BOLLYWOOD & HOLLYWOOD | සිළුමිණ

BOLLYWOOD & HOLLYWOOD

දීපිකා වාසගම වෙනස්කර ගනියිද?

රන්වීර් සිං සමඟ විවාහ ජීවිතය ඇරැඹූ දීපිකා පදුකෝන්, ඉදිරියටත් තමන්ගේ සුපුරුදු වාසගම භාවිතා කරයිද, නොකරයි දැයි සමහරු විමසන්නට පටන් ගත්තා.

මීට කලින් විවාහවූ බොලිවුඩ් නිළි පරපුරේ රැවැත්තියන් ස්වාමි පුරුෂයන්ගේ වාසගම් තමන්ගේ නමට අගින් හෝ මැදින් යොදාගත් නිසයි, ඒ පැනය මතුවුණේ. මෑතකදී විවාහ වූ සෝනම් කපූර්, විවාහයෙන් පසුව සෝනම් කේ‍. අහුජා ලෙස නම වෙනස්කර ගත්තා. ඊට පෙර විවාහවූ ප්‍රීටි සින්ටා, ප්‍රීටි ජී. සින්ටා ලෙස වෙනස් වුණා.

එහෙම නම් දීපිකා ගේ වාසගමට තවත් වාසගමක් එක්වේවිද? එවැනි වෙනසක් කරන්න දීපිකාගේ අදහසක් නැතිලු. ඉන්දියාවේ ප්‍රසිද්ධ අංක විද්‍යා ජ්‍යොතිෂවේදියකු වන සන්ජේ බී. ජුම්මානි උපදෙස් දී ඇත්තේ දීපිකාට වඩාත්ම උචිත වන්නේ දීපිකා පදුකෝන් ලෙස ඇගේ නම භාවිතා කිරීම බවයි.

එසේ නොමැතිව දීපිකාගේ සැමියාගේ වාසගම ඇගේ නම අගට යොදාගත හොත් කිසියම් අයහපත් මනෝමය බලපෑමක් සිදුවිය හැකි යැයි ජ්‍යොතිෂවේදියා උපදෙස් දී තිබෙනවා. දීපිකා පදුකෝන් යන නාමය දැනටමත් ඇගේ ජීවිතයට ආශිර්වාදයක් වී ඇතැයි ද ඔහු වැඩිදුරටත් පවසනවා.

මේ අතර තවත් සමහරු ප්‍රශ්න කරන්නේ දීපිකා, රන්බීර් කපූර් සමඟ හාදකම් පැවැත්වූ කාලයේ ඇගේ ගෙල පෙදෙසෙහි සිතුවම් කරගත් ‘RK’ යන අකුරු දෙක ඉවත්කර ගන්නවාද කියලයි.

ඒ ප්‍රශ්නයට නොපැකිලව උත්තර දෙන මේ සුපිරි තරුව ප්‍රකාශ කරන්නේ රසික රසිකාවන්, හිතවතුන්, හිතවතියන් සහ මාධ්‍ය කුමක් කීවද තමන් එම අකුරු දෙක ඉවත් නොකරන බවයි.


රන්බීර්, ආලියාව රැගෙන රෝහලකට යති

පෙමින් බ‍ැ‍‍ඳෙන බොලිවුඩ් සිනමාවේ නළු නිළියන්ගේ නම් එකතු කර අලුත් නම් නිර්මාණය කිරීම දැන් විලාසිතාවක් වෙලා. ඒ අලුත් නම් පෙරහරට අද එකතුවී ඇති නාමය ‘රාලියා.’ රන්බීර් කපූර් සහ ආලියා භාට් සුසංයෝගයෙන් තමයි ‘රාලියා’ නිර්මාණය වී ඇත්තේ.

දැන් රන්බීර් - ආලියා පෙම්වතුන් බව රහසක් නොවෙයි. ඇසුර දෙදෙනාගේ පවුල්වල උදවියටත් රහසක් වෙලා නැහැ. පසුගියදාක රන්බීර් සහ ආලියා රෝහලකට ඇතුල්වන ආකාරය බොහෝ දෙනකුට දැකගත හැකිවුණා.

මේ නැවුම් යුවළ දුටු රසික පිරිස් ඔවුන් දෙදෙනා වෙත ඇදී එන්නට පටන්ගත්තා. දෙදෙනාව වටකරගත්තා. ඡායාරූප ශිල්පීන් තමන්ගේ කැමරා ක්‍රියාත්මක කළා. නමුත්, කෙසේ හෝ රෝහල තුළට පිය මැන යන්නට දෙදෙනාටම හැකිවුණා‍.

‘රාලියා’ යුවළ රෝහලට ගියේ ආලියාට සිදුවූ සුළු තුවාලයකට ප්‍රතිකාර ගන්නලු. ආලියාට තුවාල සිදුවී ඇත්තේ පසුගිය දිනවල රූගත වූ ‘බ්‍රහ්මාස්ත්‍රා’ චිත්‍රපටයේ දර්ශනයක රඟපාද්දීයි. එය එතරම් බරපතළ තුවාලයක් නම් නොවෙයි.

කෙසේ වෙතත් ‘බ්‍රහ්මාස්ත්‍රා’ චිත්‍රපටය රන්බීර්ටත් ආලියාටත් හරිම වැදගත්. හේතුව, ඔවුන් දෙදෙනා පෙම්වතුන් වුණේ මේ චිත්‍රපටයේ රඟපෑමට එක්වූ පසුව නිසයි.

දැන් කවුරුත් අහන්නේ ‘රාලියා’ යුවළගේ විවාහය ගැනයි. දෙදෙනාටම සමීප හිතවතුන් පවසන්නේ දැනට අසනීපව ඇමෙරිකාවේ ප්‍රතිකාර ලබන රන්බීර් ගේ පියා (රශි කප‍‍ූර්) සුව වූ පසුව ඒ ගැන තීරණයකට එළඹෙනු ඇති බවයි.


රොබට් ඩි නිරෝ වෙනත් අතකට

ජනප්‍රිය නළුවකු, චිත්‍රපට නිෂ්පාදකවරයකු වන ඇකඩමි, ගෝල්ඩන් ග්ලෝබ් ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලද රොබට් ඩි. නිරෝ ගේ ජීවිතය පසුගියදා වෙනස් අතකට යොමුවුණා. ඔහු සිය බිරිය, හොලිවුඩ් නිළි ග්‍රේස් හයිටවර්ගෙන් වෙන්වූවා. ඔවුන් දෙදෙනා එලෙස වෙන්වූයේ දශක දෙකක විවාහ ජීවිතයට නැවතීමේ තිත තබමින්. වෙන් වනවිට ඩි නිරෝගේ වයස අවුරුදු 75 යි. ග්‍රේස් 63 වැනි වියෙහි පසුවෙනවා. ඔවුන් දෙදෙනා විසි හැවිරිදි පුත්‍රයකුගේ සහ සය හැවිරිදි දියණියකගේ මවුපියන්. දියණියගේ සැබෑ මවුපියන් ඩි නිරෝ සහ ග්‍රේස් වුවත් ඇය මෙලොව එළිය දුටුවේ වෙනත් කාන්තාවකගේ කුස තුළ දස මසක් ගත කිරීමෙන් පසුවයි.

ඩි නිරෝ සහ ග්‍රේස් මීට පෙර වතාවකදීත් වෙන්වී සිටියා. ඒ, 1999 දී. ඒ වනවිට ඔවුන්ගේ පුත්‍රයා මෙලොවට බිහිවී වසරක් ගෙවී ගියා පමණයි. නමුත්, ඩි නිරෝ, ග්‍රේස් වෙතින් දික්කසාද වන්නට නීතිමය කටයුතු සිදුකර තිබුණා. කෙසේ වෙතත්, පසුව එම තීරණය වෙනස් කළ ඩි නිරෝ, යළි ග්‍රේස් සමඟ හාද වුණා.

ග්‍රේස් ව විවාහ කර ගන්නට කළින්, ඩි නිරෝ 1976 දී ජනප්‍රිය නිළියක වූ ඩියාන් අබට් ව විවාහ කරගත්තා. එම විවාහයෙන් ඔවුන් දෙදෙනාට පුත්‍රයකු ලැබුණා. ඩි නිරෝ, ඩියාන්ගෙන් වෙන්වූයේ 1988 දී. දැන්, ඩි නි‍රෝ මුනුපුරු මිනිබිරියන් සිවු දෙනකුගේ සීයා කෙනෙක්.

අදහස්