ක්‍රිකට් සුප් එක කෝකියන්ගේ කල්ලියෙන් බේරාගනිමු | සිළුමිණ

ක්‍රිකට් සුප් එක කෝකියන්ගේ කල්ලියෙන් බේරාගනිමු

මේ තමයි අපට ඉන්න හොඳම පිතිකරණ බලඇණිය. අපි කලින් නවසීලන්තයට යනවා. පුහුණුවීම් තරගයකටත් ක්‍රීඩා කරලා තමයි මේ තරගාවලියට එකතු වෙන්නේ. මේ තියෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න බලනවා.

ඇත්තටම අපේ රටේ තිබ්බ තරගාවලිය ජය ගන්න බැරිවීම ගැන දුකයි. පළමු ටෙස්ට් තරගය හැර ඉතිරි දෙකම හොඳට තරගකාරි විදියට ක්‍රීඩා කළා. පන්දු යැවීමේ සහ රැකීමේ තිබුණු දුර්වලතා නිසා සහ පිතිකරණයේදී අවශ්‍ය වෙලාවල්වල දිගු ඉනිම්වලට යන්න බැරිවීම නිසයි පරාජය වුණේ.

"මේ පොඩි පොඩි දේවල් හදා ගෙන හරි පැත්තට ගියා නම් මේ තරගාවලිය සම්පූර්ණයෙන් ම වෙනස් වෙන්න තිබුණා." එංගලන්ත ක්‍රිකට් තරගාවලිය සම්පූර්ණයෙන් ම පරාජය වීමෙන් අනතුරුව පුහුණුකරු චන්දික හතුරුසිංහ පැවැසීය. මේ අතර අකිල ධනංජයට පන්දු දමා ගැසීමේ චෝදනා එල්ලවීම නිසා ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන පරීක්ෂණයට එක්වී තිබේ. මේ නිසා එංගලනත්ය සමඟ පැවැති අවසන් ටෙස්ට් තරගය ද අකිලට අහිමි විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්ත ක්‍රිකට් තරගාවලිය අවසානයේ නවසීලන්තය සමඟ ටෙස්ට් තරග දෙකකට, එක්දින තරග තුනකට සහ විස්සයි 20 තරගයකින් සමන්විත ක්‍රිකට් තරගාවලියකට එක්වෙයි. එංගලන්තය සමඟ මෙරට පැවැති ටෙස්ට් - එක්දින සහ විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය පරාජය වීමෙන් අනතුරුව නව තේරීම් කමිටුව සමඟ සහ නව කළමනාකරු සමඟ එක්වන ප්‍රථම ක්‍රිකට් තරගාවලිය ද මෙය වෙයි. අසන්ත ද මෙල්ගේ සභාපතිධූරයෙන් යුත් තේරීම් කමිටුවට බ්‍රෙන්ඩන් කුරුප්පු, හේමන්ත වික්‍රමරත්න සහ චමින්ද මෙන්ඩිස් ඇතුළත් වන අතර, පුහුණුකරු චන්දික හතුරුසිංහ සිය සේවා ගිවිසුමෙන්ම තේරීම් කමිටු සාමාජිකයකු ලෙස කටයුතු කරයි. අසන්ත මීට පෙර 2012 දී තේරිම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

දශක හතරකට ආසන්න කාලයක් තිස්සේ දිවයන ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරග ඉතිහාසයේ 3 - 0 ක් ලෙස සම්පූර්ණ තරගාවලි පරාජයක් හිමි කර ගත් ප්‍රථමවතාවද මෙය වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය වසරේ මෙරටදී ඉන්දියාව හමුවේ ටෙස්ට් තරගාවලිය 3 - 0 ක් ලෙස පරාජය වීමෙන් අනතුරුව ලැබූ ශුද්ධ වූ තරගාවලි පරාජය ද මෙය වෙයි.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගවලදී ද මෙරටදී තරගාවලියක් අවසන් වරට ජයගෙන ඇත්තේ 2015 දී බ. ඉ. කොදෙව්වන්ට එරෙහිවය. ඒ 3 - 0 ක් ලෙසය. අනතුරුව මෙරට දී ශ්‍රී ලංකාව මුහුණ දුන් තරගාවලි සියල්ලම පරාජය විය. ඔස්ට්‍රේලියාවට 4 - 1 ක්, සිම්බාබ්වේට 3 - 2 ක්, ඉන්දියාවට 5 - 0 ක්, දකුණු අප්‍රිකාවට 3 - 2 ක් සහ එංගලන්තයට 3 - 1 ක් ලෙසය. මේ අතර බංග්ලාදේශය සමඟ පැවැති තරගාවලිය යන්තම් 1 - 1 ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කර ගත්තේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙරට පැවැති එක්දින තරග 31 න් ජය ගෙන ඇත්තේ තරග 10 ක් පමණි.

"සෑම අවස්ථාවක ම ඔබ ගැනත් ඔබේ කණ්ඩායම ගැනත් විශ්වාසය තබන්න. එසේම හදවතින් ම ක්‍රීඩා කරන්න." මේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් ශ්‍රී ලංකා කණ්ඩායම හැර යාමට මත්තෙන් තැබූ සටහනක කොටසකි. මාස 15 ක පමණ කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ග්‍රැහැම් ෆෝඩ් ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට්හි ඇති වූ යම් යම් වෙනස්කම් මත සිය ධූරය හැර දමා ගියේය. 2019 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය තෙක්ම ගිවිසුම්ගතව සිටි ෆෝඩ් ඊට වසර දෙකකට පෙර ම සිය ධූරයට ආයුබෝවන් කීවේය.

ෆෝඩ් දමාගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වගකීම බාර ගත්තේ නික් පෝතාස්ය. ඉන්දු - ලංකා එක්දින තරගාවලිය අතරතුර ප්‍රකාශ කළේ සුප් එකට කුක්ලා වැඩියි යන්නයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරියත් මෙකී ප්‍රකාශය හරහා හදාගැනීමකට, එකී ප්‍රකාශය පාලමක් කරගැනීමට වෙර දැරිය යුතු මොහොතක ක්‍රිකට් පාලකයන් කළේ උඩ බලාගෙන කෙළ ගසාගැනීමය.

තරග පරදින්නට නුවර එන්න එපා යැයි මුග්ධ රැලක් ශ්‍රී ලංකා කණ්ඩායමට දඹුල්ලේදී තග දැමූ නමුත්, ශ්‍රී ලංකාව සිය ඓතිහාසික 800 වැනි තරගය සහ 801 තරගයද පරාජය විය. ඒ ඉන්දියාව හමුවේ පසුගිය වසරේදීය. කඩුල්ලක් දවා ගැනීමට පන්දු යවන්නකු සොයා ගැනීමට නොහැකි තරමට ම අසරණ වීම තුළ කියාපාන්නේ අද අපේ ක්‍රිකට්වල තරමය. මේ තනි තනිව ක්‍රීඩකයන්ගේ හෝ පුහුණුකරුවන්ගේ පමණක් නොව ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ ම අර්බූදයකි. මේ අර්බූදය ඒ වනවිට කොතෙක් දුර දිව ගොස් ඇද්ද යන්න තරගයකට පෙර පවත්වන මාධ්‍ය සාකච්ඡාවලදී නායකයා සහ පුහුණුකරුගේ කරුණු දැක්වීම් ප්‍රකාශ දෙකකට සීමා කර තිබූ අතර, සිංහල සහ ඉංග්‍රිසි ප්‍රශ්න තුන බැගින් ප්‍රශ්න හයකට සියල්ල කොටු කර තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදය කුමක්ද යන්න හිටපු පුුහුණුකරු පෝතාස් අපූර්ව ආකාරයට එළියට දැමූ අතර, මෙකි ප්‍රකාශයම ඔහුට ගෙදර යෑමට සාධකය වීමද පුදුම විය යුතු නොවේ. මන්දයත් අද ලාංකේය ක්‍රිකට් යනු ඒ තරමට දියාරු වී ගොස් ගඳගසන තරමට කුණු වී ඇති බැවිනි.

නික් පෝතාස් දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන්ගේ ගමන් මඟ දෙස හැරී බැලීමේ දී මෙකී අර්බූදය අද ඊයේ ඇතිවූවක් නොවන බව පැහැදිලිය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වූ ඔස්ට්‍රේලියානු ජාතික ජෙෆ් මාෂ්ට කණ්ඩායම හැරයන තැනට සාධක පෙළ ගැසෙන්නේ 2012 දීය. මාෂ් හැර යාමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ප්‍රමුඛ පෙළේ පුහුණුකරුවන් අතර ඇති වු කළු පැල්ලම සුළු පටු නොවීය. එතෙක් ඩේව් වට්මෝර්, ටොම් මූඩි වැනි සුපිරි පුුහුණුකරුවන් අතර පවා ශ්‍රී ලංකා ප්‍රතිරූපයට කණකොකා හැඬීමට මාෂ්ගේ සිදුවීම ප්‍රමාණවත් විය. අළු බඳුන සහ ක්‍රිකට් ලෝක කුසලානයක් යන දෙකම ජයගැනීමට උරදුන් ක්‍රීඩක පුහුණුකරුවන් වේ නම් ඒ ඉතාමත් අඩු පිරිසකි. ඒ පිරිස අතර, ඩැරන් ලීමන් සහ ජෙෆ් මාෂ්ට හිමිවන්නේ ද සුවිශේෂි ස්ථානයකි.

ශ්‍රී ලංකා කණ්ඩායම 2011 දී දකුණු අප්‍රිකානු සංචාරයේ ශ්‍රී ලංකාව සත්කාරකයන් පරාජය කරමින් ලැබූ ප්‍රථම ටෙස්ට් තරග ජයටද මාෂ් සිය දායකත්වය සපයා තිබුණි. කෙසේ වෙතත් මාෂ්ව පන්නා දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලකයන් කටයුතු කළ අතර, සිය ගිවිසුම් කාලයට පෙර ඉවත් කිරීම පිළිබඳ මාෂ් නීතිමය පියවර ගත් අතර, ඒ වෙනුවෙන් විශාල වන්දි මුදලක් ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සිදු විය.

මෙකී සිදුවීමට පෙර වත්මන් පුහුණුකරු චන්දික හතුරුසිංහ සමඟ ද ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කළ අතර, එයද කෙළවර වූයේ හිත හොඳකින් නම් නොවේ. මේ නැවත විදේශීය පුහුණුකරුවන් දෙස හැරුණු ශ්‍රී ලංකා ක්‍රිකට්වල සියලු ප්‍රතිරූප කුඩුපට්ටම් කරදැමීමට ඔස්ට්‍රේලියානු ජාතික කඩුලු රැකි ක්‍රීඩකයකු වූ ස්ටීව් රික්සන් සමත් විය. ඒ 2013 දීය. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රියා කලාපය පිළිබඳ රික්සන් දැක්වූ අදහස් හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රතිරූපය තවදුරටත් කුඩු පට්ටමක් විය.

“ශ්‍රී ලංකා ක්‍රිකට් මට ගිවිසුමක් එව්වා. ඒක හරිම ලජ්ජාසහගත එකක්. මට කියන්න තියෙන්නේ ඒක හරිම දුර්වලයි.“

මේ අනුව 2015 වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම බාර ගැනීමට කිසිදු ප්‍රධාන පෙළේ පුහුණුකරුවකු ඉදිරිපත් නොවූ අතර මේ නිසාම ශ්‍රී ලංකා ක්‍රිකට් පාලකයන් නැවත වතාවක් 2012 - 14 දක්වා පුහුණුකරු ලෙස කටයුතු කළ ෆෝඩ් දෙස නැවත වතාවක් හැරෙනවා හැර වෙන විකල්පයක් නොවීය. එහෙත් ෆෝඩ් ද මෙකී ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ කිසිදු අවුලකින් තොරවය. ඒ වන විට ෆෝඩ් සරේ ප්‍රාන්තය සමඟ කටයුතු කළ අතර, සරේ එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ පළමු කාණ්ඩය දක්වා එකී පුහුණු කාලය තුළ ඉදිරියට පැමිණීමට සමත්විය. ශ්‍රී ලංකා ක්‍රිකට්වලට අවසන් විසඳුම වුයේ සංගායි. සංගා සහ ෆෝඩ් අතර තිබුණේ ඉතා සමීප සබඳතාවකි. ෆෝඩ්ගේ හැකියාව, දැනුම, කැපවීම පිළිබඳ සංගාට මහත් වූ පැහැදීමක් තිබුණි. සංගාගේ ටෙස්ට් දක්ෂතා හා හැකියාව පිළිබඳ කිසිදු අවුලක් නොමැති වුවත් 2012 - 14 දී ෆෝඩ් සමග කටයුතු කිරීමෙන් අනතුරුව සිය එක්දින දිවියේ විශාල පරිවර්තනයක් කරගැනීමට සංගා සමත් වූ බව පෙනේ. ෆෝඩ් ශ්‍රී ලංකා කණ්ඩායමට (2012) පැමිණීමට පෙර සංගාගේ එක්දින තරගවල ලකුණු සාමාන්‍යය තිස් හයක් ලෙස සටහන්ව තිබූ අතර ශතක සංඛ්‍යාව 12 කි. නමුත් ෆෝඩ්ගේ පැමිණීමෙන් පසු පැවැති එක්දින තරගවල සංගාගේ සාමාන්‍යය පනස් පහක් ලෙස සටහන්වනවිට සිය ශතක ගොන්නට තවත් ශතක 13 ක් එක්කර ගැනීමට ද සමත් විය. සංගා සිය එක්දින තරග දිවියට සමුදෙන විට ශතක 25 කි. ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 49.98 කි. මෙකී සාමාන්‍යය ලාංකේය පිතිකරුවකු එක්දින තරගවල සටහන් කරගෙන ඇති ඉහළම ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයද වෙයි.

2015 සරේ ප්‍රාන්ත කණ්ඩායමේ විදේශ ක්‍රීඩකයා ලෙස සංගා තෝරා ගන්නා ලෙස යෝජනා කර ඇත්තේ ද ෆෝඩ්ය. ඒ අනුව සංගා සහ ෆෝඩ් අතර පැවැති සැබැඳියාව පිළිබඳ මනා අවබෝධයකින් පසු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලකයන් සංගාට නැවත නැවතත් කියන්නේ ෆෝඩ් සමඟ කතාබහ කරන ලෙසය. මුලදී සංගා ද මේ පිළිබඳ එතරම් කැමැත්තක් දක්වා නැත. සංගාගේ සමීපයන්ද ප්‍රකාශ කර ඇත්තේ ෆෝඩ් සමඟ කතා නොකරන ලෙසය. කෙසේ වෙතත් ඒ සියලු මතවාදයන් පසෙකලා සංගා ෆෝඩ් සමඟ කතා කිරීමට එකඟ වී තිබේ. ඒ අනුව සංගා ෆෝඩ්ගෙන් ඉල්ලා ඇත්තේ සිය තීරණය පිළිබඳ නැවත සලකා බලන ලෙසයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ඊට පෙර කටයුතු කර ඇති ෆෝඩ් මෙරට ක්‍රිකට් ගිලගෙන ඇති ජරා ජීර්ණ දේශපාලනය ගැන මනා වැටහීමක් තිබූ හෙයින් සංගාගේ ඉල්ලීම පිළිබඳ පැකිලීමෙන් පසුවිය. කෙසේ වෙතත් 2019 ක්‍රිකට් ලෝක කුසලානය දක්වා වූ දීර්ඝ කාලීන ගිවිසුමක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් එකඟ බව පැවැසීමෙන් අනතුරුව ෆෝඩ් ශ්‍රී ලංකා කණ්ඩායම් වගකීම බාර ගත්තේය.

ෆෝඩ් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ කටයුතු කිරීමට එකඟ වීමත් සමඟ සරේ ප්‍රාන්ත ක්‍රිකට් අධ්‍යක්ෂ ප්‍රවීණ ක්‍රීඩකයකු වූ ඇලෙක්ස් ස්ටුවර්ට් ප්‍රකාශ කර ඇත්තේ ෆෝඩ් වැනි අතිවිශිෂ්ට පුහුණුකරුවකු අපට අහිමි වීම පිළිබඳ තමන් බෙහෙවින්ම කනගාටුවන බවය. එමෙන්ම හෙතෙම එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ පසුගිය දෙවසරක කාලය තුළ තම කණ්ඩායම ලබා ගත්තා වූ වර්ධනයට ෆෝඩ් ප්‍රධානම සාධකය වූ බවය. ෆෝඩ් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමත් සමඟ ම ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරගාවලිය 3 - 0 ක් ලෙස පරාජය කළේය. ඒ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් ඇතුළු ක්‍රීඩකයන්ට ඇති වූ විවිධ ආබාධ නිසා දකුණු අප්‍රිකානු සංචාරයේ ටෙස්ට් සහ එක්දින තරගාවලිය එහෙම පිටින් ම පරාජය විය. ඕනෑම තරගයක ජය සහ පරාජය යනු තරගයක ස්වභාවයයි. එමෙන් ම එය සාමාන්‍ය තත්ත්වයකි. ශ්‍රී ලංකා කණ්ඩායම යනු පරාජය විය නොහැකි කණ්ඩායමක් යැයි කවුරුන් හෝ සිතනවා නම් එය මුළාවකි. සංගා - මහේල, ඩිල්ෂාන් ගිය තැන් පටන් ශ්‍රී ලංකාව වැඩෙන කණ්ඩායමකි. ශ්‍රීි ලංකා කණ්ඩායමේ ප්‍රවීණ ක්‍රීඩකයෝ ඒවනවිට ද තමන්ට හැකි උපරිම දේ කරමින් සිටින විට නවකයෝ කණ්ඩායමේ තමන්ට තැනක් හදා ගැනීමට වෙර දරමින් සිටියහ. එවන් තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාව සිය ටෙස්ට් ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී ම බංග්ලාදේශය අතින් පරාජය විය. බංග්ලාදේශය චන්දික හතුරුසිංහගේ පුහුණුව යටතේ ඉතා සාර්ථක ගමනකට අවතීර්ණව සිටි වකවානුවයි. බංග්ලාදේශය මෙකී සංචාරයට එක්වූයේ ද තම ක්‍රිකට් ක්ෂේත්‍රය නව හැරවුම් ලක්ෂයක් කරා යොමු කිරීමේ අරමුණෙන්ය. බංග්ලාදේශය ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා එන විට ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයෙන්ම ඉවතට විසි විය.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම යම් යම් ග්‍රහණයන්ට හසුවෙමින් පැවැති බවට සාධක සෙවීමට වෙහෙස මහන්සි විය යුතු නොවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් දියකර හැරීමේ කාර්යයට ඒ වනවිට බොහෝ දෙනා සක්‍රියව ම දායක වී තිබුණි. ශුරයන්ගේ කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පන්දු යැවීමේ එකම තුරුම්පුව බවට සහ මෙකී තණතීරුවල මහා පෙළහරක් ප්‍රදර්ශනය කරන බවට පූර්ව අනාවැකි පල කළ ලක්ෂාන් සඳකැන් බංකු රත් කිරීමට පමණක් සීමා විය. දකුණු අප්‍රිකාව හමුවේ ලද පරාජයන් මෙන්ම අවාසනාවන්ත ලෙස බංග්ලාදේශය හමුවේ ලද පරාජය හමුවේ වුවද නොසැලුණු ෆෝඩ් ආබාධයන්ට ලක්වූ ක්‍රීඩකයන් සුව වී කණ්ඩායමට එක් වූ විට පවතින අවාසනාවන්ත තත්ත්වය පහව යනු ඇතැයි විශ්වාස කළේය.

ශූරයන්ගේ කුසලාන තරගාවලියට එක්වන විට නායක ඇන්ජලෝ මැතිව්ස් පවා ආබාධිත තත්ත්වයේ පසු වූ නමුත් පළමු තරගයට ක්‍රීඩා කිරීමට තරම් සුදුසු සෞඛ්‍ය මට්ටමකින් පසු විය. නමුත් මැතිව්ස් පළමු තරගයට ක්‍රීඩා කළේ නැත. මැතිව්ස්ට විවේකය සමඟ බංකුවට වී සිටීමට සිදු විය. වෛද්‍යවරුන් පවා මැතිව්ස් තරගයට සුදුසු බව සනාථ කර තිබියදී මැතිව්ස් පවා සිය ශාරීරික යෝග්‍යතාව පරීක්ෂා කරන ලෙස ඉල්ලීමක් කරන විට, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලිපිකරුවකුට ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ හැකිද? පමා විය යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් දියකර හැරීමේ ක්‍රියාවලිය බංග්ලාදේශ තරගාවලියෙන් ම කරළිගත වූ අතර, ශූරයන්ගේ කුසලාන තරගාවලියට යන විට එය පුපුරා යන තරමට ම වර්ධනය විය. ශූරයන්ගේ කුසලාන තරගාවලියේ පළමු තරගය මැතිව්ස්ට අහිමි වන විට නායකත්වය බාර ගත් උපුල් තරංග එකී තරගයේ අඩු පන්දුවාර වේගයක් රඳවා ගත් අතර, එහි ප්‍රතිඵලය වූයේ ඉතිරි තරග දෙක තරංගට අහිමි වීමය. මෙහිදී මෙකී වගකීම තනිකරම පුහුණුකරු ෆෝඩ්ගේ කර මත තැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් වගබලාගත් බව නොරහසකි.

මේ සියල්ල පිළිබඳ මනා වැටහීමකින් සිටි සංගා, ඉදිරියේ මතුවිය හැකි ව්‍යාකූලභාවය කල් ඇතිවම දුටුවා මෙන් ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ෆෝඩ්, ලෝකයේ ඉදිරියේ ඉහළින් ම ඇගැයීමට අමතක නොකළේය.

“වර්තමානයේ ලොව සිටින හොඳම පුහුණුකරුවන්ගෙන් කෙනෙක් ශ්‍රීි ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ කටයුතු කරනවා. ඒ ගැන මම හුඟක් සතුටු වෙනවා. ශ්‍රී ලංකාව සතුව දක්ෂයන් රැසක් සිටිනවා. ඒ වගේ ම ඔවුන්ව බාර සිටින්නෙත් ඊට සුදුසුම (ෆෝඩ්) පුද්ගලයෙක්. ඒ අනුව ඔවුන්ගේ කාර්යය ඔවුන්ට නිදහසේ කරගෙන යන්නට අවස්ථාව දෙන්න ඕනා. ෆෝඩ්ට ක්‍රිකට් පුහුණු කරන්නත්, ක්‍රීඩකයන්ට නිදහසේ ක්‍රීඩා කරන්නත් අවස්ථාව දෙන්න ඕනෑ. ඇඟිලි ගැසීම්වලින් තොරව ඔවුන්ට ඔවුන්ගේ කාර්යය ඉටු කරන්න අවස්ථාව ලබා දුන්නොත්, ඉක්මනින් ප්‍රතිඵල ලබා ගන්න පුළුවනි.“ සංගා වැඩිදුරටත් පැවැසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව තනතුරක් ක්‍රිකට් කළමනාකරු නමින් ඇති කර අසංක ගුරුසිංහ ආනයනය කළ අතර, ෆෝඩ්ගේ වගකීම්වලින් කොටසක් නව කළමනාකරු වෙත පැවැරීම පිළිබඳ ෆෝඩ් සිය අවසන් කාලය ගත කළේ එතරම් සතුටකින් නොවේ. පසුව කොළඹදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරින් හමුවූ ෆෝඩ් ක්‍රීඩකයන්ගේ වගකීම් තමන් වෙත ලබා දීමට කටයුතු නොකරන්නේ නම්, කණ්ඩායමේ වර්ධනය ඉහළ මට්ටමක රඳවා ගැනීමට අපහසු බව පවසා තිබේ. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරින් ෆෝඩ්ට පවසා ඇත්තේ පවතින තත්ත්වය යටතේ කටයුතු කිරීමට නොහැකි නම් ඉවත්ව යන ලෙසය. ඒ අනුව කොන්දක් ඇතිව මෙරටට ආ ෆෝඩ් ඉවත්ව ගියේය.

මේ මොන ගැටලු මතු වුවද තේරීම් කමිටු සභාපතිවරයා තම කාර්යය සැම විට ම සාධාරණීයකර ගැනීමට උත්සාහ දරනවා පමණක් නොව, ඒ කිසිම තැනකදී මඟහැර යාමට ද උත්සහ නොකරයි. දඹුලු මත දැක්වීමේදී නික් පෝතාස් ප්‍රකාශ කරන්නේ සුප් එකට කුක්ලා වැඩි බවයි. කුක්ලා කල්ලියට අවශ්‍යව ඇත්තේ තවදුරටත් ක්‍රිකට් දියකර හැරීම තුළ ක්‍රීඩකයන්ගේ බල බිඳීම බව පැහැදිලිය. කුක්ලා කල්ලියෙන් ක්‍රිකට් බේරා ගැනීමට ශක්තිමත් කොන්දක් ඇවැසිය.

අදහස්