ගජ ඉන්දියාවට ගියත් තවත් සුළි සුළං එන්න පුළුවන් | සිළුමිණ

ගජ ඉන්දියාවට ගියත් තවත් සුළි සුළං එන්න පුළුවන්

  • අපට සුළි සුළං වැඩිපුර ආවේ නොවැම්බර් දෙසැම්බර්වල
  • සුළි සුළංවලින් වාසිත් ලැබෙනවා
  • අකුණු අනතුරු, තද වැසි සමඟ මාළු වැහි සහ ටොනේඩෝත් ඒවි

‘ගජ’ සුළි සුළඟ පසුගිය සමයේ අපට වැඩි කරදරයක් නොමැතිව තමිල්නාඩුව දෙසට ගමන් කළේ ය.‍ නමුත් එය තමිල්නාඩුවට ජීවිත දේපළ හානි සිදු කළේ ය.

“ගජ සුළි කුණාටු හේතුවෙන් පසුගිය සිකුරාදා යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 1064 ක අයත් පුද්ගලයන් 4000 කට ආසන්න පිරිසක් ආපදාවට ලක්ව ඇති බව ආපදා කළමනාකාර මධ්‍යස්ථානය පැවසීය.

මේ සුළි කුණාටුව හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ නිවාස 77 කට පූර්ණ නිවාස හානි සිදුවී ඇති අතර අර්ධ වශයෙන් නිවාස 597 කට හානි සිදුවී තිබිණි. කුඩා පරිමාණයේ ව්‍යාපාරික ස්ථාන 59 කටද හානි සිදුවී ඇත. ඩෙල්ෆ්ට්, කයිට්ස්, කරෛනගර්, යාපනය, නල්ලූර්, කෝපායි, සන්දිලිපායි, උඩුවිල්, තෙලිප්පලෙයි, චාවකච්චේරි, කරවෙඩ්ඩි, පේදුරුතුඩුව සහ මරුදන්කේනි යන ප්‍රදේශවල ජනතාව සුළි කුණාටු හේතුවෙන් විපතට පත්ව සිටියහ.

මේ අතර ගජ සුළිකුණාටුව තමිල්නාඩුව වෙත ගමන් කිරීම නිසා පුද්ගලයන් 33 කගේ ජීවිත නැතිවී ඇති අතර 82,000 ක් පමණ අවතැන් වී ඇත. ඊට අමතරව ගස් 127,448 ක් කඩා වැටී ඇති අතර විදුලිය හා දුරකථන මාර්ග රැසක් මෙන්ම මහා මාර්ග රැසක් ද අවහිර වී තිබිණි.

එසේ වුවත් පසුගිය වසර 100 ක පමණ කාලගුණය පිළිබඳව අධ්‍යයනය කළ විට අපේ රටට සුළි සුළං වැඩිපුරම පැමිණ ඇත්තේ නොවැම්බර්, දෙසැම්බර් වසරවල බව කාලගුණ විද්‍යාඥයෝ සිය පර්යේෂණ අනුව පෙන්වා දෙති. ඒ අනුව ඉදිරි දිනවලදී අපි සුළි සුළං පිළිබඳව සැලකිලිමත් විය යුතුව ඇත. එවැන්නක් ආවොත් ඊට පෙර සූදානමින් සිටීම සුදුසුය. නිවස අවට අනතුරුදායක ගස් ඉවත් කිරීම හා පැරැණි නිවාස පිළිබඳ අවධානය යොමු කිරීම අත්‍යවශ්‍යය.

ඒ අනුව බලන විට 1913 අප රට හරහා සුළි සුළඟක් පැමිණ ඇත. ඒ එම වසරේ දෙසැම්බර් මස 15 වැනිදායි. ඊට පසු 1919 දී ද දෙසැම්බර් 30 වැනිදා අප රටට සුළි සුළඟක් බලපා තිබේ. 1922 නොවැම්බර් 28 දින මෙන් ම 1931 දෙසැම්බර් 22 වැනිදා සුළි සුළං අපේ රටට බලපා ඇත. 1964 දෙසැම්බර් 22 දා සවස 6 ට ත්‍රිකුණාමලයට බලපෑ සුළි සුළඟ ද ඉතා දරුණු විය. 1966 නොවැම්බර් 9 වැනිදා උදේ 11.30 ට මුලතිව් ප්‍රදේශයට සුළි සුළඟක් බලපා තිබේ. 1967 දෙසැම්බර් 6 පෙරවරු 6 ට ත්‍රිකුණාමලයට හා මඩකලපුව විශාල සුළි සුළඟක් බලපා ඇති අතර 1978 නොවැම්බර් 23 වැනිදා රාත්‍රි 7 ට මඩකලපුවට සුළි සුළං බලපෑමක් එල්ල වී තිබේ. 1992 නොවැම්බර් 12 වැනිදා සවස 2.30 ට පොතුවිල් අසලින් රටට ඇතුළුවූ සුළි සුළඟක් රටින් එළියට ගොස් ඇත්තේ කටුනායක දෙසින් ය. ඒ අනුව පොතුවිල් ඌව උතුරුමැද ද වයඹ පළාත්වලට මේ සුළි සුළඟින් හානි සිදුවිය.‍

2000 දෙසැම්බර් 26 වැනිදා සවස 4 ට ත්‍රිකුණාමලයෙන් රටට ඇතුළු වූ සුළි සුළඟක් ඉන්දියාව දෙසට ගමන්කර ඇත්තේ පසුදින අලුයම 5 ට පමණ මන්නාරම හරහාය.

මේ අනුව අපේ රටට පැමිණ ඇති සුළි සුළං සියල්ලම වාගේ පැමිණ ඇත්තේ නොවැම්බර්, දෙසැම්බර් වැනි මාසවල බව පැහැදිලිය.

මේ දිනවල අන්තර් නිවර්තන අභිසාරි කලාපය වැඩිපුර දකුණු දෙසට ගමන් කරයි. එවිට ලොව ඇතිවන සුළි සුළං බටහිර හා වයඹ දෙසට ගමන් කරනු ලැබේ. මේ අනුව අපේ රටට මේ මාසවල සුළි සුළංවල වැඩි බලපෑමක් ඇතිවේ.

සුළි සුළඟක් සිය ජීවිතය ආරම්භ කරන්නේ අඩු පීඩන ප්‍රදේශයක් ලෙසය. මෙලෙස ආරම්භ කෙරෙන සුළි සුළංවල වර්ධනය රඳා පවතින්නේ එයට ලැබෙන ශක්ති ප්‍රමාණය එනම් සූර්ය තාපය හා ගුප්ත තාපය අනුවයි. විශාල ජලාශයක් හෝ සමුදුර ප්‍රදේශවල ආරම්භ වන අඩු පීඩන ප්‍රදේශවලින් සුළි සුළං බහුලව වර්ධනය වේ. මේ අනුව මුහුද වැනි විශාල ජලාශයකින් උපත ලබන අඩු පීඩන ප්‍රදේශයක් තවදුරටත් වර්ධනය වී සුළි සුළඟක් බවට පත්වීමේ සම්භාවිතාව බහුලය.

සුළි සුළං පද්ධතියක් තිරස් හා සිරස් දිසා ඔස්සේ වර්ධනය වී ඇති ප්‍රමාණය රඳා පවතින්නේ එහි තීව්‍රතාව අනුවය. කේන්ද්‍රයේ පීඩනය අඩුවීමෙන් ඒ අවට ප්‍රදේශවල ඇතිවන සුළි සුළං ධාරාවල වේගය ද වැඩිවේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් පද්ධතියේ සිරස් වර්ධනය ද ක්‍රම ක්‍රමයෙන් වැඩිවේ.

අඩු පීඩන ප්‍රදේශයක් පීඩන අවපාතයක් හෝ සුළි සුළඟක් පෘථිවි පෘෂ්ඨයේදී ආරම්භ වී ක්‍රමයෙන් ඉහළ වායු මට්ටම්වලට ප්‍රචාරණය වීම හෝ පහළ වායුගෝලයේ ඉහළ මට්ටම්වලින් ආරම්භ වී ක්‍රමයෙන් පහළට පැතිරීයාම හෝ සිදුවිය හැකි ය. කවර ආකාරයකින් වර්ධනය වුව ද එවැන්නක කේන්ද්‍රස්ථානය වටා සිදුවන චක්‍රීය සුළං චලනය ඒවාට ආවේණික ලක්ෂණයක් වේ.

අඩු පීඩන ප්‍රදේශයක් තවදුරටත් වර්ධනය වුවහොත් සිදුවන්නේ එය පීඩන අවපාතයක් බවට ද ඊළඟට සුළි සුළඟක් බවට ද පත්වීමයි.

අඩු පීඩන ප්‍රදේශයක කේන්ද්‍රය වඩා සුළං වේගය පැයට කිලෝමීටර් 30 ක් වන අතර එය පීඩන අවපාතයක් ලෙස වර්ධනය වනවිට සුළං වේගය පැයට කිලෝමීටර් 30 – 49 වේ. ගැඹුරු පීඩන අවපාතයක් ලෙස එය වර්ධනය වනවිට එහි වේගය පැයට කිලෝමීටර් 50 – 60 අතර වන අතර එය සුළි සුළඟක් වූ විට පැයට කිලෝමීටර් 61 – 89 වූ සුළං ප්‍රවාහයක් හටගනී. එය වර්ධනය වනවිට ඒ සුළං වේගය තවත් වැඩිවෙන බව ද කාලගුණ විද්‍යාඥයෝ පවසති.

ලෝක ගෝලයෙන් සියයට 60කට වැඩි කොටසක් සමුද්‍රයෙන් ආවරණය වී ඇතත් එම සෑම ස්ථානයකම සුළි සුළං වර්ධනය නොවන බව පර්යේෂණවලින් පැහැදිලිව පෙනී ගොස් ඇත.

සුළි සුළඟක් ප්‍රමාණයෙන් කිලෝමීටර් 600ක් පමණ අර්ධ විශ්කම්භයෙන් යුක්ත වන අතර බොහෝ විට සිරස් දිසාවේ කිලෝමීටර් 6 ක් පමණ ඉහළ මට්ටම දක්වා විහිදී පවතින බව අනාවරණය වී ඇත. එවන් සුළි සුළඟක ජනිත වන චාලක ශක්තිය සාමාන්‍ය න්‍යෂ්ටික පිපිරුමක ශක්තිය මෙන් 360 ගුණයකි.

එවැනි සුළි සුළං පද්ධතියක් මඟින් මිනිස් හා සත්ව ජීවිත සහ දේපළවලට හානි ගෙන දෙන ප්‍රධාන සාධක හතරකි. වර්ෂාව, සුළං අකුණු හා මුහුදු රළ හෙවත් වාසුළි උත්සර්ජන ඒ අතර වේ. ලොව සුළි සුළං වැඩිපුර ඇතිවෙන ප්‍රදේශ ද අඩුවෙන් ඇතිවෙන ප්‍රදේශ ද තිබේ.

සුළි සුළඟක් සිය ජීවිත කාලය ඇතුළත එකම ස්ථානයකදී රැඳී නොසිට ගමනේ යෙදේ. එමඟින් සුළඟේ වේගය තවදුරටත් වැඩි වෙනු ඇත.

කෙසේ වෙතත් ගොඩබිමක් හරහා ගමනේ යෙදෙන සුළි සුළංවල ප්‍රචණ්ඩත්වය ක්‍රමයෙන් අඩු වේ. යළිත් එම සුළි සුළඟ විශාල ජලාශයක් හරහා ගමන් කරන විට එහි වේගය කලින් තිබූ තත්ත්වයට හා ඊට වඩා වැඩිවීමට ද ඉඩ ඇත. මේ පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුයි.

සුළි සුළඟක් වර්ධනය වන ප්‍රදේශයක් අවට වලාකුළුවල පිහිටීම සහ හැසිරීම ඊට ආවේණික ලක්ෂණ පෙන්නුම් කරයි. එවන් ස්ථානයක දැකිය හැකි වලාකුළු මධ්‍යම සහ ඉහළ වලාකුළු ස්තරවලින් වටවූ හොඳින් වර්ධනය වූ කැටි වැහි වලාකුළු සහිත වූ විශාල වලා ප්‍රදේශයකි. තවද දුරින් පිහිටි ස්ථානවල සිට කේන්ද්‍රය දෙසට ඇදී එන පහළ වලාකුළු ද පැහැදිලිව දැකගත හැක. පීඩන අවපාතයක ආරම්භයක් පිළිබඳව සැකයක් පහළ වූ විට හැකි තරම් ප්‍රමාණයක් හැකි තරම් කඩිනමින් කාලගුණ දත්ත රැස් කිරීමට කටයුතු කිරීම සෑම කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයකම වගකීම සේ සැලකේ.

හොඳින් වැඩුණු සුළි සුළඟක කේන්ද්‍රස්ථානය හෙවත් එහි ඇස, සෞම්‍ය කාලගුණ තත්ත්වයක් සහිත නිසංසල ප්‍රදේශයක් වන අතර චන්ද්‍රිකා පින්තූරවල මෙම ඇස අඳුරු ලපයක් සේ දිස් වේ. සුළි සුළඟක ගමන් මඟ ලෙස සලකනු ලබන්නේ මෙම කේන්ද්‍රස්ථානය වෙනස් වන හෙවත් ගමන් කරන පථයයි. එවැනි පද්ධතියක ගමන් වේගය වනුයේ මෙම කේන්ද්‍රස්ථානය එහි ගමන් මඟ ගෙවා යන වේගයයි. ඇස වටා චක්‍රීය ලෙස හමායන සුළංවල වේගය සුළි සුළඟේ වේගය ලෙස වරදවා වටහා නොගත යුතු ය. විටින් විට නිරීක්ෂණය කරනු ලබන කාලගුණ දත්ත සහ චන්ද්‍රිකා පින්තූර උපකාරයෙන් ඒ ඒ අවස්ථාවල කේන්ද්‍රයේ පිහිටීම නිගමනය කළ හැකි අතර එසේ ලබා ගන්නා ලද දත්ත උපයෝගී කොටගෙන සුළි සුළඟක අනාගත හැසිරීම සහ පිහිටීම් ගැන අනාවැකි පළ කිරීම ද පහසු වේ.

දරුණු වූ විපත් ගෙන දෙන ස්වාභාවික සංසිද්ධිවලින් සුළි සුළංවලට හිමිවන්නේ වැදගත් ස්ථානයකි. මෙවැන්නකින් සිදුවන ජීවිත සහ දේපළ හානිය කොතරම් ඉමහත් වුව ද මිහිතලයේ පැවැත්මට සුළි සුළඟකින් ඉටුවන සේවය ද සුළු පටු නොවෙන බව ඇසීමට පවා පුදුම උපදවන පණිවිඩයක් වනු නොඅනුමාන යි. සංක්ෂිප්ත වශයෙන් සලකා බැලුවහොත්, විෂමාකාර ලෙස මිහිකත වෙත පතනය වන සූර්ය රශ්මිය ප්‍රදේශ අතර ප්‍රචාරණය නොවුවහොත් පෘථිවි ගෝලීය පෘෂ්ඨය මත ස්ථාන එකිනෙකට වෙනස්කම් දක්වන උෂ්ණත්වවලට උණුසුම් වේ. සමහරවිට සත්ත්ව සහ ශාක ජීවිතවලට ඉතා හානිදායක වන පරිදි මෙම උෂ්ණත්ව වෙනස්කම් සිදු විය හැකිය. එවැනි විෂමතා අඩුවන පරිදි ලෝක ගෝලය ඔස්සේ සමබර ලෙස ශක්තිය ප්‍රචාරණය කිරීමේදී සුළි සුළඟකින් ඉටු වන සේවය ඉමහත් ය.

සුළි සුළං පමණක් නොව ඉදිරි මාස 2 ඇතුළත සවස්වරුවේ තද වැසි සමඟ අකුණු ඇතිවීමට ඉඩ තිබේ. මේ පිළිබඳව නිතර නිතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනු ඇත.

අපේ රටට සුළි සුළඟක් එනවා නම් දවස් 4 – 5 කට පෙර අනතුරු ඇඟවීමට අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට හැකියාව තිබේ. අඩු පීඩන ප්‍රදේශයක් ආරම්භ වූ විගස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රටට දෙන අනතුරු ඇඟවීම් පිළිබඳව ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතුව ඇත.

මේ අප සිටින්නේ අන්තර් මෝසම් වැඩි කාල­‍ෙය්යි. මේ කාලයේ සවස 5 සිට රාත්‍රි 8 දක්වා තද වැසි ඇති වේ. ඒ සමඟ අකුණු ඇතිවීමක් සිදුවන අතර මේ කාලයේ ටොනේඩෝ හා ජල ගැලීම්, මාළු වැසි ආදිය ඇතිවීමට ඉඩ තිබේ.

මේ අනුව ඉදිරි මාස දෙක ඇතුළත අප රටට විවිධ ස්වාභාවික ආපදා වැඩිපුර සිදුවීමට ඉඩ ඇති කාල සීමාවක් බව අවධාරණය කළ යුතුය. කාලගුණ විද්‍යාඥයන්ගේ උපදෙස් අනුව මේ සියලු ස්වාභාවික ආපදාවලින් සුරක්ෂිත වීමට පෙර සූදානම් වීමට අපට හැකියාව තිබේ. ඒ පිළිබඳව අවශ්‍ය කටයුතු කිරීම සියලු දෙනාගේ ආරක්ෂාවට හේතුවක් වනු ඇති බව ද පෙන්වා දෙමු.


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Comments