දුෂ්කර ගම­කින් බිහි­ වුණු සංගීත කණ්ඩා­යම සිහාරා ෆ්ලෑෂ් | සිළුමිණ

දුෂ්කර ගම­කින් බිහි­ වුණු සංගීත කණ්ඩා­යම සිහාරා ෆ්ලෑෂ්

රත්නපුරේ ගිලීමලේ කියන්නේ දුෂ්කර ගම්මානයක්. එහෙත් ගම දුෂ්කර වුණාට ගමේ ඉන්න බොහෝ දෙනෙක් සංගීතයට දක්වන්නේ පුදුමාකර ඇල්මක්. මෙය අවබෝධ කරගත්ත තරුණයෙක් ගමේ ශිල්පීන් එකතු කරගෙන ‘සිහාරා ෆ්ලෑෂ්‘ නමින් සංගීත කණ්ඩායමක් බිහිකළා. ‘සිහාරා ෆ්ලෑෂ්‘ ‘සංගීත කණ්ඩායමේ නායකයා මෙවර BAND OF THE WEEK කතාබහට එක්කර ගන්න අපට පුළුවන් වුණා.

 

 ඔබේ නම?

කේ. සේනාරත්න. හැබැයි ක්ෂේත්‍රයේ ජනප්‍රිය ‘සේන‘ කිව්වම

පාසල් ගියේ?

ශ්‍රීපාද මධ්‍ය මහා විද්‍යාලයට

ඒ කියන්නේ පාසල් කාලයෙත් සංගීතය හැදෑරුවා?

පාසලේදී විෂයයක් විදියට සංගීතය හැදෑරුවා. ඒ සඳහා ලොකු පහසුකම් නම් තිබුණේ නැහැ. හැබැයි පාසලෙන් ඉවත් වුණාට පස්සේ එච්. ආර්. සෝමදාස මාස්ටර් ගාව ගිටාර් වාදනය ඉගෙන ගත්තා. එතුමා අන්ධයි. ඒ වුණාට සංගීතය ගැන හසළ දැනුමක් එතුමාට තිබුණා.

සිහාරා ෆ්ලෑෂ් ද ඔබ නායකත්වය දෙන මුල්ම සංගීත කණ්ඩායම?

මම සිහාරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායම හදන්න කලින් වෙනත් සංගීත කණ්ඩායම් කිහිපයක ලීඩ් ගිටාර් ශිල්පියා විදියට කටයුතු කර තිබෙනවා. ඒත් නායකයෙක් ලෙස කටයුතු කරන මුල්ම සංගීත කණ්ඩායම තමයි සිහාරා ෆ්ලෑෂ් කියන්නේ.

මෙවැනි සංගීත කණ්ඩායමක් හදන්න හිතුවේ ඇයි?

අපේ ගම රත්නපුරේ ගිලීමලේ. එය තිබෙන්නේ ශ්‍රී පාදයට යන පාරේ. ඒකයි මම කිව්වේ අපි දුෂ්කර ප්‍රදේශයක මිනිස්සු කියලා. නගරවලට ගිහින් වැඩ කරනවට වඩා ගමේ අය එකතු කරගෙන සංගීත කණ්ඩායමක් කළා නම් හොඳයි කියන සිතුවිල්ල මගේ හිතට ආවා. ඒ අනුව තමයි ගමේ ඉන්න සංගීතට දක්ෂ ශිල්පියෝ එකතු කරගෙන මේ සංගීත කණ්ඩායම හැදුවේ. මේ සමහර ශිල්පීන්ට පන්ති ගිහින් තව තවත් ඒ විෂයය ගැන ඉගෙන ගන්න කියල මම නිතරම දිරිමත් කරනවා.

සිහාරා ෆ්ලෑෂ් කියන නම දැම්මේ කවුරුද?

මම සංගීත භාණ්ඩ ගන්න ලෝන් එකකට දැම්මා. ඒ ලෝන් එක ගන්න ගිය වෙලාවේ එතැනින් කිව්ව සංගීත කණ්ඩායම ලියාපදිංචි කරල තිබෙනව නම් රජය ලබාදෙන ණය යටතේ අඩු පොලියකට ගන්න පුළුවන් කියලා. ඇත්තටම ඒ වෙනකොට නමක් හිතලා තිබුණේ නැහැ. පස්සේ මම රිදම් ගහන නඳුන්ට කතා කරල විස්තරේ කියල නමක් කියන්න කිව්වා. එයා නම් කිහිපයක් කිව්වා. එතැනින් තමයි මේ නම තෝරගත්තේ. හැබැයි ඒ නම යෙදුවේ පස්සේ වෙනස් කරන්න හිතාගෙන. නමුත් මගේ කේන්දරේ අනුවත් ඒ නම ගැළපුණා. අවසානේ සිහාරා ෆ්ලෑෂ් නම දිගටම තියාගන්න තීරණය කළා.

ගමෙන් සොයාගත් ශිල්පීන් ගැනත් කියමු බලන්න?

ඩ්‍රම්ස් - රූපසිංහ රණවීර, බේස් ගිටාර් - බුද්ධික හෙළරුවන්, රිදම් ගිටාර් - නඳුන් දිලංක ප්‍රේමවර්ධන, ඔක්ට පෑඩ් - අසංක ප්‍රභාත්, කී බෝඩ් - අශෝක රුවන් ආනන්ද, ගායන ශිල්පීන් ලෙස පුබුදු කනිෂ්ක සහ ගයාන් ධම්මික කටයුතු කරනවා. මේ හැමෝම ඉන්නේ පුහුණු කිරීම් කරන ස්ථානයට පයින් එන්න පුළුවන් දුරින්.

වෘත්තියක් විදියට ද ශිල්පීන් සංගීත කණ්ඩායමේ වැඩ කරන්නේ?

තවම වෘත්තියක් විදියට නෙවෙයි වැඩ කරන්නේ. දැනට හැමෝම විවිධ රැකියා කරනවා. ඉදිරියේදී වෘත්තියක් විදියට වැඩ කරන්න සැලසුම් සකස් කරමින් ඉන්නවා.

යමක් ආරම්භ කරද්දී අනුකරණය කිරීම බොහෝ දෙනකුගේ සිරිත. ඔබේ කණ්ඩායමත්, වෙනත් කණ්ඩායම් අනුකරණය කළාද?

මට සංගීත කණ්ඩායම්වල වැඩ කරල අද්දැකීම් තිබුණා. ඒ නිසා වෙනත් කණ්ඩායමක් අනුකරණය කරන්න අවශ්‍යතාවක් තිබුණේ නැහැ. හැබැයි අපිත් අනිත් කණ්ඩායම් කරන දේවල් දිහා බලල අලුත් අලුත් දේ නිර්මාණය කළා.

අනෙක් කණ්ඩායම්වලින් එල්ල වන අභියෝගයට මුහුණ දෙන්නේ කොහොමද?

අපි කිසිම කණ්ඩායමක් අභියෝගයක් විදියට දකින්නේ නැහැ. අපි අපේ වැඩ ටික පාඩුවේ කරගෙන යනවා. අභියෝග කර කර ඉන්න එක නෙවෙයි ප්‍රේක්ෂකයන්ට හොඳ දේ දීමයි අපේ අරමුණ.

කවුද මේ ගමන එන්න අතහිත දුන්නේ?

මගේ මවුපියන් වගේම අපේ කණ්ඩායමේ සමාජිකයන්ගේ පවුල්වල අයත් සහයෝගය ලබා දෙනවා.

කණ්ඩායමක් විදියට අනාගත බලාපොරොත්තු මොනවද?

ජීවිතේ ලොකුම අාසාවක් තිබුණා සංගීත කණ්ඩායමක් හදලා ඒ තුළින් ප්‍රේක්ෂකයන්ට දැනෙන යමක් කරන්න ඕන කියලා. අද වෙන කොට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර දැක්කම අපිට යමක් කරන්න හැකියි කියන විශ්වාසය ගොඩ නැගිලා තිබෙනවා. එම නිසා අනාගතයේදී ප්‍රේක්ෂකයෝ ඉල්ලන සංගීත කණ්ඩායමක් බවට අනිවාර්යෙන්ම පත්වෙනවා. ඒ සඳහා අවශ්‍ය ඕනෑම කැපකිරීමක් කරන්න අපි හැමෝම කණ්ඩායමක් ලෙස සූදානමින් ඉන්නවා. 

අදහස්