ඡන්දයට බිය ප්‍රජාතන්ත්‍රවාදියෝ! | සිළුමිණ

ඡන්දයට බිය ප්‍රජාතන්ත්‍රවාදියෝ!

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් එජාප, ජවිපෙ හා දෙමළ සන්ධානයත් වෙනත් සිවිල් සංවිධාන කීපයක් හා පුද්ගලයන් කීපදෙනකුත් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම දෙසැම්බර් 07 තෙක් අත්හිටුවීමට නියෝග කර ඇත. අනතුරුව පෙත්සම් විභාගය දෙසැ. 04, 05, 06 යන දිනවල පැවැත්වීමටද නියම කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒකමතික තීරණය පෙත්සම්කාර පාර්ශ්වය මෙන්ම අනෙක් පාර්ශ්වයද ගෞරවයෙන් පිළිගෙන තිබේ. මේ තීන්දුවට මෙරට ජනතාවගේද ප්‍රසාදය පළ විය. මෙරට පමණක් නොව අන්තර්ජාතිකවද අවධානයට ලක් වූ ජනතාවගේ ඉමහත් කුතූහලයට හේතු වූ මේ පෙත්සම් විභාගය නිසැකයෙන්ම මෙරටේ අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක් ලෙසද අපි දකිමු.

මේ රටේ දේශපාලනය පිළිබඳ මෙන්ම එහි භාවිතය හා හැසිරීම් සම්බන්ධයෙන්ද පොදුවේ තිබෙන ආකල්පය යහපත් එකක් නොවේ. විශේෂයෙන් මේ ආණ්ඩුව තුළ උද්ගත වූ භේද හා ගැටුම් විසින් වෙන් කරන ලද යහපාලන කණ්ඩායම අද එකිනෙකාට විවේචන පමණක් නොව අවලාද, ගැරහුම් සිදු කරන සතුරු පිල් දෙකක් බවට පත්ව සිටිති. ආණ්ඩුවේ සිටි අයටත් වඩා මෛත්‍රීපාල ජනාධිපතිවරයාට විවේචන එල්ල කරන්නේ රාජ්‍ය නොවන සංවිධානවල අය හා ඔවුන්ගෙන් යැපෙන අය බවද රහසක් නොවේ. පාර්ලිමේන්තුව විසුරුවීම ව්‍යවස්ථා විරෝධියැයි ඝෝෂා කරන අය අතර බටහිර රටවල්ද වේ. මේ විරෝධය පසුපස ඊළාම්වාදී බෙදුම්වාදීහුද සිටිතියි ප්‍රබල විවේචනයක් තිබේ. කුමක් වුවත් එම යහපාලන ආණ්ඩුව තුළ සිටි දේශපාලන, සමාජ ක්‍රියාකාරීන් අතර මෙරට ස්වදේශිකත්වය, සංස්කෘතික වටිනාකම් හා සිංහල බෞද්ධ විරෝධීහු සිටිතියි යන චෝදනාව බරපතළ එකකි. එජාපය තුළ බටහිර පන්නය ගරු කරන නව ලිබරල්වාදීන්ද සිටින බව කවුරුත් දනිති. මෛත්‍රී-රනිල් දෙපසට කිරීම සඳහා ඒ සියලු බලවේග ප්‍රමුඛ වූ බවද නිසැකය.

මෛත්‍රී ජනාධිපතිවරයාගේ දේශපාලන භූමිකාව බටහිර පරපුට්ටන්ට නොදිරවන එකකි. එහෙත් සිව්වසරකට ආසන්න කාලයක් යහපාලන ආණ්ඩුව තුළ ගැටෙමින්, ඇවිළෙමින් පැමිණි ගමන එහි නියත පිපිරීමට ලක් වූ ආකාරය කවුරුත් දනිති. මෛත්‍රී ජනාධිපතිවරයා එජාප කුඩා කණ්ඩායමට අවනත නොවීමත් සමග උත්සන්න වූ අර්බුදය අද දේශපාලන අස්ථාවරත්වයකට තුඩු දී තිබේ. එයට එකම විසඳුම මහජනයා ඉදිරියට ගොස් අලුත් ජනවරමක් ලබා ගැනීම බව අපගේද අදහසය. මෛත්‍රී-රනිල් දේශපාලන ප්‍රතිවිරෝධයේ ගිනිපුපුරු විසිවීම ආරම්භ වූයේ ඔවුන් විසින් ආණ්ඩුව පිහිටුවන ලද මුල් දිනවලදීය. තවදුරටත් ඔවුන්ට එක්ව යා හැකි ගමනක් නැත. ඉකුත් දිනවල උද්ගත වූ දේශපාලන අර්බුදය ඉතා ස්වභාවික එකක් බව අප සඳහන් කරන්නේද ඒ පසුබිම පිළිබඳ යථාවබෝධයෙනි.

සමාජ, දේශපාලන, ආර්ථික ආදි හැම ක්ෂේත්‍රයක් ඔස්සේම අසාර්ථක වන ආණ්ඩුවක් සමග රටට යහපතක් ඉටු නොවන බව දුටු මෛත්‍රී ජනාධිපතිවරයා විසින් ගන්නා ලද දේශපාලන ක්‍රියාමාර්ග ජනතාව සහ ආගමික නායකයන් බහුතරයකගේ ප්‍රසාදයටද හේතු විය. අපේක්ෂා භංගත්වයට පත් වූවෝ මෛත්‍රී ජනාධිපතිවරයා හෙළා දකිති. ජනාධිපතිවරයා ලවා ඔවුන්ගේ අරමුණු හා අභිලාෂයන් ඉටු කර ගැනීමට තිබුණු ඉඩ කඩ ඇහිරීයාම ඔවුන් බොහෝ දෙනකුගේ පසුතැවිල්ලට හේතු වී තිබේ. මෛත්‍රී විසින් මහින්ද පිළිගැනීම ඔවුහු කිසිසේත් අනුමත නොකරති. මෛත්‍රී දේශපාලන රූකඩයක් මෙන් සියල්ල කරබාගෙන සිටිනු ඇතැයි ඔවුහු විශ්වාස කළහ. එහෙත් ස්වදේශීය චින්තනයෙන් හා බෞද්ධ සාරධර්මවලින් සුපෝෂිත නිරහංකාර ගැමි ජන නායකයකු වන මෛත්‍රී අල්ලේ නැටවීම පහසු නොවන බව අද ඔවුන්ට තේරුම් ගොස් තිබිය යුතුය. කිසිදිනක පන්සලකට පා නොතබන වර්ගයේ ඇන්ජීඕකාරයෝ මෛත්‍රී සෝභිත හිමියන්ට ද්‍රෝහී වූවෙකැයි ඝෝෂා කරති. කුප්‍රකට එන්ජීඕ ස්ත්‍රියක් ‘අපි සෝභිත හිමියන්ගේ වචනය සුරැකීමට බැඳී සිටිමු’යි ව්‍යාජ ශෝකයක් මුවට ආරුඪ කරගෙන හැසිරුණු බව අපටද මතකය. සුඛෝපභෝගි වාහනවලින් බිමට බසින සාරවිටකාරියන් මෙන් විකට දසුන් මවන ඇන්ජීඕ පංචස්කන්ධ සමග මේ මහ පොළොව හඳුනන මෛත්‍රී ජනාධිපතිවරයාට කළ හැකි යහපාලනය කුමක්ද? මෛත්‍රී ජනාධිපතිවරයාගේ දේශපාලන හැසිරීම් පසමිතුරන්ගේ හා බටහිරගැති ඇන්ජීඕ කාරයන්ගේ වෛරයට හේතු වුවද ඔහු විසින් ගන්නා ලද අභීත දේශපාලන පියවර තුළින් තහවුරු වන්නේ භගවත් ගීතාවේ එන ‘මාගේ යුතුකම වන්නේ කටයුත්ත කිරීම පමණි. එහි ඵල ගැන සැලකීම නොවේ’ යන අගනා සුභාෂිතයයි. දේශපාලන වාචාලයන් විසින් කෙබඳු අවලාද, අවමන්වලින් නිග්‍රහ කළත් හෘදයසාක්ෂියට එකඟව තීන්දු තීරණ ගැනීම මහත්මා ගුණයක් බව අප කිව යුතුය.

මෛත්‍රී ජනාධිපතිවරයාට එල්ල කෙරෙන චෝදනාවක් වන්නේ ඔහු ප්‍රජාතන්ත්‍රවාදය එහි මූලධර්ම හා මානව හිමිකම් පිළිබඳවත් නොතකා ක්‍රියා කරන්නකු බවය. මෛත්‍රී යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩකරන්නකු බවය. එහෙත් මෛත්‍රී හා රනිල් අතර උද්ගත වූ ගැටුම ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම මෙන්ම ජාතික සංස්කෘතික අභිලාෂයන් පිළිබඳ ප්‍රතිවිරෝධතා තහවුරු කරන්නක් බව ඉතා පැහැදිලිය. එය කිසිසේත්ම යළි සමනය කරගත නොහැකි දේශපාලන ගැටුමක් ලෙස මතු පිටට පෙනෙන එහෙත් අභ්‍යන්තර වශයෙන් ඊට වඩා සංකීර්ණ එකක් බව අපගේ වැටහීමය.

අනෙක් අතට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අත්හිටුවමින් දී ඇත්තේ අතුරුතහනම් නියෝගයක් බව බොහෝ දෙනකු තේරුම් නොගත් ආකාරයක්ද ඇතැම් දේශපාලන හැසිරීම්වලින් පෙනේ. දේශපාලන සාක්ෂරතාවෙන් අඩු සාමාන්‍ය ජනතාව නොමඟ යවමින් හැසිරුණු එජාප මන්ත්‍රීවරුන් උද්දාමයට පත්ව කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වී තිබෙන බවය. එජාපයේ සජිත් ප්‍රේමදාස මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ මේ ජයග්‍රහණය සමාකාමීව භුක්ති විඳින ලෙසය. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මෙතෙක් ප්‍රකාශයට පත් නොවූවක් බව තහවුරු වන්නේ පෙත්සම් විභාගය ලබන දෙසැම්බර් 04, 05, 06 දිනවලට නියම වී තිබීම නිසාය. නීතිඥ ප්‍රේමනාත් දොළවත්ත මහතාගේ අවධාරණය අනුව පෙනී යන්නේද නඩුකරයට අදාළ කටයුතු සිදු වන බවය. ලබන 19 වැනිදා දෙපැත්තේම විරෝධතා ගොනු කරන බවත්, නොවැම්බර් 30 වනදා ලිඛිත දේශන ඉදිරිපත් කෙරෙන බවත් ඔහු කියා තිබිණි. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට අවකාශ තිබේද යන්න නිශ්චිතව දැනගැනීමට එම නඩු තීන්දුව ලැබෙන තෙක් බලා සිටිය යුතුය.

තතු එසේ වුවද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු කැඳවනු ලැබූ පාර්ලිමේන්තු‍ව කෙරෙන් රටට ප්‍රදර්ශනය වූයේ ග්‍රාම්‍ය දේශපාලන කැලඹිල්ලකි. එහි රනිල්ගේ පාර්ශ්වය හා මහින්දගේ පාර්ශ්වය ලෙස වූ බෙදීමත්, ඉනික්බිතිව සිදු වූ ක්‍රියාදාමයත් දෙස බලන කවරකු තුළ වුවද ඇතිවන්නේ නිමක් නොවන අර්බුදයක හිර වී තිබෙන පාර්ලිමේන්තුවකි. කථානායකවරයාට අනුව නම් රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂව වැඩි බලයක් තිබේ. එහෙත් දිනේෂ් ගුණවර්ධන ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රමුඛ නායකයෝ ඒ සියල්ල ප්‍රතික්ෂේප කරති. සැබැවින්ම පාර්ලිමේන්තුව තුළ සිදු වූයේ කුමක්ද? එය ප්‍රජාතන්ත්‍රවාදයට එකඟද? යුක්ති සහගත හෝ සාදාචාරාත්මකද? යනාදි ප්‍රශ්න ගණනාවක්ම අප තුළ නැගෙයි. රනිල් පාර්ශ්වය පුල-පුලා කියන පාර්ලිමේන්තු සම්ප්‍රදායන් හා ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ තහවුරු වී ඇතැයි කිව හැකිද? දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා සඳහන් කළ ආකාරයටම පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වන්නේ කථානායකවරයාගේ පක්ෂපාතිත්වය හා දේශපාලන ළැදියාව පිළිබිඹු කරන නීති විරෝධී හැසිරීමකි. මෛත්‍රී ජනාධිපතිවරයා කථානායකවරයාට ලිපියක් ලියමින් ඔහුගේ ක්‍රියාකලාපය ව්‍යවස්ථා විරෝධී බවද පෙන්වා දී ඇත.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳ ප්‍රාමාණික විද්වතුන්ගේ අදහස වන්නේද කථානායකවරයා පක්ෂග්‍රාහීව ක්‍රියා කරන බවය. ඇත්ත වශයෙන්ම එජාපය, ජවිපෙ. ඇතුළු කණ්ඩායමට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට තිබෙන අයිතිය සාධාරණ හා නීත්‍යනුකූල වුවද එහිදී කථානායකවරයා ක්‍රියා කළ ආකාරය ප්‍රශ්නකාරි වේ. ඇතැම් රූපවාහිනී නාළිකා ඔස්සේ අප දුටු රූපරාමුවලින් පෙනී ගියේද පාර්ලිමේන්තුව තුළ වූ විශාල ගාලගෝට්ටිය මැද්දේ කථානායකවරයා ක්‍රියා කළ විලාසයයි. කෙසේ වුවද මෙබඳු අර්බුදකාරි අවස්ථාවක මහජන නියෝජිතයන්ගෙන් ජනතාව බලාපොරොත්තු වන්නේ මෙබඳු හැසිරීමක් නොවන බව නම් ඉඳුරා කිව යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය හා යුක්තිය යනු බලහත්කාරයෙන් ලබාගත හැකි දේවල් ද නොවේ. එහෙත් රනිල්ට යළි අගමැති අසුනත් එජාපයට ආණ්ඩු බලයත් ලබා දීම දේශපාලන සුජාතභාවය සඳහා ඉවහල් වන බව ඔහු වෙනුවෙන් අත ඔසවන මන්ත්‍රීවරුන් කල්පනා කරත් නම් එයට වඩා දේශපාලන මංමුළාවක් තවත් නැති බව මෙහිදී සඳහන් කළ යුතුය.

මෛත්‍රී ජනාධිපතිවරයා විසින් ගන්නා ලද ව්‍යවස්ථාමය පියවර ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක් බව කියන දෙමළ සන්ධානය හා මුස්ලිම් කොංග්‍රසය සමග අපට ගැටලුවක් නැත. එහෙත් ප්‍රසිද්ධ වේදිකාවල රනිල්ට අනුකම්පා විරහිත දේශපාලන ප්‍රහාර එල්ල කරන ජවිපෙ. මෙහිදී එජාප පාර්ශ්වයට වැටීම බොහෝ දෙනකුගේ මවිතයට හේතු වී තිබේ. රනිල් සමග සිටින බහුතරය සිය පන්ති අවශ්‍යතා අනුව එක්ව සිටින්නෝය. උපන්ගෙයි සිටම ධනවාදයට එරෙහි වූ ජවිපෙ. නිර්මාතෘ රෝහණ විජේවීරගේ පක්ෂය දැන දැනම එජාප සමඟ සම්මුතියකට ගොස් සිටීදැයි අපි නොදනිමු. එසේම සිය දේශපාලන ඉතිහාසය මුළුල්ලේම ප්‍රජාතන්ත්‍රවාදය සමග සෙල්ලම් කළ පක්ෂයක් ලෙස එජාපයට තිබෙන චෝදනාවද සුළුපටු නොවේ. ජේ ආර් ජයවර්ධන යුගය දෙස විවේක බුද්ධියෙන් බලන කවරකුට වුවද ඔවුන් විසින් ප්‍රජාතන්ත්‍රවාදයට කරන ලද සරදම් කෙබඳුදැයි දැන මැනගත හැකිය. 1978 ව්‍යවස්ථාව හඳුන්වා දුන් ජේ ආර් ක්‍රියාත්මක කළ ජාතික ලැයිස්තු ක්‍රමය මෙන්ම අතුරු මැතිවරණ අවලංගු කිරීම මෙරටේ මහජන මතයට පිටු පා කරන වංචනික ක්‍රියාවක් බව එදා ආචාර්ය ඇන් ඇම් පෙරේරා වැනි දේශපාලන නායකයෝ කියා සිටියහ. ජේආර් ප්‍රජාතන්ත්‍රවාදි මාවත මඟහැරීමට දක්වන කැමැත්ත ඒ තුළ ගැබ් වන බවද ඇන්ඇම් කීවේය.

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කිරීමට තුඩු දුන් දේශපාලන සිද්ධිය මහ දවල් කළ බැංකු මංකොල්ලය, රටේ සම්පත් විජාතිකකරණය ඇතුළු ක්‍රියාකාරකම් නොඉවසූ රාජ්‍ය නායකයකුගේ දූරදර්ශී පියවරක් ලෙස විද්වත්හු හැදින්වූහ. එහෙත් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටින අය ඒ දූෂිත ක්‍රියාකාරකම් අනුමත කරන්නෝද? බටහිර ඇතැම් රටවල් මෙම ක්‍රියාදාමයට මැදිහත් කරගැනීමට එජාපයත් පාර්ලිමේන්තුවේ කථානායකවරයාත් අසාමාන්‍ය බලපෑමක් කළ බවටද චෝදනාවක් තිබේ. ඇමෙරිකාව, එංගලන්තය, කැනඩාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල් අපේ ප්‍රජාතන්ත්‍රවාදය බිඳවැටීම ගැන හැඬූ කඳුළින් නිකුත් කරන නිවේදන කොතරම්ද? කොහොමටත් මේ බටහිර නඩය මේ රටේ කටයුතුවලට අත පෙවීමට දක්වන අශාව අලුත් එකක් නොවේ. ඇත්ත වශයෙන්ම පසුගිය පාර්ලිමේන්තු සභාවාරය ආරම්භයේදී කථානායක ගැලරියේ අසුන් ගෙන රනිල් වෙනුවෙන් මේ බටහිර මිත්‍රයන් අත්පුඩි ගැසූ බවක්ද මාධ්‍යවල සඳහන් විය. මොවුන් එදා මහජන ගැලරියට පැමිණියේ බටහිර ඒජන්තලා ලෙස ලංකාවට විරුද්ධව කේලාම් කීමට මිස වෙන දෙයකට නොවේ. මෙබඳු සංකීර්ණ අවස්ථාවකදී ඔවුන් මහජන ගැලරියට කැඳවීම නොමැනවැයි සිතීමට තරම් මොළයක් අදාළ අයට තිබිණි නම් ඒ සියලු විපත් වළක්වාගන්නට තිබිණි. එහෙත් අලජ්ජී ස්ත්‍රියක ඇඳිවත ඉවත් කර සිය නිරුවත පෙන්වන්නාක් මෙන් මේ බටහිරයන්ට අපේ අභ්‍යන්තර අර්බුද බලාගැනීමට දොර හැරදීම කෙබඳු මුග්ධ ක්‍රියාවක්ද?

රනිල් ප්‍රමුඛ ඇන්ජීඕ නඩයේම වන්දනාවට පාත්‍ර වූ මේ බටහිරයන්ට නොනැමුණු එජාප නායකයෝද වූහ. රණසිංහ ප්‍රේමදාස මහතාට ඩේවිඩ් ග්ලැස්ටන් නමැති බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා මෙරටින් නෙරපා දැමීමට (1991) තරම් පෞරුෂයක් විය. ඩේවිඩ් මිලිබෑන් හා බර්නාඩ් කූෂ්නර් වැනි අය සියඹලා ගසක් යට තබාගෙන ප්‍රභාකරන්නට එරෙහිව යුද්ධය දියත් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද අපට සිහිපත් වෙයි. එහෙත් බටහිරින් ලැබෙන ඩොලර්, පවුම් ආදියට සිය ආත්මය පාවා දෙන ඕනෑම බැළයකුට මේ රට හෝ මෙරටේ ජනතාව ගැන කිසිදු තැකීමක් නැති බව රහසක් නොවේ. ප්‍රභාකරන්ගේ විනාශයත් සමඟ යළි මෙරටේ ජාතික සංස්කෘතික අධ්‍යාත්මය විනාශ කිරීමේ දුෂ්ට අරමුණින් යුතු ඒ බටහිරට හෝ උන්ගේ රූකඩවලට හෝ මෛත්‍රී ජනාධිපතිවරයා හීලෑ කරගත නොහැකි බවද නිසැකය.

මේ සත්‍යය දන්නා ප්‍රතිගාමිත්වය අද නැඟී සිටින්නේ ඔවුන්ගේ අන්තිම සටනට බව අප තේරුම් ගත යුතුය. අද පාර්ලිමේන්තුව ඔස්සේ ගෙන යන්නේ ඒ සටන බවද නිවැරදිව තේරුම් ගත යුතුය. බටහිර අධිරාජ්‍යවාදය විසින්ම නඩත්තු කරනු ලබන බෙදුම්වාදයත්, සිංහල බෞද්ධ විරෝධයත් පරාජය කිරීම සඳහා නැඟී එන ජනබලවේගය දැක වික්ෂිප්ත වූ සියල්ලන්ගේම උමතු හැසිරීම්ද අද රටටම දැකගත හැකිය. එහි යම් යම් විකෘතීන් අද වීදි බැස තිබෙන බවද පෙනේ. පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයට පැමිණි වාසුදේව නානායක්කාර ඇමැතිවරයාට හූ කීමට තරම් ඒ අලජ්ජි බලවේගවලට ශක්තියක් තිබිණි. සත්‍යය හා යුක්තිය වල්වැදී තිබුණත් එයට උඩින් ප්‍රජාතන්ත්‍රවාදී කඩතුරාවක්ද එළා තිබේ. සිය නායක රනිල් වික්‍රමසිංහ අරලියගහ මැඳුර අල්ලාගත්තාක් මෙන් කරු ජයසූරියද පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා එහි ස්ථාවර නියෝග රනිල්ට අවශ්‍ය පරිදි අවභාවිත කරන බවට බරපතළ චෝදනා පත්‍රයක්ද තිබේ. මහින්ද පාර්ශ්වය කථානායකවරයාගේ හැසිරීම පාර්ලිමේන්තු සම්ප්‍රදායේ ගෞරවය කෙලෙසීමක් ලෙස හඳුන්වයි. අපට ඇත්තේ මේ උත්තරීතර අසුන ලාබ හා අශ්ලීල දේශපාලනයකට යොදාගැනීමේ දුක හා පිළිකුලකි. විධායක බලයට අභියෝග කිරීමට තරම් ව්‍යාජ අහංකාරයකින් පිම්බී සිටින විදූෂකයකුගේ තත්ත්වයට පත් වීමට ඔහුට සිදු වූයේ එජාපයේ දුක්ගන්නාරාළ වූ නිසාද?

මේ රටේ යුක්තිගරුක, සාමකාමි ජනතාව අද තම හෘදයසාක්ෂියෙන් ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදි වෙස්මුහුණු බැඳගත් ඊනියා මානව හිතවාදීන්ට මේ රටේ නිදහස වැනසීමට ඉඩ දිය යුතුද යන්නයි. ඒ ප්‍රශ්නයට පිළිතුර මහජන මතය විමසා බලන නිදහස් මැතිවරණයක් පමණි.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කැප වී සිටින මහත්වරු ඒ මහජන මතය විමසීමට කුමක් නිසා එරෙහි වෙත්ද?

Comments