48 මුල්ම නිද­හස් දිනය දා ජාතික ගීය ගැයී­මට එක් වූ යුව­ති­යක් දශක හත­කට පසු සිළුමිණ ට කී කතාව | සිළුමිණ

48 මුල්ම නිද­හස් දිනය දා ජාතික ගීය ගැයී­මට එක් වූ යුව­ති­යක් දශක හත­කට පසු සිළුමිණ ට කී කතාව

* ඉප­දුණේ 1927
* 48 ජාතික ගීය ගැයුවේ පාසල් සිසු­වි­යක ලෙස 
* සුනිල් ශාන්ත­යන්ගෙ සිසු­වි­යක්
* ඔහු සමඟ ගැයූ යුග ගී ඉතා ජන­ප්‍රිය වුණා

මෙවන් පිටි­සරේ 
මේ දූගී පැලේ...

සුනිල් ශාන්ත­යන් ගයන මේ ගීතය ඇසෙන මොහො­තක් පාසා ඔහු හා යුග ගී ගයන ඇය කවු­දැයි සිත ප්‍රශ්න කරයි. නමුදු ඇය පිළි­බඳ තොර­තු­රක් සොයා ගන්නට සිත සිතා සිටි මොහො­තක මා මිත්‍ර­යකු කතා කොට අපූරු තොර­තු­රත් කීවේය.

“එක්ද­හස් නව­සිය හත­ළිස් අටේ පළමු නිද­හස් උත්ස­ව­යේදී ජාතික ගීතය ගායනා කළ ගැහැනු ළමයි හතර දෙනා­ගෙන් කෙනෙක් තව­මත් ඉන්නවා. ඇයගේ පුතෙක් ඉන්නවා.”

එලෙස අප හා තොර­තුරු පැව­සුවේ කර්නල් නිරෝ­ෂන් ජය­ම­හය.

ඔහු කියූ තොර­තුරු අනුව අපි ඇය සොයා ගියෙමු. ඒ හෝක­න්දර නිවෙ­ස­ටය.

ඇය නමින් ලීලා අශෝ­කාය. දැන් ඇගේ වයස අවු­රුදු අනු­එකකි. යොවුන් වියේදි බොහෝ හැඩ­කා­රව සිටි­න්නට ඇතැයි ඈ දෙස බැලු බැල්මට පෙනේ.

“මගේ නම හේවා ගීග­නගේ ලීලා­වතී. මම උපන්නේ එක්ද­හස් නව­සිය විසි හතේ ජූලි හත්වැ­නිදා. මගේ පියා නැති වෙලා තියෙන්නේ අයි­යයි මමයි පුංචි කාලේ. අම්මා නැවත විවාහ වෙලා තියෙ­නවා. අපේ බාප්පා කව­දා­වත් අපට වෙන­ස්ක­මක් කළේ නැහැ. ඔහු කලා­වට බොහෝම කැමැති කෙනෙක්. ඒ නිසා ඔහු අපේ කලා හැකි­යා­වන් දියුණු කර ගැනී­මට උදව් කළා.”

ඇය සිය අතීත මතක අවදි කර­න්නට වූයේ බොහෝ සෙමෙනි. ඇයට දැන් බොහෝ අතීත තොර­තුරු අම­ත­කය. නමුදු බොහෝ වේලා කල්පනා කිරී­මෙන් පසු ඇය සිය අතී­තය සිහි­පත් කරයි.

“මං ඉගෙන ගත්තේ කොළඹ මියු­සි­යස් විද්‍යා­ලයේ. අපේ ගෙවල් තිබුණේ තිඹි­රි­ග­ස්යායේ. එක්ද­හස් නව­සිය හත­ළිස් අටේ නිද­හස් උත්ස­ව­යට ජාතික ගීය ගයන්න අප තෝරා ගත්තා. කරු­ණා­රත්න ගුරු­තු­මිය තමයි අප තෝරා ගත්තේ මර්ස­ලින් ජය­කොඩි පිය­තුමා අපට ගීය පුරුදු කරන්න ආවා මත­කයි. මේ ඉන්නේ මගේ අනෙක් යෙහෙ­ළියෝ.”

ඇය සිය ලිපි­ගො­නු­වෙන් ගන්නා ලද දිනමිණ පුවත් පතක පළවූ ඡායා­රූ­ප­යක් අපට පෙන්ව­න්නීය. ඇගේ ලිපි ගොනුවේ බොහෝ මතක වස්තු ඇත. ඒ අතර ඇයගේ විභාග සහ­තික මෙන්ම පාසල් කාලයේ ඇය විසින් අඳින ලද සිතු­වම් ආදිය ද වේ.

“අපේ අම්මාට පැරණි තොර­තුරු හොඳට මත­කයි. නමුත් මේ මොහොතේ සිදු­වන දේ මොහො­ත­කින් අම­ත­කයි. මට මත­කයි අපි පුංචි කාලේ ගෙදර සර්පි­නා­වක් තිබුණා. අම්මා ඒ දව­ස්වල අම්මගේ පාසල් ජීවි­තය වගේම ඇගේ කලා ජීවි­තය ගැන තොර­තුරු කිය­නවා. අපි දැක්කේ හැම­දාම අපේ අම්මා සතු­ටින් ඉන්නවා.” ලීලාගේ පුතු රීසා පව­සන්නේ තම මව දෙස බල­මිනි.

“මගේ අම්මා ජොස­ලින් පෙරේරා. තාත්තා හේවා ගීග­නගේ එන්දෝ­රිස්. මියු­සි­සි­යස් විද්‍යා­ල­යෙන් පසුව මම මර­දාන මැදි විදු­හලේ ඉගෙන ගත්තා. එහිදි මම චිත්‍ර අදින්න, රවි­කි­ඤ්ඤාව, සර්පි­නාව වාද­නය කරන්න ඉගෙන ගත්තා. එම විදු­හලේ චිත්‍ර කලා ගුරු­ව­රයා වුණේ එච්. පී. චාල්ස් මහ­ත්තයා. මගේ මාමා කෙනෙක් තමයි ඒ කාලේ හෙළ හවුලේ සාමා­ජි­ක­යෙකු වුණු වෙ. ම පෙරේරා.”

ලීලා මහ­ත්මිය අතීත තොර­තුරු සිහි­පත් කරන අතරේ ඇගේ පුතු ඇයට යම් යම් සිදු­වීම් සිහි­පත් කරයි. ඇයගේ ගායන දිවිය ඇරැ­ඹියේ කෙසේ­දැයි අපි විම­සීමු.

ඒ අතී­තය සිහි­පත් කරන විට ඇගේ වත ප්‍රභා­මත් විය.

“මම ඉස්කෝ­ලෙත් සින්දු කිව්වා. ගුවන් විදු­ලියේ සින්දු කියන්න ගියා. දැන් ගුවන් විදු­ලිය තියෙන තැන නෙ‍ෙමයි එදා ගුවන් විදු­ලිය තිබුණේ. අප හිටිය තඹි­රි­ග­ස්යායේ ගේ ඉස්ස­ර­හින් නිතර ගුවන් විදු­ලි­යට යන එන ශිල්පීන් යනවා. ඒකාලේ ඇල්බට් පෙරේරා ගුවන් විදු­ලි­යට එන්නේ වාදන ශීල්පි­යෙක් හැටි­යට. අපි ගයන විට ඔහු වාද­නය කර­නවා. සම­හර දව­ස්ව­ලට පප්පා මාව ඇල්බට් පෙරේ­රාගේ නිවෙ­සට එක්ක­ගෙන යනවා.

ඒ ගාය­නය පුරුදු වෙන්න. සර්පි­නාව වාද­නය කර­න්නත් කෙනෙක් යනවා. එහෙම පුරුදු වෙලා තමයි අපි ගායනා කෙරුවේ. ඇල්බට් පෙරේරා පසුව අම­ර­දේව වුණා. මට මත­කයි ඔහු ඒ කාලේ හැම­දාම පුහුණු වීම් වලට එන්නේ ප්‍රමාද වෙලා. ඒ නිසා තමයි අපි ඔහුගේ නිවෙ­සට යන්නේ. ඒ කාලේ ඔහු ගායනා කළේ නැහැ. හේවා­ගී­ග­නගේ ලීලා­වති වුණු මගේ නම ගායන ලෝක­යට හරි­යන ලෙසින් ලීලා අශෝකා කියලා වෙනස් කෙරුවා.”

ලීලා අශෝකා ගී ගය­න්නීය. ඇයට යුග ගී ගැයි­මට ද ඒ අතර අව­ස්ථාව ලැබෙ­න්නේය. ඒ සුනිල් ශාන්ත සම­ඟය. එමෙන්ම ඇයට ආනන්ද සම­ර­කෝන් සම­ඟද යුග ගී ගය­න්නට ලැබිණි. අවා­ස­නාව නම් මේ ගී අද අස­න්නට නොලැ­බී­මය. සුනිල් ශාන්ත යනු ගුවන් විදු­ලියේ එක්තරා යුග­යකි. නමුදු ඔහුට ගුවන් විදු­ලියේ රැකි­යාව අහිමි වුයේය.

“ඒ කාලේ ඉන්දි­යා­වෙන් රතන් ජන්කර් ඇවිල්ලා ගුවන් විදු­ලියේ ශිල්පින් ශ්‍රේණි­ගත කෙරුවා. මේ පරි­ක්ෂ­ණ­යට සුනිල් ශාන්ත මහ­ත්මයා ගියේ නැහැ. ඔහු කිව්වේ ඔහුට වඩා අඩු සුදු­සු­කම් තියෙන කෙනෙක් ගාවට යන්නේ නැහැ කියලා. අපි පරි­ක්ෂ­ණ­යට ගියා. මම ගුවන් විදු­ලියේ බී ශ්‍රේණියේ ගායි­කා­වක්. මට මත­කයි සුනිල් ශාන්ත මහ­ත්මයා අපි පාරේ යන­කොට දැක්කොත් වාහ­නය නතර කර­නවා. නමුත් කව­දා­වත් ඔහු ගැහැනු අය ඉස්ස­ර­හින් නග්ග ගත්තේ නැහැ. පිටි පස්සේ අසු­නට තමයි නග්ගවා ගත්තේ. ඒ වගේ තමයි ඔහු කිසිම කෙනෙක් එක්ක ආවාට ගියාට කතා කළේ නැහැ. මට ඔහුගේ යුග ගී වලට සහාය වීමට ලැබුණා. සම­හර ගීවල පේළි­යයි දෙකයි ගයන්න ලැබුණේ. මෙවන් පිටි­සරේ ගීතයේ නම් පේළි ගොඩක් ගයන්න තිබුණා. ඒ කාලේ මම ගුවන් විදු­ලියේ ගී බොහෝ­ම­යක් ගැයුවා. විවි­යන් ද සිල්වා බොර­ලැස්ස මගේ පාසල් යෙහෙ­ළි­යක්. ඒ කාලේ මම ගුවන් විදු­ලි­යට ගවුම් ඇඳ­ගෙන යන්නේ. සම­හර දව­ස්ව­ලට සාරි ඇද­ගෙන ගියා මත­කයි.”

ගුවන් විදු­ලිය ගැන පරැණි ගී ගැන සිහි­පත් කරන විට ඇයට සතු­ටුය. ඇය ගී මුමු­නයි. ගුවන් විදු­ලි­යට ගිය තරුණ ලීලාට ගුරු පත්වී­මක් ලැබෙ­න්නේය. ඇය කලක් මර­දානේ පාස­ලක ඉගැ­න්නු­වාය. ඒ පාස­ල්වල නම් කීමට දැන් ඇයට හරි හැටිද මතක නැත.

කෙසේ වුවත් පළමු නිද­හස් උත්ස­ව­යේදී ජාතික ගීය ගායනා කළ; එකල සංගීත ක්ෂේතයේ ප්‍රවී­ණ­යන් සමඟ යුග ගී ගැයූ ඇයට ඒ සිය­ල්ලෙන් වෙන්වී­මට සිදු­වන්නේ විවා­හ­යත් සම­ඟය.

“මම කෙටි කාල­යක් තැපැල් කන්තෝ­රුවේ සේවය කළා. ඒ කාලේ තැපැල් කන්තො­රු­වට ඔහු එනවා ලියුම් විදුලි පණී­වුඩ ආදිය යවන්න. ඔහු සේවය කළේ රජයේ වෙළෙද ආය­ත­න­යක. ඔහු මුස්ලිම් ජාති­ක­යෙක්. ඔහුගේ නම එම්. ඒ. කම­ල්ඩීන්. අපේ සම්බ­න්ධ­යට කවු­රු­වත් කැමති වුණේ නැහැ. නමුත් අපි විවාහ වුණා. මම පන්සල් ගියා ඔහු පල්ලි ගියා. මට පුතාලා තුන්දෙ­නෙක් ඉන්නවා.

එයා බොහෝම හොඳට අපට සැල­කුවා. නමුත් මම ගුව­න්වි­දු­ලි­යට යන­වට ගීත ගායනා කර­න­වාට ඔහු තැමති වුණේ නැහැ. ඔහු කිව්වේ මගේ ගී ගුවන් විදු­ලියේ ප්‍රචා­රය කරන්න එපා කියලා ලියු­මක් දෙන්න කියලා. මම ඒ විදි­හට කෙරුවා. ඒකයි මගේ ගී ගුවන් විදු­ලියේ නැත්තේ. නමුත් යුග ගී එහෙම්ම තියෙ­නවා.” ඇගේ හඬ දුක්බ­රය. ගී ගාය­න­යෙන් ඈත් වීම ඇයට දුකක් වන්නට ඇති බව අපට හැඟණි. ඇය පරණ තෝම්බු අතරේ තිබු චිත්‍ර එකින් එක ඇද අපට පෙන්ව­න්නට වුවා. ඒ චිත්‍ර හරි අපූ­රුය. ඒ චිත්‍ර අතර ඇය සමත් වූ චිත්‍ර, සංගීත පරි­ක්ෂ­ණ­වල සහ­තික පත් ද විය. ඇය මේ සියල්ල ඉතා ඕනෑ­ක­මින් ආරක්ෂා කර ගෙන සිටි­න්නීය.

“අම්මා හැම­දේම හරි පරි­ස්ස­මට එකතු කර­නවා. මේ තියෙන්නේ අම්මා තරුණ කාලේ ජේ. ඩී පෙරේරා කියන චිත්‍ර ශිල්පියා ඇය සිතු­ව­මට නගපු එකක්. මේ චිත්‍රය කලා­භ­වනේ තියෙ­නවා. ඒකෙන් ගත්ත රූප­යක් තමයි මේ තියෙන්නේ. අම්මා හැම­දාම බොහෝම ස්වාධින චරි­ත­යක්. මම හුඟක් උත්සාහ කළා අම්මාගේ ගීත හොයන්න. නමුත් සුනිල් ශාන්ත මහ­ත්මයා එක්ක ගැයූ ගීත අත­රින් හත­රක් විත­රයි තියෙන්නේ. සරත් ද අල්විස් කියන්නේ මගෙ මාමා. ඔහු මගේ අම්මගෙ බාල මල්ලි. අද වෙන කොට බොහෝ දෙනා දන්නේ නැහැ අම්මා ජීවත්ව සිටින බව.”

රීසා පව­සන්නේ දුකෙනි. සුනිල් ශාන්ත­යන්ගේ සිය­වැනි සමරු උලෙ­ළට ද ලීලා අශෝකා මහ­ත්මි­යට සහ­භාගි වීමට අව­ස්ථාව ලැබිණි. නමුදු ඇය ගැන සමා­ජය කතා කරන්නේ නැති තරම්ය. මීට වසර දහ­ප­හ­ළො­ව­කට පෙර ඇය හා කතා ක‍ළේ නම් අතීත ගුවන් විදු­ලිය හා එහි ගත කළ ජීවි­තය මෙන්ම නිවේ­දි­කා­වන් නිවේ­ද­ක­යන් ගායන ශීල්පීන් ගැන වටිනා කතා බහක නිරත වන්නට ඉඩ තිබිණී.

අවු­රුදු අසූව අසූ පහේදි පමණ ඇය විසින් කාන්සිය මඟ­හ­රවා ගැනී­මට ඇඳි සිතු­වම් මෙන්ම මැහුම් නිර්මාණ ආදිය ඇය එකින් එක පෙන්වයි. පාසල් වියේදි ප්‍රද­ර්ශ­ණ­ව­ලට තිය­න්නට ඇදි සිතු­වම් ද ඒ අතර විය. හෝරා තුන­හ­ත­රක් ඇය හා ගත­ක­ර­මින් ගෙවූ කාලය මන­රම්ය. තවත් ඇය නොවෙ­හෙසා අපි ඇයට සමු දුනිමු. ඇය ඒ පැය කිහි­ප­යම අපට අප නොදන්නා අතී­ත­යක් සිහි­පත් කර දුන්නාය.

“කෑම සොය­න්නට මේ පැටි­ය­න් හට ඈත වනේ සැරුවා...”

ඒ ගෙවුණු කාලය පුරා ඇය මුමු­නන ලද ගී පද­යයි. තවත් විටෙක‍,

“එන්ඩද මැණිකේ මමත් දිය­ඹටා

නෙළන්න කෙක­ටිය මල්...” යනු­වෙන් ගුරු දෙවි සුනිල් ශාන්ත­යන් ගයන ගීයක පද වැලක් මුමු­න­න්නිය. වයස ගෙවී ගිය ද ඇගේ ගී හඬ තව­මත් සොඳු­රුය.

ඡායා­රූප - තුෂාර ප්‍රනාන්දු

අදහස්