වඩ චෙන්නායි Vada Chennai | Page 2 | සිළුමිණ

වඩ චෙන්නායි Vada Chennai

මැර කල්ලිවල ක්‍රියාවලින් මුළු ලොවම ත්‍රස්ත වී ඇති යුගයක ඒ තැති ගැන්ම විවිධාකාරයෙන් තිරයේ සිත්තම් වනු දැකිය හැකිය. වඩ චෙන්නායි උතුරු චෙන්නායිහි අපරාධ කල්ලියක් වටා ගෙතුණු නවතම දකුණු ඉන්දීය සිනමා වෘතාන්තයයි. එමෙන්ම එය ක්‍රියාදාම සිනමා ත්‍රිත්වයක මූලාරම්භයයි. පළමු වැන්න වූ ‘වඩ චෙන්නායි‘ අති සාර්ථකව බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවමින් තිරගත වෙද්දීම දෙවැන්න ද අධ්‍යක්ෂ වෙට්‍රි මාරන් විසින් රූ ගත කිරීම අරඹා ඇත. මෙසේ සිනමා පට ත්‍රිත්වයක් කොලිවුඩ් සිනමාවේ ලියැවෙන්නේ ප්‍රථම වරටය. සිනමා පටයෙන් කියැවෙන්නේ අසූව දශකයේ මුල සිට වසර දෙදහස දක්වා උතුරු ඉන්දීය ධීවර ජනයාගේ සැබෑ ජීවන වෘතාන්තයයි. දිගු කලක් පුරා කළ අධීක්ෂණ ඇසුරින් වෙට්‍රි මේ ක්‍රියාදාම කතාවට මුල පිරුවේ 2003 තරම් ඈතකදීය.

විදුලි බල්බ නිවෙමින් දැල්වෙන බීම හලක වෙහෙසට පත් දෙදෙනෙකි. ගුණ (සමුර්දිරකානි) සහ සෙන්තිල් (කිෂෝර්) දැඩි ලෙස වෙහෙසට පත්වී ඇත. ඔවුන් මිනී මැරුමක කොටස් කරුවන් බව ප්‍රේක්ෂකයන්ට පහසුවෙන්ම සිතා ගත හැකිය. දෙදෙනාගේ මුහුණු ඊට සාක්ෂි දරයි. සෙන්තිල්ගේ කමිසයේත් මුහුණේත් රුධිරය තැවරී ඇත. මරණයට ලක් වූයේ දේශපාලන පක්ෂයක් දෙකඩ කළ නායකයෙකි. ගුණ (සමුර්දිරකානි) සහ සෙන්තිල් (කිෂෝර්) දෙදෙනාගේ ඉරණම සදහටම වෙනස් අයුරින් ලිවීමට මේ මිනී මැරුම ප්‍රමාණවත් විය. එහෙත් මිනී මැරුම අන්බුගේ (ධනුෂ්ගේ) දිවියට බලපාන්නේ කෙසේද? අන්බු යනු ජාතික මට්ටමේ කැරම් ශූරයෙකි. ඔහුගේ ඒකායන අරමුණ ලෝක ශූරතාව දිනා ගැනීමයි. ලෝක කැරම් ෆෙඩරේෂණය ඇත්තේ ද උතුරු මදුරාසියේය. ලෝක ශූරයන් පස් දෙනකුම එහි ජීවත් වන නිසා අධ්‍යක්ෂවරයාට පහසුවෙන්ම ධනුෂ් ඇතුළු රංගන ශිල්පීන්ට කැරම් පුහුණුව ලබා දීම පහසු වී ඇත.

සිනමා පටය පුරාම රසිකයන් ගුණ සහ සෙන්තිල් යන චරිත දෙකේ දෝලනය වෙයි. කුමන චරිතයද නිර්දෝෂී යන්න නොවිසුඳුණු ගැටලුවක් බවට පත්වෙයි. වෙට්‍රි මාරන් යනු ජාතික සම්මාන හතරකින් සහ ෆිල්ම් ෆෙයාර් සම්මානයකින් පිදුම් ලද අධ්‍යක්ෂවරයෙකි. ඔහුගේ 'විසාරනෙයි' 89 වැනි ඇකඩමි සම්මාන උලෙළේ විශිෂ්ට විදෙස් භාෂා සිනමා පටය ලෙස ඉන්දියාව නියෝජනය කරන ලදී.

සිනමා පටයේ අන්බු චරිතය ගැටවර වියේ සිට පුරා තිස් පස් වසක කාලයක් පුරා විහිදී යන්නකි. ඔහුගේ පෙම්වතිය ලෙස රඟන්නේ ඓශ්වර්යා රාජේෂ් (පද්මා)ය. වඩ චෙන්නායි වෙට්‍රි ගේ සහ ධනුෂ්ගේ පස්වැනි සිනමා සුසංයෝගයයි. මින් පෙර සූධාඩි , පොල්ලාධාවන්, විසරනායි, ආදුකාලම් සිනමා පට සඳහා රංගනයෙන් දායක වී ඇත.

වඩ චෙන්නායි මැර කල්ලි අලළා මෙතෙක් නිපදවුණු ඒකාකාරී කොලිවුඩ් සිනමා රටාව බිඳ දමා නව ප්‍රවේශයකට අඩි තාලම දමා ඇති බව විචාරක බොහෝ දෙනාගේ අදහසයි. සමහරු පවසන්නේ මෙය පුරාවෘත්තයක් බවය. වෙට්‍රි සිය දේශපාලන දෘෂ්ටිය චෙන්නායි පය ගසා ජීවත්වූ සැබෑ මිනිසුන් අසුරු කර ගෙන මෙයින් විද්‍යමාන කර තිබේ.

වෙට්‍රිගේ සිනමා පටයක ප්‍රබල කාන්තා චරිත දක්නට ලැබෙන්නේ ප්‍රථම වරටය. ඓශ්වර්යා රාජේෂ් (පද්මා), ඇන්ඩ්‍රියා ජෙර්මියා (චන්ද්‍රා) ප්‍රධාන කාන්තා චරිත නිරූපණය කරති. වෙට්‍රිගේ සිනමා පටයකට සන්තෝෂ් නාරායනන් සම්බන්ධ වන්නේ ප්‍රථම වරටය. සන්තෝෂ්ගේ 25 වැනි සිනමා තනු නිර්මාණය මෙයයි. වඩ චෙන්නායි සිනමා පටයට ගීත අටක් ඇතුළත්ය.

“එක් අයකුගේ මරණයෙන් මේ යුද්ධය කෙළවර නොවේ. ජය ලැබුණ ද නොලැබුණ ද අප සටන් කළ යුතුය. ප්‍රතිප්‍රහාර එල්ල නොකළොත් දිගින් දිගටම ඔවුන් විසින් අප පරාජයට පත් කරනු ලබයි. මේ අපේ නිවෙසයි. අප එය වෙනුවෙන් සටන් කළ යුතුයි. අප එය ආරක්ෂා කළ යුතුයි.“යන සටන් පාඨ රැගත් වඩ චෙන්නායි හෙවත් උතුරු චෙන්නායි කොලිවුඩයේ බොක්ස් ඔෆිස් සටනින් මේ වන විට ඉදිරියෙන්ම සිටියි.


ලෝකයම සන්ත්‍රාසයට පත් කරමින් බොහෝ දුක්ඛදායක බොක්සිං තරගයක් නිමාවට පත් වෙයි. අමෙරිකානු බොක්සිං ශූර ඇපලෝ ක්‍රීඩ් රුසියානු බොක්සිං ශූර අයිවන් ඩ්‍රැගෝ විසින් 1985 දී මරා දැමීම ඒ දුක්ඛ දායක සිදුවීමයි. එහෙත් ඒ සිදුවීම එතැනින් නිම වන්නේ නැත. පුහුණුකරු රොකී බැල්බොවාට එරෙහි වෙමින් ඇපලෝගේ පුතු ඇඩොනිස් ක්‍රීඩ්, ඩ්‍රැගෝගේ පුතුට සටනට ඇරියුම් කරයි.

ඇඩොනිස් රොකී ගෙන් පුහුණුව ලබන අතර ඇඩොනිස් , ඩ්‍රැගෝ දෙදෙනා මුහුණට මුහුණ සටනේ යෙදෙන ඉරණම් දිනය එළඹෙයි. එදිනට පියවරුන්ගේ ඉරණම ඔවුන් කෙසේ වෙනස් කර ලියාවිද? කනිෂ්ට ස්ටීවන් කැප්ල් ගේ අධ්‍යක්ෂණයක් වන මීට සිල්වෙස්ටර් ස්ටැලෝන් නිෂ්පාදනයෙන් රංගනයෙන් සහ තිර රචනයෙන් දායක වී ඇත. මයිකල් බී ජෝඩන්, ටෙසා තොම්ප්සන්, වුඩ් හැරිස්, ෆිලීෂියා රෂාඩ්, ඩොල්ෆ් ලන්ග්ග්‍රෙන් ඇතුළු රැසක් ක්‍රීඩ් 2 හොලිවුඩ් ක්‍රීඩා වෘත්තාන්ත සිනමාපටයෙහි රඟති.

 


විද්‍යා ප්‍රබන්ධ සිනමා පටයක්වූ 2.0 මේ දක්වා වැඩිම වියදමක් දරා නිමැවුණු ඉන්දීය සිනමා පටයයි. එමෙන්ම එය 2010දී තිරගත වූ එන්දිරන් සිනමා පටයේ දෙවැන්නයි. කොලිවුඩයේ මෙගා සුපිරි තරුව රජිනිකාන්ත් මෙහි ද වෛද්‍ය වසීගරන් සහ චිට්ටි චරිත යළි නිරූපණය කරන අතර අලුතින් එක්වී ඇත්තේ අක්ෂේ කුමාර් සහ ඇමී ජැක්සන්ය. ‍

දමිළ, හින්දු ආදී භාෂා 14කින් සිනමා පටය නොවැම්බර් 28 වැනිදා සිට ලෝ පුරා තිරගත කෙරේ. අක්ෂේ කුමාර් ලෝකය විනාශ කරන දුෂ්ටයාගේ චරිතයට පණ පොවයි. නගරයේ ජංගම දුරකථන අහසේ කුරුල්ලන් මෙන් පාවෙන්නට ගනී. රජයට මීට හේතුව සොයාගත නොහැකි වන අතර රටේ ප්‍රමුඛ පෙළේ විද්වතුන්ගේ පිහිට පතයි. වෛද්‍ය වසීගරන් මෙහිදී යළිත් සිය රොබෝව චිට්ටි ලෝකය විනාශ කිරීමට පැමිණ සිටින අද්භූත බලවේගය (අක්ෂේ කුමාර් ) පරාජය කිරීමට යොදා ගනී.

Comments