
‘දෙපා නොලද්දෝ’ නවකතාව අදට ද වලංගු යැයි අපට සිතෙන්නේ කුමක් නිසා ද? අමරසේකරයන්ගේ වචනවලින් ම කියන්නේ නම් ඒ ‘සංස්කෘතික විවේචනය’ අදටත් අවලංගු වී නැති නිසා ය. බටහිරින්, නගරයෙන්, විදෙස් සංස්කෘතීන් තුළින් එන අංග ගැමි සංස්කෘතියට හා වීම-යා වීම වැළැක්විය හැකි ද නැත. ‘දෙපා නොලද්දෝ’ හි පොඩි අය්යා ද ඊට ගොදුරු වූවෙකි. එහෙත් ඒ චරිතය තමා අත ප්රචාරක රූකඩයක් බවට පත්ව ඇතැයි අමරසේකරයන් ම පවසතත් එවැනි හැඟීමක්, සංවේදනයක් අප තුළ කිසිසේත් හට නොගන්නේ කුමක් නිසා දැයි විමසා බැලිය යුතු ය.
ශ්‍රේෂ්ඨ නවකතාකරුවාත් ප්රචාරකයාත් අතර ඇති වෙනස කුමක්ද? මේ වැදගත් ප්‍රශ්නයට ගුණදාස අමරසේකර සූරීන් ‘ජීවන සුවඳ’ නම් වූ සිය කෙටිකතා සංග්‍රහයේ පූර්විකාවෙන් පිළිතුරු සපයන්නේ මෙසේ ය.
ප්රචාරකයාගේ පරමාර්ථය වනුයේ තමා හිසින් දරන මතවාදයක් ප්‍රචාරය කරනු පිණිස සිය අවංකභාවය කැප කිරීමයි. ඔහු මතාන්ධයෙකි. ඔහුගේ ප්‍රචාරය මාක්ස්වාදය උදෙසා විය හැකිය; ආගම්වාදයක් උදෙසා විය හැකිය; ලිබරල්වාදය උදෙසා විය හැකිය; ධනවාදය උදෙසා විය හැකිය; සංස්කෘතිකවාදයක් උදෙසා විය හැකිය. මවිසින් මීට පෙර සඳහන් කරන ලද හෙවනැල්ල, යළි උපන්නෙමි. එවැනි සංස්කෘතිකවාදයක් උදෙසා ලියන ලද ප්රචාරක කෘති වෙයි. පියදාස සිරිසේනගේ නවකතා ද සංස්කෘතිකවාදයක් උදෙසා ලියවුණු ඒවා වේ. ඇල්බට් කැමු වැනි නවකතාකරුවන්ගේ කෘතියක වුව එවැනි ප්රචාරක ස්වරූපයක් දැක්ක හැකිය. ඔහුගේ වසංගතය නමැති කතාව ධනවාදය හා ලිබරල්වාදය උදෙසා ලියන ලද ප්රචාරක කෘතියක් බව මගේ වැටහීමයි. මේ සියලු කෘතිවල දැක්ක හැකි විශේෂ ලක්ෂණය නම් නවකතාකරුවා සිය අවංකභාවය අර මතවාදය ප්‍රචාරය සඳහා කැප කර ඇති බවයි. ඔහු ඒ සඳහා ජීවිතය විකෘති කර දක්වයි; යථාර්ථය බොරුවක් කරයි.
කැප වුණු නවකතාරකැවාගේ මඟ මීට වඩා හාත්පසින් වෙනස් වෙයි. ඔහු සිය කැප වීම උදෙසා අවංකභාවය හිලව් කිරීමට සූදානම් වූවෙක් නොවේ.
(ජිවන සුවඳ - ගුණදාස අමරසේකර )
‘ජීවන සුවඳින් ඇරඹුණු යුගය (මැද පන්තියේ කතාන්තරය) ලෙස නම් කොට ඇති මේ මුල් පිටු කිහිපයෙන් අමරසේකර සූරීන් වැඩිදුරටත් පෙන්වා දෙන්නට තැත්කරන්නේ සැබෑ නවකතාකරුවා තමාගේ මතවාදයක් හේතුවෙන් හෝ යථාර්ථය පිටුදැකීමට ඉදිරිපත් නොවන බව ය. තමාගේ ඇගයුම්වලට (හර පද්ධතියට) අනුව අත්දැකීම් විවරණය කිරීමට තැත් කළ ද ඒවා විකෘති කර නොදැක්වීමට ඔහු වගබලා ගන්නේ යැයි අමරසේකරයෝ කියති. මේ අනුව නිර්මාණයක් වශයෙන් අවසානයේදී එළිදකින්නේ කතුවරයාගේ හරපද්ධතිය හා ඔහු විසින් අත්විඳිනු ලැබූ සියල්ල අතර හටගන්නා තියුණු ගැටුමේ ප්රතිඵලයයි. නිර්මාණය විශිෂ්ටත්වයට පත්වන්නේ ගැටුම තියණු වන තරමට ය. මීට උදාහරණ වශයෙන් අමරසේකරයන් පෙන්වා දෙන්නේ ලියෝ තොල්ස්තෝයිගේ ‘ඇනා කැරනිනා’ නවකතාවයි. එය විශිෂ්ට නිර්මාණයක් බවට පත්වන්නේ (එසේ යැයි විචාරකයන් පිළිගනු ලබන්නේ) ඇනා මරා දැමීමටත් ඇය ජීවත් කරවීමටත් තොල්ස්තෝයි තුළ වූ අධ්‍යාශයන් දෙක අතරේ වන ගැටුමෙහි පවත්නා සංකීර්ණතාව හේතුවෙන් වන බව ය, මින් විශද වන්නේ.
බොහෝ කලකට පෙර අමරසේකයන්ගේ සාහිත්‍ය නිර්මාණ කියැවීමෙන් අප ලැබූ ආහ්ලාදය, යළි එලෙසින්ම අත්විඳීමේ අහඹු අවස්ථාවක් මට ලබාදුන්නේ අනපේක්ෂිත මොහොතක අතපත් වූ ‘දෙපා නොලද්දෝ නම් වූ කුඩා නවකතාවයි. ඉනික්බිතිව ඒ පොත් රාක්කයේ ම තැන්පත් ව තිබූ ‘ජීවන සුවඳ’ කෙටිකතා සංග්‍රහය වෙත මගේ අත ගෙන ගියේ දෙපා නොලද්දෝ කියැවීමෙන් ලද උත්තේජනයයි. ජීවන සුවඳ කෙටිකතා සංග්‍රහයේ (පෙර සඳහන්) පූර්විකාව කියවාගෙන යද්දී මට සිතුණේ දෙපා නොලද්දෝ නවකතාව බිහිවූයේ ද පෙරකී ගැටුම හේතුවෙන්ම වන බවයි.
‘ජීවන සුවඳ’ කෙටිකතා සංග්‍රහයේ පූර්විකාවෙන් අමරසේකයෝ මෙවැනි සටහනක් ද තබති.
යළි උපන්නෙමි. දෙපා නොලද්දෝ යන කෘතිවල ඇත්තේ මනෝමූල රීතියකි. එය යථාර්ථය බොරු කරන කෘති ලෙස මවිසින් ප්‍රතික්ෂේප කර ඇත.
කතුවරයා එසේ ප්‍රතික්ෂේප කළ ද සහෘදය පාඨකයාට එය කෙසේ නම් කළ හැකි ද? ‘දෙපා නොලද්දෝ’ යළි කියවීමෙන් අප ලැබුවේ වින්දනයක් පමණක් නොවේ. එය ඉසියුම් ජීවන දැක්මක්, ජීවන මානයක් පිළිබඳව ද අපට ඉඟි සැපයුවේ ය. එහෙයින් කතුවරයාට එරෙහි ව යමින් හෝ ඒ පිළිබඳ සටහනක් තැබීමට සිත තුළ පැන නැඟුණ අභිලාසය යටපත් කරගත හැකි වූයේ නැත. මේ අකුරු බවට පෙරළෙන්නේ එයයි.
මුලින් ම පැවසිය යුතු සුවිශේෂි කරුණ වන්නේ වසර පනහකට-අඩසියවසකට පෙර එළිදුටුව ද මේ කුඩා නවකතාවේ පවත්නා විස්මය දනවනසුලු නූතනත්වය පිළිබඳවයි. මගේ පෞද්ගලික විශ්වාසයට අනුව නම් ගුණදාස අමරසේකර යනු බස හැසිරවීමේ ලා එදා මෙදා තුර ලංකාවේ පහළ වූ විශිෂ්ටතමයා යැයි කිව හැකි නිර්මාණකරුවායි.
කවර වූ හෝ ලේඛනයකින් සිත්ගන්නාසුලු රිද්මයක් පහළ වන්නේ වස්තුවිෂයය පිළිබඳව මෙන් ම භාෂාව පිළිබඳව ද මනා අවබෝධයක්, හික්මීමක් ලේඛකයා සතු වූ කල්හි ය. රිද්මය නැතහොත් නිරායාස ගුණය පැනනගින්නේ නිශ්චිතාර්ථ දනවන ආකාරයට ලිවීමේ ප්රාගුණ්යයෙනි. නිර්මාණ කෘතියක චරිත, සිද්ධි හා අදහස් හැඩගැස්වීම සඳහා යොදනු ලබන වචනවල ඇති නියතභාවය හා පැහැදිලිකම මගින් භාෂාවේ නියම සුන්දරත්වය ඉස්මතු කර දෙනු ලැබෙන බව කියා ඇත්තේ රුසියානු මහාලේඛක මැක්සිම් ගෝර්කි ය. රිද්මයෙන් ආස්වාදයක් ලැබීම මිනිසාගේ ස්වභාවය බව මුලින් ම අවධාරණය කළේ ඇරිස්ටෝටල් පඬිතුමා ය. අමරසේකරයන්ගේ නවකතාවේ කෙටිකතාවේ, කවියේ මේ සියල්ල නිදසුන්ගත ව ඇති අතර ඔහු මෙකී මාධ්‍ය තුනෙන් ම එක හා සමාන දස්කම් විස්කම් දක්වා ඇති නිර්මාණකරුවෙකි.
‘දෙපා නොලද්දෝ’ කෙටි නවකතාව මා අතින් බිහි වූයේ ‘යළි උපන්නෙමි’ නවකතාවට අනතුරුවය. එය ‘යළි උපන්නෙමි’ නවකතාව මගින් මා කිරීමට තැත් කළ ‘සංස්කෘතික විවේචනය’ තව දුර ඉදිරියට ගෙන යෑම පිණිස ලියන ලද කෘතියක් ලෙස හැඳින්වීම සදොස් නොවේ යැයි ‘දෙපා නොලද්දෝ’ සිව්වන මුද්‍රණයට පෙරවදනක් සපයන අමරසේකරයෝ පවසති.
‘දෙපා නොලද්දෝ’ නවකතාව අදට ද වලංගු යැයි අපට සිතෙන්නේ කුමක් නිසා ද? අමරසේකරයන්ගේ වචනවලින් ම කියන්නේ නම් ඒ ‘සංස්කෘතික විවේචනය’ අදටත් අවලංගු වී නැති නිසා ය. බටහිරින්, නගරයෙන්, විදෙස් සංස්කෘතීන් තුළින් එන අංග ගැමි සංස්කෘතියට හා වීම-යා වීම වැළැක්විය හැකි ද නැත. ‘දෙපා නොලද්දෝ’ හි පොඩි අය්යා ද ඊට ගොදුරු වූවෙකි. එහෙත් ඒ චරිතය තමා අත ප්රචාරක රූකඩයක් බවට පත්ව ඇතැයි අමරසේකරයන් ම පවසතත් එවැනි හැඟීමක්, සංවේදනයක් අප තුළ කිසිසේත් හටනොගන්නේ කුමක් නිසා දැයි විමසා බැලිය යුතු ය.
දෙපා ඇති මුත් දෙපා නැතියවුන් මෙන් ක්‍රියාකරන (උපන්නාට මේ ලොව වැනෙනවා විනා’ ලෙස හැඳින්විය හැකි) පුද්ගලයෝ මෙකල ද අපට බහුල ව හමුවෙති. පොඩි අයියාට ද දෙපා තිබේ. අඩුපාඩුව පවතින්නේ ඔහුගේ චින්තනයේ ය. සවිමත් පායුග ඇතත් ඔහු චෛතසික වශයෙන් අබ්බගාතයෙකි. තමාගේ නැගණිය, තරුණියක වී මැදිවයසට එළඹෙන තුරුත් කුඩා කල පැවති ඒ සුවච කීකරු භාවය නොවෙනස් ව පවතිනු ඇතැයි ඔහු අපේක්ෂා කරයි. ඇගේ මානුෂිකත්වය පිළිබඳව ඇගේ හැඟීම්-දැනීම් පිළිබඳව, ඒවායේ මුහුකුරායෑම් පිළිබඳව වගේ-වගක් ඔහුට නැත. ඇය තමාගේ පවුල් පසුබිමට නොගැළපෙන පාදයක් අහිමිවූවකු සමඟ රහසිගත ප්‍රේමසබඳතාවක් අරඹන්නේ අබ්බගාතයකු වුණ ද ඔහු තරුණයකු (පිරිමියකු) වන නිසා ය. සහෝදරත්වයෙන් යුතුව ඇරඹෙන මේ ඇසුර කෙමෙන් මුහුකුරා යන අයුරු පාඨකයා හඳුනාගන්නේ දෙදෙනා අතර හුවමාරු වන ආදර හසුන්වලිනි. ආදරහසුනට මේ වන විට කල් ඉකුත් වී ඇතත් වර්තමාන කෙටිපණිවිඩ මෙන් සරල ව හුවමාරු වන මේ පෙම්ලිපි ඔස්සේ නවකතාව වින්දනය කිරීමේදී නූතන පාඨකයාට කිසිදු ප්‍රශ්නයක් මතු නොවේ.
සංගීතය ඉගෙන ගැනීමට යැයි කියමින් ගමින් පිට ව යන තරුණයා මුලින් ම එවන ලිපිය හුදෙක් සැපදුක් විමසීමකට සීමා වෙයි. එහෙත් ඒ ලිපියෙන් වුව ගමෙහි පොදු ස්වභාවය පිළිබඳ මෙවැනි සඳහනක් කිරීමට ද ඔහු අමතක නොකරයි.
එක අතකින් ගමෙන් පිට වී ඒමට ලැබීම ගැන මම සතුටු වෙනවා. ඒත් ඒ අතර ම කණගාටුවක් දැනෙන්නේ ඔබ සැවොම අත ඇර දමා ඒමට සිදුවීම ගැනයි. කොයි එක වුණත් ඒ අපා නිරයෙන් පිටවී ඒමට ලැබීම ලොකු වාසනාවක් නේ ද? ඒ දවස්වල මම ඔබට නිතරම කියනව වගේ මෙපමණ කාලයක් ඔය නරකාදියේ රැඳී උන්නේ පුළුවන් කමකට නෙවෙයි. කර-කියා ගන්න දෙයක් නොමැති නිසයි. ඔය නරාවලේ උනුන් එක්ක කුළල් කාගෙන ජීවත් වෙන්න පුළුවන් විජේපාල, ජිනසේන වගේ වළහැඩියන්ට මිස අප වගේ අයට නොවෙයි...
(දෙපා නොලද්දෝ - 85-86 පිටු)
මේ පෙම් සබඳතාව සැලවූ පසු දැඩි ලෙස කිපෙන පොඩි අය්යා නැගණිය නිවසින් පිටමං කිරීමට පවා යොමු වෙයි. ඇගේ පෙට්ටගම කඩා පෙම් ලිපි කියවන සොහොයුරාගේ කෝපය දෙගුණ තෙගුණ වන්නේ අනුක්රමයෙන් ඇය වසඟයට ගැනීම සඳහා තරුණයා යොදා ඇති උපක්‍රම පෙනී යාම නිසා ය. නැගණියට තමා එපා කරවීමට ඔහු ගෙන ඇති උත්සාහය පොඩි අයියා උමතු කරවනසුලු ය.
ඔබේ අයියා නිතර ම ඉන්නේ මරණ භයින් තැතිගෙන. ඔහු ජීවත් වෙන්නේ නැහැ. ඔහුට ජීවිතයත් මරණයක්. ඉතින් එහෙම තැනැත්තාට මුළු ජීවිතය ම දුකක් වී සසර කොටකර ගැනීමට අවශ්‍ය වීම පුදුමයක් නොවෙයි. අයියාගේ මූණට මම ඔය ටික කිව්වොත් මගේ හිතේ මාත් එක්ක කතා කරන එකකුත් නැහැ. අයියාට නම් දැන් එසේ හිතන්නේ නැතුව ජීවත්වෙන්න බැහැ. ඒ වුණත් ඔබත් එහෙම කල්පනා කරන්න ගියෝතින් වෙන්නෙ මුළු ජීවිතේ ම කාලකණ්ණි කරගන්න එකයි.
(දෙපා නොලද්දෝ - ගුණදාස අමරසේකර - 94 පිටුව)
පොඩි අයියා සසර කෙටිකරගැනීමට දරන කිසියම් උත්සාහයක් පිළිබඳව පාඨකයාට ද ඉඟි සැපයෙයි. ඒ බව ඔහුට යළි සිහිපත් කරවන්නේ තරුණයාගේ අවධාරණයයි. තමාගේ ආත්ම දමනය, විරාගය කායික දුබලතාවක් වශයෙන් දකින තරුණයා කෙරෙහි ක්‍රෝධයෙන් පිපිරෙන පොඩි අය්යාට සිය නිකෙෙලස් බව දෙස ආපසු හැරී බලන්නට සිදු වන මොහොතකි, මේ. තරුණයාගේ අවසාන ලියුම පොඩි අය්යා තුළ ජනිත කරන්නේ මහත් ව්‍යාකූලත්වයකි. නැගණිය ආපසු කැඳවාගෙන එන්නට පවා ඔහුගේ සිතට අනියමින් බලපෑම් කරන්නේ තරුණයාගේ ඒ අවසාන ලිපියයි. ඔහුගේ හදවතට බර තබන්නේ ඉන් ප්රකාශමාන වන ගැඹුරු සත්‍යයයි.
‘ඔබ මගේ සිත රිදෙන අයුරු ලිවීම අප අතර පැවති නොකිලිටි සම්බන්ධයට කැළළක්. මට සිතෙන අයුරු එක් අතකින් මා සැදුවේ ඔබ වැටී ඇති ඔය අපායෙන් ගොඩගැනීමටයි. මා දෙපාවත් හරි හැටි නැති එකෙකැයි ඔබේ අයියා කියනවාලු. ඔබත් එය දුටුවේ අයියා කිව්ව පසුවද?
එය ඇත්ත. එහෙත් ඔබ සතුව ඇත්තේ කායික වශයෙන් ලත් දෙපා පමණයි. ඔබ මා සතු ඒ එක පාදයේවත් එල්ලුණා නම් ඔබට ඔය නරකයෙන් ගොඩ ඒමට පුළුවන් වන්නට තිබුණා.
එහෙත්, ඔබ කැමති ඔය නරකයෙහි පැහි පැහී අනුන්ගේ පිළිල ජීවිතයකට උපස්තම්භක වී ඉන්නට නම් මට කරන්න දෙයක් නැහැ.
මගේ අනාගතය ගැන ඔබ බිය වන්නට එපා. මම මගේ අනාගතය මට වුවමනා සේ හසුරුවා ගන්නම්. මේ විභාගය අවසන් වූ විගස මම ඉන්දියාවට යනවා. එහි දී මම මේ ඉගෙන ගන්න ශිල්පයෙහි විශාරද බවක් ලබනවා. මා සොයා යන ගුරුවරයා මෙන් රූමතියක හා විවාහ වෙනවා. එසේත් තැත්නම් දුම්රියකට බෙල්ල තියනවා. මැරෙන්නට මම බය නැහැ. මරණයට බය ඔබේ පොඩි අයියා වැනි ජීවත් නොවන උදවියයි. මම ජීවත් වෙනවා. පරමාර්ථයක් ඇතුව ජීවත් වෙනවා. එසේ ජීවත්වන්නාට මරණය ‘මරණයක්’ නොවෙයි. ජීවත්වීමේ ම කොටසක්. ඔබේ නරකයෙහි නම් එවැනි දොරටුවක් වත් ඇති බවක් මට පෙනෙන්නේ නැහැ.
(දෙපා නොලද්දෝ - ගුණදාස අමරසේකර - 128 පිටුව)
අබ්බගාත තරුණයාගේ ලිපිවලින් රාව-ප්රතිරාව නංවන්නේ විවිධ දෘෂ්ටීන්ගෙන්, මර්යාදා (මතවාද) වලින් මානව නිදහස-පුද්ගල නිදහස, කොතරම් නම් ඇහිරී ඇත්තේ ද යන්නයි. නිදහස ඉල්ලා ඔහු නඟන අඳෝනාවේ දෝංකාරයයි. ‘දෙපා නොලද්දෝ’ හි චරිත, මිනිසා විසින් ම නිර්මාණය කරගනු ලැබූ යම් යම් සිරකුටි හඳුනා ගැනීම සඳහා බුද්ධිකලම්බනයක් සිදුකිරීමට දායක වන බවක් අපට හැඟී යන්නේ මේ නිසයි. ජීවිතය හා මරණය පිළිබඳ නවමානයක් ද ඉන් විවර කෙරෙයි.
සංස්කෘතික සත්ත්වයකු බවට පත්වීමේදී මිනිසාගේ මානවීය ස්වභාවයන් මෙන් ම සංවේදනයන් ද කිසියම් ප්‍රමාණයකින් හැකිළී, කුඩා වී ගිය බව නිසැක ය. නිර්මල (එසේ යැයි කියන) ගැමි සංස්කෘතිය තුළ මේ තත්ත්වය වඩාත් මුහුකුරා ගොස් ඇති අයුරු මනා ලෙස ගම්‍ය වන්නේ අබ්බගාත තරුණයා කියන ‘ඔය නරාවළේ උනුන් එක්ක කුළල් කාගෙන ජීවත්වෙන්න පුළුවන් විජේපාල වගේ වලහැඩියන්ට මිස අපට නොවෙයි’ වැනි අවධාරණයන්ගෙනි. ඔහු කියන මේ ‘නරාවළ’ යනු ගමයි. මිනිසකුගේ ස්වාභාවික උපතකදී සුළු අසමානත්වයක් ඇති වුණ තැන එය බරපතළ ලෙස මතු කර දක්වන්නන් සිටින්නේ ගම තුළයි. ‘කරුමක්කාරයා’, ‘පව්කාරයා’ ලෙස නාමකරණයට ලක්වන්නේ එවැන්නනුයි.
බුදුදහමේ ‘කර්ම’ න්‍යාය බොහෝ විට, බොහෝ සෙයින් වැරදි කොනින් අල්ලා සිටින්නේ ද ගැමියායි. එය කිසියම් ‘පරපීඩකකාමයක’ ස්වරූපයට පෙරළී යන අවස්ථා ද දැකිය හැකි ය. පොඩි අය්යා කෙලෙස් තවන්නකු ලෙස පෙනී සිටින්නට වෑයම් කළත් ඊට මං පාදා ඇත්තේ අවවාදය මිස අවබෝධය නොවේ.
කිසිදිනෙකත් තමාට, තමා සම්මුඛ නොවූ එහෙත් තමන් ධ්‍යානලාභීන් ලෙස සිතා සිටින බහුතරය අපට මුණගැසෙන්නේ ද ගමේදීයි. අබ්බගාත තරුණයා ගම හැර යන්නේ ද මේ අනුවයි. මින් අදහස් වන්නේ නගරය ශුද්ධ භූමියක් ය, යන්න නොවේ. එහෙත් නාගරිකයාගේ ආසි-වාසි නැති දෛනික දිවිපැවැත්ම ඔහුට අනුන් දෙස ඇස්-කන් යොමුකරගෙන කල් මරන්නට අවකාශයක් විවර නොකරයි.
ගුණදාස අමරසේකයන් මේ සියලු චරිත නිර්මාණය කර ඇත්තේ මෙකී නොකී සියලු කරුණු පිළිබඳව බෙහෙවින් සවිඥානකව යැයි අපි සිතමු. එසේ විශ්වාස කරමු. ‘දෙපා නොලද්දෝ’ පාඨක අපගේ භාවලෛා්කයේ නිම්වළලු ප්‍රසාරණය කරන බවක් අපට හැඟී යන්නේ කතුවරයාගේ මේ සවිඥානකත්වය නිසා ය. මේ අද්දැකීම සර්වකාලීන ය. එය පාඨකයාට පහසුවෙන් ග්‍රහණය කරගත හැකි වන්නේ අමරසේකරයන්ගේ සරල සුගම භාෂා ශෛලිය හේතුවෙනි. මෙවැනි සන්දර්භයක් තුළ කතුවරයාගේ ප්‍රතික්ෂේපයට අනුගත ව නිහඬ වී සිටීමට පාඨකයකුට හැකි වන්නේ ද? ඔහු හෝ ඇය එසේ නිහඬ විය යුතු ද?
කැත්ලීන් ජයවර්ධන