දෝනා ඇතුළේ දිවි දිය කර­මින් රටට විනි­මය සොයන මිනිස්සු | සිළුමිණ

දෝනා ඇතුළේ දිවි දිය කර­මින් රටට විනි­මය සොයන මිනිස්සු

පතලේ ගැඹුර මීටර් 476කි. පහ­ළට යද්දී සෝපා­න­යෙන් නැඟෙන දඩ දඩ හඬ හද­වත ගැස්ම තවත් තීව්ර කරයි. දෑස් ක්‍රම­යෙන් අඳු­රට හුරු වෙද්දී ආර­ක්ෂක හිස් වැසුමේ ඇති විදුලි එළි­යෙන් ක්‍රම­යෙන් අවට දිස්වෙ­න්නට විය. එහෙත් මීටර් ගණ­නක් පහ­ළට යන­තෙක් හත­ර­ව­ටින් දිස්වන්නේ ගන කළු­වර පමණි. අත­ර­ම­ඟදී වේග­යෙන් පහ­ළට යන සෝපා­නයේ ගමන් වේගය මන්ද­ගාමී වේ. එවිට සිතට දැනෙන්නේ බියකි. මෙලෙස ගිය සෝපාන ගමන විනාඩි දෙක තුන­කදී නත­ර­විය. අප පතලේ අත­ර මඟ­කට පැමිණ ඇති බව දැනුණේ එවි­ටය. මටත් හොරා මගේ මුවින් සැන­සුම් සුසු­මක් පිට­විය.

අප ගමන ආරම්භ කළේ හිමි­දි­රි­යේ­මය. අරු­ග්ග­ම්මන බෝගල පතල් බිමට පැමි­ණෙන විටත් කම්ක­රුවෝ එක්කෙනා දෙන්නා වැඩ බිමට පැමි­ණෙ­මින් සිටි­යහ. බෝගල පතල පිහිටි බිමට යන­විට මුලින්ම දිස්වන්නේ වසර සිය ගණ­න­ක­ටත් වඩා පැරණි යැයි අනු­මාන කළ හැකි විසල් බෝ රුකකි. ගලක් මත බෝධින් වහන්සේ පැළවී ඇති නිසා මෙම ප්‍රදේ­ශය බෝගල නම් වන්නට ඇතැයි යන්න ගැමි විශ්වා­ස­යයි. අක්කර එක­සිය දෙකක පමණ භූමි ප්‍රමා­ණ­යක බෝගල පතල පිහිටා ඇත්තේය. කලක් තිස්සේ බෝගල පත­ලට යෑමේ අප සිත්හි පැවැති සිහි­නය සැබෑ වෙමින් තිබිණි.

වසර එක­සිය පන­හක් පමණ පැරණි බෝගල පතල ගැන අප අසා ඇති කතා බොහෝය. එමෙන්ම අද වන විට ඇමෙ­රි­කාව, ප්‍රංසය, ඉන්දි­යාව, පාකි­ස්තා­නය, කොරි­යාව හා චීනය වැනි රට­ව­ලට අපේ රටෙන් මිනි­රන් අප­න­ය­නය කරයි. මෙය අපට ආඩ­ම්බර විය­හැකි කරු­ණකි. බෝගල පතල හැරුණු විට කහ­ට­ගහ පත­ලද තව­මත් සක්‍රීය මට්ටමේ පවතී. අතී­තයේ ලංකාවේ බොහෝ පතල් තිබී ඇති බවට සාධක බොහෝය. කල­කට පෙර අපි දුම්බර පතල බල­න්නට ගියෙමු. අප එහි යන දවස වන විටද එය අත­හැර දැමූ පත­ලකි. නමුදු විටින් විට කතා මවන බෝගල පතලේ තොර­තුරු සෙවී­මට තිබූ ආශාව නිසාම මේ ගමන පැමි­ණි­යෙමු.

ඒ මොහොතේ පතල් සේව­කයෝ පත­ලට බහි­න්නට සූදා­න­මින් සිටි­යහ.

“දැන් අපි පහ­ළට බහි­න්නයි හදන්නේ. ඒත් මෙන්න මේකට අස්සන් කරන්න වෙනවා.” බෝගල පතලේ සුර­ක්ෂිත නිල­ධාරි ටී. චමින්ද අප ඉදි­රියේ කොළ­යක් සහ පෑනක් තැබීය. සිය කැමැ­ත්තෙන් පත­ලට බසින බවත් යම් අන­තු­රක් සිදු වුව­හොත් ඊට කිසි­වෙ­කුගේ වග­කී­මක් නැති බවත් එහි සඳ­හන් විය. කියවා අත්සන් කිරීම සඳහා එය අපට දෙනු ලැබීය. මහත් උජා­රු­වෙන් වසර සිය ගණ­නක් පැරණි බෝගල පතල බැලී­මට යනවා යැයි කියා පැමි­ණිය ද ඒ මොහොතේ හිත මොහො­ත­කට ගැස්සිණි. ජායා­රූප ශිල්පී වාසිත, රියැ­දුරු සම්පත් හා මම මුහු­ණට මුහුණ බලා ගත්තෙමු.

සිතේ චකි­තය පසෙ­කලා වෙන­ දෙ­යක් වුණාවේ යැයි සිත­මින් අපි එහි අස්සන් තැබූ­වෙමු. යකඩ සෝපා­නය සුදා­නම්ය. එය මිනි­සුන් මෙන්ම ඩක්කුද ඉහළ පහළ ප්‍රවා­හ­නය කරන සෝපා­න­යකි. එහි වර­කට දොළොස් දෙනෙ­කුට පමණ ගමන් කළ හැකිය. ඒ වන­විට උදෑ­සන පෙරෙ­ට්ටුව ආරම්භ වී තිබිණි. මිනි­සුන් කාර්ය­බ­හු­ලය. ඔවුහු කණ්ඩා­යම් වශ­යෙන් පත­ලට බැසී­මට සූදා­නම්ව සිටි­යහ. බූට්ස් දමා හෙල්මට් පැලඳ සිටි ඔවුහු අප­ටද ඒ ඇඳුම් ඇඳ ගැනී­මට සැලැ­ස්වූහ.

පතලේ අප සිටි තැන සිට පතලේ ගැඹුර මීටර් 476කි. සෝපා­නයේ නැඟී පහ­ළට යද්දී සෝපා­න­යෙන් නැඟෙන දඩ දඩ හඬ හද­වත ගැස්ම තවත් තීව්ර කරයි. දෑස් ක්‍රම­යෙන් අඳු­රට හුරු වෙද්දී ආර­ක්ෂක හිස් වැසුමේ ඇති විදුලි එළි­යෙන් ක්‍රම­යෙන් අවට දිස්වෙ­න්නට විය. එහෙත් මීටර් ගණ­නක් පහ­ළට යන­තෙක් හත­ර­ව­ටින් දිස්වන්නේ ගන කළු­වර පමණි. ඒ යන අත­ර­ම­ඟදී වේග­යෙන් පහ­ළට යන සෝපා­නයේ ගමන් වේගය මන්ද­ගාමී වේ. එවිට සිතට දැනෙන්නේ බියකි. විනාඩි කිහි­ප­යක් මෙලෙස අත­ර­මඟ නැව­තෙ­මින් ගිය සෝපාන ගමන විනාඩි දෙක තුන­කදී නත­ර­විය. අප පතලේ අත­ර­මඟ තැන­කට පැමිණ ඇති බව දැනුණේ එවි­ටය. මටත් හොරා මගේ මුවින් සැන­සුම් සුසු­මක් පිට­විය.

“අපි දැන් සිරස්ව පොළොව යටට මීටර් එක­සිය විසි හත­රක් ඇවිල්ලා තියෙන්නේ. මෙතැ­නට කියන්නේ ඇල්ෆට් ආවාටය කියලා. දැනට මෙහි මිනි­රන් කැණීම් කරන්නේ නැහැ. මේවායේ මිනි­රන් කඩලා ඉව­රයි. මිනි­රන් පතලේ සම්පූර්ණ ගැඹුර මීටර හාර­සිය හැත්තෑ හයක් තියෙ­නවා. අපි දැන් මුහුදු මට්ට­මට වඩා යටට යනවා.” සුර­ක්ෂිත නිල­ධාරි චමින්ද සෝපා­නයේ සිටම අපට කරුණු පැහැ­දිලි කරයි.

අප මඳ වෙලා­වක් ගත කළේ දෑස් එහි ඇති අඳු­රට හුරු­කර ගැනී­ම­ටය.

දෑස් අඳු­රට හුරු­වෙද්දී අප දුටුවේ ඈතින් ඈතට අඳුරේ ඇදී ඇති බිංගෙ­යක් වැනි උම­ගකි.

වසර එක­සිය පන­හ­ක­ටත් වඩා පැරැණි බෝගල පතල දහ­නව වැනි සිය­වසේ මුල් භාග­යේදී පමණ ඇර­ඹෙ­න්නට ඇතැයි සැලකේ. බෝගල පතල මෙතැන ඇරැ­ඹීමේ කතාව මෙසේය. ගම්මුන් මේ ප්‍රදේ­ශය හඳු­න්වන්නේ අරු­ග්ග­ම්මන කන්ද ලෙසිනි. එක්ද­හස් අට­සී­යේදී පමණ ආරු­ග්ග­ම්මන ගැමි­යන් තම දෛනික අව­ශ්‍යතා සඳහා පොළොව කැණී­මේද දිලි­සෙන ද්‍රව්‍ය­යක් පොළොව යට තිබෙනු දැක ඇත. ඒ කාලයේ ඔවුහු ඒ මිනි­රන් යැයි නොදැන සිටි­යහ. පසුව ඒ මිනි­රන් බවට හඳු­නා­ගත් ගමේ කීප­දෙ­නක් මේ ප්‍රදේ­ශයේ මිනි­රන් කැණීම ආරම්භ කර ඇත්තාහ. ඉන්පසු පත­ල්ක­රු­වන් කිහි­ප­දෙ­නෙකු එක්ව කන්දේ තැනින් තැන මිනි­රන් හාර­න්නට පටන් ගෙන ඇත. එකල මිනි­ර­න්ව­ලට හොඳ මිලක් ද විය. ප්‍රදේ­ශයේ මිනි­රන් හාරන ලද පතල් මහ බෝගල, පුංචි බෝගල හා කර­ද­වත්ත ආදී නම්ව­ලින් හඳුන්වා ඇති අතර මේ එක් පත­ලක හිමි­ක­රුවා වී ඇත්තේ කතෝ­නිස් බාස් හෙවත් ප්‍රනාන්දු මහ­තාය. පසු­කා­ලී­නව මොහු බෝගල කන්දේ සිය­ලු පත­ල්වල හිමි­ක­රුවා වී ඇත්තේය. මෙම පතල් ලියාපදිංචි කර ඇති අතර බෝගල පතලේ ලියා­ප­දිංචි අංකය වන්නේ SAB3851 ය.

බෝගල පතල ආර­ම්භ­යේදී සාම්ප්‍ර­දා­යික ක්‍රම ඔස්සේ මිනි­රන් කැණීම සිදු කළද පසු­කා­ලි­නව නවීන ක්‍රම භාවිතා කර­න්නට විය. එසේ වීමට හේතු­වක් වූයේ පතල් හිමි­ක­රුවූ කතෝ­නිස් බාස් ගේ පුතුන් දෙදෙ­නා­ගෙන් එක් අයෙකි. ඔහු මහා බ්‍රිතා­න්‍යයේ ඉගෙ­නුම ලබා නැවත මව් රට පැමි­ණියේ හිත­මි­තු­රකු සම­ඟිනි. බ්‍රිතාන්‍ය ජාති­ක­යකු වූ ඔහු පතල් කැණීම් විශා­ර­ද­යෙක් වූයේය. නමින් ක්‍රිස්ටෝ­පර් රෙනොල්ඩ්ස්ය. මෙර­ටට පැමිණි ඔහු බෝගල පතල නිරි­ක්ෂ­ණය කළේය. මෙය ශ්‍රී ලාංකි­ක­යෙකු යටතේ බ්‍රිතාන්‍ය ජාති­ක­යෙකු සේවය කළ ප්‍රථම අව­ස්ථාව ලෙසද සැලකේ. තම දැනුම උප­යෝගී කර­ග­නි­මින් ක්‍රිස්ටෝ­පර් බෝගල පතල් සඳහා තට්ටු කැපීම හා පිර­වීමේ ක්‍රම­වේ­දය හඳුන්වා දී ඇත්තේය. ක්‍රිස්ටෝ­පර් හා ඔහු­ගෙන් පසුව පැමිණී යුරෝ­පිය ජාති­ක­යන්ගේ දැනුම ලබ­මින් තාක්ෂ­ණය උප­යෝගි කර­ග­නි­මින් ප්‍රනාන්දු පවුලේ පතල් කර්මා­න්තය දියුණු වන්නට විය.

බෝගල පතලේ මිනි­රන් කර්මා­න්ත­යට අද වන විට බොහෝ සෙයින් නවීන තාක්ෂ­ණය මුසුව ඇත්තේය. කටු­වට මිටි­යට හා ගල්බෝර ගැසී­මට පම­ණක් වැඩි බර­දුන් මිනි­රන් කර්මා­න්තය සඳහා දැන් දිය­මන්ති විදුම් යන්ත්‍ර භාවි­ත­යද අතින් ක්‍රියා­ත්මක කරවූ දබ­රය වෙනු­වට විදුලි සෝපා­නය ද ආදේ­ශ වී ඇත. කුප්පි ලාම්පු­වට හා ඉටි පන්දම වෙනු­වට කාබ­යිට් ලාම්පුව භාවිත කෙරුණු අතර දැන් උමං මං දිගේ විදුලි ලාම්පු තිබේ. අතී­ත­යෙන් වර්ත­මා­නය දක්වා පැමිණි බෝගල මිනි­රන් පතලේ උමං මං දෙපැත්තේ ඇත්තේ දිය බැස යෑම සඳහා සැකසූ කානුය. දෙපස කළු­ගල් බිත්ති ය. හිසට ඉහ­ළින් ඇත්තේද කළු­ග­ලය. උමග දිගේ යන මේ ගමන අපට නුහු­රුය. නමුදු බක්කි තල්ලු කර­මින් යන ඔවුන්ට ඒ ගමන හොඳින් හුරුය.

බෝගල පතලේ අඳුර අතරේ සිරව සිටි­යදී හිත අතී­තය කරා ඇදී යයි. මිනි­සුන් එද­වස පතල් රස්සාව කර­න්නට ඇත්තේ ජීවි­තය ගැන කෙත­ර­ම් නම් දෙගි­ඩි­යා­වෙන් වන්නට ඇත්ද?

වසර තිස්දෙ­කක් තිස්සේ බෝගල පතලේ සේවය කරන ගාමි­ණී­ගෙන් අපි ඔහුගේ පතල් කෙරු­වාව ගැන විම­සු­වෙමු.

“මම ජාතික ආධු­නි­කත්ව මණ්ඩ­ල­යෙන් ඉගෙන ගත්තේ. කම්ම­ල්ක­රු­වකු හැටි­යට තමයි පත­ලට එක් වුණේ. මගෙ තාත්තාත් සීයාත් රස්සාව කළේ පතලේ. තාත්තා අවු­රුදු තිහක් පතල් රස්සාව කරලා තියෙ­නවා. මගෙ හිතට බයක් දැනෙන්නේ නැහැ. මම බොහොම ආසා­වෙන් රස්සා­වට එන්නේ. ” ඔහු පැව­සීය.

පතල් රස්සාව පහසු නැත. නමුදු මෙහි අද වන විට ආර­ක්ෂා­වට මුල් තැන දෙනු ලැබේ. මීට කල­කට පෙර පතලේ සිටියේ පතල් බාස් ය. දැන් සිටින්නේ කණ්ඩා­යම් නාය­ක­යන්ය. උදෑ­සන 7 වන විට පතලේ වැඩ ආරම්භ කැරෙන එම සේවා මුරය දහ­වල් එකයි තිහ දක්වා තිබේ. සවස දෙකට පමණ ආරම්භ වන ඊළඟ සේවා මුරය රාත්‍රී දහය දක්වාය. මේ අතර සේව­ක­යන්ට උදෑ­සන දිවා රාත්‍රී ආහාර නොමිලේ ලබා­දෙනු ලැබේ.

ගල් දෝනා­වල යමින් මිනි­රන් ඉල්ලම් මතු­ක­ර­ගෙන ඒවා මුදල් කළ මිනිස්සු එකල ගජ පොහො­සත්තු වූහ. ඒ මිනි­රන් පත­ලට තනි අයි­ති­ක­රු­වන් සිටි යුග­යේය. එක්ද­හස් නව­සිය හැත්තෑ දෙකේදී පතල රජ­යට පවරා ගැනුණු අතර එය රාජ්‍ය මිනි­රන් සංස්ථාව යටතේ පාල­නය විය. කෙසේ වෙතත් අද වන විට මෙම පතලේ අයි­තිය ඇත්තේ ජර්මානු සමා­ග­ම­ක­ටය.

අතීත හා වර්ත­මාන තොර­තුරු විම­ස­මින් අපි පතලේ තවත් පතු­ලට ගියෙමු.

“මේ පතලේ ප්‍රධාන ඉල්ලම් දෙකක් තියෙ­නවා. එකක් නා ඉල්ලම. අනික කුඹුක් ඉල්ලම. කුඹුක් ඉල්ල­මට අතු ඉල්ලම් තියෙ­නවා. ඒ ඉල්ලම් වල තමයි මිනි­රන් කඩන්නේ. පතලේ ලිෆ්ට් එක ක්‍රියා­ත්මක කරන්නේ සංඥා මගින්. උමගේ අපට නොපෙ­නෙන ඉස­ව්වක සිට පතලේ ක්‍රියා­කා­රි­ත්වය මෙහෙය වන්නේ වින්චි­ක­රුයි. ඔහු ඉන්නේ කළු ගලෙන් එහා පැත්තේ.” චමින්ද උමං මං දිගේ අප හා යමින් පතලේ ක්‍රියා­ව­ලිය විස්තර කරයි. ඒ අත­ර­වා­රයේ පහළ දෝනා­වල කඩන ලද මිනි­රන් බක්කි­වල පුරවා උඩට ගෙ යන ලැබේ. මිනි­රන් පත­ලක් යැයි කියූ විට අපට සිතෙන්නේ එහි සිදු­කැ­රෙන එකම කාර්යය වන්නේ මිනි­රන් කැණීම පම­ණක් කියාය. නමුදු පත­ලක් ඇතු­ළත සිදු­වන තවත් කාර්යන් බොහෝය. එනම් පලංචි දැමීම, දමා ඇති පලං­චි­වල යකඩ ආදිය අබ­ලන් වී ඇති දැයි සොයා බැලීම යනාදී බොහෝ කට­යුතු වෙයි. මේ සියලු කට­යතු සඳහා පතලේ කාර්ය මණ්ඩ­ලය සිය­යක් වෙති.

මේ වන විට මිනි­රන් කැණීම සඳහා අපේ රටේ පම­ණක් භාවි­ත­ක­රන අවි ආයුධ ද වේ.

සුනිල් පතල් රස්සා­වට එක්වී මේ වෙද්දී වසර විසි හතකි. ඔහු අප හා පැව­සුවේ එදා මෙදා­තුර පතල් කර්මා­න්තයේ දියු­ණු­වයි.

“ඉස්ස­රට වඩා දැන් තාක්ෂ­ණය දියු­ණුයි. අපි මෙහෙ වැඩට එන­කොට වඩා පතල දැන් දියු­ණුයි. මගේ හිතේ බයක් තිබුණේ නැහැ. මම බොහෝම කැමැ­ත්තෙන් මේ රස්සා­වට ආවේ. අපි හැම වෙලා­වෙම අපේ ආර­ක්ෂාව ගැන සැල­කි­ලි­මත් වෙනවා. ඉස්සර වගේ නෙමෙයි අන­තුරු වෙනවා බොහෝම අඩුයි.”

ජය­වි­ක්‍රම හා ජය­කොඩි නඩත්තු කණ්ඩා­යමේ සේවය කර­න්නෝය.

“අපි ආවා­ට­ව­ලට යනවා. ඒවායේ ඇති යකඩ දිරා­පත් වෙලාද? ගල් කඩා වැටෙ­න­වද කියලා හොයලා බල­නවා. ” ඔවුන් සිය කාර්ය­භා­රය විස්තර කළේ සේවයේ නිර­තව සිටි­ය­දී­මය.

බොහෝ වේලා­වක් උමං මංවල රැඳී සිටීම නිසා දැන් අපේ දෑස් අඳු­රට හුරුය. අප සිටින සීමාව ආලෝ­ක­යෙන් නැහැ­වෙ­මින් තිබු­ණද හාත්පස අඳු­රුය. අපට මඟ පෙන්ව­මින් ඉදි­රි­යට ගිය චමින්ද නතර වූයේ ගල්දො­රු­වක් මතය.

“මෙතැ­නින් යටට බහින්න පුළු­වන්. දොරුවේ ඉණිමං බැහැ­ගෙන ගියාට පස්සේ මිනි­රන් කඩ­නවා. බාල්දි­ව­ලින් තමයි ඒ මිනි­රන් දොරු­වෙන් ගන්නේ. බාල්දි­ව­ලින් ගන්න මිනි­රන් බක්කි­ව­ලට පට­වලා ලිෆ්ට් එකෙන් උඩට ගන්නවා.” ගල් උමගේ අත­ර­මඟ තිබූ දොරුව (පො‌ෙළාව යටට යා හැකි දොරක්) පෙන්ව­මින් චමින්ද පව­සයි.

“මෙතැ­නින් පහළ තමයි වැඩ බිම තියෙන්නේ” උමග ඇතුළේ බිම ඇති දොරක් පෙන්ව­මින් ඔහු පව­සයි.

චමින්ද ඡායා­රූප ගැනී­මට වාසිත සමඟ උමගේ තැනක ඇති කුඩා ඉනි­ම­ඟ­කින් පහ­ළට බසි­න්නට විය. ඔවුන්ට ඇති එකම එළිය වූයේ හිස් වැසුමේ රැඳි ටෝච් එළිය පමණි.. ඔවුන් ගිය පසු කළු­ගල් පතු­රක් මත හිඳ­ගත් මම මගේ හිස්වැ­සුමේ එතෙක් දැල්වෙ­මින් තිබූ එළිය නිවා දැමු­වෙමි. දැන් උමග ඇතුළේ ඇත්තේ ගන කළු­ව­රකි. මිනි­සුන් මෙත­රම් කළු­වරේ සිටින්නේ කොහො­මද? කළු­ව­රට වඩ­ව­ඩාත් දෑස් හුරු­කර ගැනී­මට උත්සාහ දරණ අතරේ සගයෝ යළිත් ඉණි­මඟ දිගේ මා සිටි තැනට එන්නට වූහ. ඔවුන් සමඟ ඉහ­ළට පැමි­ණියේ අප අතර නොසිටි අයෙකි.

ඔහු සුමිත් රත්නා­යක ය.

“මම අවු­රුදු දොළ­හක් තිස්සේ පතලේ රස්සාව කර­නවා. කණ්ඩා­යම් නාය­ක­යෙක් හැටි­යට ඉන්නේ. මිනි­රන් කඩන එක තමයි කරන්නේ. පතල ඇතුළේ ස්වාභා­වික වාතය තිබු­ණාට කොම්ප්‍රෙ­ෂර් එකක් මගින් හුළං පොම්ප කරන්න ඕනෑ. එත­කොට තමයි පතලේ හැම තැන­ටම හුළං යන්නේ. උදේ 8.15 විතර වෙන­කොට හුළං දෙනවා. ස්වාභා­වික හුළං තිබු­ණට ඒවා ලැබෙන්නේ කම්ප්‍රෙ­ෂර් එක වැඩ­ක­ර­න­කොට. හුළං නැතිව ඉන්න බැහැ රස්නෙයි. දැන් මම මේ රස්සා­වට හුරු­වෙලා ඉන්නේ.

චමින්ද හා පතලේ බොහෝ තැන්වල ඇවි­දි­මින් කල් ගත කළ අපි පැය කිහි­ප­ය­කට පසු මීටර හාර­සිය හැත්තෑ හයක යට සිට පොළොව මතු­පි­ටට පැමි­ණියෙමු. බොහෝ වේලා අන්ධ­කා­රයේ සිටි හෙයින්දෝ අපගේ දෑස් ආලෝ­ක­යට හුරු­වී­මට මද වේලා­වක් ගත­විය. ඒ වන විටත් පිටත මිනි­රන් පිරවූ බක්කි ගණ­නා­වක් එක පෙළට තබා තිබිණි. ඒ පෙර දවසේ හා එදින කඩන ලද මිනි­රන්ය. අතී­තයේ පොළොව මතින් දෝනා හාර­මින් ගන්නා ලද මිනි­රන් ඉල්ලම් අද වන විට කෙත­රම් නම් ගැඹු­රට ගොස් ඇද්ද. එය අදහා ගැනී­මට බැරි තර­ම්ය. පොළොව යට ඇති උමං­වල ගැඹුරේ තරම දැනෙන්නේ පත­ලට බැස්ස ­වි­ටය.

කෙසේ වෙතත් අද වන විට සේවක සුබ සාධන කට­යුතු වෙනු­වෙන් ආය­ත­නය බොහෝ ක්‍රියා මාර්ග ගෙන ඇත්තේය. පසු­ගිය වස­රේදී ජර්මානු සමා­ගම විසින් සිය සමා­ගමේ වසර සියය සැම­රිමේ උත්ස­ව­යේදී බෝගල පතලේ ප්‍රධාන සූප­වේ­දියා වන උපුල් දිසා­නා­ය­කට විශේෂ අව­ස්ථා­වක් ලබා දුන්නේය.

“ඒ උත්ස­ව­යට අපේ ආය­ත­න­යෙන් අට දෙනෙක් සහ­භාගි වුණා. ප්‍රධාන සූප­වේ­දියා වන මට එහි දී ශ්‍රි ලංකාවේ කෑම වර්ග සහිත ප්‍රද­ර්ශ­න­ කුටි­යක් කිරී­මට අව­ස්ථාව දුන්නා. මම අපේ දේශීය කෑම එම ප්‍රද­ර්ශ­න­යට තිබ්බා. ඒ සඳහා විශේෂ ඉල්ලු­මක් පැස­සු­මක් අපට ලැබුණා.”

උපුල් පව­සන්නේ සතු­ටිනි. වැඩ­බිමේ සිටින කාර්ය මණ්ඩ­ලය වෙනු­වෙන් දින­පතා කෑම ලබා­දෙන්නේ සුමිත්ගේ අධී­ක්ෂ­ණය යට­තේය.

(විශේෂ ස්තුතිය - බෝගල ග්‍රැෆ­යිට් ලංකා පී.එල්.සී ආය­ත­නයේ ප්‍රධාන විධා­යක නිල­ධාරී අමිල ජය­සිංහ හා විශ්‍රා­මික මේජර් දිමුත් මහ­ලි­යන යන මහ­ත්ව­රුන්ට)

ඡායා­රූප - වාසිත පට­බැ­ඳිගේ

Comments