නව බදු සහන නිසා කෘෂි හා ව්‍යාපාර ක්ෂේත්‍රයේ ලොකු පිබිදීමක් ඇති වනවා | සිළුමිණ

නව බදු සහන නිසා කෘෂි හා ව්‍යාපාර ක්ෂේත්‍රයේ ලොකු පිබිදීමක් ඇති වනවා

ආර්ථික සේවා ගාස්තුව හා රඳවා ගැනීමේ බදු අඩු කිරීම ව්‍යාපාර සංවර්ධනයට විශාල රුකුලක් වන බව කොළඹ දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයේ සභාපති ආචාර්ය අමිල කංකානම්ගේ මහතා ප්‍රකාශ කරයි.

මේ රටේ ව්‍යාපාර, වෙ‍ෙළඳාම තුළ ඇති වී තිබෙන තත්ත්වය කුමක්ද?

කියන්නට කනගාටුයි, පසුගිය වසර තුන ඇතුළත මේ ව්‍යාපාරික ලෝකය බිඳ වැටුණා. වෙළෙඳාම ඇණ හිටියා. එහි නිරත වුවන් අවතැන් වෙලා කිව්වොත් නිවැරදියි.

ඔබ කියන ආකාරයට එසේ වීමට හේතුව කුමක්ද?

මුළු රටේම, සෑම අංශයකම වසර 2015 ඉස්සර මහා විශාල පිබිදීමක්, සංවර්ධනයක් තිබුණා. රටේ පැවැති මහා විනාශකාරී යුද්ධය රණ බිමේදී පරාජයට පත් කළේ 2009 දියි. එදාටත් පෙර 2005 සිට මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් රටේ රණබිමේ සංග්‍රාමයත්, රටේ යටිතල හා ආර්ථික පහසුකම් සංවර්ධනයත් සිදු වුණා. මේ අන්දමට වැඩ බිමක් ව තිබු රට මුඩු බිමක් බවට පසුගිය තුන් අවුරුද්දේ පත් වුණා. ඒක තමයි, වෙ‌ෙළඳාම ඇතුළු ආර්ථික අංශයේ බිඳ වැටීමට හේතුව.

වසර තුන හමාරක කාලය තුළ රටේ විවිධ ක්ෂේත්‍රවල සංවර්ධනයක් සිදු වුවත්, ඒ පිළිබඳව හරි හැටි ජනතාව දැනුවත් කිරීමක් සිදු වුයේ නැත කියා ඇතැමුන් කියනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?

ඒ අය කියන සංවර්ධනයක් ගැන අපටත් දැනුවත් බවක් නැහැ. මම එකක් පැහැදිලිව කියන්නම්, ඔබට මතක ඇති එදා 2015 දී බලයට ආ අය කිව්වේ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වී ගබඩා කරනවා. එය වී ගබඩාවක් බවට පත් කරනවා කියලා. ඔව්! ඔවුන් කී විදිහටම එදා එහි වී ගබඩා කළා.

එදා වී ගබඩා කරන්න තරම් රටේ වී තිබුණා. දැන් මොකද! වෙලා තියෙන්නේ, 2017 රටේ සහල් අවශ්‍යතාවයෙන් සියයට 42 ක් පිටරටින් ගෙන එන තැනට වැඩ සිදු වී තිබෙනවා. ඒ කියන්නේ 2015 රටේ ඇති තරම් සහල් තොග තිබුණා. අවුරුදු තුන හමාරයි ගියේ පිටරටින් හාල් ගේන්නේ නැතිව ජනතාවට කන්න විදිහක් නැතිවී තිබෙනවා. ඒක තමයි ජනතාව දන්න සංවර්ධනය. නමුත්, ඔවුන් කියන ජනතාව දැනුවත් කළ යුතු සංවර්ධනයක් ඇති වුණාදැයි සැක සහිතයි.

වත්මන් ආණ්ඩුව කඩිනම් සහන මල්ලක් ගොවිතැනට, ව්‍යාපාරිකයින්ට හා සාමාන්‍ය ජනතාවට ලබා දුන්නා. මෙය රටේ වර්තමාන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට රුකුලක් වෙයිද?

ඇත්තටම, මේ ලබා දුන් බඳු සහන හා දිරිදීම් වලින් මුළු ප්‍රශ්නයට ම විසඳුම් ලැබෙයි කියා අප සිතන්නේ නැහැ. නමුත්! තරමක් දුරට හෝ බිඳ වැටී, අඩපණ වී තිබෙන ව්‍යාපාර, වෙ‍ෙළඳාම දියුණු වෙන්න මෙය බලපායි. ඒ වගේම සුළු හා මැදි පරිමාණ කෘෂි ක්ෂේත්‍රයේ නිරත ආහාර සැකසුම් කර්මාන්තශාලා හිමියන්ට තමන්ගේ ව්‍යාපාර අවුරුදු පහක් ආදායම් බද්දෙන් නිදහස් කිරීම නිසා යම් සහනයක් ලැබෙයි. පොලී ආදායම මත රැඳවා ගැනීමේ බද්ධ අහෝසි කිරීම හොඳයි... ගමේ මරණාධාර සමිතියේ ගිණුමෙන් ඒ බද්ධ ගැහුවා.

අපේ රටේ තොග හා සිල්ලර වෙ‌ෙළඳාමේ නිරත වී සිටින අයට ලැබෙන වාසිය කුමක්ද?

මෙයින් ලොකු වාසියක් ලැබේවි

පසුගිය රජය සීයයට 0.25 ක් වූ ආර්ථික සේවා ගාස්තුව සියයට 0.50 දක්වා වැඩි කළා. ඒ ව‍ාගේම රඳවා ගැනිමේ බදු නිදහස් සීමාව කාර්තුවකට රුපියල් මිලියන 12.5 ක් කළා. මේ වාගේ දෙපැත්තකින් බදු පීඩනය ජනතාවට එල්ල වන විට, වෙළඳාම බිඳ වැටුණා. තොග වෙළඳාම කඩා වැටුණා. සිල්ලර වෙළඳාමට කණකොකා හැඬුවා. මේ සඳහා රටේ ව්‍යාපාරික ප්‍රජාව නිතරම අරගල කළා. වහාම බඳු සහන ලබා දෙන්න කියා.

ඒ දේ ඉකුත් රජය සිදු කළාද?

ඔවුන් ඒ දේ ඉටු කළේ නැහැ. එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කළායින් පසු එතුමා වහා මැදි පරිමාණ ව්‍යාපාරිකයින්ට බදු සහන දෙන්න යෝජනා කළා. ඒ අනුව වෙළඳාමේ නිරත අයගෙන් අය කරන රඳවා ගැනීමේ බදු නිදහස් සීමාව රුපියල් මිලියන 12.5 සිට රුපියල් මිලියන 50 දක්වා වැඩි කළා.

ඒ තුළින් ආර්ථිකයේ යම් පිබිදීමක් සිදු වෙයිද?

ඔව්! අනිවාර්යෙන්ම තොග හා සිල්ලර වෙළඳාමේ යෙදී සිටින අය අතර ප්‍රබෝධයක් ඇති වෙනවා. පිටරටින් බඩු ගෙනවිත් මෙහේ විකිණීමෙන් පමණක් ආර්ථිකයේ තිරසාර දියුණුවක් අත් වෙන්නේ නැහැ.

රටේ තිරසාර ආර්ථික දියුණුවට කළ යුත්තේ කුමක්ද?

අපි දේශීය වශයෙන් ‍මෙහේ නිපදවිය හැකි සෑම ආහාර ද්‍රව්‍යයක්ම අපි රටේ වවන්න ඕනෑ. අපි පිටරටට ආහාර ගෙන්වීමට කරන වියදම් අඩු කරගන්න ඕනෑ. ඒවාගේම දේශීය කර්මාන්ත, අපේ සාම්ප්‍රදායික අපනයන, කෘෂි අපනයන වැඩි වැඩියෙන් පිට රටවලට යවන්න ඕනෑ දිරිදීම් ගොවියාව, ධීවරයාට, ව්‍යාවසායකයාට ලබා දෙන්න ඕනෑ. එයට මේ රටේ යම් ආරම්භයක් ඇත. ඒකට අපේ සතුට ප්‍රකාශ කරනවා.

අදහස්