ඓතිහාසික තීන්දුවක්! | සිළුමිණ

ඓතිහාසික තීන්දුවක්!

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවුන් ලෙස වෙස් වළාගත් ශ්‍රී ලංකාවේ අන්ත දක්ෂිණාංශික බලවේග සියල්ල රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුතු පෙරමුණකට ඒකරාශි වෙමින් සිටින මොහොතකි මේ. ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තුව අතර සමතයකට පත් කළ නොහැකි ආකාරයේ ගැටුමක් ඇති කර, රට අස්ථාවර කිරීමේ ගුප්ත අරමුණකින් ක්‍රියා කරන දේශීය හා විදේශීය කණ්ඩායම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුරැකිය යුතුය යන ව්‍යාජ සටන් පාඨයක් අතට ගෙන සිටින මොහොතකි මේ. මහජනයාගේ ඡන්දයෙන් තෝරාගන්නා ලද මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තුව හා එලෙසම මහජනයා විසින් තෝරාපත් කරගත් ජනාධිපතිවරයා අතර බරපතළ විරසකයක් උද්ගත වී තිබෙන මොහොතකි මේ. ඒ සියල්ල යථා තත්ත්වයට පත් කරගැනීමේ එකම මඟ ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන ඡන්ද බලයෙන් අලුත් මහජන වරමක් ලැබීම බව ප්‍රත්‍යක්ෂ කරගත් ජනාධිපතිවරයාගේ පියවර ආපසු හැරවීම සඳහා නීතියේ පිහිට අපේක්ෂා කරමින් සිටින මොහොතකි මේ. ඒ සියල්ල විසින් නිර්මාණය කරන ලද කිසියම් අවිනිශ්චිත අඳුරක රට ගිලී තිබෙන්නාක් වැන්න. එහෙත් ඒ අඳුර හා බිය දුර ලමින් රට ස්ථාවරව රැකගැනීමටත්, ජන ජීවිත පවත්වා ගෙන යෑමට අවශ්‍ය ක්‍රියාදාමයන් සිදු කිරීමටත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමත්ව සිටීම භාග්‍යයකි.

උද්දච්ච ක්‍රියාදාමය

කෙසේ වුවද මේ ව්‍යාකුලත්වය අධිකරණයෙන් මෙපිට නිරවුල් කරගැනීමට තිබුණු හැම අවස්ථාවක්ම, හැම මාර්ගයක්ම අවහිර කළ එජාපයේ උද්දච්ච ක්‍රියාදාමය ගැන පොදු ජනතාව තුළ ඇත්තේ කලකිරීමට වඩා කෝපයකි. මෙරට ඉතිහාසය මුළුල්ලේම එජාපය සිය පාලන බලය යොදාගෙන ඇත්තේ ජනසෙත සැදීමට වඩා තම දේශපාලන බල ව්‍යාපෘති උදෙසා බවට විවෘත චෝදනාවක් තිබේ. 1978 ව්‍යවස්ථාව නිර්මාණය කළ එජාපය මේ රටට කළ විපත සුළු පටු නොවේ. ආචාර්ය ඇන්ඇම් පෙරේරා ඉතා පැහැදිලිව දක්වා ඇත්තේ සිය බලකාමි අරමුණු සඟවාගනිමින් හිතා-මතා කරන ලද සට-කපටකම්වලින් යුතු ව්‍යවස්ථාවක් එජාපය විසින් සම්මත කරන ලද බවය. ව්‍යවස්ථා සංශෝධනයේ මුවාවෙන් කිසි විටෙක වත් ව්‍යවස්ථාවක් දුඹුල් කිරීමට ඉඩ නොදිය යුතු ව්‍යවස්ථා පිළිවෙත් එහි අඩංගු බවද ආචාර්ය ඇන්ඇම්ගේ චෝදනාවකි (‘ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි විවේචනාත්මක විශ්ලේෂණයක්’ කෘතිය බලන්න).

ජේආර් එජාප නායකයා ලෙස සම්මත කළ ව්‍යවස්ථාවේ ඇදය ඇරීම සඳහා එයට හදිසි සංශෝධනයක් ලෙස 19 වැනි සංශෝධනය කළ එජාපයේම නායක රනිල් වික්‍රමසිංහ අද තිබෙන ව්‍යවස්ථා අර්බුදයට වගකිව යුතු නොවේද? රනිල්ට අවශ්‍ය වූයේ ජනතා විරෝධයට ලක්ව තිබෙන 1978 ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් අහෝසි කිරීම නොව, එයට අණ්ඩ දමාගෙන එදා ජේආර් අතට ගත් එම විධායක බලය අගමැති ලෙස තම අතට ගැනීම බව ඉතා පැහැදිලිය. අද උද්ගතව තිබෙන අර්බුදයෙන් දිස් වන්නේ විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ගැටුමය. මේ ආයතන දෙක අතර පවතින රණ්ඩුව අවසන් කිරීම සඳහා අධිකරණය මැදිහත් කරගැනීමට සිදු වී තිබේ. එජාපයේ මන්ත්‍රීවරු තම බහුතර බලය ගැන උජාරු කතා කියමින්ද, ජනාධිපතිවරයාට අවමන් කරමින්ද වියරුව හැසිරෙති. ඔවුන්ගේ එකම අභිලාෂය යළිත් රනිල්ට අගමැති පුටුව හිමි කර දීම පමණි. එසේම සමහරුන් ප්‍රකාශ කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් 122 දෙනකු රනිල් අගමැති කිරීම අනුමත කරන බවකි. එහෙත් රනිල්ට එබඳු කැමැත්තක් පාර්ලිමේන්තුවේ තිබේද? ජවිපෙ නායක අනුර කුමාර කිසිවිටෙක රනිල් අගමැති කිරීමට එකඟ නොවන බව අවධාරණය කරයි. එපමණක් නොව, පාර්ලිමේන්තුව තුළ කෙරෙන සංවාද පිළිබඳ වුවද ඔහුගෙන් පළ වූයේ ඍණාත්මක විවේචනයකි.

සුළුතරයට යටත් කළ බහුතරය

කෙසේ වුවද අද රට අබියස තිබෙන්නේ රනිල් අගමැති කරවීමේ ජනමතයක් නොවන බව නම් නිසැකය. එහෙත් රනිල් අගමැති කළ යුතුම බව එජාපය පුමුඛ රනිල් වෙනුවෙන් පෙනී සිටින සියල්ලෝම පවසති. රනිල් තරම් ප්‍රජාතන්ත්‍රවාදියකු, ඍජුපටිපන්න නායකයකු මෙදියත නැතැයි රනිල්වාදීහු පොළොවේ හැපෙති. බටහිර නඩය හා දෙමළ ඩයස්පෝරාවේ රූකඩ සංවිධාන මෙන්ම සිවිල් ක්‍රියාකාරීන් ලෙස පෙනී සිටින සමහරුන්ටද අවශ්‍ය රනිල් අගමැති පුටුවේ යළි වාඩි කරවීමය. එහෙත් ජනාධිපතිවරයා රනිල්ට එම ධුරය යළි නොදෙන බව අවධාරණය කරයි.

ජනාධිපතිවරයා අද එජාපයේ මෙන්ම එම පෙරමුණේ ප්‍රබල සතුරා බවටද පත්ව සිටියි. ඔවුන්ට අනුව ජනාධිපතිවරයා විසින් කරනු ලැබ ඇත්තේ එජාපය සතු අගමැතිකමත්, ආණ්ඩුවත් උදුරාගැනීමය. මෙරටේ ජනතාව විසින් 2015 ජනවාරි 08 වැනිදා පොදු අපේක්ෂකයා වූ ‘මෛත්‍රී’ රාජ්‍ය නායකයා ලෙස තෝරාගන්නා ලද්දේ රනිල් අගමැතිවරයා කළ යුතු බවට එකඟතාව නැත හොත් සම්මුතිය නිසා බව රනිල්වාදීහු කියති. එහෙත් එය සත්‍යයක්ද? 2015 රාජපක්ෂ පාලනය පරාජය කළ ජනතාව යළිත් මහ මැතිවරණයේදී රනිල්ට සුළු බහුතරයක් දුන් අතර, මහින්ද පුමුඛ සන්ධානයටද සෑහෙන බලයක් දී තිබිණි. මහ මැතිවරණ ප්‍රතිඵලය බුද්ධිමත්ව වටහාගත් ජනාධිපතිවරයා කළේ ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානයද එක් කර අලුත් ආණ්ඩුවක් සැදීමය.

මහින්දගේ සන්ධානයේ මන්ත්‍රීවරුන් 60කට ආසන්න සංඛ්‍යාවක් විපක්ෂයේ සිටියත් තාක්ෂණික ප්‍රශ්නයක් නිසා දෙමළ සන්ධානයේ සම්පන්දන්ට විපක්ෂ නායකකම හා ජවිපෙ අනුර කුමාර දිසානායකට විපක්ෂයේ සංවිධායක ධුරය හිමි විය. පුදුමයකට මෙන් එදා කථානායකවරයා සුළුතරයට බහුතරය යටත් කළ බවද පෙනිණි. මෛත්‍රී-රනිල් සම්මුති ආණ්ඩුවට රට පාලනය හිමි වුවත් මේ සම්මුති ආණ්ඩුවේ ප්‍රබල පාර්ශ්වකරුවා වූ රනිල්ගේ භුමිකාව ආරම්භයේ සිටම ආන්දෝලනාත්මක එකක් විය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ව්‍යවස්ථානුකූල ප්‍රයෝගයකින් දුර්වල කිරීම රනිල්ගේ ප්‍රයත්නය වූ බව දැන් රටම දන්නා කථාවකි. මෛත්‍රීට අවනත නොවී, තම අභිමතය පරිදිම ක්‍රියා කිරීමේ අනම්‍ය පිළිවෙතක් අනුගමනය කළ රනිල් තමන්ට නැති බලයක් ආරෝපණය කරගෙන ක්‍රියා කරන්නට විය. ජනාධිපතිවරයා එය උපේක්ෂාවෙන් ඉවසා සිටියේ අර්බුදවලට නොගොසින්, තමන් එකඟ වූ ජන මෙහෙවර ඉටු කිරීමටය. එහෙත් රාජ්‍ය නායකයා හා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස මෛත්‍රීට හිමි වූ බලය පවා නොතකන මානසිකත්වයක් රනිල් අගමැතිවරයාට විය.

රනිල් අගමැතිවරයා ලෙස ක්‍රියා කළේත්, ආණ්ඩුව මෙහෙයවූයේත් මෛත්‍රී යනු තමන් විසින් ජනාධිපති පදවියට පත් කරන ලද, ජන පදනමක් හෝ දේශපාලන පරිචයක් හෝ නැති දුබල චරිතයකැයි යන ගෞරවයකින් යුතුවය. රනිල් සියලු කටයුතු කළේ තම සමීපතම මිතුරු කණ්ඩායමක් වට කරගෙනය. ඔවුන් අයත් වූයේ කොළඹ ඉහළ සමාජයට හා රනිල්ගේ පන්තියටය. ඒ පන්තිය වූකලි ධනවාදි ලිබරල්වාදි බටහිර ගැති පැළැන්තියකි. ඔවුහු සාමාන්‍යයෙන් සිංහල-බෞද්ධ සංස්කෘතික ගතිලක්ෂණ නොතකන, ජනප්‍රිය සංස්කෘතියේ හා බටහිර පන්නයේ අනුකාරකයෝය. මේ අනුකාරක පන්තිය සමඟ මෛත්‍රී ජනාධිපතිවරයාට කිසිදු පෑහීමක් නොවීමද ඉතා ස්වාභාවිකය.

මෛත්‍රී යනු සරල-සැහැල්ලු, පිළිවෙත්ගරුක දේශපාලන චරිතයක් වුවද; ඔහු කිසිවිටෙක රනිල්ගේ පන්ති සගයන්ට යට නොවූ අදීන චින්තනයක් සහිත ප්‍රබල දේශපාලනඥයෙක් විය. මෙරටේ ප්‍රබලම දේශපාලන පක්ෂයක ජ්‍යෙෂ්ඨ නායකයකු ලෙස මෙන්ම ඇමැතිවරයකු හා පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳ පරිණත පුද්ගලයකුද වූ මෛත්‍රී, රනිල්ගේ ගජ මිතුරන්ට මැඬලිය හැකි අයෙක්ද නොවීය. ශ්‍රීලනිපයේ මහ ලේකම් ධුරයද හෙබවූ මෛත්‍රී පොදු අපේක්ෂකයා ලෙස තමා එතෙක් දැරූ සියල්ල අත්හැර ජනාධිපතිවරණ සටනට අවතීර්ණ වූවෙකි. ශ්‍රීලනිපයේ පතාක යෝධයන් සමග එක් වන තරුණ මෛත්‍රී උපන්ගෙයි අධිරාජ්‍ය විරෝධියකු මෙන්ම පීඩිත පන්ති නායකයෙක්ද විය. රජගෙදරට කලින් හිරගෙදර බතද රස බැලූ ඔහුගේ දේශපාලන අත්දැකීම් ඉතා පුළුල් වුවකි. කොටින්ම වසර 25ක් මුළුල්ලේ එජාප නායකත්වය දරමින් සිටින රනිල්ට නැති දේශපාලන පෞරුෂයක් හා විචක්ෂණ භාවයක් රජරටින් පැමිණි මේ නායකයා සතු විය.

නොවැම්බර් තීරණ

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉකුත්දා ශ්‍රීලනිප විශේෂ මහා සම්මේලනය අමතමින් රනිල් වික්‍රමසිංහගේ ‘ප්‍රජාතන්ත්‍රවාදි විස්මිත භූමිකාව හා නායකත්වයේ ඉනිම’ ගැන කළ විග්‍රහය ‍ඓතිහාසික එකකි. මෛත්‍රී-රනිල් ගැටුම හුදු වෛරි දේශපාලනයේ දුෂ්ට ප්‍රතිචාරයක් ලෙස හුවා දක්වන අයට නොව; එජාපයේ හා ඊට අයත් නොවන හෘදයසාක්ෂියක් සහිත සියලු දෙනාටම ආවර්ජනය කළ යුතු කරුණු රැසක් එහි අඩංගු විය. අද මෛත්‍රීගේ නමත් නොඉවසන රනිල්වාදීන් පළමුව කල්පනා කළ යුතු වන්නේ වසර 25ක් තරම් දීර්ඝ කාලයක් පක්ෂයේ නායකත්වය දැරූ රනිල් සිය පක්ෂයට දී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය කෙබඳුද යන්නයි. ජනාධිපතිවරයා රනිල්ට ඉදිරිපත් කරන්නේ දේශපාලන අධිචෝදනා පත්‍රයකි. 2015 ජනවාරි 08 මෙරටේ ජනතාවට දුන් බලාපොරොත්තු ඉටු කරලීමට නොහැකි වූයේ ඇයි? මේ ජනාධිපතිවරයාගේ පිළිතුරයි.

“2015 ජනවාරි 9 මා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී ඒ මොහොතේම අගමැතිවරයා ලෙස දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ මහතා 2015 ජනවාරි 8 හැට දෙලක්ෂ පනස් දහසක් ඡන්දය පාවිච්චි කරමින් බිහි කළ ඒ පිවිතුරු දේශපාලන ගමන සහ යහපාලන සංකල්පය අමුඅමුවේ දූෂණය කළා. ඔහු අමුඅමුවේ එය විනාශ කළා. එහිදී මා වසර තුන හමාරක් ඉවසමින් අසීරු ගමනක ආවා. එය ලෙහෙසි-පහසු ගමනක් නෙවෙයි. සහෝදර ඇමැති මණ්ඩලය මේ තත්ත්වය දන්නවා; ආණ්ඩු පක්ෂය මේ තත්ත්වය දන්නවා. වසර තුන හමාරක ගැටුම පිළිබඳව රට දන්නවා. රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීම හදිසියේ අහම්බයක් නොවේ. එය වසර තුන හමාරක කටුක, අභියෝගාත්මක ගමනක බොහෝ දුෂ්කර වූ ගිරිදුර්ගයක ගමන් කරමින් ගත් තීරණයක්.

“රනිල් වික්‍රමසිංහ මහතා යහපාලන දේශපාලන සංකල්පය අමුඅමුවේ විනාශ කළා මෙන්ම රටද විනාශ කළා. රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන ප්‍රබුද්ධයන්ගේ ඓතිහාසික වැදගත්කමක් තිබුණු මේ රටේ වැදගත් දේශපාලන පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂයත් විනාශ කළා. ඔහු යම් ප්‍රමාණයකට මාත් විනාශ කළා. යහපාලන ආණ්ඩුව විනාශ කළ රනිල්, රට විනාශ කළ රනිල්, එක්සත් ජාතික පක්ෂය විනාශ කළ රනිල්, යම් ප්‍රමාණයකට මා විනාශ කළ රනිල් වික්‍රමසිංහට ඒ වෙනුවෙන් දීමට තිබූ එකම විසඳුම සහ පිළිතුර ඔහු අගමැති පුටුවෙන් පන්නා-දැමීමයි කියන-එකයි මම තීන්දු කළේ. අප අපට ගැළපෙන දේශපාලන ගමනක් යා යුතුයි. ඔබ දන්නවා මහ බැංකු මංකොල්ලය කියූ විට. ඔහුගේ දූෂිත බව මම පසුගිය කාලය තුළ කිව්වා. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පළාත් සභාවට දී තිබු බලතල ඔහු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතැම් පනත්වලින් ආපහු ගත්තා. ඔහු ගෙනා බොහෝ පනත් මා ප්‍රතික්ෂේප කළා. ඔහුට අවශ්‍ය විදියට රට බරපතළ ලෙස විනාශ කිරීම හැකි තරම් මගේ ශක්තියෙන් මම පාලනය කළා. එහෙත් ඔහු දරදඬු මුරණ්ඩු මිනිහෙක් විදියට අන්ත දක්ෂිණාංශික නව ලිබරල්වාදි දේශපාලන දර්ශනය මේ රට විනාශ කිරීමේ ක්‍රමයක් ලෙස ඔහු පාවිච්චි කළා.”

2014 නොවැම්බර් 21 වැනිදා තීරණයත්, 2018 නොවැම්බර් 26 වැනිදා තීරණයත් මෙරටේ දූෂණයට, වංචාවට, හොරකමට, පාවාදීම්වලට විරුද්ධව ගත් අභීත තීරණ ලෙස ජනාධිපතිවරයා තහවුරු කරයි. අප ඉහත සඳහන් කළ පරිදිම අද බලකඳවුරු දෙකකට බෙදී සිටින්නේ ප්‍රතිගාමි බටහිර බලවේග සමග සිටින පිරිස් හා දේශහිතෛෂි, දේශමාමක, දේශජ මෙන්ම මානවවාදි පිරිස් බව ඉතා පැහැදිලිය. රනිල් ඉවත් කිරීම ධනපති කොම්ප්‍රදෝරු පන්ති සමාජයට දරාගත නොහැකිය. එමඟින් ඔවුන්ගේ සැඟවුණු න්‍යායපත්‍ර අහෝසි වන අතර, එය ඒ පන්තියට සිදු වූ පරාජයක්, ලජ්ජාවක් ලෙසද ඔවුහු කල්පනා කරති. එජාපය තුළ ආධිපත්‍යය පතුරුවා සිටින්නේ එකම කල්ලියකි. ඔවුහු නව ලිබරල්වාදීහු වෙති. දූෂණය, වංචාව, මිත්‍ර සංග්‍රහය ඔවුන්ට සාමාන්‍ය දේවල්ය. ප්‍රජාතන්ත්‍රවාදයේ අලංකාර වදන් ඔවුන්ගේ වාග්මාලාව තුළ ගිගුම් දෙයි. මානව හිතවාදය ඔවුන්ගේ විලාසිතාවකි. එහෙත් ඔවුහු කිසිවිටෙක පීඩිතයන්ගේ කඳුළට, ඩහදිය බිඳකට සංවේදී නොවෙති. ඔවුන්ට සංස්කෘතික ආධ්‍යාත්මයක් නැත. ජනප්‍රිය සංස්කෘතියේ අරුමෝසම් හැඩතල ඔවුන්ට ප්‍රිය වේ. දේශීයත්වය යනු ඔවුනට යල් පිනූ මනස්ගාතයකි. අපේකම, සංස්කෘතික උරුමය ඔවුන්ට නොවැදගත් දේය. ආගමික සංවරය, ශික්ෂණය, සාරධර්ම යනාදි කිසිවක් ඔවුන්ට අදාළ නැත. ගඟක, ඇළක, දොළක, දිය කඳුරක පහස නොලද ඔවුහු සඳලුතලවල රසමසවුළු බුදිමින් පීඩිතයන්ට ඉඳුල් විසි කර විනෝද වන්නෝය. දේශපාලනය යනු ඔවුන්ට මහජන සේවයක් නොව; මතු මහලේ වැජඹීමට වුවමනා බලපත්‍රයක් පමණි. ආගමික හෝ සංස්කෘතික බැඳීම් නැති ව්‍යාජ, හරසුන් ජීවිත ගෙවන එව, කව, බොව කියන සමාජයක් ඔවුහු අපේක්ෂා කරති. ජාතිභේද ගෝත්‍රවාදි හැඟීම් නැතැයි ඝෝෂා කළත්, ඔවුහු සිය පන්ති සමාජය නමැති තව්තිසාව තුළ අලස සුව ගෙවන්නෝය; නැතහොත් ඇත්දත් මාළිගාවල භාවනා කරන වාල්මීකිලා වැන්නෝය.

ප්‍රජාතන්ත්‍රවාදි වැදි බණ

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ දේශපාලන අරමුණ කුමක්ද? ඔහුට ගෝත්‍රවාදි ජාතිවාදි හංවඩුවක් ගැසීමට හැකිද? කිසිසේත් නොහැකිය. මහගමසේකර කවියා කී පරිදිම ඔහුගේ හද තුළ රැව් දෙන්නේ උත්තරීතර සමාජ මහිමාවකි.

“ධර්මේ, කාසිම්, රාජසුන්දරම්

මෙහෙ වරෙල්ල

අපි ඔක්කොම එකතු වෙලා

මේ ලෝකය

යහපත් තැනක් කරමු මීට වැඩිය.”

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සාධාරණ සමාජයක් උදෙසා දේශපාලන අබිනික්මනක නිරත වෙන්නේ සේකරගේ වදන් හද රැව් දෙද්දීය. එහෙත් ඔහු කොටු වන්නේ හොර නඩයකටය; සංස්කෘතික හැඳුනුම්පතක්නැති ටයි කෝට්කාර කොල්ල කල්ලියකයටය; 2015 ජනවාරි 08 පෙන්වා රට විකිණීමට සැලසුම් කරන ඊනියා ලිබරල්වාදී රංචුවකටය.

බැංකු කඩන

රට විකුණන

අමනයන්ව වට කරගෙන

බටහිරයන්

සමග පෙළට

ජෝගි නටන

එවුන් සමග

යහපාලනයක් කොයින්ද?

ඔහුගේ හෘදයසාක්ෂිය කෑගසන්ට වෙයි. දකුණේත් උතුරේත් යුක්තිය-සාධාරණය ඉල්ලා හඬන ජනතාව මේ දේවල් අනුමත නොකිරීම පුදුමයක් ද? එහෙත් ඔහු නිහඬව බලා සිටියේය. හෙට-අනිද්දා වන විට ඒ ගමන වෙනස් වනු ඇතැයි ඔහු සිතුවේය. එහෙත් එය සිහිනයක් විය. ඇතැඟිලි අතරින්, ඇස්මානයෙන් පැන යන ඒ සිහිනය යථාර්ථයක් කළ යුතුය යන අදිටන ඔහු තුළ වැඩෙයි. රට විකුණන, කොමිස් කඩන කැබිනට් පත්‍රිකා විසි කෙරෙන්නේ ඒ අනුවය. රනිල්ගේ ආර්ථික විකෘතිය ප්‍රකෘති කිරීමට පියවර ගන්නේත් ඒ අනුවය; රටට රහසින් ඇති කරගත් ගිවිසුම්වලට එරෙහි වන්නේ ඒ අනුවය. ප්‍රතිඵලය රනිල්වාදීන් කුපිත වීමය. නයාට අඳුකොළ මෙන් රනිල්ට මෛත්‍රී නොරිසි වීමය. මෛත්‍රී දේශපාලන කළගුණ සැලකීම පස්සට දමා, රට වෙනුවෙන් ගත යුතු තීරණවලට එළඹෙන්නේ ඒ අනුවය. මේ ඒ හෘදයසාක්ෂියේ රාවයයි.

“ඔහු උතුරේ ජනතාව රැවැට්ටුවා. උතුරේ ජනතාවගේ ප්‍රශ්නය විසඳන්නට දීමට හැකියාවක් තිබූ දේවල් රට කඩන්නේ නැතුව, රට පාවාදෙන්නේ නැතිව, රට ෆෙඩරල් කරන්නේ නැතිව, උතුරේ ජනතාව වෙනුවෙන් දිය යුතු දේ දීම ඔහු හිතාමතාම අතපසු කළා. මේ තත්ත්වය උඩ මේ ගත්තා වූ දේශපාලන තීන්දුව ඊයේ, අද වගේම හෙට දවසටත් නිවැරදියි. මේ රටට ගැළපෙන දේශපාලන වැඩපිළිවෙළක් ශක්තිමත් කිරීමට, රට ගැන - ජනතාව ගැන හිතන, මානවවාදි ප්‍රබුද්ධයන්ගේ දේශපාලන ගමනක් පෝෂණය කරන්නට, සුරක්ෂිත කරන්නට සහ ශක්තිමත් කරන්නට මම පියවර රාශියක් ගත්තා.”

මෛත්‍රී සටන් කරන්නේ සාධාරණය-යුක්තිය උදෙසාය; ප්‍රජාතන්ත්‍රවාදය පක්ෂය තුළත්, රට තුළත් තහවුරු කිරීම උදෙසාය. රනිල් ප්‍රජාතන්ත්‍රවාදි වැදි බණ දෙසයි. එහෙත් පක්ෂය තුළ ඇත්තේ ඔහුගේම හඬ පමණි. තම නායකත්වය යටතේ ඡන්ද 29ක් එජාපය පරාජය කරා ගෙන ගිය රනිල් මහින්දගේ පරාජය ගැන සිනා සෙයි! එහෙත් මහින්ද අබිබවා යෑමට රනිල්ට කිසිදිනෙක නොහැකි බව ඔහු මෙන්ම රටම දනියි. ඒ මොනවා කළත් බටහිරට ගැළපෙන චරිතය රනිල්ය. එදා චන්ද්‍රිකා පාලන සමයේ අගමැති ලෙස සිටි රනිල් නෝර්වේ තානාපතිවරයා සමග උතුරට ගොස් ප්‍රභාකරන් සමග ගිවිසුමක් අස්සන් කළේ තනි-මතයටය. පාර්ලිමේන්තුව තබා චන්ද්‍රිකා ජනාධිපතිනියවත් එය දැන සිටියේ නැත. රනිල් තමන්ට ගැළපෙන නායකයා බව බටහිර දනී. එහෙව් රනිල් අගමැති පුටුවෙන් ඉවත් කිරීම බටහිරයෝ කෙසේ ඉවසා විඳ-දරාගනිත්ද?

හොර, මැර, තක්කඩි වැඩ

රාජපක්ෂලා හොරුන්, දූෂිතයන්, තක්කඩීන් ලෙස හඳුන්වන සිවිල් සමාජයේ සාධු චරිතවලට රනිල්ගේ හොර, මැර, තක්කඩි වැඩ නොපෙනේ. මහින්දගේ වරදාන ලැබූ බවට පුද්ගලයන් විවේචනය කරන ඒ සාධාරණ සමාජයේ සේවාව සඳහා ලිට්රෝ ගෑස් සමාගම දක්වන අනුග්‍රහය අද හෙළි වී තිබේ. මහ බැංකු වාර්තාවේ සැඟවූ කොටස් හෙට අනිද්දා ප්‍රසිද්ධ වූ පසු තවත් සුදු චරිත කීයක් කළු පාට විය හැකිද? ඉතිහාසය මුළුල්ලේම රනිල් හැසිරී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදි ඇඳුම්-ආයිත්තම් ඇඳගත්, එහෙත් කිසිවිටෙක එහි හරයට අවංක නොවූ වචීපරම නායකයකු ලෙසය. මෛත්‍රී නැඟී සිටින්නේ එයට එරෙහිවය. එදා රනිල් දොන් ජුවන් ධර්මපාලට සමාන කළ අය අද ඔහු බේරාගැනීමට මොර දීම දෛවයේ සරදමක් වැන්න! දොන් ජුවන් පෘතුගීසීන්ට ලංකාව පාවා දුන් ආකාරයට මේ රට බටහිරට හෝ දෙමළ ඩයස්පෝරාවට හෝ පාවාදීමට මෛත්‍රී සූදානම් නැත. මෛත්‍රී රනිල් ප්‍රතික්ෂේප කරන්නේ ඒ පසුබිමත් දේශපාලන විචක්ෂණ භාවයත් නිසාය.

දෙමළ, මුස්ලිම් නායකයන්ට වුවද රනිල් හඳුනාගත හැකි වී තිබේද? කුමක් වුවත් දෙමළ සන්ධානය රනිල් වෙනුවෙන් ඉදිරිපත් වීම බොහෝ දෙනකුගේ කුතූහලයට බඳුන් වී තිබේ. උතුරේ සිට සිවාජිලිංගම් කියන්නේ කොන්දේසිවලින් තොරව කාට හෝ සහාය පළ කිරීම වැරදි බවය. මෛත්‍රී දෙමළ බෙදුම්වාදයට විරුද්ධය. එහෙත් කිසිදිනක දෙමළ ජනතාව දෙවැනි තැනට ඇදදමන ජාතිවාදි හිසේ අමාරුවක් මෛත්‍රීට නැත. මෑත යුගයේ මෛත්‍රී තරම් උතුරේ සංචාරය කළ රාජ්‍ය නායකයෙක්ද නැත. උතුරට සහන දීමට ඔහු දරන අව්‍යාජ ප්‍රයත්නය දෙමළ ජනතාව දනියි. උතුරේ ජනතාව වෙනුවෙන් සැලසුම් කළ නිවාස ව්‍යාපෘතියට හරස් වූයේ මෛත්‍රී නොව, රනිල්ගේ පක්ෂයේ ඇමැතිවරුය. ඒ කොමිස් මුදල් පිළිබඳ ප්‍රශ්නයක් නිසාය. කුමක් වුවත් එජාපය කරන්නේ උතුර මෙන්ම දකුණද රැවටීමකි. පොදු ජනතාවගේ දුක, වේදනාව, ගැන සංවේදි නොවූ ලිබරල්වාදි අනුකාරකයන් සමඟ තවදුරටත් ගමනක්, එකඟතාවක්, සම්මුතියක් නැතැයි මෛත්‍රී සහතික කර කියන්නේ රනිල්ගේ වෙස් මුහුණ හා සැබෑ මුහුණ වෙන වෙනම හඳුනාගත් විචක්ෂණ දේශපාලන නායක‍යකු ලෙසය. ඒ නිරවුල් අවබෝධයෙන් යථාර්ථවාදි දැක්මෙන් රට වෙනුවෙන් ගත් අභීත විශිෂ්ට තීරණය ‍ඓතිහාසික පියවරක් බව අපි ලියා තබමු.

 

Comments