ආර්ථිකය ශක්තිමත් කරන්න නම් Brands හදන්න ඕනෙ | සිළුමිණ

ආර්ථිකය ශක්තිමත් කරන්න නම් Brands හදන්න ඕනෙ

 පාරිභෝගිකය් හා ඍජු ගනුදෙනුවක් නැති වුවද ඔහු, නිමවන්නේ පාරිභෝගික රුචියට ගැළපෙන සහ ඔවුන්ට ඍජු සබඳතාවක් ඇති සන්නාම නාම පමණි. නමත් ‘රුචී’ වූ ව්‍යාපාරයත් අන්‍යන්ට රුචි වූ, ඔහු ගැන ඔබ කියවන්නේ පළමු වරටය. හේතුව, ශ්‍රී ලංකාව තුළ ‘Branding’ සංකල්පය ප්‍රචලිත කිරීමෙහිලා පුරෝගාමි සේවයක් කළ ද රුචී ගුණවර්ධන, මින් පෙර සිංහල පුවත්පත් සාකච්ඡාවකට පැමිණ නැත. ඉදින්, වයස 62 ක් වුවද තවමත් තිරයෙන් පිටුපස හිඳ වැඩකරන රුචී කියැවීම, ඔබට ද සතුටක් වනු ඇත.

ඔඩෙල් හැදූ ඔටාරා ගේ ලොකු අයියා. එහෙමත් නැතිනම් ජෝන් කීල්ස් උපසභාපතිව සිටි, අද ‘Pick-me’ ව්‍යාපාරයේ හිමිකරු අජිත් ගුණවර්ධනගේ ලොකු අයියා ඔබ...

ඔය කාරණා දෙක ම ඇත්ත. නමුත් ව්‍යාපාර ලෝකෙ මට තියෙන්නෙ ඔය දෙකට ම වඩා වෙනස්, මට ම අනන්‍යවූ හැඳින්වීමක්. මං සන්නාම ගොඩනඟන්නෙක්. උපදේශකවරයෙක්. මගේ බිස්නස් එක ‘බ්‍රෑන්ඩින්’.

තරමක් වෙනස් ව්‍යාපාරයක්...

ඔව්. ම‍ෙග් ප්‍රධාන ව්‍යාපාරය ස්ටිං කන්සල්ටන්ට්ස්. අලෙවිකරණ සහ සන්නාම උපදේශන සමාගමක්. මෙයින් කෙරෙන්නෙ, යම් සමාගමකට අවශ්‍ය උපාය මාර්ගික ආරම්භයන් ලබාදීම. උපායමාර්ගික ක්‍රමවේදයන් සකස් කිරීම, ඒ වගේ ම, තිබෙන සන්නාමයක් ගොඩනැංවීම හෝ අලුත් සන්නාම නිර්මාණය කිරීම.

මොනවද ඔබට තිබෙන අනෙක් ව්‍යාපාර...

Brand finance lanka සමාගම. එහි කළමනාකාර අධ්‍යක්ෂවරයා මං. එය අනුබද්ධ ව්‍යාපාරයක්. මට තිබෙන්නේ එහි 50% ක අයිතියක්. අනෙක් 50% අයිති, Brand Finance කියන, ජාත්‍යන්තර සමාගමේ, ලන්ඩනයේ තිබෙන මවු ශාඛාවට. ඊට අමතරව අජිත් මල්ලිගෙ ‘Pick-me’ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙක් ලෙසත් වැඩ කරනවා.

Brand Finance Lanka ව්‍යාපාරයෙන් මොනවද කෙරෙන්නෙ...

අපේ රටේ තිබෙන තරගකාරි සන්නාම සඳහා අගයක් වටිනාකමක් නිර්මාණය කිරීම. එම සන්නාම ශ්‍රේණිගත කිරීම. එම ශ්‍රේණිගත කිරීම් සිදුවන්නේ ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයන්ට අනුවයි. එයින් යම් සමාගමකට හැකිවනවා, වෙළෙඳපොළ තුළ තමන්ගේ සන්නාමයට තිබෙන තැන දැනගන්න. ඒ සන්නාමයට ඇති පාරිභෝගික කැමැත්ත දැනගන්න. ඒ ඔස්සේ, සිය සන්නාමයේ ඉල්ලුම ඉහළ පහළ යන හැටිත් ඔවුන්ට දැනගත හැකියි. තමන්ගේ බ්‍රෑන්ඩ් එක යම් පසුබෑමකට ලක් වී ඇති බව දැනුණොත් එය යළි ගොඩ නැංවීමට වහා ක්‍රියාත්මක විය හැකියි.

එපමණද...

නැහැ. Brad value එකෙන් කියැවෙන්නෙ, ඒ සමාගමට අයිති Brand එකේ ශක්තිමත් බවේ ප්‍රමාණය. බ්‍රෑන්ඩ් එක ශක්තිමත් නම්, Brand value එකත් වැඩියි. කොටස් වෙළෙඳපොළේදි එහෙම ශක්තිමත් බ්‍රෑන්ඩ්වල කොටස් විකිණෙන ප්‍රමාණය ඉතා ඉහළයි. කොටස් වෙළෙඳ‍ෙපාළේදි එය, සමාගමකට සල්ලි ගලා එන හොඳම ක්‍රමයක්.

සාමාන්‍ය පාරිභෝගික භාණ්ඩයක් කොහොමද ‘බ්‍රෑන්ඩ් එකක්’ බවට පත් කරන්නේ...

ඉතාම සරලව කියනවා නම්, බාහිර පෙනුමෙන් බ්‍රෑන්ඩ් එකක් මිනිස්සු අතරට යන්නෙ පළමුකොටම ලාංඡනයකින්. ආකර්ෂණීය සහ වර්ණයෙන් උත්තේජනයක් ලැබෙන logo එකකින්. ලෝගො එකක් බ්‍රෑන්ඩ් එකක් බවට පරිවර්තනය කරන්න නම්, ඒ ලෝගො එකට අර්ථයක් දෙන්න ඕ‍ෙන්. ඒ අර්ථය පාරිභෝගිකයාට අදාළ වෙන්න ඕනේ. වරක්, අපි බ්‍රෑන්ඩ් එකක් හැදුවා, ‘Garments without guilt’ අර්ථය ඇතිව. කිසිදු සැකයක් නැති ඇඟලුමක්..’ කියන ඒ අර්ථය තුළ හුඟක් දේ තිබෙනවා. ඇඳුමේ විශ්වසනීයත්වයට අමතරව, එය නිමවන සේවකයන්ට සදාචාරාත්මක ලෙස සලකන බව පවා, ඉන් ගම්‍ය වෙනවා. මීට අමතරව, බ්‍රෑන්ඩ් එකක් නිර්මාණය කිරීමේදී සලකා බැලෙන තව බොහෝ කාරණා තිබෙනවා. මේ විදියෙ බාහිර පෙනුමක් ගේන්නත්, යම් භාණ්ඩයක් ඉතා ඉහළ ම කොලිටියකින් නිෂ්පාදනය කිරීම සියල්ලට වඩා වැදගත්.

මොනවද ඔබ නිර්මාණය කර තිබෙන සන්නාම...

ස්ටිං කන්සල්ටන්ට්ස් සමාගම බිහිවී දැන් වසර 16 ක්. මේ මුළු කාලය පුරාම මං සම්බන්ධවී ගොඩනැංවූ, සන්නාම ප්‍රමාණය 200 කට අධිකයි. ‘ෆීනික්ස් වෙන්චර්ස්’ සමාගමට 2003 අවුරුද්දෙ ‘බ්‍රැන්ඩික්ස්’ තමයි මං හැදූ පළමු බ්‍රෑන්ඩ් එක. අද බ්‍රැන්ඩික්ස් කියන්නෙ ඇඟලුම් ක්ෂේත්‍රයේ ලෝක ප්‍රකට නමක්. ‘හෙල්ත් ගාඩ්’ නම් ෆාමසි ජාලය, හෙරිටන්ස් හොටෙල්ස්, සිනමන්... මං සම්බන්ධවී කටයුතු කළ සන්නාම අතරින් ‍කිහිපයක්.

Brand එකක තිබෙන වැදගත්කම මොකක්ද...

රටක ආර්ථිකයක් දියුණු කරන්න නම්, ඒ රටේ Branded දේ නිෂ්පාදනය වෙන්න ඕනේ. අපේ අය වුණත් හොයන ජපානයේ ටොයොටා, හොන්ඩා, ඇමෙරිකාවෙ කොකාකෝලා මුළු ලෝකෙට ම ගි‍ය, එහෙම බ්‍රෑන්ඩ් කිහිපයක්. ඒ වගේම බොහෝ දියුණු රටවල් තමන්ගෙ ආර්ථිකය ශක්තිමත් කරගෙන තිබෙන්නෙ සන්නාම නිපැයුම් වලින්. මොකද, බ්‍රෑන්ඩඩ් දේ වැඩි මිලකට දෙන්න පුළුවන්. හුඟක් මිනිස්සු හොයන්නෙ විශ්වසනීය භාණ්ඩයක්. නැත්නම් සේවාවක්. සන්නාමවලින් ආර්ථික වටිනාකමක් නිර්මාණය කිරීම, ව්‍යාපාරයකට වගේ ම රටකටත් වැදගත් වන්නේ ඒ නිසා.

ඔබ දකින අපේ රටේ සන්නාම ආර්ථිකය කොහොම එකක්ද...

අපේ රටේ බොහෝ අපනයන කටයුතු කෙරෙනවා. අපනයන ආර්ථිකයකුත් තිබෙනවා. නමුත් ප්‍රධාන අපනයන බෝගය වන තේ විතරක් අ‍රගෙන බලන්න. මොන තරම් අපි තේ පිටරට යවනවද. නමුත් ඩිල්මා සහ ම්ලෙස්නා හැරුණුකොට ලෝකෙ වෙන රටවල් දන්න, අපේ රටේ තේ සන්නාම මොනවද. හුඟ දෙනෙක් යවන්නෙ, ‘ටී බල්ත්’. එහෙමත් නැත්නම් පිටරටකට බ්‍රෑන්ඩ් හදාගන්න පුළුවන් විදියේ අමුද්‍රව්‍යයක් විදියට. අපි අපනයනය කරන දෙය, value added දෙයක් වුණොත්, එය බ්‍රෑන්ඩ් එකක් වුණොත් වටිනාකම වැඩියි. රටට ලැබෙන ආදායමත් වැඩියි. රටක් හැටියට අපි දැන්වත් පාරිභෝගික ද්‍රව්‍යවල සිට සන්නාම දක්වා ගමන් කළ යුතුයි.

බ්‍රෑන්ඩ් එකක නම, ලාංඡනය කලින් කලට වෙනස් කළ යුතුද...

එය තීරණය වෙන්නෙ එම භාණ්ඩය හෝ සේවාව පාරිභෝගිකයා පිළිගන්නා ආකාරය අනුව. උදාහරණයක් කියන්නම් කොකා කෝලා කියන්නෙ අවුරුදු 150 ක් තිස්සෙ වර්ණයවත් හැඩයවත් වෙනස් නොකළ බ්‍රෑන්ඩ් එකක්. නමුත් ඒ න්‍යාය, හැම බ්‍රෑන්ඩ් එකටම අදාළ වෙන්නෙ නැහැ. සාමාන්‍යයෙන් බ්‍රෑන්ඩ් එකක් කලින් කලට අලුත් වැඩියා කළ යුතුයි. පාරිභෝගික මතකය අලුත් කළ යුතුයි.

මොකක්ද ඔබේ පළමු රස්සාව...

මං එංගලන්තෙ ඉගෙන ගෙන ආ හැටියෙ, තාත්තා මට රෙකිට් ඇන්ඩ් කෝල්මන්ස් සමාගමේ රස්සාවක් හොයා දුන්නා. ෆැක්ටරියෙ තිබුණු ලැබ් එ‍ෙක් කොලිටි කන්ට්‍රෝලර් කෙනෙක් හැටියට මං ම‍ෙග් වෘත්තීය ජීවිතය පටන් ගත්තා. මාස හයකින් වෙළෙඳ අංශයට ගියා.

ඒ ‍ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් ද...

ඇත්තට ම. අලෙවිකරණයට මගේ හිත ගියේ, ඒ සම්බන්ධව ඉගෙන ගත්තෙ වෙළෙඳ අංශයට ගියාට පස්සෙ. මං අලෙවිකරණයේ මා කැමැති දේ සොයා ගත්තා. ආයතනය මා, පෞද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදන සඳහා සන්නාම කළමනාකරු (Brand Manager) ලෙස පත් කළා. ඒ, 80 දශකයෙ මුල් භාගය. මං ඩෙටෝල් වැනි සන්නාම ගොඩනැංවිමේ කාර්යයේ යෙදී සිටියා. ලංකාවෙ මුල් ම වෙළෙඳ දැන්වීම් අතරින් එකක් වන ගෝයා සුවඳ විලවුන් දැන්වීමේ නිර්මාණකාර්යයට දායක වුණා. එංගලන්තයෙන් ලබා ගත් විද්‍යා උපාධියක් තියාගෙන නුහුරු නුපුරුදු අලෙවිකරණයේ, ඉතාමත් ප්‍රබෝධයෙන් යුතුව නියැළුණු කාලයක් ඒක.

ඒත් දැන්වීම්කරණය කියන්නෙ වෙනම ක්ෂේත්‍රයක්. මොකක්ද ඔබට තිබූ පසුබිම...

මං සිතීමෙහි දක්ෂයෙක්. අඛණ්ඩව විවිධ විෂයන් ඉගෙනගත්තා. හැම වෙලාවෙම මං හිටියෙ අලෙවිකරණයේ නව ප්‍රවණතා පිළිබඳ අවධියෙන්. මේ තත්වය තවත් වර්ධනය වුණේ, රෙකිට් ඇන්ඩ් කෝල්මන්ස් ආයතනයේ ලැබූ අත්දැකීම් එක්ක, ජේ. වෝල්ටර් තොම්සන් දැන්වීම් ප්‍රචාරණ ආයතනයට ගියාට පසුයි. සන්නිවේදනයේ ප්‍රබලත්වය මං උගත්තේ, එය වැඩිදුරට භාවිත කළේ මේ ආයතනයේදි.

ඇත්තට ම විද්‍යාවට කැමැති කෙනෙක් කොහොමද අලෙවිකරණයේ සහ සන්නාම ගොඩනැංවීමේ කාර්යයයේ සාර්ථකව යෙදෙන්නේ...

මං ගොඩනැඟුණේ කළමනාකරණය සහ අලෙවිකරණය එක්ක. මේ දේවල් මං කොතෙකුත් හැදෑරුවා. විභාග කළා. මගේ විද්‍යා උපාධියත් අහක ගියේ නැහැ. අවුරුදු 22 ක් වැඩ කළ බහුජාතික සමාගම්වලදී මගේ වෘත්තීය ජීවිතය වෙනස් ආකාරයෙන් ගොඩනඟාගන්න මං එය භාවිත කළා. මේ සියල්ල තුළ මා ඉගෙන ගත් ප්‍රධාන දේ තමයි, අලෙවිකරණයේදි උපායශීලීව සිතීමේ අවශ්‍යතාව සහ පාරිභෝගික ගැටලු විසඳීම ප්‍රගුණ කිරීම. නමුත් තවමත් අපේ ර‍ෙට්, අලෙවිකරණය, ව්‍යාපාරයක ප්‍රධාන අංගයක් ලෙස දකින ප්‍රමාණය ඉතා අල්පයි.

මොනවද ඔබ ඔය තරම් කාලයක් වැඩ කළ බහුජාතික සමාගම්...

රෙකිට් ඇන්ඩ් කෝල්මන්ස්, ග්ලැක්සෝ, කොකා කෝලා. මේ අතරින් කොකා කෝලා සමාගමේ ‘කන්ට්‍රි මැනේජර්’ තනතුරේ අවුරුදු දහයක් වැඩ කළා. එවකට ලෝකයේ හොඳ ම සන්නාමයක් පිළිබඳ වූ ප්‍රාදේශීක වගකීම සහ ඇමෙරිකාවට වාර්තා කිරීමේ මේ කටයුත්ත මට විශාල ලෝකයක් විවර කළා. එය ජාත්‍යන්තර මට්ටමේ මෙහෙයුමක්.

මේ තරම් ව්‍යාප්ත වූ ආයතනයක ඔබට කරන්න වෙනසක් ඉතිරිව තිබුණද...

මොකද නැත්තෙ. මං ඒ ජනප්‍රිය ප්‍රඩක්ට් එක දිහා බැලුවෙත් අපේ රටේ පාරිභෝගිකයා කේන්ද්‍ර කොටගෙන. ඔවුන්ට අගයක් දෙන්නත් ව්‍යාපාරයට ලාභයක් ගේන්නත් පුළුවන් විදයයි මං නිතර කල්පනා කළේ. 90 දශකයේ කොකා කෝලා සමාගමේ මගේ සේවා කාලය තුළ මං තැබූ වැදගත් ම ඉදිරි පිම්ම තමයි, බඩී බෝතලය හඳුන්වා දීම. මිලිලීටර් 175, රුපියල් 5 යි. එතැන් සිට එහි අලෙවිය අහස උසට නැග්ගා. ලාභය ගුණකාර වුණා. අවුරුදු විසි ගණනකට පසුව අදත් බොහෝ ආයතන, බට්ටා... පොඩ්ඩා වැනි කුඩා ප්‍රමාණ මඟින් මේ උපක්‍රමය භාවිත කරනවා. අත මිට හිඟ පාරිභෝගිකයා පවා, මේ ක්‍රමයේදි අපේ නිෂ්පාදන අත්හරින්නේ නැහැ. ව්‍යාපාරයක ගැටලු විසඳීමටත් වාසිදායක අවස්ථා නිර්මාණය කිරීමටත් නව අදහස් ගෙන ආ යුතුයි. මේ තමයි, ලෝ ප්‍රකට සමාගමකට ලංකාවෙ ඉඳන් මං කළ වෙනස.

ඒ තරම් දෙයක් කළ ඔබ ඇයි සියල්ලෙන් ඈත්ව ඔබේ ම ව්‍යාපාරයකට අත ගහන්නේ...

බහු ජාතික සමාගම්වලට වැඩකළා ඇතියි කියලා හිතුණු නිසා. ඔවුන්ට වැඩ කර මා උගත් සියලු දැනුමෙන් මගේ රටේ දේශීය ව්‍යාපාරවලට යමක් කළ යුතුයැයි සිතුණු නිසා. ඒ වෙනකොට ලංකාවේ Branding කියන දේට කවුරුත් අතගහලා තිබුණෙ නැහැ. මං ඒ හිඩැස ගත්තා. අවස්ථාවන් හැම වෙලාවෙම උදාවෙන්නෑ. මං ඒ විශිෂ්ටතම අවස්ථාව අයිතිකර ගත්තා. මං මගේ ම ප්‍රධානියා වුණා. අවුරුදු 22 කට පස්සෙ මට මහා ආස්වාදයක් දැනෙන්න ගත්තා. ඔන්න, මං මගේ රටට වැඩකරනවා...කියන සතුටින් හිත පිරුණා.

පුංචි කාලෙ ඔබ දක්ෂයෙක් ද...

මං ඉගෙන ගත්තෙ කොළඹ රාජකීයේ. පොත පතේ අධ්‍යාපනයට වඩා මං ආසා කළේ ක්‍රීඩාවට. ඒ නිසා අධ්‍යාපනයේදි මං බොහොම සාමාන්‍ය ළමයෙක්. හැබැයි ෆුට්බෝල්, ක්‍රිකට්, ස්විමින්, වෝටර් පෝලෝ, රගර්... මේ හැම ක්‍රීඩාවම කළා. රගර් සහ ස්විමින්වලින් විශේෂ දක්ෂතා පෙන්වුවා වගේ ම, පාසලත් නියෝජනය කළා. ඇත්තට ම මං, හිතට අරන් අධ්‍යාපනයේ යෙදුණෙ ‘පාසල හැරගියාට පස්සෙ, මං මොනවද කරන්නෙ...’ කියන සිතිවිල්ල ආවට පස්සෙයි.

ඉතින්, විභාග හොඳින් සමත් වුණාද...

ගණිතය මට අප්‍රසන්න විෂයක්. ඒ නිසා මං උසස් පෙළට තෝරා ගත්තෙ ජීව විද්‍යාව. ඊළඟට මට ඕන කළේ පිටරටක ඉගෙන ගන්න. ඒ සඳහා මං ලන්ඩන් උසස් පෙළ තෝරා ගත්තා. ලොකු සටනක් තරමට මහන්සිවෙලා මං ලන්ඩන් ඒ - ලෙවල් හොඳින් සමත් වුණා. එංගලන්තයේ බාත් සරසවියට ඇතුළු වුණා.

ඒත් අද වගේ එදා අධ්‍යාපනයේ තරගයක් තිබුණෙ නැහැනේ...

එහෙම සටනක් නෙවෙයි. ඒ යුගයේ, අපේ රටේ ලන්ඩන් ඒ ලෙවල්ස් පන්ති තිබුණෙ නැහැ. ඇතුළත්වීමේ විභගයට පෙනී සිටීමට අඩු ම තරමේ ඉන්දියාවටවත් යන්න ඕනේ. ඊටත් වඩා අමාරු වුණේ ලන්ඩන් විෂය මාලාවට උගන්වන ගුරුවරු නැති එක. මගේ අම්මයි තාත්තයි, විෂයමාලාව ලන්ඩනයෙන් ගෙන්වා ගෙන ඒ සිලබස් එක ‍මෙහෙ ගුරුවරු කිහිපදෙනකුට දුන්නා. ඒ ඔස්සේ ඔවුන් මට විෂයන් ඉගැන්වුවා. මට සිද්ධ වුණේ, කිසිදු ක්‍රමවේදයක් හෝ ව්‍යුහයක් නැතිව ආරම්භ කර, සම්පත් දායකයින් පිරිසක් මා වටා ගොඩනඟාගෙන මේ අභියෝගය ජයගන්නයි. ඒක, ‘ඉන්ටනෙට්’ කියන වචනෙවත් අහලකවත් නැති යුගයක්.

අදටත් වලංගු, ඔබ එදා ඉගෙන ගත් හොඳ ම ජීවිත පාඩම කුමක්ද...

‘හොඳ ජීවිතයක් ගත කරන්න නම්, සම්පත් තිබිය යුතුමයි’ කියන ජීවිත පාඩම මං උගත්තේ ඔය විඳපු කරදරයෙන්මයි. ඊළඟට, තනි වුණාම ජීවිතයට මුහුණ දෙන්න ඕනෙ කොහොමද කියලා ඉගෙන ගත්තෙ එංගලන්තෙ ඉගෙන ගනිද්දි.

එහෙනම්, දරාගැනීම... අරපිරිමැස්ම ඔබේ ජීවිතයේ කොතෙකුත් අත්විඳ ඇති...

මගේ තාත්තා ‘එයිට්කන් ස්පෙන්ස්’ සභාපති වුණාට ඒ කාලෙ මහා ලොකු පඩියක් ලැබුණෙ නැහැ. අම්මා ගුරුවරියක්. ‘චිත්‍රා ලේන්’ එකේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ පාසල ආරම්භ කළේ ඇය. දරු තුන්දෙනෙක් ඉගෙන ගත්තු ගෙදරක් හැටියට අපේ ගෙදර තිබුණෙ, බොහොම පරිස්සමින් විය හියදම් කළ පරිසරයක්. අම්මත් අපිත් කුකුළො ඇති කළා. ඒ බිත්තර අදාළ තැන්වලට ගිහින් දුන්නෙ මං. නංගියි, මල්ලියි, මායි එළවළු වගා කළා. එහෙම ඉගෙන ගත්තු පරිස්සම, මට හොඳට ම අත්දකින්න වුණේ එංගලන්තෙ බාත් සරසවිය, විදේශ සිසුන්ගේ ගාස්තු ඉහළ දැමූ විටයි.

මොනවද ඔබ කළේ...

මං පාට්ටයිම් වැඩ කළා. හවස හයේ ඉඳන් රෑ දහය වෙනකල් රෙස්ටූරන්ට් එකක වැඩ කළා. ඒ තමයි මගේ ජීවිතයේ අමාරුම කාලය. සැබෑ පීඩනය අත්විඳපු දුෂ්කරම කාලය. රස්සාවක් කරන ගමන් මගේ අධ්‍යයන සහ විභාග කටයුතු හොඳින් කරගෙන යෑම ලේසි වුණේ නැහැ. එහෙමයි කියලා මට ආපහු සියල්ල දමලා ගහලා ලංකාවට යන්නත් බැහැ. මං දන්නවා, අම්මයි තාත්තයි මාව එව්වෙ අමාරුවෙන්. හුඟක් සල්ලි පිරිමහලා. මං දරාගෙන වැඩ කළා. ඉගෙන ගත්තා. හැම අවුරුද්දෙ ම මාස හයක් විශ්වවිද්‍යාලයේ. ඉතිරි මාස හය කර්මාන්ත පුහුණුවෙ. මං පොලිස් ඇඟිලි සලකුණු අංශයෙ වැඩ කළා. විවිධ ආයතනවල ලැබ්වල වැඩ කළා. ඒ පුහුණුව ඉතාම දුෂ්කර එකක් වුණත් මට ලැබුණු දැනුම අපරිමිතයි. අවසානයේ මං ජීව විද්‍යා උපාධිය සම්පූර්ණ කළා. ගෙවුණු ඒ අවුරුදු හතර ම මං හිටියෙ හොඳට ම හෙම්බත්වෙලා. උපාධිය ගත්තු ගමන් මං ලංකාවට ආවා.

දෙමවුපියන්ගෙන් ජීවිතයට ලැබුණු හොඳම දේ කුමක්ද...

ස්වාධීනව හිතන්න පුරුදු කළ එක. බලපෑම් නොකර අපිට අපි විදිහට ගොඩනැ‍ඟෙන්න දීපු එක. ඇත්තට ම අම්මයි තාත්තයි බලපෑමක් කළා නම් ඒ, විනයානුකූල ජීවිතය හැඩගස්වාගන්න පමණයි. අපි යා යුතු මඟ, කළ යුතු දේ හිතුවෙ අපි. ඒ දෙන්න ම ඒකට උදව් කළා. දරුවො හැටියට ඒ තමයි අපිට ලැබුණු වටිනා ම දේ.

ඔබේ නංගි ඔටාරා තරම් සාමාන්‍ය මිනිස්සු ඔබව වැඩිය හඳුනන්නෙ නැහැ...

මට තියෙන්නෙ පාරිභෝගිකයන් හා ඍජුව ගනුදෙනු කරන ව්‍යාපාරයක් නෙවෙයි. මගේ ගනුදෙනුව තිබෙන්නෙ කොම්පැනි එක්ක. මම සන්නාම හදන්නෙ කොම්පැනිවලට. ඉතින් සාමාන්‍ය ජනතාවට මා මුණ ගැහෙන්නේ නැහැ තමයි. මේ තමයි මං සිංහල පත්තරේකට කතා කරන පළමු වතාවත්. නමුත් ඔටාරා, හුඟක් - සාමාන්‍ය ජනතාවට කිට්ටු කෙනෙක්. Pick - me වගේ බ්‍රෑන්ඩ් එකක් කළාට මගේ මල්ලි අජිත්වත් සාමාන්‍ය ජනතාව දන්නෑ. නමුත් මිනිස්සුන්ට සමීප, ඒ හුඟක් බ්‍රෑන්ඩ් පිටුපස්සෙ ඉන්නෙ අපි.

දරුවන්ට සමීප තාත්තෙක් ද ඔබ...

හුඟක්. හරිත් මගේ ලොකු පුතා. වයස 35 යි. එයාගෙම, Social Media Marketing ව්‍යාපාරයක් කරනවා. පොඩිපුතා සන්ජේ වයස 31 යි. එංගලන්තයේ සැම්සුන් කොම්පැනියට වැඩ කරනවා. මගේ වයිෆ් කිෂාණි. අපි හතර දෙනා ම හුඟක් ළං වෙච්ච පවුලක්. කවදාවත් මගේ තාත්තා මට ගහලත් නැහැ. මගේ පුතාලට මං ගහලත් නැහැ. ඕන දෙයක් ආදරෙන් යාළුවො වගේ කතා කළා ම ඇති.

ජීවිතේ විඳින්නෙ කොහොමද...

පවුලෙ අය හැරුණම, ඉස්කෝලෙ යාළුවො දහදෙනෙක් ඉන්නවා. මගේ මල්ලිත් ඒ කණ්ඩායමේ කෙනෙක්. අපි නිතර මුණ ගැහෙනවා. ඒක හරි අපූරු මිත්‍රකමක්. බලන්න, වයසට ගියත් අපිට ඉන්නෙ ඉස්කෝලෙ යාළුවෝ.

ඔබෙන් ගන්න පුළුවන් හොඳ ම ආදර්ශය කියන්න...

ව්‍යාපාරයකදි වුණත්, වැඩකරන ආයතනයකදි වුණත් වෙනස් විදියට යමක් කරන්නෙ කොහොමද කියලා නිතර හිතන කෙනෙක් මම. එහෙම කරන්න තමන් තුළ දැනුම තිබිය යුතුයි. නිතර අප්ඩේට් විය යුතුයි. ලබා ගත් ඒ දැනුම බය නැතිව භාවිත කළ යුතුයි. එතෙක් කිසිවෙක් අත නොගැසූ ව්‍යාපාරයකට මං අතගැහුවේ එහෙමයි. මෑත කාලෙ අපි ලංකාවට හඳුන්වා දීපු Pick me සර්විස් එකට බොහොම ඉක්මනට මිනිස්සු හුරුවුණෙත් ඒක වෙනස් විදියට ආ තමන්ට අත්‍යාවශ්‍ය ළඟම සේවාවක් නිසා. ඉතින්, ඕනෑම දෙයක් වෙනස් විදියට හිතන්න. ප්‍රතිඵලය හොඳයි.

ඉනෝකා පෙරේරා බණ්ඩාර
ඡායාරූප - විමල් කරුණාතිලක

අදහස්