විදේශ ණය ගෙවීමේ ගැටලුවක් නැහැ | සිළුමිණ

විදේශ ණය ගෙවීමේ ගැටලුවක් නැහැ

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති විදේශීය ණය සඳහා වූ පොලිය හා වාරික මුදල් ගෙවීමේ කිසිදු ප්‍රශ්නයක් නැතැයි ද ඒ සඳහා ‍රටේ ආර්ථිකයට ශක්තිය ඇතැයි ද මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා අවධාරණය කළේය.

ලබන වසරේ ජනවාරි හා පෙබරවාරි මාස සඳහා ගෙවිය යුතු ඩොලර් බිලියන 1.5 ක මුදල දැනටමත් සපුරාගෙන ඇතැයිද අධිපතිවරයා කීය.

ශ්‍රී ලංකා රජය එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 ක මුදලක් චීන සංවර්ධන බැංකුවෙන් ලබා ගැනීමට කටයුතු කළ අතර, ඉන් ඩොලර් බිලියන 01 ක් රටට ලැබී තිබේ. ඉතිරි ඩොලර් මිලියන 500 ඉක්මනින් ලබා ගැනීමට අපේක්ෂිතය.

ඊට අමතරව මහ බැංකුව සතුව ඩොලර් බිලියන 650 ක මුදලක් පවතියි. ඒ හම්බන්තොට වරාය චීනයට පැවරීමෙන් ලැබුණු මුදල්වල කොටසක් ලෙසිනි.

ශ්‍රී ලංකා රජය ඉදිරියේදී ඩොලර් බිලියන 1.5 ක විදේශීය ස්වෛරීත්ව බැඳුම්කර හා සංවර්ධන බැඳුම්කර තුළින් ලබා ගැනීමට කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකා රජය ඩොලර් බිලියන 1.7 ක මුදලක් ලබා ගැනීමට දැනටමත් ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සතුව නිල විදේශ සංචිතය ඩොලර් බිලියන 7.2 මට්ටමක ඇත. විදේශ ණය ආපසු ගෙවීමේ හෝ නිල විදේශ සංචිතයේ හෝ සතුටුදායක තත්ත්වයක් පවතින බව ඒ අනුව පැහැදිලි යැයි ද අධිපතිතුමා පෙන්වා දුන්නේය.

ආනයන - අපනයන පරතරය අවම කිරීමට ඉකුත් මාස 02 ක තුළ ක්‍රියාවට නැංවූ වාහන හා ඉන්ධන ගෙන්වීම සීමා කිරීමේ ප්‍රතිපත්තිවලින් යහපත් ප්‍රතිඵල රටට ලැබී ඇති බවද අධිපතිවරයා කීය.

ගනුදෙනුකාර භවතුන්ටත්, වාණිජ බැංකුවලටත් වැඩි වාසි අත් කරදීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගත් බවත් විදේශ ණය ගෙවීමේ ගැටලුවක් නැති බවත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කළේය.

වාණිජ බැංකු විසින් තම රුපියල් තැන්පතු වගකීම් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ තැම්පත් කළ යුතු ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය සියයට 1.5 කින් අඩු කිරීම තුළින් මේ වාසිය දෙපාර්ශ්වයටම හිමි වන බවද අධිපතිවරයා කීය.

ගනුදෙනුකාර භවතුන් විසින් රටේ වාණිජ බැංකුවල රුපියල් වලින් තබා තිබෙන තැන්පතුවල ආරක්ෂාව සහතික කිරීමට සියයට 7.5 ක ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයක් පවත්ව‍ාගෙන යා යුතුව තිබුණි. මේ ප්‍රමාණය සියයට 6.00 දක්වා අඩු කිරීමෙන් වාණිජ බැංකුවලට වැඩි ව‍ශයෙන් ප්‍රාග්ධනය සැපයීමට ඉඩ ලැබේ. මේ නිසා ද්‍රවශීලතා පීඩනය සමනය වනු ඇති බව ද අධිපතිවරයා කීය.

2018 නොවැම්බර් 13 දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ගනු ලැබූ මුදල් ප්‍රතිපත්ති තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතා අධිපතිවරයා මේ බව කියා සිටියේය.

ඒ පිළිබඳව අධිපතිවරයාගේ කරුණු දැක්වීම මේ ඇසුරිිණි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2018 නොවැම්බර් මස 13 වැනි දින පැවති රැස්විමේ දී වාණිජ බැංකු වෙතැති සියලුම රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) පහත හෙළීමට තීරණය කළේය. මෙම තීරණයෙහි බලපෑම සමනය කිරීම සඳහා සහ සිය මධ්‍යස්ථ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරව පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) පදනම් අංක 75 කින් සියයට 8.00 දක්වාද නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 50 කින් සියයට 9.00 දක්වා ද ඉහළ නැංවීමට මුදල් මණ්ඩලය තීරණය කළේය.

මෑතකාලීනව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථායි ලෙස පවත්වා ගැනීම මඟින් ආර්ථිකයට සිය උපරිම වර්ධන මට්ටමට ළඟා වීම සඳහා සහාය වීමේ පුළුල් අරමුණ ඇතිව, දැනට පවත්නා සහ අපේක්ෂිත දේශීය හා විදේශීය ආර්ථික වර්ධනයන් මෙන්ම, දේශීය මුල්‍ය වෙළෙඳපොළ තත්ත්වද පරීක්ෂාකාරි ලෙස සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය ඉහත තීරණයට එළඹියේය.

දේශීය වෙළෙඳපොළ තුළ දැඩි මුදල් තත්ත්වයක් අඛණ්ඩව පැවතිණි

දේශීය මුදල් වෙළෙඳපොළෙහි ඉහළ මට්ටමක සහ අඛණ්ඩව පැවැති ද්‍රවශීලතා හිඟය හේතුවෙන් එක්දින වෙන්දේසිවලට අමතරව කෙටි කාලීන හා දිගු කාලීන පදනම මත විවට වෙළෙඳපොළ කටයුතු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට සිදුවිය. දැනට පවත්නා ද්‍රවශීලතා තත්ත්වය පිළිබිඹු කරමින් එක්දින පොලී අනුපාතික ප්‍රතිපත්ති පොලී අනුපාතික කොරිඩෝවේ ඉහළ සීමාව ආසන්නයේ පැවතීමට ඉඩ සලසන ලදී. රාජ්‍ය සුරකුම්පත් වෙළෙඳපොළ ඵලදා අනුපාතික මෑත සතිවල දී සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර, අනෙකුත් බොහෝ වෙළෙඳපොළ ‍පොලී අනුපාතික නාමික මෙන්ම මූර්ත වශයෙන් ඉහළ මට්ටම්වල පැවතිණි.

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පුළුල් මුදල් (M2b) වර්ධනය 2018 සැප්තැම්බර් මාසයේ දී අඛණ්ඩව මන්දගාමී විය. කෙසේ ‍වුවද, අධික ආනයන වියදම් සීමා කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනු ඇතැයි යන අපේක්ෂා ඇතිව, ව්‍යාපාර විසින් ණය ගැනීමේ වැඩි වශයෙන් සිදු කිරීම හේතුවෙන් වාණිජ බැංකු වෙතින් පෞද්ගලික අංශය ලබා ගත් ණය ප්‍රමාණය ඉහළ ගිය අතර, එය ඇතැම් විට කෙටි කාලීන තත්ත්වයක් විය හැකිය. 2018 වසරේ තෙවන කාර්තුව තෙක් වන දත්තවලට අනුව, ආර්ථිකයේ සියලු ප්‍රධාන අංශ වෙත සපයන ලද ණය වර්ධනය වූ අතර, පෞද්ගලික ණය සහ අත්තිකාරම් සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර දක්වමින් පෞද්ගලික අංශය වෙත සපයන ලද ණය වර්ධනය යළිත් මන්දගාමී වී අපේක්ෂිත මට්ටමට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නවතම ආර්ථික දර්ශකවලට අනුව, මූර්ත ද.දේ.නි. වර්ධනය 2018 වසරේදී බොහෝ විට අපේක්ෂිත මට්ටමට වඩා අඩු වනු ඇත. ආර්ථිකයේ අධි ඉල්ලුමක් සහ ඉහළ උද්ධමනයකට හේතුවන තිරසාර නොවන කෙටිකාලීන මුදල් සහ රාජ්‍ය මූල්‍ය සානුබල මත රඳා පවතිනු වෙනුවට, ආර්ථික වර්ධනය තිරසාර පදනමකින් ඉහළ නැංවීම සඳහා ආර්ථික වර්ධනයට හේතුවන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ පුළුල් සහ විනිවිදභාවයකින් යුතු වැඩපිළිවෙළක් යටතේ ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ.

Comments