ලෝකයේ පළමු වරට අලි ලවා ගුවන් යානා ඇද්දවූ පාලාවි රාජකීය ගුවන් කඳවුර | සිළුමිණ

ලෝකයේ පළමු වරට අලි ලවා ගුවන් යානා ඇද්දවූ පාලාවි රාජකීය ගුවන් කඳවුර

ගුවන සිසාරා ආ ගුවන් යානය ධාවන පථයට ගොඩ බස්සනවාත් සමඟම මඳ ගැස්මක් ඇති විය. නියමුවා සිතුවාට වඩා ධාවන පථයේ දුර ඇදී ගිය යානය ධාවන පථයෙන් එළියට ඇදී ගියේ ය.

එම ගුවන් තොටුපළේ ධාවන පථයෙන් බාහිර බිම් ප්‍රදේශය වැසි කාලවලදී සැමවිටම තෙත් සහිත මඩ ගොහොරුවක ස්වභාවයක් උසුලයි. ධාවන පථයෙන් බැහැර වූ යානය යළි ධාවන පථයට ගැනීම පසෙක තබා යානයෙන් ආ පිරිස යානයෙන් ගොඩ බස්වා කැඳවා ගෙන යන්නට විය.

හදිසියේම යානයේ පිරිසට දක්නට ලැබුණේ යානය දෙසට එන දැවැන්ත වන අලියෙකි. යානයෙන් බැසගත් සුදු ජාතිකයෝ හිස් ලූ ලූ අත දිවූහ. ඇතැමෙක් ගුවන් යානයටම යළි ගොඩවූහ.

එහෙත් එහි පැමිණි ගුවන් තොටුපළේ සේවය කළ තවත් සුදු ජාතිකයෙක් ඔවුන්ට බිය නොවන ලෙස දැන්වූ හෙයින් පැමිණි පිරිස පසෙකට වී බලා සිටියහ. දැවැන්ත වන අලියා සමඟ පැමිණ ඇත් ගොව්වා ඇතුළු පිරිස අලියාගේ බඩ මැදින් හා පිට දෙපසින් දැවැන්ත නැව් කඹයක් ගැට ගසා එහි දෙකෙළවර ගුවන් යානයේ දෙපසට ගැට ගැසූහ. ඒ කඹ දෙක එක් නොවන සේ මැදින් දිග ලීයක් ද රඳවන ලදී.

සුදු ජාතිකයෝ අන්දමන්දව බලා සිටියහ. ‘ෆිෆි.. රායිට්...’ කියූ සැණින් අලියා යානය ද ඇදගෙන ධාවන පථය දිගේ ඉදිරියට ගියේය. යානය යළි ධාවන පථයට පැමිණි පසු ‘ෆිෆි’ නැව් කඹයෙන් නිදහස්ව යනු සුදු ජාතිකයෝ බලා සිටියහ‍.

ලෝක ඉතිහාසයේ අලියෙක් මඟින් ගුවන් යානා ඇද දුන් පළමු අවස්ථාවයි ඒ. කාල වකවානුව නිවැරැදිව කියන්නේ නම් දෙවන ලෝක යුද සමය හෙවත් 1942 වසරයි. මේ අද්භූත දසුන දුටු රොබට් ටේලර් නම් සුදු ජාතිකයා එය චිත්‍රයට නැඟීය.

අප මේ කතා කෙළේ 1942 වසරේ පුත්තලමට නුදුරු පාලාවි රාජකීය ගුවන් හමුදා කඳවුරේදී වූ සිදුවීමක් ගැනය. එදා අලින්ට මේ කඳවුරේ යහමින් වැඩ රාජකාරි තිබුණි. අලින් කොට ඇදීමට පෙරහරේ යාමට අමතරව සිදු කළ මේ කාර්යය ගැන දන්නේ ඉතා සීමිත පිරිසක් නිසා අපි ඒ ගැන සොයා පාලාවි ගුවන් හමුදා කඳවුර වෙත ගියෙමු.

අද අක්කර 308 කට සීමා වී ඇති පාලාවි ගුවන් හමුදා කඳවුර ලෝක යුද්ධ සමයේ අක්කර දහසකට අධික භූමි ප්‍රමාණයකින් සමන්විතව තිබී ඇත. වර්තමානයේ ගුවන් හමුදාව සතුව ඇති පාලාවි කඳවුර 1942 වසරේ (ලෝක යුද්ධ සමයේ) බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ‘HMS රාජාලියා’ හෙවත් රාජකීය නාවික ගුවන් හමුදාව නමින් හඳුන්වා ඇත. මෙම රාජකීය නාවික ගුවන් හමුදාව ගුවන් යානා පුහුණුවීම් හා ගුවන් යානා නැවතුම් අංගනයක් ලෙස ද ක්‍රියා කර ඇති බව පාලාවි ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරි වින්ග් කමාන්ඩර් නිශාන්ත ප්‍රියදර්ශන මහතා පවසයි.

‘1942 අවුරුද්දෙ පෙබරවාරි 01 වැනිදා බ්‍රිතාන්‍ය ජාතිකයින් මේ කඳවුර ස්ථාපිත කර තිබෙන්නේ විශේෂ බල ගණයක් ලෙසයි. රාජකීය නාවික ගුවන් හමුදාව ලෙස මෙය හඳුන්වා ඇත්තේ එකල නාවික කටයුතු සම්බන්ධව ද මෙහි කටයුතු සිදුකර තිබූ නිසයි. මුහුදු සීමාවන්ට ගොස් ඔත්තු බැලීම ගුවන් යානා ප්‍රවාහන නෞකා කටයුතු ආදිය සම්බන්ධ මෙහිදී සිදුකර තිබෙනවා.

1945 වසරේදී මෙම කඳවුර අත හැර දමන්නට බ්‍රිතාන්‍ය ජාතිකයන් කටයුතු කර තිබෙන අතර ඔවුන් මේ කඳවුර මෙරට භාරකාරත්වයට පත්කර තිබෙනවා. එ‍තැන් පටන් සිවිල් ගුවන් සේවා අධිකාරිය යටතේ තිබූ මේ කඳවුර 2000 වසරේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බාර දී තිබෙන්නේ එකල තිබූ යුද වාතාවරණය උදෙසා සංග්‍රාමික වශයෙන් තිබූ අවශ්‍යතාවයන් නිසයි.

එදා සිට අද දක්වාම ශ්‍රී ලංකා ගුවන් හමුදාව යටතේ මේ කඳවුර පාලනය වනවා. වින්ග් කමාන්ඩර් නිශාන්ත ප්‍රියදර්ශනයි ඒ.

මේ ගුවන් හමුදා කඳවුර ඉතිහාසගත වන්නේ අලි ඇතුන් ලවා ලෝකයේ ප්‍රථම වරට ගුවන් යානා ඇදගෙන යාම සම්බන්ධයෙනි. ඒ පිළිබඳව අපට අදහස් දැක්වූයේ වින්ග් කමාන්ඩර් නිරෝෂන් වික්‍රමසිංහ මහතායි.

“බ්‍රිතාන්‍ය ජාතික හමුදාවන් භාවිත කළ මේ ගුවන් කඳවුර ස්ථාපිත කර තිබෙන්නේ පුත්තලම ප්‍රදේශයේ මුහුදු මට්ටමින් ඉහළින්ම පිහිටි භූමියේ. පුත්තලම ප්‍රදේශයට වර්ෂාව ලැබුණ විට බොහෝ තෘණ භූමි මඩ සහිත ස්වභාවයකින් යුක්ත වෙනවා. මේ කඳවුර පිහිටි පාලාවි ප්‍රදේශයන් එහෙමම තමයි. මේ නිසා වැසි කාලයට ගුවන් යානා ධාවන පථයෙන් එළියේ පිහිටි භූමිය මඩ සහිත ස්වභාවයක් ගන්නවා. යම් හෙයකින් ගුවන් යානයක් ධාවන පථයෙන් පිටතට ගියහොත් යළි ධාවන පථයට ඇදගෙන ඒමට අලි ඇතුන්ගේ උපකාර ලබාගෙන තිබෙනවා.

එවන් ක්‍රමයක් ලෝකයේ භාවිත කර තිබෙන්නේ ප්‍රථම වතාවටයි. විශේෂයෙන් ම මේ සඳහා ‘Fiffi’ (ෆිෆි) නමින් හඳුන්වා ඇති අලියා විශේෂ පුහුණුවක් මෙන් ම දස්කමක් දක්වා තිබෙනවා.

මේ අංගණයේ ගුවන් යානා 150 ක් පමණ වරකට ගාල් කර තිබෙන බව ද වාර්තා වනවා. විශේෂයෙන් ම ගුවන් යානා පුහුණු කරවීම සඳහා මේ කඳවුර යොදා ගෙන තිබෙනවා. යුද සමයේදී කොළඹ ‘රේස් කෝස්’ පිටියේ හා රත්මලානේ ගුවන් හමුදා කඳවුරුවලට අමතරව සහායක ගුවන් යානා සැපයීම් කඳවුරක් ලෙසද මෙය පවත්වාගෙන ගොස් තිබෙනවා. එසේම ප්‍රහාරක යානා පුහුණුවීම් සඳහා ද මෙම කඳවුර භාවිත කර තිබෙනවා.

එකල කඳවුරේ මායිම් ලෙස පුත්තලම කලපුවත්, කොළඹ,- පුත්තලම මාර්ගයත්, පුත්තලම - කුරුණෑගල මාර්ගයත් සඳහන් වනවා. නිලධාරීන් 140 ක් සහ සෙසු නිලයන් 1635 ක් මේ කඳවුරේ සේවය කර තිබෙන අතර කඳවුරේ ශ්‍රී ලාංකික සිවිල් පුරවැසියන් 240 ක් සේවය කර තිබෙනවා.

ගුවන් කඳවුරේ ධාවන පථය යකඩ මිශ්‍රිත පටි ඔබ්බවා සකස් කරන ලද්දක් බවටත් අපට පැහැදිලි වනවා. ධාවන පථයේ තිබූ එම යකඩ පටි මේ වනවිට ඉවත්කර තිබෙන නමුත් ඒවායේ සලකුණු තවමත් දක්නට තිබෙනවා. ධාවන පථය නිර්මාණය කර ඇත්තේ දැඩි කම්පනයන්ට ඔරොත්තු දිය හැකි ලෙසයි.

අලින්ගෙන් ගුවන් යානා පමණක් නොව වතුර බවුසර් පවා ඇදගෙන ගොස් ඇති බවට සාධක තිබෙනවා. ලංකාවට විතරක් නෙමෙයි ලෝකෙටම ඉතිහාසගත වන සිදුවීම් රැසක් මේ රාජකීය නාවික ගුවන් හමුදා කඳවු‍රෙන් සිදුවී තිබෙනවා.

විශේෂයෙන් ලෝක යුද සමයේ මැලේරියා රෝගය සඳහා පර්යේෂණ මධ්‍යස්ථානයක් පවා මේ තුළ ස්ථාපිත කර තිබෙනවා. ඊට අමතරව 60 දෙනකුට නේවාසිකව ප්‍රතිකාර ලබාගත හැකි රෝහලක් කඳවුර තුළ ස්ථාපිත කර තිබෙනවා. ගුවන් යානා ඇදගෙන යාමේ විශේෂ හැකියාවක් තිබුණ ‘ෆිෆි’ අලියා නත්තල් සමයේදී සරසා කඳවුර පුරා යැවීමේ සිරිතක් එකල පැවත තිබෙනවා.

අලි ඇතුන් ලවා ගුවන් යානා ඇද්දවීම් නරඹන්නට එකල බ්‍රිතාන්‍ය නාවික ගුවන් නිලධාරීන් සෙබළුන් පමණක් නොව සුදු ජාතිකයන්ගේ වෙනත් සේවක සේවිකාවන් ද දැඩි උනන්දුවක් ආසාවක් දක්වා තිබෙනවා. ඒ පිළිබඳ සිතුවම් පවා නිර්මාණය කර ඇත්තේ එනිසයි. වින්ග් කමාන්ඩර් චන්න පේදුරුහේවා මහතා පවසන්නේ මුහුදු මට්ටමේ සිට අඩි 72 ක ඉහළින් දිගින් අඩි 3300 ක් හා පළලින් අඩි 90 කින් යුක්තව මේ ධාවන පථය ඉදිකර ඇති බවයි.

මැති ඇමැතිවරුන‍්ගෙන් සමන්විත දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම්වලදී යළි ධාවන පථය ඉදිකිරීමට සැලසුම් කර තිබෙන අතර එහිදී ධාවන පථය අංශක 10 ක් දකුණට වන්නට ස්ථාපිත කර කිලෝමීටරයක් පමණ පසුපසට ගැනීමටත් සැලසුම් කර තිබූ බවත් එය තවමත් ක්‍රියාත්මක නොවීම කනගාටුදායක බවත් ඔහු පෙන්වා දෙයි. ලෝක යුද්ධ සමයේ විදුලි ජනක යන්ත්‍ර සවිකර තිබූ විදුලි ජනක යන්ත්‍ර නිවෙස් (Generator house) අදත් දැඩි සවි ශක්තිමත් බවින් යුක්ත සවි කිරීම් යකඩ කැබැලි දක්නට ඇත. ඒ අසලම ඇත්තේ එම විදුලි ජනක යන්ත්‍ර සිසිල් කිරීම සඳහා ස්ථාපිත කළ ජල තටාකයන්ය. අපේ ඉතිහාසයේ බොහෝ තැන් අප නොදැනුවත්ව වැළලී යන්නේ ය. පලාවි ගුවන් හමුදා කඳවුර ද එසේ වන්නට පුළුවන.

ලෝකයේ ම ප්‍රථම වරට අලි ඇතුන් ලවා ගුවන් යානා ඇද්දවූ මැලේරියා පර්යේෂණ ගුවන් හමුදා කඳවුරක් ස්ථාපිතව තිබූ මෙහි අතීතය වැළලී යාමට ඉඩ නොදිය යුතු ය.

1945 දී රාජකීය ගුවන් හමුදා කඳවුර මෙරට සිවිල් ගුවන් සේවාවට බාර දීමේදී කඳවුරේ සිටි සිවිල් සේවකයින් සියලු දෙනාම එකතු කර ‘ගුවන්ගම’ නමින් ගම්මානයක් ස්ථාපිත කර එහි පදිංචි කළ බව සඳහන්ය.

එම ‘ගුවන්ගම’ අදත් එහි දක්නට ඇත. ගුවන් හමුදා කඳවුර අත්හැර දමා සිවිල් පරිපාලනයට බාරදුන් පසුව නුදුරින් පිහිටි සිමෙන්ති කම්හලේ උස් ‘චිමිනි’ දෙකක් ස්ථාපිත කර ඇති අතර එම නිසා අද ගුවන් යානා ගොඩබැස්සවීමට නොහැකි වී ඇත.

රටක ඓතිහාසික ස්ථානයක අනන්‍යතාවය ගැන නොසලකා කටයුතු කිරීම නිසා මෙවන් අභාග්‍යසම්පන්න තත්ත්වයක් උද්ගතව ඇත. වර්තමානයේ ගුවන් හමුදා කඳවුර බෝම්බ නිශ්ක්‍රීය අංශය මෙන්ම රේඩාර් තාක්ෂණික අංශයන්ගෙන් ද සමන්විත ය. නිලධාරීන් 24 දෙනකු සහ සෙසු නිලයන් 700 ක් හා සිවිල් සේවකයන් 58 ක් පමණ පිරිසක් මෙහි සේවය කරති. ධාවන පථය තවමත් ලෝක යුද සමයේ නටබුන් වූ ආකාරයෙන්මය. ගුවන් යානා අංගණ කරා ගෙන ගිය බාහිර ධාවන ගුවන් පථ ද තිබූ අයුරින් ම දක්නට ඇත.

එමෙන් ම බ්‍රිතාන්‍ය ජාතිකයින් වෙඩි තැබීමේ යුද පුහුණුව ලැබූ වැලි ගෙයක් (වැලිගේ) තවමත් ඉතා හොඳ තත්ත්වයේ දක්නට ඇත. එහි වැලි පුරවා වෙඩි තැබීම සිදුකර ඇති අතර එමඟින් ඉලක්ක පහසු කර ගැනීමටත් වෙඩි උණ්ඩ නිසා වන හානි වළක්වා ගැනීමටත් හැකිව තිබේ.

බ්‍රිතාන්‍ය ජාතිකයින් මෙරට පාලනය කළ සමයේ නටබුන්ව ගිය තවත් බොහෝ දේ මේ තුළ සැඟව ඇත. විශේෂයෙන් ම ගුවන් යානා රැසක්ම පොළොවේ හංගා ඇතැයි ද ජනතාව අතර මතයක් පවතින්නේ ඔවුන්ගේ මුතුන් මිත්තන් විසින් එම කරුණු දක්වා ඇති හෙයිනි. එපමණක් නොවේ පසුගිය කාලයේ භූගතව තිබී හමුවූ යකඩ - තඹ මිශ්‍රිත රැහැනක් අධික ‍මිලකට අලෙවි කර ගැනීමට ද හැකියාව ලැබී ඇත.

එකල වාහන සේවා කිරීම පිණිස භාවිත කළ ස්ථානයක් ද අදත් ඉතා හොඳ තත්ත්වයේ පවතී. ඒ සියල්ල ක්‍රමයෙන් අභාවයට යමින් පවතී. රටක අනන්‍යතාව තහවුරු වන්නේ ඒ රටේ අතීත සිද්ධි දාමයන් වර්තමානය හා ගලපා ගතහොත් පමණි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවා වසර 100 කට වඩා පැරැණි ගොඩනැගිලි සංරක්ෂණය කරනු ලබන්නේ එහෙයිනි. වසර 80 කට ආසන්න කාලයක් වයසැති බොහෝ දේ කඳවුර තුළ ඇත. ඒවායේ පුරාවිද්‍යාත්මක වටිනාකම රැකගෙන අනාගතය කරාගෙන යාම සැමගේ වගකීම වන්නේ ය. ඒ සඳහා අවශ්‍ය උපරිම පහසුකම් ලබාදීමට ගුවන් හමුදාව සූදානම්ව සිටී. අවශ්‍ය වන්නේ වගකිව යුත්තන්ගේ ඇස යොමුවීම පමණි.

සේයාරූ - විමල් කරුණාතිලක

අදහස්