සජිත් නායකත්වයට සුදුසුම කෙනෙක් | සිළුමිණ

සජිත් නායකත්වයට සුදුසුම කෙනෙක්

අද උද්ගත වී තිබෙන දේශපාලන අර්බුදය ඔබ විග්‍රහ කරන්නේ මොන ආකාරයට ද?

පැහැදිලිවම මෙම අර්බුදය ඇති වන්නේ දේශපාලන අවස්ථාවාදය නිසා. මේ රටේ දේශපාලනය රඳා පවතින්නේ ජනතාවගේ පරමාධිපත්‍ය මත. මේ රටේ ලක්ෂ 62 ක ජනතාව මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනාධිපති තනතුරට තෝරා ගන්නේ එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජාතික පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ හා මුස්ලිම් දේශපාලන පක්ෂ, ප්‍රගතිශීලි බලවේග සහ බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඇතුළු ආගමික නායකයන්ගේ බලයත් ආශිර්වාදයත් මැද. එතුමාට අවු:5 කට ජනාධිපති ධූරය ලැබුණා වගේම 2015 අගෝස්තු 15 වැනි දා මේ රටේ ව්‍යවස්ථාදායකය එක්සත් ජාතික පෙරමුණට ලැබුණා. මේ රටේ හිටපු ජනාධිපතිවරුන් වන ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ යන අය ඔවුන්ගේ පක්ෂයෙන් ඔවුන්ට අවනත කෙනෙක් තමයි අගමැති තනතුරට පත් කළේ. ඒත් මෙම අවස්ථාවේදි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති පදවියේ දිව්රුම් දුන්නේ ජාතික නායකයෙකු හැටියට. ්‍

ඒත් ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වය ගැනීමෙන් තමයි ලොකුම වැරැද්ද වුණේ. ඒ හරහා ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන දැක්මට ළං වුණා. ඒ නිසා ජාතික නායකත්වය ඔහුගෙන් ගිලිහුණා. මේ හේතුව නිසා එක්සත් ජාතික පෙරමුණ හා ජනපති අතර ගැටුම් ඇති වුණා. ඒ අතරවාරයේදී ඒ ගැටුම් මූලික කරගෙන මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන වශයෙන් ශක්තිමත් වුණා. මේ ගැටුම් නිසා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් 70% ක් මහින්ද රාජපක්ෂ මැතිතුමා වටා එකතු වුණා.

අවසානයේ අරගලය පැති තුනකට ඇදෙන්නට පටන් ගත්තා. එහි ප්‍රතිඵලය වුණේ. ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ එකතු වීම. එයින් පසුව රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති ධූරයේ සිටියදී මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති ධූරයේ දිව්රුම් දීම, පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම, ආණ්ඩුව විසුරුවා හැරීම හරහා ගැටලු ඇති වුණේ ඡන්ද දායකයන්ගේ අයිතීන් අමු අමුවේ උල්ලංඝනය කරමින්.

ජනපති සමඟ සුහදත්වයෙන් කටයුතු කිරීමට එක්සත් ජාතික පෙරමුණට නොහැකි වුණේ ඇයි?

ඇත්තටම මෙහිදී සිද්ධ වුණේ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය ඉදිරියට ගෙනයෑමට උත්සාහ කිරීම. මේ සියලු අර්බුදවලට හේතුව හැටියට මම නම් දකින්නේ ජනාධිපති මෛත්‍රිපාල සි‍රිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තනතුර ලබා ගැනීම. ඉන්පසුව ඔහු සිදු කළේ පක්ෂය රැක ගැනීමට කටයුතු කිරීම. එවිට ජනතාව බලාපොරොත්තු වූ දේවල් කිරීමට හැකි වුණේ නැහැ.

මෙහි දී ජනතාවට පෙනෙන්නේ ජනපති සහ එක්සත් ජාතික පෙරමුණ අතර ගැටුමකට වඩා ජනපති සහ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අතර ඇති වූ ගැටුමක් විදිහට නේද?

මෙය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමඟ ඇති වූ ගැටුමකට වඩා ප්‍රතිපත්ති දෙකක් අතර ඇති වූ ගැටුමක් විදිහටයි මා නම් දකින්නේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා රටේ යහපත, උන්නතිය සහ රටේ අනාගතය වෙනුවෙන් දැඩි කැපවීමක හා ස්ථාවරයක සටිනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමඟ පමණක් ගැටුමක් තිබෙනවා නම් ජනාධිපතිතුමාට ඒ බව එක්සත් ජාතික පෙරමුණේ පාක්ෂිකයන්ට පැහැදිලිවම සෘජුව දක්වන්න තිබුණා. එහෙම නැතිව මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ එකතු වීම නොවෙයිනේ සිද්ධ විය යුත්තේ.

මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති තනතුරට පත් කිරීමට පෙර කරු ජයසුරිය මහතාටත් සජිත් ප්‍රේමදාස මහතාටත් අගමැති තනතුර ලබා දීමට උත්සාහ දරමින් එක්සත් ජාතික පෙරමුණට අවස්ථා කීපයක් දුන්නා නේද?

ජනාධිපති මෛත්‍රිපාල සි‍රිසේන මැතිතුමා එහෙම කතාවක් පාර්ලිමේන්තු වටරවුමේ පැවැත් වූ රැලියෙදී කියා තිබුණා. එය පොදුවේ පක්ෂයේ අනෙක් අය සමඟ කතා කරලා අපි හැමෝටම ඉදිරිපත් කළා නම් යහපත් ආකාරයට විසඳා ගන්න තිබුණා. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා එදා කිව්වේ මහින්ද රාජපක්ෂ මහත්මා ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී වැඩ කරනවා කියලා. චීනයට රට විකුණනවා කිව්වා, ආඥාදායකයෙක් කියලා කිව්වා. මහින්ද රාජපක්ෂ මැතිතුමාව නැති කළේ ඔහු වටා සිටි පිරිස කියලා කිව්වා. අද වන විට ඒ සියල්ල වෙනස් වුණේ කොහොමද කියලා මට නම් ප්‍රශ්නයක්. ඔහු වටා සිටි පිරිස අලුත් වුණා ද ? මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනස් වුණාද? මොකක්ද සිද්ධ වුණේ? ජනාධිපතිතුම‍ාට එදා කී කළ දේවල් අමතක වුණා ද?

බැඳුම්කර ප්‍රශ්නය, වරායේ ජැටි බදු දීම ඇතුළු ආර්ථික මර්මස්ථාන පෞද්ගලීකරණය කිරීම වැනි කාරණා ජනාධිපතිතුමා මෙවැනි තීරණයකට පෙලඹවූ බව ඔබට සිතෙන්නේ නැති ද?

බැඳුම්කර ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට ජනාධිපතිතුමාට ඕනෑ තරම් අවස්ථාව සහ ඉඩකඩ දී තිබුණා. කෙටියෙන් ම කියනවා නම් අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කොමිසම ඉදිරියේ සාක්ෂි ලබා දුන්නා. අනෙක් කරුණු, ඒ කියන්නේ පෞද්ගලීකරණය ගැන කතා කරනවා නම් ප්‍රයෝජනයක් නැති ව්‍යාපෘතිවලින් ප්‍රයෝජනයක් ගැනීමටත් විදේශීය ණය පියවීමටත් ගත් පියවර හැටියට ඒවා හඳුන්වන්න පුළුවන්. ඒ නිසා තමයි මම කිව්වේ මෙතන තියෙන්නේ ප්‍රතිපත්ති දෙකක් අතර තිබෙන මත ගැටුමක් බව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති සහ එක්සත් ජාතික පෙරමුණේ ප්‍රතිපත්ති අතර ගැටුම තමයි වර්ධනය වුණේ.

එක්සත් ජාතික පක්ෂයේ අනාගතය ඔබ දකින්නේ කොහොමද? ජයග්‍රාහි පක්ෂයක් විදිහට මීට වඩා ජනතා ආකර්ෂණයක් දිනා ගැනීමට ප්‍රතිසංවිධානය කළ යුතුයි නේද?

පසුගිය කාලයේ එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන් පක්ෂය ගැන කලකිරීමෙන් හිටියා. පක්ෂයෙන් ඈත් වී සිටියා. ඒත් අද ඇති වී තිබෙන අර්බුදය හමුවේ එක්සත් ජාතික පාක්ෂිකයන් තේරුම් ගත්තා මෙය එක්සත් ජාතික පාක්ෂිකයන්ට එල්ල කළ කණේ පහරක් බව. ඒ නිසා අද හැමෝම පක්ෂයක් වටා එකතු වෙලා උනන්දුවෙන් කටයුතු කරනවා. මේ අවස්ථාවේදි මම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා අපේ පාක්ෂිකයන් එකමුතු කිරීම වෙනුවෙන්. කොහොමටත් එක්සත් ජාතික පක්ෂය සමඟ සිටින සෙසු පක්ෂ සමඟ එකතු වෙලා එක්සත් ජාතික පෙරමුණ හැටියට අපි ඉදිරියේදීත් කටයුතු කරනවා. මෙහිදී ප්‍රතිසංවිධානය කිරීම අනිවාර්යයෙන් සිද්ධ වෙනවා.

එහි අදහස, සජිත් ප්‍රේමදාස මහතා අනාගතයේ නායකත්වයට පත් කිරීමද?

සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියට යා යුතු කෙනෙක්. නායකත්වය දැරීමට සුදුසු කෙනෙක්. එය එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම ඇතුළු කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කරයි.

 

Comments