සත්‍යය අඳුරේය ජනතාව පැදුරේය! | සිළුමිණ

සත්‍යය අඳුරේය ජනතාව පැදුරේය!

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ඉමහත් පරිශ්‍රමයක් දරමින් කැඳවන ලද සර්ව පාක්ෂික සමුළුවේදී ඇති කරගත් එකඟතාව අනුව, යුද පිටියක් බවට පත්ව තිබුණු පාර්ලිමේන්තුව තුළ යළිත් සාමකමී හා සුහද වාතාවරණයක් ඇති කර ගැනීමට හැකිවීම මුළු මහත් ජනතාවගේම භාග්‍යයක් වැන්න. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීම අරභයා ඇතිවූ දේශපාලන කැලඹිල්ල පාර්ලිමේන්තුව යුද පිටියක් බවට පත් කිරීමට හේතු විය. ප්‍රජාතන්ත්‍රවාදය, දේශපාලන සදාචාරය ආදී සියල්ලම උඩු යටිකුරු කරමින් ඇවිළී ගිය පාර්ලිමේන්තු සබා ගැබ තුළ මෙවන් සටන් විරාමයක් ඇති කර ගත හැකි වූයේ මෛත්‍රී ජනාධිපතිවරයාගේ සාධනීය මැදිහත්වීම හා දේශපාලන විචක්ෂණභාවය ද නිසාය. ශ්‍රී ල.නි.ප. හා සන්ධාන ආණ්ඩුවල ප්‍රමුඛ භූමිකා නියෝජනය කරමින් මෙන්ම කලක් පාර්ලිමේන්තුවේ සභානායක ධුරය හොබවමින් ද ලද පරිචය නොවන්නට මෙබඳු උග්‍ර ගැටුමක් නිරාකරණය කර දෙපාර්ශ්වය අතර සම්මුතියක් ඇති කිරීම කිසිසේත් කළ නොහැකිය.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධුරයෙන් ඉවත් කර ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීම නිසා අපේක්ෂාභංගත්වයට පත් වූ පිරිස් විසින් නිර්මාණය කරන ලද ගැටුම කිසිසේත් සංවරශීලි හෝ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය ගරු කළ එකක් නොවීය. ජනාධිපතිවරයා සතු විධායක බලතල අනුව ව්‍යවස්ථානුකූලව සිදු කරන ලද ඒ වෙනස දැන් අධිකරණය අබියස අභියෝගයට ලක් කර තිබෙන්නකි. නීතිය ඉදිරියේ පවතින ඒ කරුණු පිළිබඳ ව විවරණ කිරීමට අපි ඉදිරිපත් නොවෙමු. එහෙත් නීතිය මතුපිටින් අතපත ගා කරන ලද බොහෝ විවේචන මගින් සිදු වී තිබෙන හානිය හා යථාර්ථය විකෘති කිරීම ඉතා බරපතළ එකක් බව පමණක් සඳහන් කළ යුතුය.

පාර්ලිමේන්තුව යනු ජනතා පරමාධිපත්‍යය නියෝජනය කරනු ලබන උත්තරීතර ආයතනය වුවද එය ගාම්භීරත්වය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සම්ප්‍රදාය හා සදාචාරය ද විනාශ වී ගිය බිහිසුණු නිරයක් බවට පත් වූ ආකාරය මෙරටේ ජනතාව පමණක් නොව අන්තර්ජාතික ප්‍රජාව ද බලා සිටියේ සටන් ජවනිකා පිරුණු චිත්‍රපටයක් දෙන බලන්නාක් මෙනි. ඒ ව්‍යසනය ලොවට ප්‍රදර්ශනය කිරීමේ වගකීම සටන්කාමී දෙපිලට අමතරව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ද බාරගත යුතුය. සාමාන්‍ය බුද්ධියෙන් හා ව්‍යවහාර ඥානයෙන් තොරව ගන්නා ලද තීන්දු තීරණ එ් ගෞරවනීය ධුරය හෑල්ලු කිරීමට පමණක් නොව කථානායකවරයා දෝෂ දර්ශනයට ලක් කිරීමට ද හේතු විය. කථානායකවරයාගේ ක්‍රියා කලාපය බොහෝ දෙනකුගේ විවේචනයට පමණක් නොව සැකයට ද තුඩු දී තිබෙන්නකි.

එ.ජා.ප.ය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ කරු ජයසූරිය මහතාට කථානායකවරයා ලෙස හිමි වූයේ ප්‍රසාදයක් හෝ පොදු පිළිගැනීමක් නොවේ. එයට හේතු වූයේ විපක්ෂයේ සිටි විශාල සංඛ්‍යාව නොතකා පාර්ලිමේන්තුව පවත්වා ගෙන යෑමට ඔහු ගත් ක්‍රියාමාර්ගයකි. පාර්ලිමේන්තුව තුළ වූ විකෘතිතා හා තාක්ෂණික ගැටලු එයට හේතු වුව ද ඒකාබද්ධ විපක්ෂය ලෙස සිටි කණ්ඩායම බොහෝ විට කථානායකවරයා සමඟ ගැටුම් ඇති කර ගත්හ. මේ ගැටුම් වල උපරිම අවස්ථාව උදා වූයේ ඉහත කී අගමැතිධුරය සම්බන්ධයෙන් උද්ගත වූ මතභේදය නිසා බව නිසැක ය.

පාර්ලිමේන්තුවේ සියල්ලෝම දේශපාලනය, සමාජ ආර්ථික හා සංස්කෘතික ක්ෂේත්‍රවල ප්‍රාමණිකයන් හෝ භාෂා, ශාස්ත්‍ර, දර්ශනාදියෙහි විශාරදයෝ හෝ නොවෙති. එබඳු සර්ව සම්පූර්ණ පාර්ලිමේන්තු ලෝකයෙහි වෙනත් රටවල හෝ ඇතැයි සිතිය නොහැකිය. සාපේක්ෂ ව බැලූ කල අපේ රටේ බල තෘෂ්ණාව ආචාරධර්ම හා සාරධර්ම පිළිබඳ නොතැකීම මෑතක සිට වැඩි වී ඇතැයි සමාජ විද්‍යඥයෝ ද පවසති. මේ සියලු පරාභව ලකුණු වැඩිපුර ම ඇත්තේ දේශපාලනයේ ය. ඒ ශිෂ්ටාචාර පැවැත්මේ බිඳ වැටීම මුළු රටට ම විදහා පෑ අවස්ථාවක් ලෙස පසුගිය දිනවල ඇති වු පාර්ලිමේන්තු ගැටුම හැඳින්වීම නිවැරදි ය. පාර්ලිමේන්තුව පරමාදර්ශී ආයතනයක් විය යුතු වුව ද එහි තිබෙන සංස්කෘතික දරිද්‍රතාව හා ආධ්‍යාත්මික සෝදා පාළුව ඉතා බරපතළ බව ඒ ගැටුම් අපට පෙන්වා දී තිබෙන යථාර්ථයයි. ඒ සිදුවීම් යළි යළි විස්තර කළ යුතු නැත. එහෙත් අවාසනාවක මහත! ඒ සියල්ල සිදු වූයේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම උදෙසා බවට කෙරෙන ඝෝෂාව ය.

මේ අප්‍රිය, අමනාප, දුෂ්ට ගැටුම පාලනය කිරීමට නොහැකි වූ කථානායකවරයාට තව දුරටත් ඒ අසුනෙහි රැදී සිටිය හැකිද යන්න අපි නොවිමසමු. එහෙත් ඔහුගේ අදූරදර්ශී, මුරණ්ඩු හැසිරීමත්, නීතිය හා යුක්තිය පිළිබඳ ඔහුට ස්වාධීන විනිශ්චයක් නොවීමත් ඒ විනාශය උත්සන්න කිරීමට හේතු වූ බව රහසක් නොවේ. විධායක ජනාධිපතිවරයකුගේ ක්‍රියාදාමයට ව්‍යවස්ථාදායකයෙන් අභියෝග කිරීමට ප්‍රජාතන්ත්‍රවාදය නැමැති ආවරණයට මුවා වී ගෙන ගිය අලජ්ජී රණ්ඩුවක්, ගාලගෝට්ටියක් ලෙස ඒ ගැටුම හැඳින්වීම වඩාත් උචිත ය. රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා විසින් ගන්නා ලද ඕනෑ ම තීරණයක් තුෂ්ණිම්භූත ව ඉවසිය යුතු යැයි අපි යෝජනා නොකරමු. එබඳු අවස්ථාවකදී නීතිය ඉදිරියට යෑම නිවැරදි ය. එහෙත් කථානායකවරයා තමන්ට නැති බලයක් ආරූඪ කර ගනිමින් නීතිය ඉදිරියේ තිබෙන ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් ලැබෙන තෙක් නොසිට අනුගමනය කළ ලාමක ක්‍රියාදාමය මේ අවමානය රටට ලබා දීමට හේතු වූ බව බොහෝ දෙනකුගේ චෝදනාව වේ.

මෛත්‍රී ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට පටහැනි ව ක්‍රියාකර තිබේ ද යන්නට නිවැරදි ම පිළිතුර දිය හැකි වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණි. ඒ සඳහා දින නියම කර අගතියට පත් වූ බව කියන පාර්ශ්වවලට අවස්ථාව ද සලසා තිබේ. එහෙත් එතෙක් ඉවසීමෙන් බලා සිටීමට නොහැකි වූ ප්‍රජාතන්ත්‍රවාදී ෂයිලොක්ලාට පොර කා ගන්නට අවකාශයක් සලසා දෙන ලද්දේ කථානායකවරයා විසින් බව පැහැදිලිව පෙනේ.

ජනාධිපතිවරයා විසින් නීත්‍යනුකූල ව වාරවසාන කරන ලද පාර්ලිමේන්තුව කථානායකවරයාට කැඳවිය හැකිද යන්නත් දැන් නීතිය ඉදිරියට ගොස් තිබෙන කාරණයකි. ඒ කුමක් වුවත් තමන් විසින් කැඳවනු ලබන්නේ බෙහෙවින් කැලඹිල්ලට පත් වු දේශපාලනයක් සමඟ වහසිබස් දොඩා ගනිමින් සිටින පිල් දෙකක් බව කථානායකවරයා තේරුම් ගත යුතුව තිබුණි. එසේ කැඳවූ පාර්ලිමේන්තුවක විනාඩි දහයක් පහළොවක් වැනි සුළු කාලයක් තුළ විශ්වාසභංග යෝජනාවක් සම්මත කළ හැකි ද යන්න පිළිබඳ ව බුද්ධිමත් ව කල්පනා නොකිරීම, මේ ගැටුමේ පළමු පියවර උදා කිරීමට හේතු විය. දෙවන හා තෙවන පියවර ඊට වඩා සාහසික විය. ආවේගශීලි බවින් කුපිත වූ පිරිස් මාරාන්තික වෙසින් වියරුව සිටියදීත් පොලිසිය සමඟ පාර්ලිමේන්තුවට පැමිණ සභාවාරයක් පැවැත්වූ කරු ජයසූරිය කථානායකවරයා ලෝකයේ ම එබඳු හැසිරීමක් ප්‍රදර්ශනය කළ පළමුවැන්නා ද යන්න අපි නොදනිමු. එහෙත් ඒ වියරු රංගය නිමා වූයේ කෙබඳු අශිෂ්ට, ග්‍රාම්‍ය ප්‍රතිචාර සමඟ ද? ඒ ප්‍රචණ්ඩ හැසිරීම් පිළිකුලෙන් හෙළා දැකිය යුතු වේ. ආණ්ඩුවේ අගමැතිවරයාගේ පාර්ශ්වයත්, හිටපු අගමැතිවරයා අයත් එ.ජා.ප.ය හා විපක්ෂයේ දෙමළ සන්ධානය හා ජ.වි.පෙ.ත් දෙපිලකට බෙදී පාර්ලිමේන්තුව තුළ ගෙන ගිය ගාලගෝට්ටියට සමගාමීව විශ්වවිද්‍යාල හා කලා කේෂ්ත්‍රවල පමණක් නොව නීතිය ඇතුළු කේෂ්ත්‍ර ගණනාවක් ම පැහැදිලිව දෙකට බෙදී සිටි ආකාරය ද ජනතාවට පෙනුණි. මේ බෙදුණු විවිධාකාර පුද්ගලයන් හා ආයතන විසින් කරන ලද විග්‍රහ, සංවාදවලදීත් සත්‍යය හා යුක්තිය ලෙස හුවා දැක්වූයේ ද තම තමන්ගේ දේශපාලන බැදීම් හා පක්ෂග්‍රාහිත්වයේ පරිමාව මිස අන් දෙයක් නොවේ. මඟ තොට, වෙළඳ සංකීර්ණ, බස් නැවතුම් ආදි පොදු ස්ථානවල ද සාමාන්‍ය ජනතාවටත් මත ප්‍රකාශකයන් වීමට මාධ්‍ය මඟින් අවස්ථා සලසා දී තිබුණි. එහෙත් සමස්තයක් ලෙස එවා හරවත් හා නැණවත් ඒවා නොවීය.

මෛත්‍රී ජනාධිපතිවරයා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්නේ මේ ගංවතුරක් සේ පැතිර යන භේදය මෙන්ම පාර්ලිමේන්තුවේ ගින්න ද යුක්ති සහගත ලෙස නිම කිරීම සඳහා ය. 18 වැනිදා කැඳවූ එ් සමුළුවට සහභාගිවීමට කරු ජයසූරිය කථානායකවරයා මෙන්ම ජ.වි.පෙ.ද එකඟ නොවීම විශේෂ සිදුවීමකි. මේ ගැටුමේ භූමිකා දෙකක් නියෝජනය කළ අය එබඳු අවස්ථාවක් වර්ජනය කිරීම යහපත් හෝ සාධනීය පියවරක් ලෙස නොපෙනේ. රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එ.ජා.ප.යට ඒ සඳහා සහභාගි වීමට තරම් ධෛර්යක් හා නම්‍යශීලි බවක් තිබීම අගය කළ යුතුය. එපමණක් නොව සර්ව පාක්ෂික සමුළුව ඇති කරගත් එකඟතාව අනුව රැස් වූ පාර්ලිමේන්තු රැස්වීමට පැමිණිම පවා කථානායකවරයා මඟහැර තිබුණි ද යන්නත් පැහැදැලි නැත. එ් සභාව පැවැත්වූයේ නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙනි. සැබැවින් ම ඒ මෙහොත ඔහුගෙන් ගිලිහී ගියේ තවමත් ඔහු සිහින දකිමින් මංමුළා වූ අයකු ලෙස හැසිරෙන නිසා ද? රටත් ජනතාවත් සුබ ප්‍රාර්ථනා මාවතකට යොමු කිරීමට ඔහු පසු බට වන්නෙහි ද ආදී තවත් ප්‍රශ්න වැලක් අප අබියස තබමින් ය.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා ගරුත්වය රැකදීම කථානායකවරයකුගේ වගකීම බව නිසැකය. එහෙත් එහිදි එ් ධුරය හොබවන්නා වළං කඩයකට පැනපු අර මොකාද වගේ හැසිරීමට ගිය හොත් සිදුවන්නේ කුමක්ද? පුවත්පත්, රූපවාහිනි ඇතුළු සකල විධ ජනමාධ්‍යවලට පමණක් නොව ජාත්‍යන්තරයට ද ප්‍රවෘත්ති මවන්නකු බවට පත්වීම එක මොහොතකින් කළ හැකිය. ඒත් ඒ ප්‍රවෘත්තිය පුද්ගලයා පිළිබඳ අනාවරණයක් වන බව ද පනින්ට පෙර සිතා බැලිය යුතුය. පක්ෂ විපක්ෂ සියලු මහජන මන්ත්‍රීවරුන්ගේ ගෞරවයට පාත්‍ර විය යුතු ස්වාධීන පුද්ගලයකු වන කතානායකවරයා නිරායුධ වුවත් පොලිස් වළල්ලක් සමඟ සබා ගැබට පිවිසීම උත්ප්‍රාසය දනවන්නකි. එ් දර්ශනය පොලිස් කෝලමේ එන බම්මන්නකු අපට සිහිපත් කරවන්නක් විය. ඇත්ත වශයෙන් ම තම අසුනට හෝ ළඟාවිය නොහැකිව ගාලගෝට්ටිය මැද රකින පාර්ලිමේන්තු සම්ප්‍රදාය කුමක්දැයි අපට නම් ප්‍රශ්නයකි.

අපට පාර්ලිමේන්තු සම්ප්‍රදාය හෝ ස්ථාවර නියෝග ගැන හෝ වැටහීමක් නැත. එබඳු සියල්ල දත් ගරු මන්ත්‍රීවරුන් සමඟ හැප්පෙන්ට ද අප පොඩි වැඩිය. එහෙත් ජනප්‍රවාදයේ හා සාහිත්‍යයේ එන පුංචි පුංචි කතන්දර අපට හොඳට මතක තිබේ. කුමාරතුංග මුනිදාස වියතුන්ගේ ‘හීන්සැරය’ නමැති කතා පිංච කියවූ අයකුට නම් අලි රාලහාමි කෙනකුගේ අලිසැරය, කටුසුහාමිගේ හීන්සැරයයෙන් යට කළ ආකාරය මතක තිබිය යුතුය. මෛත්‍රි ජනාධිපතිවරයා ද අලිසැර පාලනය කිරීමට හීන්සැරය යොදා ගත්තේ ඒ ජනවිඥානය හා ජනශ්‍රැති ඉඳුරා දත් අයකු නිසා ම ය.

කෙසේ වුවද දින තුනක් ඇවිළී ගිය පාර්ලිමේන්තු ගින්න නිවී ගියත්, එය එලෙස පවත්වා ගත නොහැකි වෙනත් බාධා ද දැන් මතු වෙමින් තිබේ. විශේෂයෙන් එ.ජා.ප.ය සමග පෙළ ගැසෙන දේශීය හා විදේශීය බල‍වේග දිවා රෑ නොමැතිව රට අස්ථාවර කිරීමේ යම් යම් උත්සාහයන් දරන බවද පෙනේ. තවමත් බටහිර තානාපතිවරු හා යුරෝපා සංගමය රනිල් වෙනුවෙන් කඳුළු සලමින් නොයෙක් ක්‍රියාකාරකම්වල යෙදී සිටිති. එ.ජා.ප.යේ හිටපු ඇතැම් නායකයෝ වැය ශීර්ෂ කපා දැමීමේ යෝජනා ගෙනෙති. ජ.වි.පෙ. හා එ.ජා.ප.ය පාර්ලිමේන්තු කාරක සභාවල වැඩි නියෝජනයක් ඉල්ලති. මේ සියලු මෙහෙයුම් වලදී විවාදාත්මක කථානායක ධුරයේ හැසිරීම තීරණාත්මක වනු ඇත. එ.ජා.ප.යේ හැම සාකච්ජාවකදීම ඔවුන් විසින් අවධාරණය කරනු ලබන්නේ ආණ්ඩුවට විරුද්ධව 122ක් සිටින බවකි. එහෙත් මේ 122 රනිල් අගමැතිවරයා කිරීම අනුමත කරන්නේ නැත. නොයෙක් බොරු ප්‍රචාර, වැරදි අර්ථකථන යනාදියෙන් ජන මනසට කාන්දු කෙරෙන්නේ අස්ථාවර රටක් පිළිබඳ චිත්‍රයකි. මහින්ද විරෝධී සටන් පාඨය අතට ගත් එ.ජා.ප.ය හා ජ.වි.පෙ. මේ ආණ්ඩුව සමඟ බල අරගලයක නිරත ව සිටියි. රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම දෙමළ ඩයස් පෝරාවේ කුලීකාර විදග්ධයෝ හා ප්‍රජාතන්ත්‍රවාදී න්‍යායාචාර්යවරු ද මහින්දගේ සම්ප්‍රාප්තිය වැළැක්වීමට මුළු වෙර බල යොදති. කොටි දත් පෙන්වා සිනාසෙන අයත් මේ අශුද්ධ සන්ධානයේ රනිල් සමඟ පෙරට යති. අපට ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම මානව හිමිකම් උගන්වා අප ශිෂ්ට ජනකොටසක් බවට පත් කිරීම සඳහා මේ අය නොයෙක් මැදිහත් වීම් කරති. 2015 ජනවාරි 08 වැනිදා ඇරඹු ගමන ආපසු නොහැරවිය යුතු යැයි ඔවුහු නගර, ගම් වෙනසක් නැතිව මොර දෙන්නට පටන් ගෙනද සිටිති. සමාජ වෙබ් අඩවි ඔස්සේත් ඈත ග්‍රාමීය ජන කොටස් අතරත් ඔවුන්ගේ විවිධාකාර මෙහෙයුම් දියත් වනු ඇත.

මෛත්‍රී - රනිල් ප්‍රතිවිරෝධය කිසිසේත් පෞද්ගලික ආරවුලක් නොවේ. එය ගැඹුරු දේශපාලනික හා සංස්කෘතික ප්‍රතිවිරෝධයක පුපුරා යෑමකි. ඒ සියලු තතු මෙහි සැකෙවින් හෝ දැක්වීමට අවකාශ මඳ ය. එහෙත් එක් ප්‍රබල නිදසුනක් ලෙස ආන්දෝලනාත්මක මහ බැංකු මගඩිය දැක්වීම උචිත ය. මහ බැංකු මගඩිය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කිරීමට මෛත්‍රී ජනාධිපතිවරයා පියවර ගත්තේය. එහිදී වහා ක්‍රියාත්මක වූ රනිල් තමාට පක්ෂපාතී නීතිඥවරුන් තිදෙනකුගේ කොමිටියක් පත්කර මහ බැංකු අධිපතිවරයා නිදහස් කර ගත්තේය. එහෙත් ඔහුට විරුද්ධව නැඟුණු චෝදනා බරපතළ විය. අනතුරුව එළඹුණු මහ මැතිවරණයේදී එ.ජා.ප. පෙරමුණට විශාල ජනප්‍රසාදයක් නොවීමට ද එම කරුණු හේතු විය. එ.ජා.ප.යට තනිව ආණ්ඩුවක් පිහිටුවීමට ප්‍රමාණවත් ආසන සංඛ්‍යාව නොලැබුණේ ද දූෂණය මඬින්නට ආ පිරිසත් මහා පරිමාණ දූෂණ කරතියි ජනතාවට හැඟී ගිය නිසා ය.

පසුව පාර්ලිමේන්තුවේ කෝප් සභාව මේ බැංකු මගඩිය අනාවරණය කිරීම රනිල්ගේ නොසතුටට හේතු වූවකි. එහිදී රනිල් සිය නියෝජිතයන් මඟින් එ් වාර්තාවට පාද සටහන් යොදවා එය ද විකෘතියක් බවට පත් කළේය. කෝප් කමිටු සභාපති වූ ජ.වි.පෙ. සුනිල් හඳුන්නෙත්ති තදින් සිටීම නිසා එතැනදීත් රනිල්ගේ ඉලක්කය වැරදී ගියේය. ජනාධිපතිවරයා මැදිහත්ව විමර්ශන කමිටුවකින් එහි සියලු විස්තර ලබා ගැනීමට ද ක්‍රියා කළේය. මහ බැංකු අධිපතිවරයා සහ ඔහුගේ බෑණාට අයත් සමාගමක හොර මගඩි රටට ම හෙළි වූයේ ඒ අනුව ය. මහ බැංකු අධිපතිවරයා එලෙසම රඳවා ගැනීමට රනිල් අගමැතිට අවශ්‍ය විය. එහෙත් එය ඉටු නොවූයේ මෛත්‍රි ජනාධිපතිගේ විරෝධය නිසා ය. ඒ මොනවා වුවත් රනිල් තමන්ට අවශ්‍ය පරිදිම ආර්ථිකය මෙහෙයවූ අතර ඒ ක්‍රියාදාමය ද ජනාධිපතිවරයාගේ පාලනයෙන් තොරව සිදු වූවකි.

ඇත්ත වශයෙන්ම රටේ ආර්ථික විනාශයේ වගකීම රනිල් හා ඔහුගේ කුඩා කණ්ඩායම භාර ගත යුතුය. අදත් ඔහුගේ සමීපතමයෝ රටේ ආර්ථිකයේ අවදානම් බව ගැන නොයෙක් විවේචන කරති. ආර්ථිකය දුබල කිරීම හා විදේශ අනුග්‍රහ වැළැක්වීම ඒවායේ යටි අරමුණ බව පැහැදිලි ය.

එ.ජා.ප.යේ දේශපාලනය බොහෝ විට නීති ගැට හා වෙනත් බාහිර බලවේග ඔස්සේ ගමන් කරන්නකි. අදත් එ.ජා.ප.ය බලා සිටින්නේ තමන් වෙනුවෙන් බටහිර මිතුරන් ඉදිරිපත් වනු ඇතැයි යන විශ්වාසයෙනි. ඊට අමතරව පාර්ලිමේන්තුව තුළ එ.ජා.ප.යට 122ක් සිටින බවට එළිපිට ම බොරු ප්‍රචාරයක් ද ගෙන යයි. එහෙත් ජ.වි.පෙ. නායක අනුර කුමාර ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කර තිබු‍ණේ අගමැති නොවන රනිල්ට ද අරලිය ගහ මැදුරේ සිටිය නොහැකි බව ය.

මේ දේශපාලන ව්‍යාකූලත්වය පාර්ලිමේන්තුව ඇතුළේ විසඳා ගැනීමට ඉතා අසීරු බව ප්‍රකාශ කරන විවිධ ආගමික නායකයෝ හා වෙනත් ස්වාධීන කණ්ඩායම් ද සිටිති. මහජනයා අබියසට ගොස් ඒ සඳහා ජනවරමක් ලබා ගත යුතු බව මෛත්‍රී ජනාධිපතිවරයා තීරණය කරන්නේ ද මධ්‍යස්ථ රාජ්‍ය නායකයකු ලෙස ය. එහෙත් ජනභීතියකින් පෙළෙන, දේශපාලන පක්ෂවලට මහ මැතිවරණයකට මුහුණ දිය නොහැකිය. අනෙක් අතට පාර්ලිමේන්තුවේ අර්බුදය විසඳා ගැනීම මහ මැතිවරණයකින් මිස ජනාධිපතිවරණයකින් කළ හැකි යැයි සිතීම ද ඒ අයගේ දැනුම හා බුද්ධිය පිළිබඳ ප්‍රශ්නයකි. එය පය බරවායට පිටිකර බෙහෙත් බැඳිමක් වැන්න. මේ නිසා ඔවුහු මැතිවරණ එපා යැයි ව්‍යාජ තර්ක ගොඩ නඟමින් බොරු ඝෝෂා කරති. එහෙත් අපි ඒ පිළිබඳ නීතියේ හෘදය සාක්ෂිය කතා කරන තෙක් බලා සිටිමු. එතෙක් සත්‍යය අඳුරේ තිබිය හැකිය.


අදහස්