවුන් මොනවද කියල තියෙන්නෙ කියල අපි බැලුවොත් උතුරු නැගෙනහිර ගම් නගර කටයුතු සිදු කරද්දි ඒ දෙපළාත් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදියට ඒ අයවත් ඒකට සම්බන්ධ කර ගන්න කියලා. ඒක සාමාන්‍ය දෙයක්. ඒ අය ඉල්ලලා තියෙනවා යුද්ධය කාලයේදී ඔවුන්ගෙන් අත්පත් කර ගත්ත ඉඩම් ඒවා අයිති අයට නැවත ලබාදෙන්න කියල. ජාතික ආරක්ෂාවට තරජනයක් නොවන ඒ ආකාරයෙන් රඳවාගෙන ඉන්න ඉඩම් ලබාදීමේ ගැටලුවක් නැහැ. ඒ වගේම දේශපාලන සිරකරුවන් වශයෙන් රඳවගෙන ඉන්න අය පිළිබඳව සලකා බලා ඒ අය සම්බන්ධයෙන් නඩු අහල ඒක ඉවරයක් කරන්න කියලා. එයත් සාමාන්‍යයෙන් මේ රටේ නීතිය අනුව සිදු විය යුතු දෙයික්. ඊළඟ කාරණය අලුත් ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම. පසුගිය මැතිවරණයේදී අපි අලුත් ව්‍යවස්ථාවක් ගේනව කියලා අපි ජනතාවට කිව්වා. එහෙම කියලයි අපි ජනතාවගෙන් බලය ඉල්ලුවේ. ඒ කටයුතු අපි කරගෙන දිගටම කරගෙන ගියා.

ඒ ව්‍යවස්ථාව මඟින් රට බෙදල අන්තවාදීන්ට බලය ලබාදෙන්න යනව කියන දෝදනාව එල්ල වී තිබෙනවා.

ඔව් ඔය එක එක ප්‍රශ්න ආවේ එහි අන්තර්ගතය පිළිබඳව. අපි එක්සත් ජාතික පක්ෂය විදියට කවදාවත් මේ රට බෙදන්න කාටවත් ඉඩදෙන්නේ නැහැ. මේ රටට නිදහස ලබාගත්තට පස්සේ මේ රටට වැඩියෙන්ම වැඩ කරපු පක්ෂය එක්සත් ජාතික පක්ෂය. මේ රට වැඩිම කාලයක් බලයේ සිටි පක්ෂය විදියට, වැඩිම සේවයක් කරපු පක්ෂය විදියට මමත් මගේ පක්ෂයේ සියලු මන්ත්‍රීවරුණුත් කවදාවත් මේ රට මොනම ආකාරයකින්වත් බෙදනවට කැමති වෙන්නේ නැහැ. ඒ වගේම උතුරු නැගෙනහිර දෛපළාත එකතු කරනවට කැමතිවෙන්නෙත් නැහැ. බුද්ධාගමට තියෙන තැන නැති කරනවට කැමති වෙන්නෙත් නැහැ. එහෙම දෙයක් වෙනව නම් මේ පක්ෂයෙන් ඉස්සෙල්ලාම එළියට එන්නෙ මම.

සතියක් ඇතුළත මේ ප්‍රශ්නවලට විසදුම් ලබාදෙනව කියල ජනාධිපතිවරයා ප්‍රකාශ කළ. ඉදිරියේදී අධිකරණ තීන්දු තීරණ ලැබීමට නියමතයි. මේ අතර කාලය තුළ කුමක් සිදු විය හැකිද?

මේ තිබෙන ව්‍යාකූල කාරී තත්ත්වය තුළ හෙට වෙන්නේ කුමක්ද? කියල අපිට කියන්න පුලුවන් කමක් නැහැ. දෙයක් සිදු වුණාම තමයි අපිටත් ඒ පිළිබඳව කල්පනා කරන්න වෙන්නේ. ඒතරම් ව්‍යාකූල තත්ත්වයක් මේ තිබෙන්නේ. ඉතිං ඉදිරියේදී ලැබෙන නඩු තීන්දු එක්ක ඉදිරියේදී ජනාධිපතිවරයා කුමක් සිදු කරයිද කියන විමසිල්ලෙන් අපි සිටිනවා. එතුමා මේ පිළිබඳව යහපත් ක්‍රියාමාර්ගයක් ගනීවි කියල අපි තාමත් විශ්වාස කරනවා.

මැතිවරණයක් පැවැත් වීමට අධිකරණය නියෝග කළොත් එය ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් එය නිශ්ප්‍රභා කලොත් මේ අර්බුදකාරී තත්ත්වය තවත් උඩුදුවනවා. මේ තත්ත්වය වැලැක් වීමට ගත හැකි ක්‍රියාමාර්ගය කුමක්ද?

ඒක තීරණය වන්නේ නඩු තීන්දුව ලබාදීමෙන් අනතුරුවයි. ඊට කළින් ඒ තීන්දුව අරහම වේවී මෙහෙම වේවි කියල උපකල්පනය කරමින් අපට තීන්දු ගන්න බැහැ.

එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට, පළාත් සභා මන්ත්‍රී කණ්ඩායමට හා පළාත් පාලන මන්ත්‍රී කණ්ඩායමට පක්ෂයේ නායකත්වය ඇහුම්කම් නොදෙන බවක් පෙනෙන්නට තිබෙනවා. ඔවුන්ට හැමවෙලේම ක්‍රියාත්මක කිරීමට සිදුවන්නේ ඉහළින් ලැබෙන නියෝග පමණයි නේද?

නැහැ, කණ්ඩායම් රැස්වීම්වලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට මම මගේ මතය ප්‍රකාශ කරනවා. මගේමතය නියෝජනය කරන තවත් මන්ත්‍රීවරු එතන හිටියා. ඒවගේම විරුද්ධව මත ප්‍රකාශ කරන අයත් හිටියා. ඒ අනුව අපේ මතය ප්‍රකාශ කරන්න කිසිදු තහනමක් පක්ෂය තුළ නැහැ.

නමුත් ඔබලා කුමණ මතයක් ප්‍රකාශ කළත් අවසානයේ තීන්දුව එන්නේ ඉහළින් නේද?

අපේ පක්ෂයේ මන්ත්‍රීවරුන් කුමණ මතයක් ප්‍රකාශ කළත්, කෘත්‍යාධීකාරී මණ්ඩලය රැස්වෙලා අවසාන ගනුලබනවා. එහෙම අලුත් තීන්දුවක් තම ගත්තේ නැහැ. ඉදිරියෙදී ඇති වන තත්ත්වය අනුව කවුද ජනාධිපති අපේකෂකයා කා එක්කද අපි එකතුවෙලා කටයුතු කරන්නේ කියල කෘත්‍යාධීකාරී මණ්ඩලය හා පාර්ලිමේනතු කණ්ඩායම රැස්වෙලා තීන්දුවක් අරන් ඒක අපි සම්මේලනයට ඉදිරිපත් කරලා අනුමැතිය ලබාගෙන ඒ අනුව කටයුතු කරනවා.

ඉදිරි මැතිවරණවලදී වඩාජයග්‍රාහී ලෙස පක්ෂයක් ලෙස ඉදිරියට එන්න කුමණ ප්‍රතිසංස්තරණ පක්ෂය තුළ සිදුවිය යුතුයි කයලද ඔබ හිතන්නේ?

මම පක්ෂයේ ප්‍රත්සංස්කරණය වෙන්න ඕන කියල හැමදාම අදස් දක්වන කෙනෙක්. මම 2005 පාර්ලිමෙන්තුවට ආවේ. ඒ කාලයේ ඉඳන් මම මගේ මතය ප්‍රකාශ කර තිබෙනවා. බහුතරයක් ඒ මතයේ ඉන්නවා. ඉදිරියේදී අපි ආණ්ඩු බලය ලබාගත්තට පස්සේ සියලු දෙනා එකට එකතුවෙලා ඉදිරි මැතිවරණ වෙනුවෙන් ඒ අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනවා.

 

Comments