සහශ්‍ර දෙකක් තිස්සේ දකිමින් ඇතත් තවමත් නිසි ලෙස හඳුනා නොගත් මහසෑ බිමේ පිහිටි ශිලා යූපය | සිළුමිණ

සහශ්‍ර දෙකක් තිස්සේ දකිමින් ඇතත් තවමත් නිසි ලෙස හඳුනා නොගත් මහසෑ බිමේ පිහිටි ශිලා යූපය

ථූපාරාම දාගැබ මඟින් එවක පැවති ආගමික අවශ්‍යතාව තෘප්ත වූවත් මහාවිහාරයක ප්‍රමුඛ අංගය වන මහාදාගැබක් ඉදිකිරීම අත්‍යවශ්‍යව තිබිණි. එහෙත් මහා දාගැබ සඳහා බිම සලකුණු කර අනාගතයට වෙන් කිරීමට තරම් මිහිඳු හිමි සැලසුම්සහගත වූ අයුරු මහාවංශයෙන් පෙනේ. උන් වහන්සේ මේ දාගැබ ඉදිකිරීමට ඉදිරිපත් වන දෙවනපෑතිස් රජු නවත්වන්නේ ඔහු ඒ අවස්ථාවේ කළ යුතු තවත් බොහෝ කටයුතු ඇති බව පවසමිනි. මිහිඳු හිමි කටයුතු කළේ බුදුදහම ප්‍රායෝගිකව සමාජගත කිරීම සඳහා ඇවැසි ශක්ති සම්පන්න පදනම තමන් ජීවමානව වෙසෙන කාලය තුළ නිර්මාණය කිරීමටය.

රුවන්මැලි මහාසෑයේ උතුරු දොරටුව අසල ප්‍රාකාරයට පිටින් පිහිටුවා ඇති හුනුගල් ටැඹකි. මෙය අඩි 20යි අඟල් 4ක් උසය; විෂ්කම්භය අඩි 3.5කි. ඉතා පැරණි ගල් ටැඹක් වන මෙය නිශ්චිතව හඳුනාගෙන නැත. දෙවනපෑතිස් රජ දවසට අයත් මෙවැනිම ටැඹක් කිරින්දේදීද හමු වන බවත්, මහානාග යුවරජු මිථ්‍යා දෘෂ්ටි හැරදමා බුද්ධාගම වැලඳගත් අන්දම ඉන් කියැවෙන ආකාරයත් මහාචාර්ය ජී ටී කුලතුංග දක්වයි (අනුරාධපුර මහා විහාරය, කුලතුංග ටී ජී, පිටුව 45). මේ වකවානුවටම අයත් මෙවැනි ගල්ටැඹක් යටාල වෙහෙරෙන්ද හමුව තිබේ. මහාචාර්ය පරණවිතාන මේ ටැඹ ඉන්දියාවේ ස්තූප අසල පිහිටි ආගමික සංකේතයන්ගෙන් යුක්ත ස්තම්භවලට සමාන කරන අතර, කඹුරුපිටියේ වනරතන හිමියෝ එය සුප්‍රකට අශෝක ස්තම්භ හා සමාන කරති. මේ සියලු තොරතුරු සපයන පැහැදිලි අදහස මේ ටැඹ දෙවනපෑතිස් යුගයට අයත් විය හැකි බව සහ එවැනි ශිලා යූප පිහිටුවීමේ සම්ප්‍රදායක් මේ වකවානුවේ පැවැති බවයි.

රුවන්මැලි මහාසෑය ඉදි කළ තැන දෙවනපෑතිස් රජ සෙල් ටැඹක් පිහිටුවූ බව මහාවංශයේ දැක්වේ (ම.ව., 15 පරි., 173 ගාථාව හා 20 පරි. 18 ගා.). එය ඉවත් කර පසෙකින් තබා දුටුගැමුණු රජු රුවන්මැලි සෑය ඉදි කළ බව මහාවංශය කියයි (ම.ව. 29 පරි., 2 ගා.). මහාවංශකරුට අනුව දෙවනපෑතිස් රජු මේ සෙල්මුවා ටැඹ පිහිටුවන්නේ මිහිඳු හිමි විසින් අනාගතයේ දී දුටුගැමුණු රජු මේ ස්ථානයේ ඉදි කරන මහාථූපය සම්බන්ධ අනාගත වාක්‍යයක් සහිතවය. භාතිකාභය රජදවසද මහාථූපයෙන් නැ‍ඟෙනහිර පිහිටි ශිලා ස්තම්භයක් ගැන කියැවේ. දාගැබ්හි රහතුන් පිරිත් දෙසන හඬ අසා “මම එය නොදැක නොනැඟිටිමි”යි අධිෂ්ඨාන කොට උපවාසයෙන් ගත කළ බව කියන්නේ නැ‍ඟෙනහිර ප්‍රදේශයේ වූ ගල්ටැඹක් මුලය (ම.ව., 34 පරි., 50 ගා.).

මහාවංශයේ කෙරෙන උත්කර්ෂවත් වර්ණනා විටෙක තර්කානුකූලව සිදුවීමක් විසඳාගැනීමට ඇති ඉඩකඩද අහුරාදමයි. ඒ අනාගතවාක්‍යය අමතක කර, මිහිඳු හිමි මහමෙවුනා භූමියේ මහාවිහාර පරිශ්‍රය නිර්මාණය කිරීම සඳහා තෝරාගැනීමේ සිට මහාවිහාරය සැලසුම් කිරීම දක්වා අතිශය ප්‍රායෝගික හා විද්‍යානුකූල සැලසුම විමසීම වැදගත්ය. මහාවිහාර භූමියේ සියවස් ගණනාවක් සංවර්ධනය වී ස්ථාවර වූයේ මිහිඳු හිමිගේ ඒ විචක්ෂණ ආරාමික සැලසුමය.

අවස්ථාව ප්‍රායෝගික කළ ආරාම සැලසුම

මහාවිහාරය පිහිටුවීමේ දී උන් වහන්සේ තුළ අතීතය හා සම්බන්ධ, වර්තමානය හා සම්බන්ධ, අනාගතය හා සම්බන්ධ සැලසුම් තිබුණු ආකාරය පෙනේ. මහාවිහාරයේ වැදගත් පූජනීය ඉදි කිරීමේ දී අතීතයේ සිට පූජනීයත්වයට පත් ස්ථාන තෝරාගැනීම ඉන් එකකි. හොඳම උදාහරණය ථූපාරාමයයි. ථූපාරාමය ඉදි කරවනු ලැබුවේ මහෙජ නමැති යක්ෂයාට වෙන් වූ දෙවොල් භූමියේය. තමන් ජීවමාන අවධියේ ශාසන ප්‍රතිෂ්ඨාපනය සඳහා සැලසුම් ක්‍රියාත්මක කිරීමට අත්‍යවශ්‍ය ඉදිකිරීම් ප්‍රමාණයට උන් වහන්සේ ප්‍රමුඛ අවධානය යොමු කළහ. මහාපාලි දානශාලාව, තිස්සාරාමය, පොහොයගෙය, බද්ධසීමාපාසාදය, රංසිමාලකය, ථූපාරාම දාගැබ, ගිනිහල් පොකුණ නිශ්චිත ස්ථානයන්හි, අනාගත සංවර්ධන සඳහා අවකාශ සලසමින් පිහිටුවීම ඒ සඳහා උදාහරණය.

තිස්සාරාමය ප්‍රධාන මහමෙවුනාව පූජා කළ දිනයේම මිහිඳු හිමි සිය ආරාමික සැලසුම අතිශය ක්‍රමානුකූල ආකාරයෙන් නිශ්චය කරනු පෙනේ. උන් වහන්සේ මහාවිහාර ආරාම සැලසුම ආරම්භ කරන්නේ තිස්සාරාමය මුල් කරගනිමිනි. මහාවංශ ප්‍රකාරව එහිමියන් මුලින්ම සලකුණු කරන්නේ සංඝයාගේ විනයකර්ම සඳහා ඉදි කරන සීමාමාලකය පිහිටි ස්ථානයය (ම.ව. 15 පරි., 27-29 ගා.). එය සලකුණු වන්නේ තිස්සාරාමයට දකුණුපසින් වූ ඉඹුල් රුකක් පාමුලය. අනතුරුව තිස්සාරාමයට උතුරින් වූ මනෝඥ පොකුණක් කරා වැඩි ස්ථවිර තෙමේ ගිනිහල්ගෙය සලකුණු කරන්නෝය (ම.ව., 15 පරි., 31 ගා.). සංඝයා වහන්සේගේ උණුපැන් පහසුවත්, ඖෂධීය වාෂ්ප චිකිත්සාවත් මේ ගිනිහල්ගෙය හෙවත් ජන්ථාඝාර නිර්මාණයේ අපේක්ෂාව විය.

ජයශ්‍රීමහා බෝධිය රෝපණය කරන ස්ථානය ලෙස උන් වහන්සේ සලකුණු කරගන්නේ තිස්සාරාමයේ ද්වාරකොටුව අසලය (ම.ව., 15 පරි., 32-35 ගා.). අනතුරුව පොහොයගෙය පිහිටි තැන සලකුණු කරන්නේය.

අනතුරුව සලකුණු වන්නේ රංසිමාලකය නමැති සංඝයා වහන්සේ රැස්ව උන් වහන්සේලාට ලැබුණු සම්පත් බෙදාගන්නා තැනය (ම.ව., 15 පරි., 45-46 ගා.). අනතුරුව චතුශ්ශාලාව නමැති දානශාලාව පිහිටුවන තැනය (ම.ව., 15 පරි., 47-51 ගා.).

අනාගත සංවර්ධන අවකාශ තහවුරු කිරීම

මේ ඉදිකිරීම් සියල්ල අනාගත සංවර්ධන අවකාශ තබමින් ඒ මොහොත ප්‍රායෝගික කළ ඉදිකිරීම් බව පෙනේ. එය වඩාත් සනාථ කරන ප්‍රකාශනය ලෝවාමහාපාය ඉදිකිරීමය. ලෝවාමහාපාය මහා විහාරයේ පොහොයගෙයය. මහාවංශ ප්‍රකාරව ලෝවාමහාපායේ ආදිකර්තෘ දේවානම්පිය තිස්ස මහරජුය. ඔහු ලෝවාමහාපාය කරවන අයුරු මහාවංශයේ දේවානම්පියතිස්ස රජු පිළිබඳ කරන විස්තරයේ දී පෙනේ (ම.ව., 15 පරි., 223-224 ගා.). ‍

එහෙත් මහාවංශයේ ගාථා 48කින් සමන්විත 27 පරිච්ඡේදය වෙන් වන්නේ මේ ප්‍රාසාද කර්මාන්තය දුටුගැමුණු රජු විසින්ම කළ බව කියන්නටය. තමන්ට වසර එකසිය හතළිහකට පෙර සිටි තම මුත්තණු වූ දේවානම්පියතිස්ස රජු විසින් මිහිඳු හිමි ප්‍රකාශිත අනාගත වාක්‍යයක් රන් වස්ත්‍රයක ලියා රජගෙයි කරඬුවක් තුළ තැන්පත් කර තිබූ අයුරුත් ඒ වාක්‍යයේ නානා රත්නාලංකෘත ලෝහ ප්‍රාසාදයක් වන පොහොයගෙයක් නවමහල් කොට කරවන ආකාරය ගැන එහි සඳහන් වන අයුරුත් දැක රජු පිනා ගොස් දිව්‍යමන්දිරයකට සම මන්දිරයක් නිර්මාණය කිරීමට සූදානම් බව සංඝයාට දැනුම් දුන් ආකාරය මහාවංශකරු කියයි (ම.ව., 27 පරි., 1-7 ගා.). මේ නිර්මාණය තවත් උත්කෘෂ්ට කිරීමට කැමැති හේ එහි සැලසුම ගෙනෙන්නට රහතන් වහන්සේ අට නමක් තවුතිසා දිව්‍යලෝකයට වැඩම කළ බව පවසයි. ලෝවාමහාපාය නිර්මාණය වන්නේ ඒ රහතන් වහන්සේ විසින් රෙදිපටක සටහන් කරගෙන එන ලද භරණී නම් දෙව්දුවගේ කුළුගෙවල් දහසකින් සැදි, මධ්‍යයේ අම්බලට්ඨිකා නමැති පහයෙන් යුත්, නවමහල් රත්නප්‍රාසාද නමැති ප්‍රාසාදයේ සැලසුමට අනුවය (ම.ව., 27 පරි., 10-17 ගා.).

එහෙත් දෙවනපෑතිස් රජතුමා විසින් පූර්වයෙහි කළ ලෝවාමහාපාය දුටුගැමුණු රජු විසින් විස්තෘත කර ප්‍රතිසංස්කරණය කළබව මහාවංශ ටීකාවෙන් පෙනේ. මහාවංශ ටීකාව මහාවිහාර ප්‍රතිග්‍රහණයේ 205 ගාථාවේ ‘‘ලෝහ පාසාද මේ මේච’’ පදය විස්තර කරමින්, විහාරය සම්පූර්ණ වීමට පමණක් පොහොනා ප්‍රසාදයක් කරවී. පසු කලෙක දුටුගැමුණු රජ එය බිඳහෙළා රනින් ඔබ්බවා ප්‍රාසාදයක් කරවීයැයි කියයි (වංසත්ථප්පකාසිනී සිංහල අනුවාදය, සංස්. අමරවංශ අකුරැටියේ/ දිසානායක, 282 පි.).

එමෙන්ම මහාවංශ ටීකාව ප්‍රාසාද කර්මාන්තය ආරම්භ කිරීම සම්බන්ධ විස්තර කරමින් ‘‘කම්මාරම්භන කාලෙ ච’’ යනු පැරණි දිරාපත් පහය බිඳහෙළා දිගින් පළලින් ඉස්බ ඉස්බ පමණ බිම සකස් කිරීම ආදි මුල් කටයුතු අරඹන කල්හිම... ආදි වශයෙන් තිබූ ලෝවාමහාප්‍රාසාදය කඩා ඉවත් කර නව කර්මාන්තයක් කළ බව කියයි (වං.ප.සිං.අනු., 282 පි.). වංසත්ථප්පකාසිනිය පැහැදිලිවම දක්වන්නේ මිහිඳු හිමිගේ මෙහෙයවීමෙන් දෙවනපෑතිස් රජු ඉදි කළ ලෝවාමාහාපාය විභූතිමත් ගොඩනැඟිල්ලක් නොව, විහාර කර්මාන්තයට පිරිමැසෙනා ආකාරයේ ඉදිකිරීමක් බවය.

එකල්හි රජ උයනට ප්‍රවේශ තැන්හි කකුධ නමැති කුඩා වැවක් විය (ම.ව., 15 පරි., 52 ගා.). මිහිඳු හිමි මහාවිහාරයේ මහාසෑය සඳහා තෝරාගන්නේ කකුධ වැව මත්තේ කෙළවර උස් භූමියය (ම.ව., 15 පරි., 53 ගා). ඒ වන විට වන්දනාමාන සඳහා ථූපාරාම දාගැබ ගොඩනැඟී තිබිණි.

මහාසෑය සලකුණු කිරීම

එනයින් එවක පැවැති ආගමික අවශ්‍යතාව ථූපාරාම දාගැබෙන් තෘප්ත වූවත් මහාවිහාරයක ප්‍රමුඛ අංගය වන මහා දාගැබක් ඉදිකිරීම අත්‍යවශ්‍යව තිබිණි. එකල්හි පැවැති තාක්ෂණය හා ආර්ථික පරිසරය අනුව දශකයක වත් කාලයක් වෙන් කර ඉදි කළ යුතු මහා දාගැබ සඳහා බිම සලකුණු කර අනාගතයට වෙන් කිරීමට තරම් මිහිඳු හිමි සැලසුම්සහගත වූ අයුරු මහාවංශයෙන්ම පෙනේ. උන් වහන්සේ මේ දාගැබ ඉදිකිරීමේ අභිප්‍රාය සහිතව ඉදිරිපත් වන දෙවනපෑතිස් රජු නවත්වන්නේ ඔහු ඒ අවස්ථාවේ කළ යුතු තවත් බොහෝ කටයුතු ඇති බව පවසමිනි (ම.ව., 15 පරි., 168-169 ගා.). උන් වහන්සේගේ සැලසුමේ මහා දාගැබක් නිර්මාණය කිරීමේ ආයාසකර ව්‍යායාමය ප්‍රමුඛ වී නොතිබිණි. තමන් වහන්සේගේ ජීවිත කාලය තුළ එවැනි කටයුත්තක් කිරීමේ අභිප්‍රායද උන් වහන්සේ තුළ නොවුණයුරු පෙනේ. මිහිඳු හිමි කටයුතු කළේ බුදුදහම ප්‍රායෝගිකව සමාජගත කිරීම සඳහා ඇවැසි ශක්ති සම්පන්න පදනම තමන් ජීවමානව වෙසෙන කාලය තුළ නිර්මාණය කිරීමටය.

දෙවනපෑ තිස් රජුට අනතුරුව එළඹි කාලයේද මහාථූපයක් ඉදි කිරීමට සුදුසු දේශපාලන හා ආර්ථික පරිසරයක් රටේ ගොඩනැ‍ඟෙන්නේ නැත. විදේශ ආක්‍රමණ දෙකක් සිදු වෙයි. සේන ගුත්තික අස්වෙළෙඳුන් අවුරුදු 22ක්ද එළාර අවුරුදු 44ක්ද වශයෙන් ආසන්න අවස්ථා දෙකක දී පුරා වසර 66ක් රට විදේශ ආක්‍රමණිකයන්ට යටතට පත් වෙයි. දෙවනපෑ තිස් රජුගෙන් අනතුරුව වසර 140කට පසු මහාසෑයක් ඉදිකිරීමේ භාරධුර වගකීම ඉටු කළ හැකි පරිසරයක් නිර්මාණය වන්නේ දුටුගැමුණු රජ සමයේය. මහාවංශය ලියවෙන්නේ මහාථූපය ඉදිකිරීමෙන් වසර 700කට පසුය. දුටුගැමුණු රජු හා මහාථූපය ඉදිකිරීම වෙනුවෙන්ම ලියවුණායැයි සිතිය හැකි මහාවංශය මේ දාගැබ් කර්මාන්තය උත්කර්ෂයට නැංවීම සඳහා කරන අතිශයෝක්ති වර්ණනා අනාගත වාක්‍ය ප්‍රමාණය විශාලය.

එළාර අත්පත් කරගෙන සිටියේත්, දුටුගැමුණු විසින් සටන් කර බලය තහවුරු කරගන්නේත් අතිශයින් සමෘද්ධිමත් අතීත අනුරාධපුර වෙළෙඳ නගරයය. නැ‍ඟෙනහිර සේරුවිල ආශ්‍රිතව මතු වූ ඛනිජ සම්පත් පරිභෝජනය කරමින් විජයාවතරණයටත් සියවස් තුනක පමණ සිට සංවර්ධනය වූ මේ සමෘද්ධිමත් අන්තර්ජාතික වෙළෙඳ සමාජය කළමනාකරණය කිරීමේ දියුණුම අවස්ථා ප්‍රකාශයට පත් වන්නේ මහාථූපය ඉදි කිරීමෙනි; ලෝවාමහාපාය වැනි දැවැන්ත ප්‍රාසාද ඉදි කිරීමෙනි. කෙසේ වෙතත් දුටුගැමුණු රජු විසින් සංවර්ධනය කරනු ලබන්නේ මිහිඳු හිමි සැලසුම් කළ පුරාණ මහාවිහාර අංගය.

ඒ අනුව මහාථූපය ඉදි වන්නේ එය සැලසුම් කළ කකුධ පොකුණේ ජලමට්ටම නොපොහොනා උස් බිමෙහිය. ඒ ස්ථානය සලකුණු වන්නේ උස් ගල්ටැඹකිනි. මහාසෑය ඉදි කිරීමට පෙර දුටුගැමුණු රජු ඒ ටැඹ දකී; ඒ ටැඹ පිහිටුවීමට හේතු වන අතීත සැලසුම විමසයි (ම.ව., 28 පරි., 2-3 ගා.). මහාථූපය ඉදි කිරීමට පෙර එම ගල්ටැඹ ඉවත් කළ අයුරු මහාවංශය සඳහන් කරයි (ම.ව., 29 පරි., 1-3 ගා.). මහාසෑය ප්‍රතිෂ්ඨාපනය සඳහා භූමි අවකාශ ලබාගැනීමට ඉවත් කළ සෙල්ටැඹට කුමක් වීදැයි මහාවංශය සඳහන් නොකරයි.

එහෙත් වංශකතාකරුවා මවන අද්භූත සාහිත්‍ය කාරණා ඉවත් කළ විට රුවන්මැලි මහාසෑයේ උතුරු දොරටවු අසල පිහිටුවා ඇති හඳුනා නොගත් සෙල් ටැඹ දෙවනපෑ තිස් රජ දවස මහාවිහාරයේ ස්තූප කර්මාන්තය සඳහා වෙන් කළ ඉඩ සලකුණු කළ, ස්තූපය ඉදි කිරීමට දුටුගැමුණු රජු විසින් විතැන් කළ ශිලා යූපයම බව සිතීම සාධාරණය.

අදහස්