ඔබේ ව්‍යාපාරයට හොඳම පොහොර ඔබේ පා සටහන් | සිළුමිණ

ඔබේ ව්‍යාපාරයට හොඳම පොහොර ඔබේ පා සටහන්

 එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාගේ නුවර එළියේ සුන්දර බංගලාව, නුවර එළිය ග්‍රෑන්ඩ් හෝටලය බවට පත්ව, අද ඔන්ඩච්චි පවුලේ ව්‍යාපාරයක් ලෙස ඉදිරියට යන්නේ ඔහුගේ කර මත වූ යම් පමණක වැඩි වගකීමකිනි. එසේම, සිය පියා හැදූ මුල්‍ය සමාගම මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රයේ පියවර ගණනාවකින් ඔසවා තැබුවේ ඊටත් වඩා වැඩි වෙහෙසකර වගකීමක් දරමිනි. සල්ලිය බාගෙ තිබූ පවුලක ඉපදුණද උත්සාහයෙන් සිය මඟ හෙළිකරගත් ජෙරාඩ් ඔන්ඩච්චි විශේෂ චරිතයක් වන්නේ එහෙයිනි.

ඔබේ හෝටලයකට පසුගිය දා විශේෂ ජාත්‍යන්තර ගෞරව නාමයක් ලැබුණා....

ඔව්. CNN Travel වෙබ් අඩවියෙන් අපේ නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලය, ‘Most heritage property’හෙවත් ආසියාවේ හොඳම උරුමයක් ලෙස නම් කළා. මේ ජයග්‍රහණයත් සමඟ සිංගප්පූරුවේ රැෆල්ස්, හොංකොංවල පෙනින්සුලා හා පිලිපීනයේ මැනිලා යන ලොව සුප්‍රසිද්ධ හෝටල් අතරට අපිත් එකතු වුණා. එය අපිට විතරක් ‍නෙවෙයි රටටත් ගෞරවයක්. අවුරුදු 194 ක ඉතිහාසයක් ඇති ග්‍රෑන්ඩ් හෝටලය මීට පෙරත් ලෝකයේ සංචාරය කිරීමට සුදුසු ස්ථානවලින් හොඳම තැනක් ලෙස Nat Geo විසින් නම් කළා.

එතරම් ඉතිහාසයක් තිබෙන ග්‍රෑන්ඩ් හෝටලය කොහොමද ජොර්ජ් ඔන්ඩච්චි, ඔබේ පියාට අයිති වුණේ.....

අවුරදු 26 කට කලින් කොටස් වෙ‍ෙළඳපොළේ සුළු කොටස් ප්‍රමාණයක් මගේ තාත්තා මිලට ගත්තා. එහෙම ටිකෙන් ටික අරන් අද සියයට අසූවකට වඩා කොටස් අයිතිය තිබෙන්නෙ ඔන්ඩච්චි පවුලට.

එතකොට මර්කන්ටයිල් මූල්‍ය සමාගම හැදුවෙ....

1964, මගේ තාත්තා. නවසීය හතළිස් ගණන්වල තාත්තා වැඩ කළේ ඇමෙරිකාවෙ ජෙනරල් මෝටර්ස් ආයතනය හැදු ඕපල් සහ පොන්ටියැක් වාහන ශ්‍රී ලංකාවට ගෙන්වා විකිණු සමාගමක. බොහෝ කලක් වැඩ කරද්දි තාත්තට ඕ‍ෙන වුණා. එයාගෙම දෙයක් කරන්න. ඉතාම උත්සාහයෙන්, හුඟක් මහන්සිවෙලා එදා එයා තමන්ගෙම ව්‍යාපාරයකට ආරම්භයක් ගත්තා.

මේ, තාත්තාගෙන් පුතාට යන ව්‍යාපාරයක් ද....

ග්‍රෑන්ඩ් හෝටල‍ෙය් 90%ක කොටස් අයිතිය අපේ පවුලට අයිති බව ඇත්ත. නමුත් ඒකෙන් කියන්නෑ මේ කිසිම ව්‍යාපාරයක් තාත්තාගෙන් පුතාට යා යුතුයි කියලා. මගෙන් පසු මගේ දරුවන්ට ම යා යුතුයි කියලා. කොටස් අයිතිය පිටට නොදුන්නට, සුදුසුකම් පළපුරුද්ද සහ යහපත් චරිතය මත ව්‍යාපාරයේ ඉහළම තනතුර වුණත් දරන්න පුළුවන් සේවකයො ඉන්නවා නම්, ඒ අයට තැන දෙන්න ඕනේ. මං හිතන්නෙ එහෙමයි.

‘මොන තරම් System හැදුවත් ව්‍යාපරයක් සාර්ථක වෙන්නෙ නම් තමන් ඒ තුළ ඉන්නම ඕ‍ෙන...’ එකඟද ඔබ මේ කතාවට....

කියමනක් තිබෙනවා, ‘Best fertilizer for your Organization is your footprints’ .කියලා. ඒ කියන්නෙ, ඔබේ ව්‍යාපාරයට හොඳම පොහොර, ඔබේ පා සටහන්...,’ එය ගැඹුරු අදහසක්. අඩුපාඩු දකින්න .....සැබෑ තත්ත්වය අවබෝධ කරගන්න.... සේවකයන් හා සබඳතාව ඇති කරන්න. මෙකී නොකී සියල්ල සඳහා ව්‍යාපාරය තුළ ඔබ සිටිය යුතුයි. සිස්ටම්වලට හා අනෙක් අයව විතරක් බාර දිලා හිටියෙ‍ාත් මේ කිසිවක් ඔබට අත්දකින්න වෙන්නෙ නැහැ. ව්‍යාපාරය යන්නෙ අනෙක් අයට ඕ‍ෙන විදියට. ඔබ ඔ‍බේ බිස්නස් එක තුළ සියයට සියයක් ඉන්නා තාක් එය සුරක්ෂිතයි.

ඒත් හොඳ සේවක මඩුල්ලක් ඉන්නවා නම්...

අපිටත් ඉන්නවා බොහොම අවංක දක්ෂ සේවක මණ්ඩලයක්. ඒ අය තමයි ව්‍යාපාරයේ ශක්තිය. නමුත් නායකත්වයේ ආදර්ශය ඔවුන්ට ලැබෙන්නෙ ඔවුන් හා සමඟ වැඩ කරන විදියෙන්. ඒ ආදර්ශය මං ගත්තෙ මගේ තාත්තාගෙන්.

ජෝර්ජ් ඔන්ඩච්චි නම් ඒ දැවැන්තයා, පරිණත ව්‍යාපාරිකයා, දැන් ව්‍යාපාර ගැන බලන්නෙම නැද්ද....

මර්කන්ටයිල් ගෲප් එ‍ෙක් තවම සභාපතිත්වයේ ඉන්නේ ම‍ෙග් තාත්තා.දැන් වයස 85 ක්. තරමක් අසනීපයි. වයස 75 ක් වෙනකල් ඔෆිස් එකට ආවා. දැන් සියල්ලෙන් ඈත්වෙලා.

ඔබට දැනුණු තාත්තා කොහොම නායකයෙක්ද...

තමන් ඉස්සරහට එන ඕනෑම තරාතිරමක සේවකයකුට එයා මුලින්ම කිව්වේ වාඩිවෙන්න ! කියලා. ‘ඒ මනුස්සයා ප්‍රශ්නයක් අරන් මං ළඟට ආවෙ ලොකු විශ්වාසයකින්. මොන තරම් වැඩ තිබුණත් ඒ ප්‍රශ්නෙට සවන්දීම මගේ වගකීමක් ...’ එයා නිතරම කියපු දෙයක්. ප්‍රශ්නවලදි සේවකයන් මඟ හරින එක නායකත්වයට සුදුසු දෙයක් නෙවෙයි කියන එකත්, වැඩ කරන සෑම සේවකයෙක් වෙනුවෙන්ම නායකයා පෙනී හිඳිය යුතුයි. කියන ආදර්ශය මං හොඳින්ම දැක්කෙ මගේ තාත්තාගෙන්.

තාත්තාගෙන් ඔබ ඉගෙන ගත් හොඳම දේ කුමක්ද...

‘people’s person’ කෙනෙක් වෙන විදිය. අපි අපේ මිනිස්සු අතර ගැවසෙන්න ඕනෙ!. තමන්ගෙ නායකයා එක්ක වචනයක් හරි කතා කරන්න හුඟක් සේවකයෝ කැමැතියි. අපිට නැහැ වෙනම විධායක කෑම කාමර. එදා තාත්තා කෑම කෑවෙත් අද මම කන්නෙත් අපේ හැම සේවකයෙක්ම කෑම කන පෙ‍ාදු ලන්ච් රූම් එකේ. ඒකට වැඩ කරද්දි අපි හැමෝම එකයි. තනතුර විතරයි වෙනස. තනතුර වෙනස් කියන්නෙ, කෙනකුට අහංකාර වෙන්න හේතුවක් නෙවෙයි.

කවුද ඔබ කැමැති ව්‍යාපාර නායකයින්...

මං ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කැමැතියි. ඒ ඔහු ජනාධිපති නිසා නෙවෙයි. මීට අවුරුදු විසි අටකට උඩදි එකම දවසක් මට ඔහු ඇමෙරිකාවේදී මුණ ගැහුණා. එදා ඔහු ව්‍යාපාරිකයෙක්. එදා ඔහු කිව්වෙ යම් දෙයක් ඔබට අවශ්‍ය නම් ඒ සඳහා කැපවෙන්න. කැපවෙන්න. කැපවෙන්න. කියලා. ඔබ හීනෙනුත් දකින්න ඕනෙ ඔබේ ඒ අරමුණ විතරයි. ඊළඟ වැදගත් ම දේ තමයි, ඔබ ඒ අරමුණට යෑම සඳහා යොදා ගන්න ඕනෙ අති දක්ෂයින් පමණයි. ඔබට ඉන්න ඕනෙ හොඳම වැඩ කරු‍වො පමණයි. ඔවුන්ට ‍ෙගවන්න වෙන ගාණ වැඩි වෙයි. කමක් නැහැ. හතර ගුණයක් වැඩිපුර ගෙවලා හරි ඔබේ ව්‍යාපාරයට ගන්න ඕනෙ එහෙම මිනිස්සු... ඔහුගෙ මේ කතාව මගේ හදවතේ ගැඹුරුම ලෙස තැන්පත් වුණා.

ඒ කියන්නෙ ඔහු ඔබගේ Role Model...

ඇත්තටම. අපිට සල්ලි තිබුණට, මොළේ තිබුණට, තව ඕනෙ දෙයක් තිබුණට වැඩක් නැහැ, අපි එක්ක වැඩ කරන මිනිස්සු අපිට කැමැති නැත්නම්. මේ මොන දේ තිබුණත් මම මගේ සේවකයන් අතර අකැමැති චරිතයක් වු‍ෙණාත් මොකක්ද එතැන තිබෙන සතුට. මිනිස්සු කැමැති කෙනෙක් වෙන්නෙ කොහොමද කියන එක මං අවුරුදු විසි අටකට උඩදී ඉගෙන ගත්තෙ ට්‍රම්ප්ගෙන්, මං කොයිතරම් එයාගෙ මේ ගුණාංගවලට කැමැති වුණා ද කිව්වොත්, මගේ දෙවැනි දූට තැබුවෙ ඒ කාලෙ එයාගෙ බිරියව සිටි ‘ඉවානා’ ගෙ නම.

හුඟක් ආයතනවල දැන් කැපී පේ‍න්නෙ වැඩකරුවන්ට වඩා ‘රඟන’ අය. මේ ගැන ඔබ මොකද කියන්නෙ...

ඒක ආයතනයක වැටීමට මුලක්. මිනිස්සු තමන්ගෙ නායකයා රවටනවා නම්, ආයතනය රවටනවා නම්, අවසානේ එතැන විනාශ වෙනවා. තමන්ටත් පවතින්න තැනක් නැතිව යනවා. ඊටත් වඩා, මනුෂ්‍යයෙක් හැටියට තමනුත් පිරිහෙනවා. මිනිස්සු ජීවත් වෙන්න ඕනෙත් මැරෙන්න ඕනෙත් තමන් ගැන සතුටකින්. කොහොම වුණත්, වැඩකරු කවුද ‍බොරුකාරයා කවුද කියලා හඳුනා ගන්න නායකයාටත් මොළයක් තියෙන්න ඕනෙ.

අද සමහර මුල්‍ය සමාගම්, විශ්වාසයෙන් සල්ලි දාන තැන්පතුකරුවන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරනවා...

අනුන්ගෙ සල්ලි එක්ක එහෙම කාටවත් සෙල්ලම් කරන්න බැහැ. ශ්‍රී ලාංකිකයො ලක්ෂ ගණනකගේ රුපියල් බිලියන විස්සක තැන්පතු අපේ මර්කන්ටයිල් සමාගමේ තිබෙනවා. 1964 ඉඳලා මිනිස්සු මෙතැනට ආවෙ විශ්වාසයකින්. ඒ විශ්වාසය බි‍ඳෙන දේ කරගෙන, තාත්තා හදපු ගෞරවනීය ව්‍යාපාරය කීයටවත් නැති කරගන්නෙ නැහැ. මේ තමයි අපේ ප්‍රධාන ව්‍යාපාරයත්. ව්‍යාපාරයක අමාරුම දේ නමක් හදාගන්න එක. දෙමවුපියො හදලා දීපු ඒ නමවත් පවත්වාගෙන යන්න දෙවැනි පරම්පරාවට බැරි නම් ඔවුන් අසාර්ථකයි. හැබැයි මගේ තාත්තා මට දුන් දේ, ඒ වගේ කිහිප ගුණයකින් මං වර්ධනය කළා. තමන්ට ලැබුණු බිස්නස් එකක Life story එක දන්නවා නම්, හදන්න වෙච්චි මහන්සිය දැකලා තිබෙනවා නම්, කිසිම දෙවැනි පරම්පරාවකට බැහැ එහෙම හැසිරෙන්න.

එතකොට මොනවද ඔබට තිබෙන සුදුසුකම් ...

මං ඇමෙරිකාවේ ඇරිසෝනා ස්ටේට් යුනිවර්සිටියෙන් උසස් අධ්‍යාපනය ලබපු, සුදුසුකම්ලත් වෘත්තීය ගණකාධිකාරිව‍රයෙක්. අධ්‍යාපනික සුදුසුකම්වලට අමතරව මගේ තාත්තා හැදු බිස්නස් එකේ වටිනාකම දන්නවා. අද වුණත් මගේ බැංකු ගිණුම මං බැලන්ස් කරන්නෙ පුරුද්දක් විදියට.

ඒ කියන්නෙ හැමදේම සතේට ගණන් බලනවා...

මිනිස්සු අවශ්‍ය දේට වියදම් කරන්න ඕනේ. හැබැයි නැති නාස්ති කළොත් දුකේමයි. මං වියදම් කරන‍්නෙ ක්‍රෙඩිට් කාඩ් එකෙන්. ඔබ දන්නවද, වියදම් කරන ඒ හැම බිලක්ම මං එකතු කරනවා. එදා රෑට ඒ බිල් ටික එකතු කරලා, ගිණුම හා සසඳනවා. මේ දේ මං මගේ ළමයි දෙන්නටත් පුරුදු කළා. ළමයකුට වුණත් පුංචි කාලෙ පටන් උගන්වන්න ඕනෙ සල්ලි හම්බ කරන්න දෙමවුපි‍යො වෙන මහන්සිය. හුඟක් අය, අරපිරිමැස්මක් නැතිව වියදම් කරලා හම්බ කරපු සල්ලිවලට අන්තිමේ වෙච්ච දේ දන්නෙත් නැහැ.

ඒ කියන්නෙ ඔබ පුංචි කාලෙ පටන් එහෙමයි...

මං ඉගෙන ගත්තෙ බම්බලපිටිය සෙන්ට් පීටර්ස් කොලේජ් එකේ. ඉස්කෝලෙ යන කාලෙ තාත්තා අපිට පොකට් මනි දුන්නෙ බොහොම පුංචි මුදලක්. මං ඒ දේ පිරිමහගත්තා. ඒ විතරක් නෙවෙයි, මං හැමදාම කැටයක් එකතු කළා. ඒක පිරුණාම තව එකක්. අන්තිමේ මට අවශ්‍ය දෙයක් ගන්න පුළුවන් තරමට ඒ සල්ලි එකතු වුණා. මේවා, අදත් ළමයින්ට උගන්වන්න ඕනෙ හොඳ දේවල්.

පවුලෙ කී වැනියද ඔබ...

වැඩිමලා. මට ඉන්නෙ නංගියි, මල්ලියි. ඇන්ජලින් සහ ට්‍රැවිස්. ඒ කාලෙ අපි පදිංචිවෙලා හිටියෙ හැවුලොක් ටවුමෙ. අහල පහළ ළමයි එක්ක ක්‍රිකට් ගැහුවා. බයිසිකල් පැද්දා, ගෙදර අරලියා ගහට නැඟලා වරු ගාණක් ගහ උඩට වෙලා හිටියා. මේවා තමයි අපේ සෙල්ලම්.

දෙමවුපියන්ගෙන් ජීවිතයට ලැබුණු වටිනාකම් මොනවද...

පවුලක් හැටියට එකට කෑම කන එක. බෙදාගත් කෑම ටික අහක නොදමා කන එක. කාපු පිඟාන හෝදන එක. සපත්තු පොලිෂ් කරගන්න, තමන්ගෙ ඇඳුම් ටික හෝදගන්න.. අම්මා තාත්තා අපිට නියම කළා. ඒවා අපේ ජීවිත පුරුදු බවට පත් වුණා. අතට පයට වැඩට අය හිටියත් මොන සභාපතිකම් දැරුවත් අදත් මගේ ඇඳුම් ‍හෝදාගන්නෙ මම. අයන් කරන්නෙත් මම.

එච්චරද ...

මේ වගේ ලොකු ආයතනයක් පාලනය කරද්දි විනය අංක එක. ලොකුම තනතුර කියලා නැහැ. මගේ චරිතයත් ඒ විනයට යටත්. ඇත්තටම, අනෙක් කාටත් වඩා නීතියට යටත් වෙන්න ඕනෙත්, විනය ගරුකව ඉන්නම ඕනෙත් ඉහළම පුටුවේ ඉන්නෙ මං. ඒ නිසා ආයතනයේ සිස්ටම් එකෙන් පිට පනින්න අනෙක් කාටත් වඩා මට අවසර නැහැ. මොකද, නායකයා පිස්සු නැටුවොත් සේවකයො ඊට වඩා නටාවි. ස්වයං විනයක් ඇතිව ආදර්ශයට ප්‍රමුඛතාව දීලා මෙහෙම ජීවත් වෙන්නත් මං ඉගෙන ගත්තෙ මගේ තාත්තාගෙන්.

මොනවද ඔබට තිබුණු හීන සහ අරමුණු...

ඕ - ලෙවල් ඉවරවුණු දා පටන් මට ඕනෙ වුණේ රස්සාවක් කරන්න. මමම පොඩි මාකටින් රස්සාවක් හොයා ගත්තා. දාඩිය පෙරාගෙන බස්වල ගිය හැටි මට තවම මතකයි. අද වාහනවලම ගියාට අව්වෙ - වැස්සෙ දුක් විඳගෙන වැඩට යන මිනිස්සුන්ගෙ අත්දැකීම මාත් විඳලා තියෙනවා.

ඇයි එහෙම කළේ. ඔබේ තාත්තට ඒ කාලෙත් ලොකු ව්‍යාපාර කිහිපයක්ම තිබුණනේ...

‘කමක් නැහැ. ඔයා එළියට යන්න. ගිහින් දුක ඉගෙන ගන්න....’ තාත්තා කිව්වෙ එහෙමයි. රුපියලක් හම්බ කරන්නත් මොන තරම් මහන්සි වෙන්න ඕ‍ෙනද කියන එක උගන්වන්න තාත්තට ඕ‍ෙන වුණා. මං ඒ විදියට වැඩට යන එක ගැන අම්මයි තාත්තයි දෙන්නම සතුටු වුණා. ඒක කම්පියුටර් විකුණන සමාගමක්. මං කම්පියුටර් විකුණන සේල්ස් රෙප් කෙනෙක්. අවුරුදු දෙකක් මං ඒ රස්සාව කළා.

එතකොට ඔබ ගණකාධිකාරිවරයෙක් වුණේ කොහොමද....

වැඩ කරපු ඒ අවුරුදු දෙකට පස්සේ මං ඇමෙරිකා ගිහින් ඉගෙන ගන්න තීරණය කළා. යුනිවර්සිටියක් හොයා ගත්තා. තාත්තා මට ඉගෙන ගන්න විතරයි සල්ලි දුන්නෙ. මං පාට් ටයිම් ජොබ්ස් හොයා ගත්තා. හොලිවුඩ් නගරයේ කාර් එළෙව්වා. හෝටල්වලට එන අයගෙ කාර් පාක් කරන Valet parking රස්සාව කළා. ඒකෙන් මං මාසෙට හොඳ ගාණක් හම්බ කළා. මට ඒ නගරයත් හුරු වුණා. මාස දෙක තුනක් යද්දි, මගේ සියලු වියහියදම් කරලා, මටම කියලා, පාවිච්චි කළ කාර් එකකුත් ගත්තා. අවුරුදු හයක් මං ඇරිසෝනා සරසවියෙ ගණකාධිකරණය හැදෑරුවා. මං ලංකාවට ආවේ වෘත්තීය සුදුසුකම් හදාගෙන.

එතකොටවත් තාත්තගෙ කොම්පැනියෙ රස්සාවක් ලැබුණාද...

ඔව්. 1994 මර්කන්ටයිල් ගෲප් එකේ සහ ග්‍රෑන්ඩ් හෝටලයේ අධ්‍යක්ෂවරයෙක් විදියට මං අපේ කොම්පැනියෙ රස්සාව පටන් ගත්තා. විවිධ තනතුරු දරමින් වැඩ කළා. තාත්තා විශ්‍රාම ගියාටත් පස්සෙයි,මං මේ ලොකු පුටුවට ආවෙ.

ඔ‍ෙබ් ජීවිතයෙන් කාට හරි ගන්න තියෙන හොඳම දේ කුමක්ද...

ඩිස්ප්ලීන්. මම සියයට සියයක් විනය සලකන කෙනෙක්. හැසිරීමෙදි විතරක් නෙවෙයි අපි කරන කියන සෑම වැඩකදීම පවා මං විනය හොයනවා. රාජකාරියෙදි විතරක් නෙවෙයි ගෙදරදිත් එහෙමයි. අනික, උරුමයක් විදියට ලැබුණු දේ සියයට පනහක් නම්, එය සියයට සියයක් දක්වා ගෙනාවේ විශාල උත්සාහයකින්. ඒ උත්සාහය සාර්ථක වුණේ අපි ටීම් එකක් විදියට කැපවුණු නිසා. මේ කැපවීම, වැයවීම, බෙදාහදා ගැනීම සහ දියුණු කිරීමයි ඔබ මගෙන් ගත යුතු ආදර්ශය.

ජීවිතය විඳින්නේ කොහොමද ...

මං ගීත අහන විඳින කෙනෙක්. ඕනෑම පාටියකදී, ක්ලැරන්ස් ගේ කිමද නාවේ... , සිහින ලොවක් දුටුවා..., නිහාල් නෙල්සන්ගේ ලස්සනට පිපිණු වන මල් ගල්..., මං නොවරදවාම ගයනවා. මොන ප්‍රශ්න තිබුණත් සැහැල්ලුවෙන් ජීවත්වන පුරුද්ද නිසා මට හුඟක් දේ විඳින්න පුළුවන්.

ආගම එක්ක තිබෙන්නෙ කොහොම බැඳීමක්ද...

අපි දහම් පාසල් ගිය ළමයි. අදත් මට සතියට දවස් තුනක්වත් පල්ලියට යන්න ඕනේ. නැත්නම් තනියම යාච්ඤා කරන්න ඕනේ. ඒ යාච්ඤාවලින් මං දෙවියන්ගෙන් යමක් ඉල්ලන්නෙ නෑ. උන්වහන්සේ වෙනුවෙන් මගේ තිබෙන ආදරය හා ගෞරවයයි එතැන තිබෙන්නේ. මං දෙවියන්ගෙන් ඉල්ලනවා නම්, ඒ එක දෙයයි. මරණින් මතු හොඳ තැනකට යන්න විතරයි.

මරණය ගැන හිතන්න වේලාසන වැඩි නැද්ද...

කොහෙත්ම නැහැ. දැන් මට වයස 53 යි. මං මරණය ගැන හිතන්නෙ ළමා කාලෙ ඉඳලා. ව්‍යාපාර, වගකීම් මොනවා දැරුවත් දවසකට සියල්ල දාලා යන්න වෙනවා.

ඔබට දරුවන්ට සමීප තාත්තෙක්ද...

මගේ තාත්තා මට ඉගැන්වූ හැම හොඳ දෙයක්ම මං මගේ දූලා දෙන්නටත් කියා දෙනවා. ඉසබෙල් සහ ඉවානා මගේ දූලා. එයාලගෙ හොඳම යාළුවා මං. පොඩි කාලෙ ඉඳලා නාවලා - කවලා - පොවලා ඇ‍ඟේ කරේ දාගෙන මං ඒ දෙන්නව හැදුවෙ. වයස 11 යි 12යි. ඒ දෙන්නම හැම දේම මා එක්ක කතා කරනවා. ඒ බැඳීම තමයි වැදගත්.

ඉනෝකා පෙරේරා බණ්ඩාර
ඡායාරූප - විමල් කරුණාතිලක

අදහස්