සති පූජාව | සිළුමිණ

සති පූජාව

 

සීයා මැරුණට පස්සෙ ආච්චි කවදාවත් කුච්වාඩා ගමට ආපහු ගියේ නෑ. ආච්චි ඒ තරමට ම ළසෝ දුකිනුයි හිටියෙ. ආච්චිටත් සීයා පිච්චෙන දර සෑයට පැනලා මැරෙන්ඩ ඕනැ වුණා. උන්දැ ඒකෙං වළක්වගන්ඩත් හරි අමාරු වුණා. ‘මගෙ ජීවිතේ ඉවරයි! තවත් ඉඳීමේ තේරුම මොකක්ද?’ උන්දැ එහෙමයි ඇහුවෙ. ඒක ඒ කාලෙත් තිබිච්ච ඉන්දියාවෙ පැරණි චාරිත්‍රයක්. ඒකට කිව්වෙ සති පූජාව කියල.

සති කියන්නෙ තමන්ගෙ මිය ගිය ස්වාමි පුරුෂයගෙ සෑයට පැනල පණ පිටින් පිච්චෙන බිරියට. සත් කියන්නෙ ඇත්ත. සති කියන්නෙ සත්‍යය වෙනුවෙන් පෙනී සිටින්නිය කියන එක. ඈ තමයි සත් පතිනිය. නමුත් බ්‍රිතාන්‍ය රාජ්‍ය පාලන කාලෙදි සති පූජාව තහනම් කෙරුණ.

බටහිර ඇහැට ඒක පෙනුණෙ දිවිනසා ගැනීමක් විදිහට. පදගතාර්ථයෙන් එහෙම තමයි පේන්නෙ. ඒ අර්ථයෙන් සති පූජාව පවත්වපු සීයේට අනූ නමයක් ම දිවිනසා ගත්තු අය. නමුත් ඉතිරි සියේට එක මට කියන්ඩ බෑ දිවිනසා ගත්තා කියල. ඒ සියේට එකට තමාට ආදරේ කරපු, තමා ආදරේ කරපු කෙනා මිය ගියාට පස්සෙ ඔහුගෙන් එක මොහොතක්වත් වෙන්වෙලා ජීවත් වෙන්ඩ සිද්ධ වීම ම දිවිනසා ගැනීමක්.

නමුත් නීතිය අන්ධයි. ඒකට ඒ වගේ අපූරු විසඳුමක් හොයා ගැනීම කළ නොහැකියි. බ්‍රිතාන්‍යයන් දැක්කෙ ඒකෙ කැතකම විතරයි. සියේට එකක් දර සෑයට නැග්ගෙ තමන්ගෙම කැමැත්තෙන්. ඒක ගෞරවනීය දෙයක්. දර සෑයට පණපිටින් නඟින එක ඇත්තටම භයානක වද වේදනා සහිත වැඩක්.

සියේට අනූනවයක් ඒක කරන්නෙ අකමැත්තෙන් වෙන්ඩ පුළුවන්. එහෙම නොකොළොත් ඔවුන්ගෙ පවුල්වල අය, නෑදෑයො හිතන්නෙ ඒ ස්ත්‍රිය තමන්ගෙ ස්වාමිපුරුෂයට කවදාවත් ආදරේ කළේ නෑ කියලා. ඒ නිසා ඇය සමස්ත පවුලෙන්ම ප්‍රතිෂේප කෙරෙනවා. පවුලෙ ගරුත්වය බාල්දු වෙනවා. ඒකෙන් ඒ මිනිස්සු කළේ ස්ත්‍රියකට දර සෑයට පනින්ඩ බල කරපු එකයි. ඇයට ඒ බලපෑම කෙරුණු බව හෙළිදරව් නොවෙන්ඩත් පසුබිම සැකසෙනවා. ඇත්තෙන් ම ඇය ඉන්නෙ භයානක තත්ත්වෙක; විශාල ගැස්මක.

ඉතින් ඇය දර සෑය ළඟට කැන්දගෙන යනවා. ඇවිළෙන දර සෑයට ගිතෙලුයි, බටරුයි මහ ගොඩක් වක්කරන හින්ද ඒ අවට දුමෙන් වැහිල යනවා. සිද්ධ වෙන්නෙ මොකක්ද කියල හරියකට දැක බලාගන්ඩ ඔබට බැරි වෙනවා. ඒ දුම වටේට බ්‍රාහ්මණයො සිය ගානක් මහ හඬින් සංස්කෘත ශ්ලෝක ගායනා කරනවා.

බ්‍රාහ්මණයන්ට පිටිපස්සෙන් ඉන්න කණ්ඩායම හැම ජාතියෙම සංගීත භාණ්ඩ වාදනය කර කර මහ විශාල ශබ්දයක් නංවනවා. ඒ සද්දෙට ස්ත්‍රිය කෑගහන හඬ ඔබට ඇහෙන්නෙ නෑ. ඇයට එතනින් පැනල යන්ඩත් ලේසි නෑ. දර සෑය වටේ ඉන්න බ්‍රාහ්මණයො ඇවිළෙන පන්දම් දික් කරගෙන ඉන්න හින්ද ස්ත්‍රියට ඉබේම පස්සට පැනෙනවා.

මේක දැකපු බ්‍රිතාන්‍යයො හිතුවෙ ඒක මිනීමැරුමක් කියලයි.

ඇත්තටම ඒක මිනීමැරුමක්. මොකද ස්ත්‍රිය දර සෑයට පනින්ඩ කැමැත්තෙන් නෙමෙයි හිටියෙ. සම්පූර්ණයෙන්ම වටපිටාව නිර්මාණය කෙරිල තියෙන්නෙ ඔබට ඇගේ කෑගැහිල්ල නෑසෙන්ඩයි. ඇය බේරිලා පැනල යන්ඩ හදන හැටිත් ඔබට පේන්නෙ නෑ. ඔබ ඇතුළු හැමෝම ඉන්නෙ බ්‍රාහ්මණයන්ගෙ රවුමට පිටිපස්සෙන්.

මේක කැත දෙයක් අපරාදයක් කියල දැක්ක බ්‍රිතාන්‍යයො සති පූජාව තහනම් කළා. දර සෑයට පනින්ඩ හදන ඕනෑම ස්ත්‍රියක් පණපිටින් අහු වුණොත් ජීවිතාන්තය දක්වා සිරගත කෙරෙනවා. ඇය ඒ තත්ත්වයට පොලඹවන ඕනැම කෙන‍ෙක් අපරාධයේ කොටස්කාරයො හින්ද ඒ ඒ කොටසට අදාළව ඒ අයටත් සිරදඬුවම් ලැබෙනව.

මේ හින්ද ඒ සාම්ප්‍රදායික චාරිත්‍රය ටිකින් ටික ක්ෂය වෙලා ගියා. ඒක ක්ෂයවෙලා යන්ඩ නියමිතව තමයි තිබුණෙත්. ඒ අතරෙ කලාතුරකින් අර සියේට එක ක්‍රියාත්මක වෙනවා.

කොහොම වුණත් ඒ අයගෙ ජීවිතය කියන්නෙම මරණ දඬුවමක්. ඊට නරකද තමන්ගෙ ස්වාමි පුරුෂයගෙ දර සෑයෙ මියැදෙන එක?

හැමෝම වගේ අපේ ආච්චි සීයගෙ දර සෑයට නඟින්ඩ හදන එක නවත්තගන්ඩ දැඟලුවා. ‘මට දැං ජීවත් වෙන්ඩ හේතුවක් නෑ. ආපහු ගමට යන්ඩත් බෑ. අපි දෙන්න ජීවත් වෙච්චි ගෙදර මට දැං තනියම ජීවත් වෙන්ඩ බෑ. මං කවදාවත් එයාට කලින් කාල නෑ. ඉවිල්ලෙත් තේරුමක් නෑ. මං ඉව්වෙත් එයාට කන්ඩනෙ. එයා රහට කන්ඩ ආස කළා. මං ඒව උයල දීල සතුටක් ලැබුවා. එයා සන්තෝසෙන් ඉන්නව දකින එක තමයි මගෙ සන්තෝසෙ වුණේ. මං දැං කාටද උයන්නෙ?’ ආච්චි ඇහුව.

ඉතිං ආච්චි සීයගෙ දර සෑයට නඟින්ඩ හදන එක නවත්ත ගන්ඩ ගෙදර අයට අමාරු වුණා. අන්තිමේදි ගෙදර හැමෝම ඒ වගකීම මට බාර දුන්නා.

ඇත්තෙන්ම මං ඒ වැඩේ සාර්ථකව කෙරුව. ‘ඔයා අහනව මං කාට කන්ඩද උයන්නෙ කියලා. ඇයි මට? ඔයාට මං වෙනුවන් ජීවත් වෙන්ඩ ඕනැ නැද්ද? එහෙනං එහෙම කරමු. අපි දෙන්නම සීයගෙ සෑයට පනිමු’ මං ආච්චිට කිව්ව.

‘නවත්තපං ඔය විකාර කතාව! ඒක තියෙන්නෙ උඹට නෙමේ. මිනිහ මැරිච්ච ගෑනිට නගින්ඩ’ ආච්චි කිව්ව.

’ඔයාගෙ ස්වාමිපුරුෂයා නැතිවෙලා. මගෙ සීයා නැතිවෙලා. ඉතිං ආච්චි දර සෑයට නඟින්ඩ හදනව. මට ඒ කාරණේම ඇති. ඉතිං මාත් නඟිනව’ මං කිව්වා.

‘උඹ මහ වදකාරයෙක් කියන එක මං දන්නවා. සීයා මැරිල ඉන්දැද්දිත් උඹ මාත් එක්ක නටන්ඩ හදනවද?’

‘එහනෙං ඔයා මුළු පවුලම අමාරුවෙ දාන ඔය වැඩේ නවත්තන්ඩ! එහෙම නොකොළොත් මාත් එන එක එනවමයි!’

ඉන් පස්සෙයි ආච්චි මාත් එක්ක ජීවත් වෙන්ඩ හිත හදාගත්තෙ.

ලබන සතියට ...

අදහස්