වොලිබෝල් ක්‍රීඩාවේ ජනපති කුසලාන රන් සලකුණ | සිළුමිණ

වොලිබෝල් ක්‍රීඩාවේ ජනපති කුසලාන රන් සලකුණ

ලාංකේය වොලිබෝල් ක්‍රීඩාවේ මෞලි මංගල්‍යය වන ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ විශිෂ්ටයන් අතර අතිවිශිෂ්ටයන් තරගයෙන් තරගය නව ප්‍රතිවාදීන් පරාජය කරමින් අවසන් තරගවලට පිවිස තිබේ. ජාතික මහා ක්‍රීඩා උ‍ෙලළ හැර උතුර - නැගෙනහිර - බටහිර- දකුණ එක යායක් කරන ඉසව් අතර ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි.

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය විවෘත කාන්තා - පිරිමි සහ වයස අවුරුදු 22න් පහළ කාන්තා - පිරිමි වශයෙන් පැවැත්වීම තුළ ග්‍රාමීය මට්ටමේ සිටම මෙකී තරගාවලියේ ආකර්ෂණිය භාවය මෙන්ම තරගකාරිත්වය ද ඉහළ යෑමට හේතු වී තිබේ. එපමණක් ද නොව, ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය තරග ග්‍රාම සේවා වසම් මට්ටමින් ඉදිවෙන වේදිකාවට ගොඩ වදින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික තලයේ තරග හරහා ජාත්‍යන්තරය දක්වා සිය ක්‍රීඩා කෞශල්‍යය ප්‍රදර්ශනය කිරීමට හැකි වට පිටාව සකසා ගැනීමට හැකි වීමද විශේෂත්වයකි. කුසලතා පිරි තරුණ ජවය ක්‍රීඩා පිටිය හරහා ජනගත කිරීමට ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය කදිම තෝතැන්නකි.

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය් ගත්තද, ජාතික ශූරතා වොලිබෝල් තරගාවලිය ගත්තද මෙකි භූමී භාගයේ කුමන බාධක වකැට කඩුලු බිඳ ගෙන ඉදිරියට ගිය ද, මෙකී භූමි භාගයෙන් එළියේ ලාංකේය වොලිබෝල් ක්‍රීඩාව අත්පත් කර ගන්නා වූ ඉරණම් සහගත තත්ත්වය පිළිබඳ බලධාරීන් මීට වඩා අවධානය යොමු කළ යුතුය.

පසුගිය දා මෙරට අවසන් වූ ආසියානු වොලිබෝල් පිටියේ ශ්‍රේණිගත කිරීම්වල නවවැනි ස්ථානයේ සිට දහසය වැනි ස්ථානය දක්වා සිටින කණ්ඩායම් අතර පැවැති තරගාවලිය අවසන් වුයේ ශ්‍රී ලංකාවට වාසි සහගත ආකාරයෙන් නොවේ. ආසියාවේ රටවල් 65 අතුරින් මේ තරගාවලියේ ශූරයන්ට සහ අනු ශූරයන්ට ආසියාවේ මෙන් ම ලෝක ශ්‍රේණිගත කිරීම්වලද ඉදිරියට පැමිණිමට මෙකී තරගාවලිය මහඟු පිටිවහලක් විය. ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැති පළමු ආසියානු අභියෝග කුසලාන වොලිබෝල් තරගාවලියේ තෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වූ අතර ඉරාකය ශූරයන් වු අතර සවුදි අරාබිය අනුශූරයෝ වූහ. එහෙත් ශ්‍රී ලංකාව මේ තරගාවලියට එක් වුයේ දැඩි බලාපොරොත්තු සිත්හි රඳවා ගෙන බව ‍නොරහසකි.

ලාංකේය සමස්ත ක්‍රීඩාව ම බිඳ වැටි ඇති පසුබිමක වොලිබෝල් ක්‍රීඩාවට පමණක් එයින් මිදී කටයුතු කිරීමට නොහැකි බව අමුතුවෙන් පැවැසිය යුතු නොවේ. මෙකි භූමිය තුළ කොතරම් වොලිබෝල් තරගාවලි පැවැත්වුවද ලෝකයේ අපට හිමි තැන දැනෙන්නේ තරගාවලියක් අවසානයේදීය. ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක, ක්‍රීඩිකාවන් අවසන් වරට එක් වූ ආසියානු තරගාවළි ද්විත්වයේ පවා සිතු තරම් දක්ෂතා අතරට පැමිණීමට නොහැකි විය. එකළොස්වැනි යොවුන් ආසියානු වොලිබෝල් තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි අට වටය පවා අහිමි වීමද බලධාරීන්ගේ විශේෂ අවධානයට ලක් විය යුතු සාධකයකි.

දහවැනි ආසියානු යොවුන් වොලිබෝල් තරගාවලියේ පස්වැනි ස්ථානය හිමි කරගත් ලාංකේය වොලිබෝල් ක්‍රීඩාව එතැනින් ගමන් කළ යුතුව තිබුණේ ඉදිරියට මිස පසු පසට නොවේ. මීට සිවු වසරකට පෙර පස්වැනි ස්ථානය හිමි කර ගත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට පසුගිය තරගාවලියේ අටවැනි තැන පවා අහිමි වීම ලෙහෙසියෙන් බැහැර කළ හැකි දෙයක් නොවේ. සිවු අවුරුදු සැලසුම යටතේ ලාංකේය වොලිබෝල් ක්‍රීඩාවට බොහෝ දුර යා හැකි බව පැහැදිලිය. වඩා වටින්නේ මේවා වදන් වලට ලඝු නොකර යතාවක් බවට පෙරළා ගැනීමට හැකි වට පිටාව සකසා ගැනීමය.

ක්‍රීඩාවේදි පරිගණක විශ්ලේෂකයන්ගේ කාර්යභාරය අතිමහත්ය. එහෙත් ලාංකේයන් වශයෙන් අප ක්‍රිකට් ක්‍රීඩාවේ දී හැර වෙනත් කිසිම ක්‍රීඩාවක පරිගණක විශ්ලේෂකයන්ගේ සේවය කොතෙක් දුරට ලබා ගන්නවා දැයි දන්නේ ක්‍රීඩා සංගම් සහ සම්මේලනයන්ය. පසුගිය දා මෙරට අවසන් වූ ආසියානු අභියෝග කුසලාන වොලිබෝල් තරගාවලියේ මෙරට ක්‍රීඩකයන්ට පුහුණු කරුවන්ට මෙකි පහසුකම් නොමැති වීමේ අඩුපාඩුව තදින් දැනුණා පමණක් නොව ප්‍රතිවාදීන් මනා ලෙස පරිගණක විශ්ලේෂකයන්ගේ සහාය ලබා ගනිමින් ඉදිරියට යන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අසරණ වූ අයුරු පැහැදිලිවම දක්නට ලැබුණි.

සමස්තයක් ලෙස ලාංකේය ක්‍රීඩාවේ කඩා වැටීමේ දිග පළල තේරුම් නොගන්නා තාක් කල් ඕනෑම ප්‍රශ්නයක් මග හැර යා හැකිය. එහෙත් ඇත්ත ඇති සැටියෙන් අවබෝධ වන විට ලෝකය බොහෝ දුර ගමන් කර තිබෙන බව සිතා ගැනීමටත් නොහැකි වනු ඇත. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය හරහා මතු වන දක්ෂතාවන්ට වඩාත් හොඳ මෙන්ම සවිමත් වේදිකාවක් සාදා දීමට බලධාරීන්ට හැකිය. එය මෙවර ජානාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය නිමා කර තවත් වසරකින් එකී තරගාවලියට පෙළ ගැසිමට වඩා වැදගත් වනු ඇත. ලාංකේය වොලිබෝල් ක්‍රීඩාවේ වත්මන් පාලකයන්ට එකි හැකියාව සහ දිරිය ඇති බව දනිමු. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය ලාංකේය වොලිබෝල් ක්‍රීඩාවේ පෙර ගමන්කරු විය යුතුය.

Comments