ක්‍ෂණයක මතකය... | සිළුමිණ

ක්‍ෂණයක මතකය...

වරෙක අපි නැවුම් සුසුමකින් ළය පුරවා ගන්නවා. තවත් වරෙක දුක, සතුට බෙදා හදා ගන්නවා. ඒ කුමක් වුවත් මේ බොහෝ දේ පොදු වූ සිදුවීම් ගොන්නක්. ඒ අතර තුරේ අපි ආපසු කතා කරනවා “කාලය” ගැන. හැම සිදුවීමක් ම හැඩ කරලා තීරණය කරන්නේ කාලය විසින්. ඒ වගේමයි කාලයත් සියුම් වූ කලාවක්. මේ සියුම් වූ කලාවට අනුගත නොවී, ජීවිතය රිද්මයක් ඇතිව බොහෝ දුරක් රැගෙන යන්න අපහසු වෙයි.

වරෙක තවත් තර්කයක් හිතේ ගොනු වෙනවා. කාලය ගැන මොන වර්ණනා කළත්, බොහෝ දේ ඒ ගැන කිව්වත් කෙදිනකවත් කාලය ආපසු එක මොහොතක් හෝ අපට දී තිබෙනවා ද.? ඒත් කාලයට මෙතෙක් හැම මොහොතක දී ම අප ගැන කතා කරන්න ඉඩ සොයාගෙන. ඒත් එක්කම බලාපොරොත්තු හිත අග මෝදු වෙලා. බොහෝ වර අප සිහිපත් කරන සෑම දෙයක් එක්ක ම එක් හෝ කරුණක් පිළිබඳ සිහිපත් කර, සිහිපත් වී ඒ ගැන කම්පා නොවී සිටිය හැකියි. නමුත් මේ මොහොතේ දී ත් බොහෝ දෙනෙක් තම කාලය ගෙවා දමමින් ඒ කරුණ සොයනවා, සොයා යනවා.

කාලය, ආලෝකය තාත්විකයි කියා අඳුර අතාත්වික බව පවසමින් ඒ පිළිබඳ තවත් බොහෝමයක් දේ සිහිපත් කරවන්න කවර හෝ දවසක ඉර නිවේවි. එසේ නිවී පවසාවි තමන්ට අමතක වූ, මඟ හැරුණු ක්ෂණයන් යළි රැස් කර ගන්න හැකි ද කියා. සමහර කෙනෙක් ඒ පැනයට බොහෝ ළෙංගතුයි. ඒ පැනයට පිළිතුරක් දෙන්න හිරු ආයෙත් දැවෙනවා; සඳු ආපහු සිසිල බෙදනවා. ඒ දෙතැනින්ම ප්‍රේමය හට ගන්නවා මෙන්ම වෙනත් දේ ක්ෂණයෙන් මඟ හැරී ගියහොත් ඉන්පසු එළඹෙන ක්ෂණයක දී ආපසු එයටම පෙම් බඳිනවා.

සිදුවීමක් යම් නිමේෂයකට සීමා වෙද්දී කාලයට කවදාකවත් ම එක ක්ෂණයක් හෝ නැහැ ඒ ගැන යළි සිතන්න. අපි ඒ මොහොතට නමක් දෙනවා “ මතකය” නමින්. එක් මතකයකට අකමැති වෙද්දී තවත් මතකයක් ඒ හා සමානව මතකයක් සිහි කරන්න පෙරමුණ ගන්නවා. දිව යන ජීවමාන කාලය අජීවී යැයි කියා සිතුවිට යළි ඒ මතකය සිහිපත් කළ විට සජීවී වේවි. කාලය හරහා ආපසු යන්න තිබුණා නම් කියා අයකු පවසාවි. නමුත් අනාගතය හමුවේ අතීතයට ගමන් කළ අනතීත කාලයේ අතීත මතකයන් වගේ ම මතු මතකයන් සවිය කරමින් තවත් මතකයන් මනසේ අනතී’ත වේවි.

අනාගතයේ ක්ෂණයකි අතීතය

සිතුවම් ව අතීතයේ ක්ෂණයක

මා මතින් ඒ ක්ෂණය ඔඩු දුවයි

ගෙවා තව ක්ෂණයක් ද මතකය

අතීතය තවත් ක්ෂණයකි මත්තට

චමත්ක

 

 

අදහස්