සේනා මර්දනය නොකළොත් රට දුර්භික්ෂයක් අබියසට ? | Page 3 | සිළුමිණ

සේනා මර්දනය නොකළොත් රට දුර්භික්ෂයක් අබියසට ?

දළඹු භීතිය වඩාත් වැඩි වේගයෙන් පැතිරෙමින් ඇත. අප්‍රිකාවේත්, ඉන්දියාවේත් වගාබිම් මුඩුබිම් කළ සේනා දළඹුවා ගැන අම්පාරෙන් වාර්තා වී සති කිහිපයක් පමණි. ව්‍යසනයේ බිහිසුණුකම දැන් ගොවීන්ව සලිත කර ඇත. රටේ ඇතිවී ඇති ව්‍යාකූල දේශපාලන කුණාටුව අතරින් ගිලිහී යන මේ පොළොවේ ජීවත්වන මිනිස්සුන්ගේ සැබෑම ඛේදවචාකය දැන් එළිදැක තිබේ. ඒ රටේ දුර්භික්ෂයක පෙරනිමිති පහළ කරමින් ය. දළඹු සේනාව මේ මොහොත වන විටත් අම්පාරේ බඩ ඉරිඟු වගාව වනසමිනි. බඩඉරිඟු භෝගයෙන් අනතුරුව වී වගා බිම් මේ ආක්‍රමණිකයන්ගේ ගොදුරු වීමට නියමිතය.

මේ වන විට ගොවීහු විකල්වී සිටිති. සේනා දළඹු උවදුරින් වගාව බේරා ගැනිමට ඔවුහු සිතෙන සිතෙන දේ කරමින් සිටිති.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ද මෙම දළඹුවා මර්දනයට සිරුවෙන් සිටින බව කියන්නේ ය. ඔවුහු ගොවීන් දැනුවත් කරමින් නිසි උපදෙස් සිටමින් සිටිති. සේනා දළඹුවා අම්පාරෙන් හමුවන්නේ ඔක්තෝම්බර් 29 වනදා ය. මුලදී ස්ථාන කිහිපයකින් වාර්තා වු දළඹුවා මේ වන විට දිගාමඩුල්ල මිටියාවතේ බඩ ඉරිඟු වගාව වසාගෙන ය. පෙනෙන අයුරින් නම් අප්‍රිකානු මහද්විපික රටවල බඩ ඉරිඟු ගොවියා නැත්තටම නැති කර මේ ව්‍යසනකාරියාට අම්පාර ගොවීන් කිරිකජු ගාන ය.

ගොවීන් මේ උවදුර සම්බන්ධව නිරන්තර සෝදිසියෙනි. කතා කරන සෑම ගොවියෙකුගේ ම මුවින් නැ‍ෙන්නේ අඳෝනාවකි. “අනේ මහත්තයෝ මගේ වගාවෙත් ඉන්නවා. ඔක්කොම විනාසයි”. බොහෝ ප්‍රදේශවල ගොවීන් වැඩිමනත් පිරිසකට මෙම දළඹුවාගෙන් වගා බේරා ගැනිමට නොහැකි වී ඇත.

කෘෂිකර්ම දෙපාර්තම්න්තුව මේ වන විට රසායන ද්‍රව්‍ය ඇතුළු දළඹු මර්දන ක්‍රම රැසක් හඳුන්වාදී ඇත. ව්‍යසනය වන්නේ ගොවීන් ඒ අකාරයෙන්ම ඒ උපදෙස් පිළිනොපැදීමය. ගොවියන් බොහෝ දෙනකුගේ විශ්වාසවන්තම උපදේශකයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විද්වත් වෘත්තිකයන් නොව, කෘෂි රසායන ද්‍රව්‍ය අලවි කරන මුදලාලිලා ය. ක්ෂේත්‍රයේදී අපට හමුවුණේ මුදලාලිලාගේ උපදෙස් රැගෙන අතේ තිබෙන තුට්ටු දෙක වියදම් කරමින් හලාහල විෂ රසායන අවිචාරවත් ව ස්වකීය වගාබිම් වෙත මුදාහරින ගොවීන් ය.

අප දුටු ආකාරයට කෘමිනාශක යෙදූ බොහෝ වගාබිම් වල සිටි දළඹුවෝ මිය ගොස් සිටියහ. නමුත් තැතිගැන්වෙන ඇත්ත වන්නේ සතියක් පමණක් යන විට නැවතත් එ් දළඹුවා එම වගාබිම්වල දක්නට ලැබීම ය. ඌ සුපුරුදු ලෙස වගාව විනාශ කරමින් සිටීම ය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිලධාරියෙක් මෙන්ම පරිසරවේදියෙකු වන තිලක් කන්දේගම පැවසන ආකාරයට වගාවට අළු යෙදීමෙන් මේ දළඹුවා මර්දනය කරගත හැකි ආකාරය පසුගිය දා සංවාදයකට ලක් කළෙමු. එහෙත් වගාබිම් දකිමින් අප අත්දුටු යථාර්ථය වූයේ බොහෝ ගොවීන් නොමිලේ සපයා ගත හැකි අළු වගාවන්ට යොදන්නට සිතාවත් නැති බව ය. අම්පාර වැනි ප්‍රදේශවල ගඩොල් කර්මාන්තය බහුලව තිබෙන නිසා දහයියා අළු සුලබ ය. එසේත් නැති නම් කෘෂිකාර්මික අම්පාරේ සුලබ දහයියා අවශ්‍ය ප්‍රමාණයක් සොයාගෙන අළු සකස් කරගැනීම අසීරු කටයුත්තක් නොවේ. මේ තරම් විශ්වාසයකින් කියන නිසා හෝ එය අත්හදා බැලීමේ නැමියාවක් ගොවීන් අතර ඇති බව අපි නොදුටුවෙමු. ණය වී හෝ කෘෂි රසායන ඉසින්නට මේ මිනිසුන් සූදානම් ය. ඔවුන් ව මානසික ව මේ කෘෂි වස විස උගුලේ එපමණට ම ගිල්වා තිබේ.

පහසුව හා ඉක්මන් ප්‍රතිඵල අපේක්ෂාවෙන් කරන මේ අවිචාරවත් විෂ භාවිතයෙන් සමස්ත ජීව පද්ධතියට සිදුවන හානිය ඔවුන් තුට්ටුවකට සලකන්නේ නැත. බහුතරයක් ගොවීන් මේ වන විට තම වගාවන් සඳහා යොදන්නේ අධික විෂ සහිත රසායන ද්‍රව්‍ය ය. අප දෑසින් දුටු පරිදි ඔවුන් එම විෂ වගාවන්ට යොදන්නේ කිසිදු ආරක්ෂක උපක්‍රමයක් අනුගමනය නොකර ය. ඔවුන් ණයට වගා කළ සිය වගාබිම් බේරා ගන්නට අරගලයක ය. වගාව විනාශ වුවොත් දරු පවුල බඩගින්නේ ය. මේ මිනිසුන් අසරණය. නමුත් අවසානයේ සිදුවී ඇත්තේ ඉරිඟු වහ වීමය. මේ කන්නයේදී ආශාවකට හෝ පුංචි දරුවකුට වෙනදා මෙන් විශ්වාසයකින් බඩ ඉරිඟු කරලක් කන්නට දෙන්නට හැකියාවක් නැත.

එක් ගොවියෙක් අප සමඟ මෙසේ කීය. “මහත්තයො... මේවා අපි කන්නේ නැහැනේ... මේවා සත්ව ආහාර වලටනේ යවන්නේ. ඒක නිසා මොනා ගැහුවත් කමක් නැහැ.” බොහෝ ගොවීන්ගේ අදහස එය ය. නමුත් තියෙන්වෙන් සත්ව ආහාර වලට යන ඉරිඟු අනුභව කරන සතුන්ගේ මාංශ බොහෝ විට අපේ කුස්සියේත් ඉදෙන බව සිතන්නට තරම් මේ මිනිසුන් විචක්ෂණ නැත.

“ බඩඉරිඟු වගාව ඉවරයි. දැන් උන් මගේ උක් වගාවටත් ඇවිල්ලා ඉන්නවා.” ගුරුවරයකුවන මඩාන අබේසිංහ බණ්ඩාර ගුරුකමට අමතරව කළ ඔහුගේ ගොවිකමට අත්වී ඇති දශාව අපට කීවේ එසේය. ඔහු වගාවෙන් කොටසකට දහයියා අළු යොදා තිබුණේ ඉන් දින කීපයකට පසු ය. අළු ගැසූ කොටසින් දළඹුවා ඉවත් වී තිබිණි. අළු වගාවන්ට යෙදු කීපදෙනෙක් ඉන් ලද යහපත් ප්‍රතිඵල දන්වා සිටියහ. “ ඇත්ත තමයි... අළු ගැහුවාම දළඹුවා එන්නෙ නෑ...”

ලබන සුමානයෙන් පසු ලෝක විනාශය වන්නේ නැත. මේ වගා කරන්නේ අවසන් කන්නය නොවේ. එළැඹී ඇති උවදුරට විවෘත මනසකින් මුහුණ නොදෙන්නේ නම් සිදුවිය හැකි ව්‍යසනය තක්සේරු කළ හැකි එකක් නොවනු ඇත.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

සේනා දළඹුවා හා සලබයා මර්දනය කිරීමට කෘමිනාශක වර්ග 3 ක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි නිර්දේශ කර තිබේ.

1 Proclaim – Emamectin benzoate - ග්‍රෑම් 4 ක් ජලය ලීටර 10 ට මිශ්‍ර කර ඉසීමට

2. Spinoperam – radiant – 25%WG - ග්‍රෑම් 3 ක් ජලය ලීටර 10 ට මිශ්‍ර කර ඉසීමට

3 Coragen – chlorantranilliprole 200g - මිලි ලීටර 3 ක් ජලය ලීටර 10 ට මිශ්‍රකර ඉසීමට

මේ කෘමිනාශක වර්ග තුන සේනා දළඹුවා සිටින වග තහවුරු වූ පසු දින 7 වරක් මාරුවෙන් මාරුවට යෙදිය යුතුය. එක ම කෘමිනාශකය නැවත නැවත භාවිත නොකළ යුතුය. සේනා දළඹුවා එම කෘමිනාශකයට හුරුවීමේ සුවිශේෂී සහජ හැකියාවක් ඇති පළිබෝධකයෙක් බැවිනි. විශාල වශයෙන් භෝග වගා කර ඇති බිම්වලට මෙන්ම කුඩා වගාවන්ටත් මේ කෘමිනාශක වර්ග 03 ඉසීම කළ යුතුය. එයට හේතුව කුඩා වගාබිම් ආවරණය නොකළහොත් නැවතත් මේ දළඹු වසංගතය පැතිරීමට ඉඩකඩ ඇති බැවිනි.

Comments