කලිසම් ගැලවෙන ක්‍රිකට් | සිළුමිණ

කලිසම් ගැලවෙන ක්‍රිකට්

ශ්‍රී ලංකාවේ සමස්ත ක්‍රීඩාවේම ගමන් මග පිළිබඳ අද ඇත්තේ අවි‍නිශ්චිත භාවයකි. කෙවිට අතට ගත්තෝ සමස්ත ක්‍රීඩාවම ඔහේ දක්කා ගෙන ගියා මිසක් හැරවුම් ලක්ෂ්‍යයක්වත් හඳුනාගත් බවක් පෙනෙන්නට නැත. ඒ අතින් ක්‍රිකට් අද ඉදිරියෙන් ම තිබේ. මේ කීර්තිමත් වෙළෙඳ සන්නාමය මොන ආකාරයෙන් හෝ අර්බුදයකට ලක් වී ඇත්නම් එකී අර්බුදයෙන් හෝ අර්බුදවලින් ගොඩගැනීමට රජය පෙරමුණ ගත යුතු ය. එසේ ම එහි සිදු වන්නා වූ සියලු ක්‍රියාකාරකම් පිළිබඳ රජය ද මීට වඩා අවධානයක් ‍යොමු කළ යුතු බව අවධාරණය කළ යුතු ය. 96 ක්‍රිකට් කිරුළ දිනා ගැනීමෙන් පසු මෙරට ක්‍රිකට් ආයතනයට ගලා ආ ධනස්කන්ධය ඉදිරියේ උමතුභාවයට පත්වූ නිලධාරීන් සහ බලධාරීන් අතීතයේ ක්‍රියා කළ ආකාරය ගැන පැහැදිලි චිත්‍රයක් ද සමාජය සතුය. එකී නිලධාරීන් සහ බලධාරීන් හරියට වැඩ කළා නම්, ශ්‍රී ලංකා ක්‍රිකට් වවාගෙන කන තවාන් බවට පත් කර නොගත්තේ නම් අද මෙවන් අර්බුදයකට නොයනු ඇත.

දකුණු ආසියාවේ ක්‍රිකට් යනු හුදු ක්‍රීඩාවෙන් එහා ගිය ක්‍රියාවලියක් බව පැහැදිලි ය. පසුගිය වසරේ පැවැති ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයෙන් ම ඉවතට විසි වී අන්ත අසරණව සිය රට එනවිට ඉන්දියාව අවසාන මහා තරගයට පිවිස පාකිස්තාන‍ය හමුවේ පරාජය වනවිට ඉන්දීය ක්‍රීඩකයන්ගේ නිවාසවලට පොලිස් ආරක්ෂාව පවා යොදවන්නට සිදුවීම කියාපාන්නේ ඒ තරමට ම ක්‍රිකට් ක්‍රීඩාව දකුණු ආසියාතිකයන්ගේ ජීවිත හා කොතෙක් බැඳී පවතී ද යන්නයි. අනතුරුව එළැඹුණු ඉන්දු - ලංකා එක්දින තරගාවලියේ දී 3 – 2 ක් ලෙස අවම වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය නොවුණහොත් ලබන වසරේ පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබී‍මේ තරගාවලියට පවා ක්‍රීඩා කිරීමේ අවදානමක් පැවැතුණි. මෙයින් පැහැදිලි වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීමේ දිග සහ පළලයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිඵල මොන මට්ටමක තිබුණ ද අද මුදලට හෙට ණයට න්‍යායෙන් වුවත් තවමත් මෙරට ක්‍රීඩා ලෝලයන් ක්‍රිකට් අතහැරීමට මැළිවන බව පෙනෙන්නේ බැන බැන හෝ අද පැරදුනත් හෙට දිනයි යන විශ්වාසය සිත්හි දරා ගෙනය. සංගා සහ මහේල ක්‍රිකට් පිටියට සමුදී ගියේ ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ පදාසයක්ම ගලවා ගෙන බව නොරහසකි. ගලවාගෙන යෑමටත් වඩා ගලවාගෙන යන තැනට තල්ලු කර දැමූ විපාක මේ විඳින්නට පටන් ගත්තා පමණි.

පසුගියදා ක්‍රීඩා අමාත්‍යවරයාටම අවබෝධ වී හෝ තේරීම් කමිටුව ඉවත් කර අසන්ත ද මැල් ඇතුළු පිරිසට ක්‍රිකට් බාර කළේ විශේෂයෙන් එළැඹෙන ක්‍රිකට් ලෝක කුසලානය ද ඔළුවේ තබාගෙන විය යුතු ය. සනත් ජයසූරිය තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කරන සමයේ ක්‍රීඩකයන් හතළිස් ගණනක් එහා මෙහා කළ ද ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩා වැටීම නතර කිරීමට නොහැකි විය.

ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහ ය‍ටතේ බංග්ලාදේශය බින්දුවෙන් පටන්ගෙන ගොඩ ආ ක්‍රමයක් තිබේ. ක්‍රීඩකයන් පවා සුපිරි බව ආරෝපණය කර නොගෙන මහන්සියෙන් ගෙදර වැඩ කළ යුතු ය. එමෙන්ම පාලකයන් ද දැනගත යුත්තේ සැලසුමක් අනුව වැඩ කිරීමට ඇවැසි පසුබිම සකසාදීමය.

දක්ෂතාවලින් හෙබි ක්‍රීඩකයන්ට ගොඩ යෑමට ද කාලයක් ලබාදිය යුතු ය. ආදරය සහ සැලකිල්ල ද අවශ්‍ය සාධකයන්ය. වඩා සාර්ථක ප්‍රතිඵල බලාපොරොත්තු වන්නේ නම් මේ දේවල් ද මග හැර යා නොහැකි ය. පසුගිය කාලයේ තේරීම් කමිටු කළේ මොනවාද යන්න ඔවුන්වත් දන්නවා දැයි නොදනිමු.

මේ සියලු අර්බුද හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝටි ගණනින් නොව, ප්‍රකෝටි ගණනින් ණය වුව ද තරග පිට තරග පරාජය වූව ද, හෙට වුවත් කිසිදු අපුලකින් සහ හිරිකිතයකින් තොරව බාර ගන්නට පොරකන මහා පිරිසේ අඩුවක් නැත. ඒ ඇයි ද යන්න රහසක් නොවන නමුත් මෙහි රස පහස දන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් මේ තැනට ඇද දැමූ හපකර දැමූවෝ ම පමණි. 96 ක්‍රිකට් කිරුළ දිනාගත් තැන් පටන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගලා ආ ධනස්කන්ධය බේරා ගන්නට එකෙකු පළවා දමා තවකෙකු ගෙනෙන්නට සිදුවූ අතීතයක් ද මෙරට ක්‍රිකට්වල තිබුණි. ඒ නිසා කිඹුල් කඳුළුකාරයන්ට මෙන් ම පුහුල් හොරුන්ට ආයෙත් අසුවෙනවාද? නැද්ද? යන්න ක්‍රීඩාව කරවන බලධාරීන්ගේ වගකීමයි. ඒ නිසා මේ සියලු දේ පිළිබඳ අවධානය යොමු කර ක්‍රීඩාව කරවන බලධාරීන් පමණක් නොව, එයට උනන්දු වන සියලු ම දෙනාගේ දෑත් ද මේ මොහොතේ එක්විය යුත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් වැටී ඇති මේ නරා වළෙන් ගොඩ ගැනීමට ය.

අදහස්