පාරිභෝගිකයන් වෙනුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අලුත් ගමනක | සිළුමිණ

පාරිභෝගිකයන් වෙනුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අලුත් ගමනක

පාරිභෝගික ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරමින් ඔවුන්ට අවශ්‍ය සහන ලබා දීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිරන්තරයෙන් කටයුතු කරමින් සිටියි.

මේ වන විට වෙළෙඳ, පාරිභෝගික, සමූපකාර සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ විෂය පථයට යටත්ව ඇති මෙම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය කාලය පුරාම පාරිභෝගික ජනතාව වෙනුවෙන් මා හැගි වැඩ කොටසක් ඉටු කර තිබේ.විශේෂයෙන්ම කූට හා වංචනික වෙළෙදුන් නීතියේ රැහැනට හසු කර ගැනිම සඳහා දිවයින පුරා වැටලීම් රැසක්ද සිදු කළ අතර එම වැටලීම් සාර්ථක කර ගැනීම සඳහා අධිකාරියේ විමර්ශන නිළධාරීන් දිවා රෑ නොබලා ප්‍රශස්ත කාර්යභාරයකද නිරත විය.එම වැටලීම්හී ප්‍රතිඵල ලෙස මෙම වසරේ පළමු මාස 10 කාලය තුළ රුපියල් මිලියන 76 ක මුදලක් රජය වෙත උපයාදීමටද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට හැකියාව ලැබී තිබේ.

පාරිභෝගික ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීම සදහා සෑම විටම රජය මගින් නියම කරනු ලබන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා ආහාර ද්‍රව්‍යයන් සදහා වන උපරිම සිල්ලර මිල පැනවීමටද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය කටයුතු කරන අතර එම පාලන මිල නියම කරමින් ගැසට් නිවේදන නිකුත් කිරිමේ බලය පැවරී අත්තේද ඔවුන්ටමය.

මෑතකදී වෙළෙඳපොළ තුළ අලෙවි කරන පානීය ජල බෝතල් සඳහාද උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය කටයුතු කළ අතර එලෙස පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට අධිකාරිය ගත් තීරණය පාරිභෝගික ජනතාවගේ ඉමහත් ප්‍රසාදයට පාත්‍ර විය.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය හැම විටම ප්‍රමිතියෙන් උසස්, ගුණාත්මක තත්ත්වයේ භාණ්ඩ හා සේවා මෙරට පාරිභෝගික ජනතාවට ලබා දීමට කටයුතු කරන නිසාම ව්‍යාපාරිකයින්ද එවැනි ප්‍රමිතියෙන් යුතු භාණ්ඩ හා සේවා වෙළෙඳපොල වෙත මුදා හැරීම සදහා දැන් දැන් උනන්දු වෙමින් තිබේ. ඊට හොඳම උදාහරණය මෙරට ජනගහනයෙන් වැඩිම ප්‍රතිශතයක් වන කාන්තාවන් සඳහා අවශ්‍ය සනීපාරක්ෂක තුවායන්හී ප්‍රමිතිය සම්බන්ධව අධිකාරිය ගැනීමට බලාපොරොත්තු වන පියවරයි.

මෙරට වෙළෙඳපොළ තුළ අලෙවි වන සනීපාරක්ෂක තුවා හා ඒවායේ ප්‍රමිතිය සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය දීර්ඝ අධ්‍යයනයක් සිදු කළ අතර එහිදී අනාවරණය වූයේ නියමිත ප්‍රමිතියෙන් තොර බාල වර්ගයේ නිෂ්පාදනද වෙළෙඳපොළ තුළ අලෙවි වන බවයි. එවැනි බාල නිෂ්පාදන නිසා විවිධ ආසාදන වැනි සෞඛ්‍ය ගැටළු මතු වන අතර මේ නිසා ම අධිකාරිය මැදිහත්ව අවශ්‍ය පියවර ගැනීමටත් , ජනතාව දැනුවත් කිරීමටත් බලාපොරොත්තු වේ.

එපමණක් නොව වාහන සදහා අවශ්‍ය ටයර් නිෂ්පාදන සම්බන්ධවද මෙම අධිකාරියේ අවධානය යොමු කෙරුණි.එම ටයර් අලෙවියේදීද ඒවායේ කල් ඉකුත්වීමේ දිනය වැදගත් වන අතර බාල වර්ගයේ ටයර් මේ වන විට වෙළෙඳපොළ අරක් ගෙන තිබේ. සුළු ලාභයකට එවැනි ටයර් තම වාහන සඳහා යොදා ගැනිමට සමහර පාරිභෝගිකයින් රුචි කමක් දැක්වුවද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය අවධාරණය කර සිටින්නේ එවැනි ටයර් භාවිතා කිරීම රිය අනතුරු වැඩිවීම සඳහා ප්‍රධාන හේතුවක් වී ඇති බවයි.

ටයර් පමණක් නොව යතුරුපැදිකරුවන් භාවිතා කළයුතු හෙල්මට්හී ප්‍රමිතිය සම්බන්ධවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැඩි තීරණ ගන්නා ලදී. ඒ අනුව මෙරට වෙළෙඳපොළ තුළ අලෙවි වන හෙල්මට් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය වෙතින් ප්‍රමිති සහතිකය ලබා ගත යුතු බවට නීති පනවා ඇති අතර එලෙස ප්‍රමිති සහතිකය ලබා නොගත් හෙල්මට් වෙළඳපොළෙන් ඉවත් කිරීම සඳහා ද, එවැනි නිෂ්පාදන පාරිභෝගිකයන් වෙත අලෙවි කරන ව්‍යාපාරිකයන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහාද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කැපවීමෙන් කටයුතු කරමින් සිටී.

තවද මේ වන විට වෙළඳපොළ තුළ නා නා ප්‍රකාරයේ සුවඳ සබන් අලෙවියට තබා ඇති අතර මෙම අධිකාරිය පසුගිය කාලයේදී එවැනි සබන් නිෂ්පාදනයන් පිළිබඳවද දීර්ඝ කරුණු සොයා බලන ලදී. එහිදී අනාවරණය වූයේ ප්‍රමිතියෙන් තොර බාල වර්ගයේ සුවද සබන් පාවිච්චියට ගැනීම නිසා සෞඛ්‍ය ගැටළු රැසක්ම මතු කරන බවයි. ඒ නිසාම ප්‍රමිතියෙන් තොර එවැනි සබන් නිෂ්පාදන සම්බන්ධවද ඉදිරියේදී අධිකාරිය අවධානය යොමු කර ඇත.

තව නොබෝ දිනකින් කාර්යබහුල උත්සව සමයක් උදා වීමට නියමිත අතර මෙම උත්සව සමය තුළදී ද පාරිභෝගිකයන් අපහසුතාවයට පත්වීමට ඉඩ ප්‍රස්ථා පිළිබඳවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැඩි අවධානය යොමු කර තිබේ. ඒ අනුව උත්සව සමය තුළ පාරිභෝගික ජනතාවට වැඩි මිලට භාණ්ඩ සපයන වෙළඳුන්, පාලන මිල ඉක්මවා අත්‍ය­ාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමට කටයුතු කරන වෙළඳුන් පමණක් නොව ප්‍රමිතියෙන් තොර භාණ්ඩ හා නිෂ්පාදන පාරිභෝගිකයන්ට අලෙවි කරනු ලබන කූට හා වංචනික වෙළඳුන් නීතියේ රැහැනට හසුකර හසුකර ගැනීම සඳහා මෙම අධිකාරිය තම විමර්ශනය හා වැටලීම් දැඩි කිරීමටද තීරණය කර තිබේ. පාරිභෝගිකයින්ට තමන් මුහුණ දෙන ගැටලු හා දුෂ්කරතා පිළිබඳව 1977 දුරකථන අංකයට නොපමාව පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර 0117755481, 0117755482 ,0117755483 දුරකථන අංකයන්ද පාරිභෝගිකයන්ට අවශ්‍ය උපදෙස් හා සහය ලබාදීම සඳහා වෙන් කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එස් එම්. ෆවුසර් මහතා සමඟ කරන ලද සාකච්ඡාවක් ඇසුරිනි

අදහස්