ජනාධිපති රන් කුසලානය මෙවර කාටද? | සිළුමිණ

ජනාධිපති රන් කුසලානය මෙවර කාටද?

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කරන 2018 ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරග 15 දා මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. ග්‍රාමීය මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික තලය දක්වා ඔසවා තබන ලාංකේය භූමියේ ප්‍රධානම වොලිබෝල් තරගාවලිය වන ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය ග්‍රාම සේවා වසම් මට්ටමින් ආරම්භ වී දිස්ත්‍රික් මට්ටමින්ද තෙරීවිත් දිස්ත්‍රික්ක තරගවල ජයග්‍රහකයන් අතරින් ශුර ශූරියෝ ජාතික මට්ටමේ තරග සඳහා ද එක්වුහ.

දිස්ත්‍රික්ක 25 ම නියෝජනය කරමින් කණ්ඩායම් 4000ක් පමණ විවෘත සහ වයස අවුරුදු 22න් පහළ කාන්තා පිරිමි වශයෙන් තරගාවලියට එක් විය. මෙහිදී සුපුරුදු පරිදි දිස්ත්‍රික්ක ශූරතා දිනා ගත් විවෘත කාන්තා - පිරිමි, වයස අවුරුදු 22න් පහළ කාන්තා - පිරිමි කණ්ඩායම් 100ක් එක් වූ ජාතික තරග හික්කඩුව මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ජාතික තරගවල ජයග්‍රහකයන් මේ අනුව මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ පිටියේ පැවැත්වෙන අවසන් මහා තරගවලට එක්වෙයි.

මෙවර පිරිමි විවෘත අවසන් මහා තරගය සඳහා පසුගිය වසරේ තෙවැනි ස්ථානය දිනා ගත් කොළඹ දිස්ත්‍රික්කයේ බලරැස් ක්‍රීඩා සමාජය සහ කලෙකට පසුව ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සියනෑතරු ක්‍රීඩා සමාජය තරග කරයි. සියනෑතරු පස්වතාවක් ශූරයන් වී තිබේ. පසුගිය වසරේ ශූරයන් සහ අනුශූරයන් වු කටාන ඒකාබද්ධ සහ නාත්තන්ඩිය යුනයිටඩ් කණ්ඩායම් දෙකට ම මෙවර තරගාවලියේ අවසන් පුර්ව තරගවලට වත් පැමිණිමට නොහැකි වීම විශේෂත්වයකි.

කාන්තා විවෘත අවසන් තරගයට සුපුරුදු පරිදි පුත්තලම දිස්ත්‍රිකය නියෝජනය කරමින් පස් වතාවක් ජනාධිපති රන් කුසලාන ශුරීයන් වූ කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය සහ කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් කැෂුවල් ක්‍රීඩා සමාජය තරග කරයි. වයස අවුරුදු 22 න් පහළ පිරිමි අවසන් තරගය සඳහා කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩා සමාජය සහ පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරමින් නාත්තන්ඩිය ධම්මිස්සර ක්‍රීඩා සමාජය තරග කරයි.

වයස අවුරුදු 22න් පහළ කාන්තා අවසන් මහා තරගය සඳහා පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහ උස්වැව රතනපාල ක්‍රීඩා සමාජය සහ කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් කෑගල්ල ඇලමෝනා ක්‍රීඩා සමාජය තරග කරයි.

සියනෑතරු - බලරැස්

පසුගිය වසරේ නිතරග ජයක් ලබා තෙවැනි ස්ථානය දිනා ගත් බලරැස් ක්‍රීඩා සමාජය, ගම්පහ සියනෑතරු සමඟ අවසන් මහා තරගයට පිවිස සිටියි. මෙවර පිරිමි විවෘත අවසන් පුර්ව පළමු තරගයේ දී මුණ ගැසුනේ බලරැස් ක්‍රීඩා සමාජය සහ දෙබෑගම රන්තරු ක්‍රීඩා සමාජයයි. පසුගිය වසරේ තෙවැනි ස්ථානය සඳහා තරග වැදීමට සුදුසුකම් ලබා ගත්තේ ද මේ කණ්ඩායම් දෙකයි. නමුත් රන්තරු ක්‍රීඩා සමාජය තරගයට නොපැමිණි නිසා බලරැස්ට නිතරග ජයක් හිමි විය.

මෙවර පළමු අවස් පූර්ව තරගයට පිවිසි රන්තරු සහ බලරැස් අතර තරගයෙන් වට 3-1ක් ලෙස ජය ගැනීමට බලරැස් සමත් විය. මෙවර තෙවැනි ස්ථානය සඳහා තරගයට රන්තරු නොපැමිණීම නිසා ආනමඩුව රමිස්් ‍ට්‍රැවල්ස් ක්‍රීඩා සමාජයට නිතරග ජයක් හිමි විය.

පුත්තලම දිස්ත්‍රික්කයේ ආනමඩුව රමිස් ට්‍රැවල්ස් ක්‍රීඩා සමාජයට මෙවර දෙවැනි අවසන් පුර්ව තරගයේදී මුණ ගැසුණේ ගම්පහ සියනෑ කණ්ඩායමයි. එහිදී තරගවට 3-0 ක් ලෙස ජය ගැනීමට සියනෑ තරු ක්‍රීඩා සමාජය සමත් විය.

බලරැස් ක්‍රීඩා සමාජය මෙවර කාලිංග ගයාන්ගේ නායකත්වයෙන් තරග බිමට පිවිසෙන අතර ගම්පහ සියනෑ තරු ක්‍රීඩා සමාජය චාමර මිහිරාන්ගේ නායකත්ව‍ය යටතේ තරග බිමට පිවිසෙයි.

විජය - කැෂුවල්

විවෘත කාන්තා අංශයේ අවසන් මහා තරගය සඳහා කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය සුපුරුදු පරිදි තම ස්ථානය වෙන් කර ගනිද්දී කුරුණෑගල කැෂුවල් කණ්ඩායම අනෙක් පසින් විජය සමඟ තරග වැදීමට නියමිතය. ගෙවී ගිය වසරේ ජනාධිපති රන් කුසලාන අවසන් මහා තරගයට පිවිසි විජය සහ සියඹලාගොඩ කපිල ක්‍රීඩා සමාජය මෙවර මුණ ගැසුණේ පළමු අවසන් පූර්ව තරගයේදීය. එහිදී තරගවට 3-0ක් ලෙස ජය ගැනීමට විජය ක්‍රීඩා සමාජය සමත්විය.

පසුගිය වසරේ තෙවැනි ස්ථානය හිමි කර ගත් රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය පරාජය කළ කුරුණෑගල කැෂුවල් ක්‍රීඩා සමාජය අනෙක් පසෙන් විජය සමඟ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

පසුගිය වසරේ තෙවැනි ස්ථානය දිනා ගත් රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය මෙවරත් එකී ස්ථානයම රැක ගත්තේ පසුගිය වසරේ අනුශූරීයන් වූ කපිල ක්‍රීඩා සමාජය තරග වට 2-0ක් ලෙස පරාජය කරමින්ය.

22න් පහළ පිරිමි

වයස අවුරුදු 22න් පහළ පිරිමි අවසන් මහා තරගයට රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩා සමාජය සහ නාත්තන්ඩිය ධම්මිස්සර ක්‍රීඩා සමාජය සුදුසුකම් ලබා තිබේ. මෙම වයස් කාණ්ඩයේ පළමු අවසන් පුර්ව තරගයට රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩා සමාජය සමඟ පසුගිය වසරේ තෙවැනි ස්ථානය දිනා ගත් සීදුව දවි සමර ක්‍රීඩා සමාජය තරග කළ අතර එහිදී තරග වට 3-2 ක් ලෙස ජය ගැනීමට රාජසිංහ ක්‍රීඩා සමාජය සමත් විය. දෙවැනි අවසන් පුර්ව තරගය සඳහා නාත්තන්ඩිය ධම්මිස්සර ක්‍රීඩා සමාජය සහ පසුගිය වසරේ අනුශුරයන් වූ හුංගම විජයබා ක්‍රීඩා සමාජය තරග කළ අතර එහිදී විජයබා ක්‍රීඩා සමාජය පරාජය කරමින් තරග වට 3-0 ක් ලෙස ජය ගැනීමට ධම්මිස්සර ක්‍රීඩා සමාජය සමත් විය. මේ අනුව තෙවැනි ස්ථානය සඳහා පසුගිය වසරේ අනුශුරයන් සහ තෙවැනි ස්ථානය දිනා ගත් හුංගම විජයබා ක්‍රීඩා සමාජය සහ සීදුව දවි සමර ක්‍රීඩා සමාජය තරග කළ අතර එහිදී තරග වට 2-0 ක් ලෙස ජය ගැනීමට දවි සමර ක්‍රීඩා සමාජය සමත් විය.

රතනපාල - ඇලමෝනා

වයස අවුරුදු 22න් පහළ කාන්තා අවසන් මහා තරගය සඳහා පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහඋස්වැව රතනපාල ක්‍රීඩා සමාජය සහ කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් කෑගල්ල ඇලමෝනා ක්‍රීඩා සමාජය සුදුසුකම් ලබා ගත්තේය. පළමු අවසන් පුර්ව තරගය සඳහා මහඋස්වැව රතනපාල ක්‍රීඩා සමාජය සහ ඇහැළියගොඩ ධර්මපාල ක්‍රීඩා සමාජය තරග කළ අතර, එහිදී රතනපාල ක්‍රීඩා සමාජයට තරග වට 3-0 ක ජයක් හිමි විය.

පසුගිය වසරේ තෙවැනි ස්ථානය දිනා ගත් හුංගම විජයබා ක්‍රීඩා සමාජය සහ කෑගල්ල ඇලමෝනා ක්‍රීඩා සමාජය අතර පැවැති දෙවැනි අවසන් පුර්ව තරගයෙන් ඇලමෝනා ක්‍රීඩා සමාජය තරගවට 3-0 කින් ජය ගැනීමට සමත්විය. තෙවැනි ස්ථානය සඳහා ධර්මපාල ක්‍රීඩා සමාජය සහ විජයබා ක්‍රීඩා සමාජය අතර තරගයෙන් වට 2-0 ක ජයක් විජයබා ක්‍රීඩා සමාජයට හිමි විය.

Comments