ජල පිරිසුදුකරණ ඒකක පිහිටුවයි | සිළුමිණ

ජල පිරිසුදුකරණ ඒකක පිහිටුවයි

බොහෝ දානපතියන් විසින් කරනු ලබන විශිෂ්ට සේවාවල කීර්ති නාමය කිසිදු ලෙසකින් එවන් සේවාවක නිරත වීමට හැකියාවක් නැති විවිධ සංවිධාන විසින් පවරාගන්නා බව අප හොඳින් දන්නා කරුණක්. මෙවන් විශිෂ්ට සේවා කෙරෙහි මාධ්‍ය ඇතුළු විවිධ පාර්ශවවල අවධානය යොමු වන නමුත් එම සමාජ සේවාව පසුපස සිටින පරිත්‍යාගශීලී පුද්ගලයා ඉස්මතු නොවීම සාමාන්‍ය තත්වයක්. ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යවසායකයෙකු මෙන්ම ව්‍යාපාරිකයෙකු වන ස්කොට් වෝකර් මහතාඑවන් පරිත්‍යාගශීලි පුද්ගලයෙකු වන අතර ඔහු 2010 වසරේදී මුල් වරට ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ පටන් අඛණ්ඩව මෙරට ජන ජීවිතය නඟාසිටුවීම සඳහා ඇප කැප වූ පුද්ගලයෙකි.

ඔස්ට්‍රේලියාවේ සිට එංගලන්තය බලා නෞකාවකින් යාත්‍රා කරන අතර තුර එක් දිනකට වෝකර් මහතා ශ්‍රී ලංකාවට ගොඩබැස ඇති අතර එදින ඒ මහතා කොළඹ සහ ගල්කිස්ස ආදී ප්‍රදේශවල සංචාරය කර තිබේ. මුල්වරට කළ එම සංචාරයන්හිදී තමන්ට ඉතා හුරු පුරුදු සමීප බවක් දැනුණ බව පවසන වෝකර් මහතා කියා සිටින්නේ තමන් පෙර ආත්මයකදී ශ්‍රී ලාංකිකයෙකු වන්නට ඇති බවයි.

මෙරට ජනතාව වෙනුවෙන් සිදුකර ඇති සේවාව පිළිබඳ අදහස් දැක්වූ ස්කොට් වෝකර් මහතා සඳහන් කළේ සිය පළමු ආධාර වැඩසටහන ලෙස යාපනය, කිලිනොච්චි සහ බදුල්ල ආදී දිස්ත්‍රික් තුනක අනාථ නිවාස වල දරුවන් සඳහා සතියකටතෙවරක් ඉංග්‍රීසි ඉගැන්වීමේ වැඩසටහනක් ඇරඹූ බවයි. මීට අමතරව මහරගම පිළිකා රෝගීන් සඳහා ඇඳන් 190ක් සංක්‍රාන්ති නිවාසයක් ඉදිකිරීම සහ පවත්වාගෙන යාම සඳහා CCC පදනම හා එක්ව කටයුතු කරන බවද වෝකර් මහතාසඳහන් කළේය.

ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවක මෙරට ජනතාව වකුගඩු ආශ්‍රිත ආබාධ වලින් පීඩාවිඳින බව දැනගැනීමට ලැබුණ බවත් ඒ අනුව ඔස්ට්‍රේලියාවේ Moorooka Lions Club හා එක්ව අනුරාධපුරයේ ගම්මානදෙකක් සඳහා Reverse Osmosis (RO) ඒකක සවිකිරීමට තමන් දායකත්වය දැක්වූ බවත් වෝකර් මහතා කියා සිටියේය. එම අත්දැකීම අනුව ඔස්ට්‍රේලියාවේ ක්වීන්සලන්තයේ ශ්‍රී ලංකා සංවිධාන සංගමයේ සභාපති බිල් ඩෝට්‍රම් මහතා මහතා සහ ABC Trade & Investments හි කළමනාකාර අධ්‍යක්ෂ අමල්රාජ් ජයසීලන් හා එක්ව මෙරට ගම්මාන 100 ක් සදහාReverse Osmosis (RO) ඒකක සවිකිරීමට තීරණය කළ බව සඳහන් කළේය.

අදහස්