බහුතරය තිබෙන පුද්ගලයා අගමැති කළ යුතුයි | සිළුමිණ

බහුතරය තිබෙන පුද්ගලයා අගමැති කළ යුතුයි

ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒමට බලපෑ හේතුව සඳහන් කළොත්...

අපට අවශ්‍ය වන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරලීමටයි. එහෙම නැතිව ‍මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හෝ රනිල් වික්‍රමසිංහ හෝ මහින්ද රාජපක්ෂ හෝ බලයේ තියා ගන්නවත් බලයට පත් කරන්නවත් නෙමෙයි. මේ බල සූදුවට අප විරුද්ධ වුණේ ‍රටේ නීතිය ව්‍යවස්ථාව අභිභවා යන නිසයි. ර‍ටේ නීතියට එරෙහිව කටයුතු කිරීම අනාගතයේ භයානක ප්‍රතිඵල ඇති විය හැකි නිසා ඒ තත්ත්වය වළක්වන්න මේ දේශපාලන කුමන්ත්‍රණයට එරෙහිව අපි මුල් තැනක් ගන්නේ.

ආණ්ඩුවට, මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ගෙන යන වි‍රෝධතාව පිටුපස ජනතා විමුක්ති පෙරමුණ සිටින බව දැන් පැහැදිලියි නේද?

අපි කවදාවත් පිටිපස්සෙන් යන පක්ෂයක් නෙමෙයි. මේ ක්‍රියාදාමයෙදි අපි ඉදිරියෙන්ම හිටියෙ. අපි පැහැදිලිවම කිව්වා.‍ මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලන කුමන්ත්‍රණ පරදවන්න පුළුවන් හැම ක්‍රියා මාර්ගයක්ම ගන්නා බවට. ඒ සඳහා අධිකරණමය ක්‍රියා මාර්ග ගැනීමට එහෙමත් නැත්නම් මහ මඟදී නැත්නම් පාර්ලිමේන්තුවේදී ඕනෑම මැදිහත්වීමක් කරන බව අපි කිව්වා. ජනතා විමුක්ති පෙරමුණ කියන්නෙ කාගෙවත් අතකොලු වෙන පක්ෂයක් නෙමෙයි. එම නිසා ව්‍යවස්ථා විරෝධී රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හානි වූ මේ සිදුවීමට එරෙහිවයි අප කටයුතු ‍කෙළේ. එසේ නොමැතිව කිසිම පක්ෂයක් ඔසවා තබන්න හෝ කිසිම පක්ෂයක් බිම දමන්න නෙමෙයි.‍

මේ අර්බුදකාරී තත්ත්වය නිසා රට අස්ථාවර තත්ත්වයක් කරා යනවා. එය ‍ඉතාම භයානකයි නේද? ඇයි එවන් තත්ත්වයකට මේ පත්වීමට දේශ හිතෛෂී කියන ඔබ පක්ෂයත් දායක වන්නේ?

මේ තත්ත්වයට රට ඇද වැට්ටුවේ ජනාධිපතිතුමා. එතුමා ළඟ තුරුම්පු තියෙනවා කිව්වට එතුමා ඇද්දෙම ‘වල්වාසි’. ඒ නිසා රටත් ජනතාවත් දැඩි අර්බුදයකට ඇද වැටුණා. අද රට අස්ථාවරයි, අරාජිකයි, අද අගමැතිවරයෙක් ආණ්ඩුවක් නැහැ. විශ්වාසභංගයේ ප්‍රතිඵල නිසා ආණ්ඩුව ඉවත් විය යුතුයි. මේ අස්ථාවරත්වය නැති කරන්න පුළුවන් එකම පුද්ගලයා ජනාධිපතිවරයායි. ඔහු වහාම රට ස්ථාවර කරන්න පියවර ගත යුතු වෙනවා. එය ඔහුගේ වගකීමක්. රට අස්ථාවරත්වයෙන් මුදවා ගැනීමට හැකි වන්නේ ව්‍යවස්ථාට අනුව ඔහුට පමණයි.

ජනතා විමුක්ති පෙරමුණ පසුගියදා ගෙන ආ විශ්වාසභංගය නිසා මහින්ද රාජපක්ෂ මහතාගේ බහුතරය සුළුතරයක් වී රනිල් වික්‍රමසිංහ මහතාට ජයග්‍රහණය කරා යන මාවත උදා කළ බවට චෝදනා නැ‍ඟෙනවා.‍

අපි පෙනී සිටින්නේ කාගෙවත් පක්ෂ වෙනුවෙන් නෙමෙයි. ජනතාව වෙනුවෙන් ජනතාවාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන්. ඒක රනිල්ට හෝ මහින්දට හෝ කරන උපකාරයක් නෙමෙයි.‍ අපේ පක්ෂය සක්‍රීය මිසක් නිශ්ක්‍රීය පක්ෂයක් නෙවෙයි. රටේ මේ වගේ අර්බුදයක් ඇති වුණාම ඉතාම පැහැදිලිව ඉදිරිගාමීව කටයුතු කළ යුතු වනවා. ජනතා විමුක්ති පෙරමුණ එහිදී ඉදිරියෙන්ම ඉන්නවා. අප මෙහිදී කාටවත් බහුතරයක් හදාගන්න උපකාරි වුණේ නැහැ. මේ සිදු ‍කෙළේ ව්‍යවස්ථා විරෝධී නීති විරෝධී කටයුත්තට එරෙහිවීම පමණයි.‍ මෙහිදී මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලය නීති වි‍රෝධී පත්වීම පලවා හරින්නයි අප කටයුතු ‍කෙළේ.

නමුත් මහින්ද අගමැතිතුමා ප්‍රමුඛ ඇමැති මණ්ඩලයක් රටේ තිබෙන බව පිළිඅරන් ඉවරයි.

කවුද පිළි අරන් තියෙන්නෙ. බහුතරයක් නැති අගමැතිවරයකුට ඇමැති මණ්ඩලයකට එක තත්ත්පරයක් පාර්ලිමේන්තුවේ අසුන් ගන්න බැහැ, අමාත්‍යවරුන් විදියට. සදාචාරාත්මකව ඒකට කිසිම අයිතියක් නැහැ. මෙච්චර දෙයක් වෙලා ලැජ්ජා නැතිව තවදුරටත් බලයෙ ඉන්න හදනවා නම් ඒකට ජනතාව ප්‍රතිචාර දක්වයි. ඉතාම භයානක ප්‍රතිඵල උදා වේවි.

මේ විදියට ගියොත් රට දැඩි අස්ථාවරත්වයකට පත්වෙනවා. මෙයට ජනතාවත් රටත් ලොකු අර්බුදයකට යනවා. රටට හිතවාදී නම් ඔබ පක්ෂය ඒ අර්බුදයට ගන්නා පියවර කුමක්ද?

පැහැදිලිව ඒ තත්ත්වය උදාවන්න පුළුවන්. එය ජාතික මෙන් ම අන්තර්ජාතික වශයෙනුත් සිදුවන්නට පුළුවන්‍. බලයක් නැති දේශපාලන කණ්ඩායමක් බලයෙ සිටීම නිසා බොහෝ දේ වන්නට පුළුවන්.

අන්තර්ජාතික වශයෙන් අපට යම් යම් බලපෑම් එල්ල වීමට පුළුවන් බව ඔබ පවසනවා. එහෙත් අපේ ඇතැම් නායකයන් අපේ ප්‍රශ්න අන්තර්ජාතික ප්‍රජාවට ඉදිරිපත් කළ බව අපට පෙනෙනවා. මේ ක්‍රියාදාමය ජවිපෙට පේන්නෙ නැද්ද?

ජනතා විමුක්ති පෙරමුණ කිසිදු අන්තර්ජාතික මැදිහත් වීමක් අනුමත කරන්නේ නැහැ. එකඟ නැහැ. නමුත් මේ ආණ්ඩුවේ ඔලමොට්ටල වැඩවලින් අන්තර්ජාතික මැදිහත්වීම්වලට ඉඩ සලසනවා.‍ ඒ සඳහා පාර කැපෙනවා. එදත් වුණේ ඒ වගේ ක්‍රියාදාමයන්, අදත් කරන්නේ ඒ වගේ ක්‍රියා දාමයන්. අන්තර්ජාතික මැදිහත්වීම් මැඬ පවත්වන්න පුළුවන් වන්නේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළහොත් පමණයි. ඒ වගේ ම ලෝකයම එකම ගමක් වෙලා විශ්ව ගම්මාන සංකල්පයක් තියෙන්නෙ. අමුතුවෙන් ප්‍රශ්න අන්තර්ජාතික ප්‍රජාවට ගෙනියන්න දෙයක් නැහැ. ඒ අයට පේනවා මේ සියලු දේම.

පාර්ලිමේන්තුවේ පසුගිය 14 වැනිදා ගත් ක්‍රියාමාර්ග නිත්‍යානුකූල නැති බවට චමල් රාජපක්ෂ ඇමැතිවරයා පෙන්වා දුන්නා. ඒ තත්ත්වය හමුවේ විපක්ෂය මේ අර්බුද ඇති කිරීම සාධාරණද?

ඉතා පැහැදිලිව නිත්‍යානුකූලයි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග තියෙනවා. ඒ ස්ථාවර නියෝග අනුව විශ්වාසභංගයක් බාරදීල දින 3 ක් යා යුතුයි එය විවාදයට ගන්න.‍ නමුත් ස්ථාවර නියෝග අත්‍හිටුවන්නේ නම් ඉදිරිපත් කරන දිනයේම වුවත් විශ්වාසභංගයක් විවාදයට ගන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ රීතීන්වලට අනුකූලව පාර්ලිමේන්තුවේ බහුතරයේ කැමැත්ත මතයි විශ්වාසභංගය විවාදයට ගන්නේ. ‍උදාහරණයක් හැටියට මරණාධාර සමිතියක සභාපති හා ලේකම් න්‍යාය පත්‍රයක් හදාගෙන ආවත් සභාවට පුළුවන් එය වෙනස් කරන්න.

උත්තරීතර පා‍ර්ලිමේන්තුව හා මරණාධාර සමිතිය ඔබ සමාන කරනවාද?

මා පිළිතුර පැහැදිලි කළා පමණයි. එසේ නොමැතිව පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයට නිගරු කරනවා නෙමෙයි.

නමුත් නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා ඍජුවම චෝදනා කළා න්‍යාය පත්‍රයට පයින් ගසා කතානායකවරයා ක්‍රියා කළ බවට. එය පාර්ලිමේන්තු සම්ප්‍රදායයන්ට ස්ථාවර නියෝගවලට එකඟ වන්නේ කොහොමද?

න්‍යාය පත්‍රය තීරණ කරන්න පුළුවන් සභාවට. න්‍යාය පත්‍රය අනුව ජනාධිපතිවරයා පැමිණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළ යුතුයි. නමුත් ඔහු පාර්ලිමේන්තුව ආවේ නැහැ. න්‍යාය පත්‍රය තීරණය කිරීමේ බලය සභාවට තියෙනවා.

මේ ගැටලුව ව්‍යවස්ථාදායක හා විධායකය අතර තිබෙන බවට එතෙර මෙතෙර විචාරකයන්ගේ මතය වී තිබෙනවා.

මේක ගැටලුව ව්‍යවස්ථාදායක හෝ විධායකය අතර ප්‍රශ්නයක් නෙවෙයි. මේක දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්. එම කුමන්ත්‍රණය අර්බුදයක් මිස ව්‍යවස්ථාදායකය හා විධායකය අතර ගැටුමක් නැහැ.

ජනතා විමුක්ති පෙරමුණ විසින් ගන්නා ක්‍රියා මාර්ග දිහා බලපුවහම අපට පේන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති පුටුවේ වාඩි කරවන ක්‍රමවේදයක් තිබෙන බවයි.

පි - එහෙම කිසිදු ක්‍රියාමාර්ගයක් ක්‍රමවේදයක් නැහැ. ජනාධිපතිතුමාට පුළුවන් බහුතරය හිමි පක්ෂයේ අයෙක් අගමැති බවට පත් කරන්න. එතැනට රනිල් වික්‍රමසිංහම බලයට පත් කිරීම කළයුතු නැහැ.

ශ්‍රී ලංකාව අගමැතිවරු දෙන්නෙක් ඉන්න රටක් ද කියල අහන තත්ත්වයට පත්වෙලා කිව්වොත්...

ඒ අයුරින් ජනතාවත් ලෝකයත් අන්දමන්ද කිරීමේ වගකීම ජනාධිපතිවරයා බාරගත යුතුයි. අසීමිත විධායක බලතල තිබුණහම මෙවන් අර්බුදයන් ඇති වෙනවා. එම නිසයි අප 20 වැනි සංශෝධනය ගෙනාවෙ ජනාධිපතිවරයා සතු විධායක බලතල සීමා කරන්න. අද මුළු රටටම පැහැදිලිව පෙනෙනවා 20 වන සංශෝධනයේ අවශ්‍යතාව.

පාර්ලිමේන්තුව පසුගිය 14 වැනිදාත් 15 වැනිදාත් රැස්වුණේ සුළු වෙලාවයි. පාර්ලිමේන්තුව මේ අයුරින් දිගින් දිගටම කල් දැමීම සිදුවුණොත් කුමක් වෙයිද?

ජනතාව ඊට නිසි පිළිතුරු දෙයි. ජනතාවගේ ප්‍රතිචාර ප්‍රබල වෙයි. ජනාධිපතිවරයාට වුණත් අත්තනෝමතික ලෙස පාර්ලිමේන්තුව කල් දමන්න ජනතාව ඉඩ දෙන්නේ නැහැ. එහෙම කල් දැමීම ප්‍රජාතන්ත්‍ර විරෝධී බව අමුතුවෙන් කිව යුතු නැහැ.

ආණ්ඩු පක්ෂයෙන් ඔබ පක්ෂයට චෝදනා එනවා එජාපය වෙනුවෙන් කඩේ යනවා කියලා.

අපි කඩේ යන්නෙ ජනතාව වෙනුවෙන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී බව ආරක්ෂා කරගන්න. රට අස්ථාවර නොවන්නට. එහෙම නැතුව ඒ පැත්තෙන් මේ පැත්තට පනින මේ පැත්තෙන් ඒ පැත්තට පනින දේශපාලනයක් හෝ පක්ෂවලට ගැති දේශපාලනයක් අපේ නැහැ.

විමල් වීරවංශ මහතා චෝදනා නඟනවා හඬ අනුව ඡන්ද විමසීම කිරීම නීති විරෝධි බවට. එහි නීත්‍යානුකූලතාවයක් තියෙනවාද?

වීරවංශ කියන්නෙ ඇමැතිකම්වලට ධනපති පැළැන්තියෙ වළං හෝදන මස්කටු ලෙවකන කාඩ්බෝඩ් වීරයෙක්.‍ ඔහු අද විජේවීර සහෝදරයා ගැන කතා කරනවා. විජේවීර සහෝදරයා ගැන කතා කරන්න ඔහුට අයිතියක් නැහැ. ඔහුගෙන් පිටවෙන්නේ වැඩකට නැති හඬකින් වචන ටිකක් විතරයි.

මා අසන්නේ හඬ අනුව ඡන්දය විමසීමක් කරන්න පුළුවන්ද?

වීරවංශ දන්නවාද පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ගැන. හඬ අනුව විමසීමක් කරන්න පුළුවන්. විමල් වීරවංශ පවසා සිටියා 14 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමත් නීති විරෝධී බවට. මන්ත්‍රීකම පවා කාටවත් නැහැ කියලා.

මේ අර්බුද හමුවේ පළාත් සභා ඡන්දයත් අමතක වෙලා වගෙයි‍.

ඒ සියල්ල නිසි වෙලාවට කළ යුතුයි. දැන් පළාත් සභාවලට කලින් පාර්ලිමේන්තු මැතිවරණයක් ගැන කතා වෙනවා. ඒ සියල්ල ප්‍රජාතන්ත්‍රවාදීව නිසි පරිදි කළ යුතු වෙනවා. එහෙම නැතුව හොර පාරෙන් කුමන්ත්‍රණවලින් මැතිවරණ කරන්න ගියොත් අපට ඒ සඳහා එරෙහිවීමට සිදුවෙනවා. ජනතාවට ඡන්ද අයිතිය ලබාදිය යුතුයි ව්‍යවස්ථාවට අනුකූලව, එහෙම නැතුව නීති විරෝධී ආණ්ඩුවක් යටතේ නෙමෙයි.

 

 

අදහස්