ඇරි­ස්ටෝ­ටල්ට ඕනෑ හැටි­යට වැඩ කරන අරුම පුදුම රට | සිළුමිණ

ඇරි­ස්ටෝ­ටල්ට ඕනෑ හැටි­යට වැඩ කරන අරුම පුදුම රට

• සතු­ටින් මෙන්ම අස­තු­ටින් ඉන්නත් ව්‍යව­ස්ථා­වෙන් ඉඩ
• බැඳීම් නැතිව මිය­යන්න අයි­තිය
• ව්‍යව­ස්ථාව තාප්ප­යක
• හමු­දාවේ දස දෙනයි. රට සාම­කාමි නිසා ඒ අයත් විශ්‍රාම යවලා.

අක්කර 148ක් හෙවත් හෙක්ටාර් 68ක් තරම් සරි­ය­කින් වට­වුණු කුඩාම කුඩා රාජ්‍ය­යක් ලොව ඇති බව ඔබ දන්න­වාද?. ලොව බොහෝ­දෙ­නෙ­කුගේ අව­ධා­න­යට ලක් නොවන මේ ‘රාජ්‍යය’ හැඳි­න්වෙන්නේ උසු­පිස් යනු­වෙනි. එය පිහිටා තිබෙන්නේ ලිතු­වේ­නි­යාවේ විල්නි­යුස් අග­නු­ව­රට යාබ­ද­වයි. ලිතු­වේ­නි­යානු බසට අනුව උසු­පිස් යන්නෙන් මතු වන්නේ ‘ගඟෙන් එහා’ යන අරු­තය. එවනි අරු­තක් නැඟෙන නමක් මේ පුංචි ‘රාජ්‍ය­යට’ ලැබී තිබෙන්නේ විල්නියා නදිය නිසයි. විල්නි­යුස් පැරණි නග­ර­යෙන්, උසු­පිස් වෙන් වන්නේ විල්නියා ගඟෙන් නිසා ඒ නම මේ ‘රාජ්‍ය­යට’ කදි­මට ගැළපේ.

විශා­ල­ත්වය සහ තවත් බොහෝ කාරණා අනුව සලකා බලන විට උසු­පිස්, රාජ්‍ය­ක්ම­දැයි යන සැකය මතු වේ. උසු­පිස් පැවැ­තියේ ලිතු­වේ­නි­යා­වට අයත් ප්‍රදේ­ශ­යක් වශ­යෙනි. ලිතු­වේ­නි­යාව සෝවි­යට් සංග­ම­යට අයත් රාජ්‍ය­යක් වූ බැවින් ලිතු­වේ­නි­යා­වට අයත් උසු­පිස්, සෝවි­යට් සංග­මය යට­තේම පැවැති බව අමු­තු­වෙන් කිය­න්නට දෙයක් නොවේ. අතී­තයේ සිටම උසු­පිස් ප්‍රදේ­ශයේ ජීවත් වුණේ යුදෙ­ව්වන් බවට ඉති­හා­සය සාක්ෂි දරයි. දෙවන ලෝක යුධ සම­යේදී යුදෙ­ව්වන්ට නරක කල දසා­වක් උදා­වුණේ යම් සේද උසු­පිස්හි යුදෙ­ව්ව­න්ටත් ඉන් ගැල­වී­මක් නොති­බිණ. එහි විසූ යුදෙ­ව්වන් මරා දමන ලදී. සෝවි­යට් සමු­හා­ණ්ඩු­වට යටත් පිරිස අතින්ම ඒ නග­රය පසු කලෙ­කදී තව­දු­ර­ටත් විනා­ශ­යට පත් වන්නට පටන් ගත්තේය. ලිතු­වේ­නි­යානු යුදෙ­ව්වන්ගේ පැරණි සුසා­නය පිහි­ටියේ යට කී පෙදෙ­සට අයත් භූමි­ය­කය. සෝවි­යට් ජනයා එම සුසා­නය විනාශ කර දැමූහ. උසු­පිස්, සියලු බල­ධා­රීන්ගේ අව­ධා­න­යෙන් මිදී අත්හැර දමන ලද බිමක් බවට පත්වෙ­මින් තිබුණේ කිසි­වකු විශ්වාස නොකළ පරි­ද්දෙනි. මේ නිසා නග­රයේ ජීවත් වුණු ජනයා අව­තැන් වූහ. කාන්තාවෝ ගණිකා වෘත්ති­යට නැඹුරු වූහ. උසු­පිස් වීදිය මේ අව­ධි­යේදී හැඳි­න්වුණේ ‘මර­ණයේ මාවත’ යනු­වෙනි. එප­ම­ණ­ටම එහි අප­රාධ සිදු­විණ. නග­රය අනු­ක්‍ර­ම­යෙන් ජරා­ජීර්ණ තැනක් බවට ද පත් වූයේය. සෝවි­යට් සංග­මය 1991දී බිඳ වැටෙන විට උසු­පිස් දෙස ඇහැක් හැර බල­න්නට බල­ධා­රි­යෙක් නොසි­ටි­යේය.

මේ අන්ද­මින් පැවැති නග­ර­යට 1995දී කලා­ක­රුවෝ පිරි­සක් පැමි­ණි­යහ. මේ පිරිස ඇමෙ­රිකා රොක් කලා­ක­රු­වකු වූ ෆ්‍රෑන්ක් සප්පාගේ ප්‍රති­රු­වක් උසු­පිස්හි ඉදි කළෝය. එය නිද­හසේ සංකේ­ත­යක් ලෙස ප්‍රකාශ කිරී­ම­ටත් මේ කලා­ක­රුවෝ මැලි නොවූහ. ඒ අන්ද­මට යළි ගොඩ නැඟුණු උසු­පිස් නග­රය 1997 අප්‍රේල් 1දා හෙවත් මෝඩ­යන්ගේ දින­යේදී ලිතු­වේ­නි­යා­වෙන් වෙන්ව ස්වාධීන විණ. උසු­පිස්, ලිතු­වේ­නි­යා­වෙන් වෙන් වුවත්, ජාත්‍ය­න්තර ප්‍රජාව එය වෙනම රාජ්‍ය­යක් හැටි­යට අද­ටත් පිළි­ගන්නේ නැත.

උසු­පිස් ‘රාජ්‍යය’ අප්‍රේල් පළ­මු­වැ­නිදා ස්වාධී­න­ත්ව­යට පත් වූ බැවින් එහි නිද­හස් දිනය පැවැ­ත්වෙන්නේ ද අප්‍රේල් පළ­මු­වැ­නි­දාය. එපි­ටින් ඇති පාලම තර­ණය කර උසු­පිස් ‘රාජ්‍ය­යට’ එදින ඇතුළු වන සංචා­ර­ක­යන්ට තම විදේශ ගමන් බල­ප­ත්‍ර­ව­ලට මුද්‍රාව ලබා ගන්නට පුළු­වන. කොහොම වුණත්, අනෙක් දව­ස්ව­ලට උසු­පිස් ‘රාජ්‍ය­යට’ ඇතුළු වන දේශ­සීමා ආස­න්නයේ කිසිම රැක­ව­ලක් නැත. ඒ නිසා ඕනෑ කෙනෙ­කුට නිද­හසේ ඊට ඇතුළු වන්නට අව­ස­රය තිබේ. ඒ කියන පුංචි රටට පිවිසි කෙනෙ­කුට, ඒ පුද්ග­ලයා හැටි­ය­ටම ජීවත් වීමෙන් ලබන සුවය අත්වි­ඳි­න්නට පුළු­වන. යුසු­පිස්හි විදේශ කට­යුතු අමාත්‍ය තෝමස් සෙප­යි­ටිස් ඒ ගැන කියන්නේ මෙවැ­න්නකි.

“උසු­පිස් වෙත පිවි­සෙන පාලම තර­ණය කළ­හොත් ඔබට, ඔබම විය හැකිය. ඔබ තව දුර­ටත් සමාජ කාර්ය­යක් දරන්නේ නැත. ඔබ තව­දු­ර­ටත් වෙනත් කිසි­ව­කුට අයත් නැත. ඔබ අයිති ඔබ­ට­මය. ඔබට, ඔබ කව්දැයි කියා සිත­න්නට පුළු­වන. සියලු මනුෂ්‍ය ප්‍රජාව එකට එක්ව දුවන උමතු ධාව­නයේ කොට­ස්ක­රු­වකු වීමෙන් මිදී ජීවත් වන්න­ටත් ඔබට හැකි­යා­වක් ලැබේ.“

අමාත්‍ය තෝමස් සෙප­යි­ටිස් මේ ‘ක්ෂුද්‍ර රාජ්‍යයේ’ නිර්මා­තෘ­ව­ර­යෙකි. ඔහු පව­සන්නේ උසු­පිස් ‘රාජ්‍ය­යක්’ හැටි­යට ගොඩ­නඟා තිබෙන්නේ ඇරි­ස්ටෝ­ටල්ගේ දර්ශ­න­යට අනුව බවයි. ඒ නිසා එහි සිටිය යුතු වන්නේ සීමිත වැසි­යන් සංඛ්‍යා­ව­කැයි කියා තෝමස් පව­සයි.

“අපට ඕන, අපේ පුංචි රට පැරණි අද­හ­ස්ව­ලට අනුව ගොඩ නඟා ගන්න. එහි පුර­වැ­සි­යන් සංඛ්‍යාව 5000කට වඩා වැඩි විය යුතු නැහැ. මොකද, මිනිස් මන­සට ඊට වඩා මිනි­සුන් සංඛ්‍යා­ව­කගේ මුහුණු මතක තියා­ගන්න බැහැ. හැම කෙනෙ­කුම, අනෙක් හැම කෙනෙකු ගැනම දැන සිටි­නවා නම් වංචා කරන්න සහ විධා­න­යන් ලබා දෙන්න හුඟක් අමා­රුයි.“ යැයි හෙතෙම සඳ­හන් කරයි.

උසු­පිස්හි ව්‍යව­ස්ථා­වක් ඇත. ව්‍යව­ස්ථාව භාෂා 23කට නැඟී තිබේ. එය හින්දි සහ සංස්කෘත භාෂා­ව­ලට නැඟුණේ පසු­ගිය වසරේ මැයි මාස­යේ­දීය. ව්‍යව­ස්ථා­වෙහි වගන්ති 38ක් ඇත. මේ වගන්ති 38 කියවා තේරුම් ගැනීම වෙනත් රටක ව්‍යව­ස්ථා­වක වගන්ති කියවා තේරුම් ගන්න­වාට වඩා බොහෝ දුෂ්ක­රය. විසං­වාදී අද­හස් මතු කරන වගන්ති එහි බහු­ලය. “ මිනි­සුන්ට සතු­ටින් ජීවත් වීමට අයි­ති­යක් ඇත්තේය“ යනු­වෙන් එහි 16වන වග­න්ති­යෙහි සඳ­හන් වේ. එසේ වුවත් 17 වන වග­න්තියේ දැක්වෙන්නේ “මිනි­සුන්ට නොස­තු­ටින් ජීවත් වීමට අයි­තිය ද ඇත්තේය“ යනු­වෙනි. එහි අරුත තමන්ට කැමති පරිදි එහි මිනි­සුන්ට සතු­ටින් හෝ නොස­තු­ටින් හෝ සිටී­මට අයි­ති­යක් ඇත යන්නයි. උණු­සුම් ජලය සහ ශීත ඍතු­වේදී තාපය ලැබී­මට සෑම කෙනෙ­කු­ටම අයි­තිය ඇත යනු­වෙන් ව්‍යව­ස්ථාවේ තිබේ. මේ අරුම පුදුම ව්‍යව­ස්ථාවේ හැටි­යට සෑම කෙනෙ­කු­ටම මිය යන්නට අයි­ති­යක් ඇත; එහෙත් ඒ සඳහා බැඳී­මක් නැත. සෑම කෙනෙ­කු­ටම තේරුම් ගැනීමේ අයි­තිය ඇත යනු­වෙ­නුත් සෑම කෙනෙ­කු­ටම කිසි­වක් තේරුම් නොගැ­නී­මට අයි­තිය ඇත යනු­වෙ­නුත් මේ ව්‍යව­ස්ථාවේ එකි­නෙ­කට විසං­වාදී වගන්ති සඳ­හන්ය.

උසු­පිස් ව්‍යව­ස්ථා­වෙන් බළ­ලුන්ට සහ සුන­ඛ­ය­න්ටත් විශේෂ තැනක් හිමි වේ. ‘සුන­ඛ­ය­කුට සුන­ඛ­යකු හැටි­යට සිටී­මට අයි­ති­යක් ඇත’ යනු­වෙන් එහි තැනෙක සට­හන්ව ඇත. එම ව්‍යව­ස්ථා­වට අනුව එහි වසන බළ­ලකු, උගේ ස්වාමි­යාට ආද­රය කර­න්නට බැඳී නොසිටී. එහෙත් අවශ්‍ය අව­ස්ථා­ව­ලදී ස්වාමියා බළ­ලාට උදව් කළ යුතු බව තවත් වග­න්ති­යක සඳ­හන් තිබේ.

ප්‍රති­බි­ම්බිත ඍජු­කෝ­ණාශ්‍ර මත මේ ව්‍යව­ස්ථාව මුද්‍ර­ණය කර ඇත. එම ඍජු­කෝ­ණාශ්‍ර මාර්ග­යක් ආස­න්නයේ තාප්ප­යක එල්ලා තිබේ. ඒ මාර්ගය හැඳි­න්වෙන්නේ ‘ව්‍යවස්ථා මාවත’ යනු­වෙනි.

උසු­පිස් ජනා­ධි­ප­ති­ව­රයා රෝමාස් ලිලෙ­යි­කිස් ය. ඔවුගේ සහා­යට අමා­ත්‍ය­වරු ගණ­නා­වක් සිටිති. මේ පිරිස හමු­වන පාර්ලි­මේ­න්තුව කැෆේ එකක් සහ පබ් එකක් හැටි­ය­ටත් ක්‍රියා­ත්ම­කය. ජනා­ධි­ප­ති­ව­රයා ඔහුගේ මුළු කාල­යම යොද­වන්නේ සිය ධුරය මත පැවරී ඇති වැඩ කට­යුතු සපු­රා­ලීම සඳ­හායි. ජනා­ධි­ප­ති­ව­රයා සහ අමා­ත්‍ය­ව­රුන් වැඩි­පු­රම හමු­වන්නේ සඳුදා දින­ව­ලදී බැව් පැවසේ.

උසු­පිස්හි ජාතික කොඩිය ‘ශුද්ධ වූ හස්ත­ය­කින්’ යුක්තය. එනම් අත්ල මැද සිදු­රක් සහිත හස්ත­යකි. එහි අරුත අනෙ­කක් නොව අල්ලස පිළි­නො­ගන්නා බවය.

රාජ්‍යයේ සංචා­රක කට­යුතු භාර අමාත්‍ය කෙස්ටාස් ලුකො­ස්කි­නාස් පව­සන්නේ අත්ල මැද සිදු­රක් තිබීම සංකේ­ත­වත් කරන්නේ අත්වල සඟවා ගන්නට කිසි­වක් නැති බව යැයි කියාය.

උසු­පිස් රාජ්‍ය­යට මුදල් ඒක­ක­යක් ඇත. නාවුක හමුදා බල­යද මේ රාජ්‍යය සතුය. වාර්තා­වන්හි දැක්වෙන අන්ද­මට රාජ්‍ය­යට කුඩා ප්‍රමා­ණයේ නාවික බෝට්ටු තුනක් හෝ හත­රක් හෝ තිබේ. ඒවා භාවි­ත­යට ගන්නේ උත්සව අව­ස්ථා­ව­න්ව­ලදී පමණි. උසු­පි­යට මේ මෑතක් වන තුරුම යුධ හමුදා බලය පැවැ­ති­යේය. එරට යුධ හමු­දාවේ සාමා­ජි­කයෝ දස­දෙ­නෙක් සිටි­යහ. අති­ශ­යින්ම සාමා­කාමී පරි­ස­ර­යක් මෙහි පවත්නා හෙයින් මේ යුධ හමු­දාව විශ්‍රාම ගන්වන ලද බව සඳ­හන් වේ. සුව­ප­හසු තැබෑ­රුම්, ආපන ශාලා රටේ ඕනෑම තැනෙක දැකිය හැකිය. උසු­පිස් රාජ්‍ය­යට පැමිණි වහාම වාගේ ඔබට අව­න්හ­ල­කට ගොඩ වදි­න්නට අව­ස්ථාව සැලසේ. ඔබට එහිදී නග­රා­ධි­ප­ති­ව­ර­යාව මුණ ගැසෙ­න්නට පුළු­වන. රටේ නමක් දිනාගත් පැසි පන්දු ක්‍රීඩ­ක­යන් මෙන්ම කලා­ක­රු­වන් ද මුණ ගැසෙ­න්නට මේ අව­න්හල කදිම තැනෙකි. එවැනි ජන­ප්‍රිය පුද්­ග­ල­යන් රටේ අනෙක් ඕනෑම තැන­කදී වුව ඔබට හමු­විය හැකිය. උසු­පිස් ඒ තර­ම­ටම සර­ලය; නිද­හස්ය; එමෙන්ම සුන්ද­රය.

Comments