කාමය ඇත්තේ අපේ සිතේමය! | සිළුමිණ

කාමය ඇත්තේ අපේ සිතේමය!

 

සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ
නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ
සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ
තිටඨන්ති චිත්‍රානි නථේව ලෝකේ
අථේනථ ධීරා විනයන්ති ඡන්දන්ති

 

තේරුම:

සියලු කාමයන්ට හේතුව ස්පර්ශයයි. කාමය පුද්ගලයා තුළින්ම උපත ලබන්නකි. බාහිර අලංකාර වස්තුවල කාමය නැත. පුද්ගල මනසෙන්ම උපත ලබයි. යම් භවයක කාමයන්ගේ විපාක කුසල හෝ අකුසල විය හැකිය. ස්පර්ශයන්ගෙන් මිදීම කාම නිරෝධයයි.

- නිබ්බේධික සූත්‍රය, මජ්ඣිම නිකාය

 

බුදු හිමි අපට මෙයින් පවසා සිටින්නේ කුමක්ද? සියලු කාමයන්ට හේතුව ස්පර්ශයයි. ස්පර්ශය ගෙන දෙනුයේ කුමක්ද? අපගේ පංච ඉන්ද්‍රියයන් වූ ඇස, කන, නාසය, දිව සහ ශරීරයයි. එයට අරමුණු වන්නා වූ වස්තු කෙරෙහි ඇලීමෙන් පුද්ගලයා තුළ කාමය උපදියි. නිදසුනක් ලෙස ඇසට අරමුණු වන රූපය ආස්වාදනය කරන්නේත් එය මනසින් ග්‍රහණය කර අල්ලාගන්නේත් ඇස අයිතිකරු මිස ඇසට අරමුණු වූ වස්තුව නොවේ. කන, දිව, ශරීරය සහ නාසය සම්බන්ධයෙන්ද මේ නිදසුන මේ ආකාරයමය.

කාමයන්හි විපාක කිසියම් භවයක කුසල හෝ අකුසල විය හැකිය. එයට හේතුව අප විසින් කාම අරමුණු ග්‍රහණය කරගන්නා ආකාරයයි; එය මගේය යනුවෙන් අල්ලාගනිමින් භවයට නිමිති සාදාගැනීමයි.

පංච ඉන්ද්‍රියන්ගෙන් අරමුණ වන කාමයන් ස්පර්ශයෙන්‍ මිනිසා භවයේ සැරිසැරීම තහවුරු කරගනී.

මෙය බුදුහිමියන් විසින් ලෝකයට පහදා දුන් විශිෂ්ට සත්‍යයකි.

අප යමකට ආශාවක් ඇති කරගතහොත් අපගේ මානසික තත්ත්වය ඉතා බලසම්පන්න ලෙස ඒ. එසේම සෑම පුද්ගලයාම එකසේ එකම දෙය කෙරෙහි ආශක්ත නොවන බව. එම වස්තුව කාමය උත්පාදනය කරන්නේ නම් එය කෙරෙහි සෑම දෙනාගේම සිත තුළ ඇති වන කැමැත්ත එකසේ විය යුතුය. එසේ නොවන්නේ මන්ද? ඒ වස්තුවේ වරදක් නොව මිනිසාගේ සිතිවිලිවල ඇත්තා වූ විෂම ස්වභාවයයි.

මේ ස්පර්ශයන්ගෙන් මිදීම කාම නිරෝධයයි. යමකු කෙරෙහි තෘෂණාවෙන් කාමයෙන් ඇලී යෑම නැවතීම එයින් මීදීම වේ. බුදු රජාණන් වහන්සේ පැහැදිලිවම පෙන්වා දෙන්නේ කාමය පුද්ගලයා තුළින්ම උපදින බවයි. එසේ නම් බාහිර වස්තු පාලනය කර පලක් නැත. ස්ත්‍රී රූපය කෙරෙහි කාමය ඇති කරගන්නන් තම කාම සිත දමනය කර නොගෙන ස්ත්‍රියගේ සිරුර වසාදැමීමෙන් සිදු වන්නා වූ නිරෝධයක් නැත. කළ යුත්තේ නිමිති දසදහසක් එක්වර පහළ වුවද තමාගේ සිතිවිලි දමනය කරගැනීමයි. එසේ නොකොට අප බාහිර ලෝකය පාලනය කිරීම මෝඩකමකි.

පුද්ගලයන්ගේ අදහස් ආකල්ප පාලනය කිරීමෙන් ලද හැකි දියුණුවක් නැත්තේය. පුද්ගලයෝ විවිධාකාරය. එය ඔවුන් සිතන පවසන සහ ක්‍රියා කරන ආකාරයෙන් පෙනේ. බොහෝ දෙනාගේ වාක් සංවරයක් ඇත්තේම නැත. නොසරුප් දේ ඍජුව හෝ වක්‍රව පළ කරමින් අනෙකා පාලනයට උත්සාහ කරයි. අනෙකා කෙරෙහි ගරුත්වයක් ඇත්තේම නැති තරම්ය. තමාගේ වචන සිතිවිලි සහ ක්‍රියා පාලනය තමා සතු වගකීමකි. එය අන්‍යයන්ට පාලනය කළ නොහැකිය.

එය එසේ නම් අපගේ මානයන්ට හසු නොවන කාම අරමුණු කෙසේ වනු ඇත්ද?

මේ නිසාම බුදුහිමි “දැමුණු සිත සැප ගෙන දෙන්නේ යැ” යි පැවසූ සේක.

බුදු දහම සන්දිට්ඨික දහමකි; අකාලික දහමකි. බුදුහිමි දේශනා කළ පරිදි “‍දහම බැබළීමට පත් වන්නේ විවෘත වූ තරමටය.” එහෙත් බොහෝ දෙන තමන් බුදුදහම පරතෙරට දන්නේයැයි සිතා තමන්ට රිසි රිසි අයුරින් බුදු දහමේ ධර්ම කාරණා විග්‍රහ කරති. සමහරු නොදන්නාකම පෙන්වමින් බුදුදහමට ගරහති.

බුදුදහම යනු පන්සිල් නොවේ; බෝධිපූජා නොවේ; ලෝකය හිරි වට්ටන ආමිසයන් නොවේ. ඒවා නරක බව කියන්නට උත්සාහ ගන්නවා නොවේ. ආමිස පූජා පමණක් විමුක්තිය ලබාගැනීමට නොසෑහෙන බව අවබෝධ කරගැනීම වැදගත්ය.

එසේම සමහර ආමිස පූජා අද බුදුහිමි වැඩ සිටියේ නම් කිසිසේත් අනුමත නොකරන වර්ගයේ ඒවා බව අහිංසක බෞද්ධයන්ට නොතේරෙන්නේ ඔවුන් තුළ ඇති ආමූලිකා ශ්‍රද්ධාව හේතුවෙනි. ආමූලිකා ශ්‍රද්ධාව ඇති විට කපටින්ට මුළා වීම පහසුවෙන් සිදු වෙයි.

බුදුහිමි මෙලොව පහළ වූයේ මේවා ගැන දෙසන්නට නොව චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාදය සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කරන්නටය. උන් වහන්සේ ඒ කර්තව්‍යය දුකින් පෙළෙන ලෝ සතුන් වෙනුවෙන් මනාව ඉටු කළ සේක. ලෝකයේ පවතින සියලු කාමයන් කෙරෙහි ආසක්ත්ව වෙසෙන දුර්වල මිනිසුන් තමන්ගේ දුර්වලතා වසාගැනීමට බුදුදහමට ගරහති. මන්ද යත්: ඒ කාමයන්ගෙන් මිදීම පිණිස තම පෞරුෂය බලවත් කරගැනීමට ඔවුන් අසමත් බැවිනි.

ඉහත ගාථාව ගෙනහැර දැක්වූයේ තමාගේ දුර්වලතා හඳුනා නොගන්නා මිනිසුන් බාහිර ලෝකය පාලනය කරමින් දුර්වලතා සඟවාගැනීමටත් හිත හදාගැනීමටත් ගන්නා දුර්වල උත්සාහයන් නිතර දැකිය හැකි බැවිනි.

එනිසා කිසියම් කෙනකුට බුදුදහමට ගැරහීමට විවේචනය කිරීමට අවශ්‍ය නම් ඔවුන් පළමුව බුදුදහමේ ධර්මකාරණ මනාව උගත යුතුය.

විද්‍යාව පරම සත්‍යයයි සිතා විද්‍යාවෙන් බුදුදහම දෙස බලන්නට යෑමෙන් ඔවුහු තවතවත් අසීරුවට පත් වෙති. වර්තමානයේ විද්‍යාවෙන් ඉහළ ස්ථානයන්හි වැජඹෙන බටහිර ලෝකය තුළ බුදුදහමට ඇති ගෞරවය පිළිගැනීම මොවුහු නොදනිති.

බුදුදහම සහ මුල් බුදුසමය මනාව දන්නා බුද්ධිමතුන්ට ලොව කීර්තිමත් විශ්වවිද්‍යාලවලින් ඇති ඉල්ලුම මොවුහු නොදනිති. වසරකට බුදුදහම පිළිබඳ බටහිර උගතුන් ලියන පොත් සංඛ්‍යාව කොතෙක්දැයි මොවුහු නොදනිති. බුදු හිමිගේ අනාත්ම දර්ශනය ලෝක සම්භාවනාවට පාත්‍ර වී ඇති වග වත් පිළිගැනීමට තරම් නිහතමානයක් නැති මිනිසුන් පිළිබඳ කම්පා විය යුතුය.

“ලෝකයේ ඇති විසිතුරු දේ නොවෙයි කාමය කියන්නේ. සංකල්පනය කිරීමයි පුරුෂයාගේ කාමය වන්නේ (මෙය හොඳයි, මෙය නරකයි, මෙය මිහිරියි, ප්‍රණීතයි... ආදි වශයෙන්). ලෝකයේ යම් දර්ශනීය දෙයක් ඇත්ද, එය එසේ තිබුණාවේ. ප්‍රඥාවන්තයෝ ආශාව දුරු කරති.”

- බුදු රජාණන් වහන්සේ

අදහස්