සයිමන් යේට්ස් වාර්තා පොත් අතරට | සිළුමිණ

සයිමන් යේට්ස් වාර්තා පොත් අතරට

ජාත්‍යන්තර පාපැදි සංගමය (යු.සි.අයි.) වාර්ෂිකව ‘ලෝක සවාරිය’ නමින් ශූරතාවලියක් පවත්වනු ලබයි. මෙම ශූරතාවලිය සෑම වසරකම ජනවාරි 16 සිට ඔක්තෝබර් 21 දක්වා පැවැත්වේ. එහිදී ඔස්ට්‍රේලියාව, මැදපෙරදිග, චීනය, යුරෝපය සහ උතුරු ඇමෙරිකානු කලාපයන්හීදී පවත්වනු ලබන විවිධ පාපැදි සවාරියන් ඊට අයත්ය.

මෙම ලෝක සවාරියට අයත් වන මුළු සවාරි ගණන 37කි. ඊට ඉතාලි, ප්‍රංස සහ ස්පාඤ්ඤ වැනි ප්‍රධාන සවාරි මෙන් ම වෙනත් සවාරියන් ද අයත් වේ.

මෙම ලෝක සවාරියේ මුළු සවාරි 37 අවසානයේ ජයග්‍රාහකයෙක් සහ ජයග්‍රාහිකාවක් තෝරා ගනු ලබති. ඒ වැඩි ම ලකුණු ගණනක් හිමිකර ගත් ශූරයා සහ ශූරියගෙනි. මෙම සෑම සවාරි 37 දීම ලකුණු පිරිනමයි. ඒ අදාළ සවාරියන්හීදී දක්වන දස්කම් අනුව ය.

එය හිමිකර ගනු ලබන ක්‍රීඩකයා වසරේ පාපැදි ශූරයා ලෙස හැඳින්වීමට හැකිය. එය සෑම ක්‍රීඩකයකුට සහ ක්‍රීඩිකාවකට ම විශාල අභියෝගයකි. එනම් මුළු තරගවාරය පුරාවට ම ඔවුන් දස්කම් අතර රැඳී සිටිය යුතු බැවිනි. නිමා වූ 2018 ලෝක සවාරියේ සමස්ත ශූරයා වූයේ බ්‍රිතාන්‍යයේ සයිමන් ‍ෙය්ට්ස් ය. හෙතෙම 26 හැවිරිදිය.

සයිමන් 2018 ලෝක සවාරියේ දී හිමිකර ගත් මුළු ලකුණු ගණන 3072 කි. ජාත්‍යන්තර පාපැදි සංගමය මෙම විශේෂ සම්මානය ‘වසරේ ක්‍රීඩකයා’ පිරිනමන්නේ 2009 වසරේ සිටය.

2009 ඇල්බර්ටෝ කොන්ටාඩෝර් ස්පාඤ්ඤය, 2010 ජෝකිම් රොඩ්රිගෙස් ස්පාඤ්ඤය, 2011 පිලිපේ ගිල්බර්ට් බෙල්ජියම, 2012 ජෝකිම් රොඩ්රිගෙස්, 2013 ජෝකිම් රොඩ්රිගෙස්, 2014 ඇලෙයැන්ඩ්‍රෝ වැල්වර්ඩේ, ස්පාඤ්ඤය, 2015 ඇලෙයැන්ඩ්‍රෝ වැල්වර්ඩේ, 2016 පීටර් සගාන්, 2017 ග්‍රේග් වැන් අවර්මාට්, 2018 සයිමන් යේට්ස්

මෙම සම්මානය සයිමන්ට මෙන් ම බ්‍රිතාන්‍යයටත් වැදගත්ය. ඒ මෙම සම්මානය හිමිකර ගත් ප්‍රථම බ්‍රිතාන්‍ය ජාතිකයා සයිමන් වන බැවිනි. මෑත කාලයේදී බ්‍රිතාන්‍ය නියෝජනය කරමින් ජාත්‍යන්තර පාපැදි සවාරියන්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශූරයන් තිදෙනෙක් සිටිති. ඒ ශ්‍රීමත් බ්‍රැඩ්ලි විගින්ස්, ක්‍රිස් ෆෲම් සහ ගරෙයින්ට් තෝමස් ය.

ඔවුන් තිදෙනාම ප්‍රධානතම සවාරි ජයගෙන තිබේ. නමුත් ඔවුනට ලෝක සවාරියේ සමස්ත ජයග්‍රහණය අත්කර ගැනීමට හැකි වූයේ නැත. ඒ අනුව සයිමන් මේ වන විට ඉදිරියෙන් සිටියි. ඒ ලෝක සවාරියේ සමස්ත මෙන්ම ප්‍රධානතම සවාරියකුත් ජය ගැනීමට ඔහුට හැකි වී තිබෙන බැවිනි.

2018 වසර බ්‍රිතාන්‍ය පාපැදි ක්‍රීඩාවට සුවිශේෂිතය. ඒ ප්‍රධානතම සවාරි ත්‍රිත්වයම ජය ගැනීමට සමත් වූයේ බ්‍රිතාන්‍ය ක්‍රීඩකයන් වීම නිසාවෙනි. එවැනි දෙයක් සිදු වූයේ ජාත්‍යන්තර පාපැදි ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම වතාවටයි. ක්‍රිස් ෆෲම් (ඉතාලි සවාරිය), ගරෙයින්ට් තෝමස් (ප්‍රංශ සවාරිය) සහ සයිමන් යේට්ස් (ස්පාඤ්ඤ සවාරිය) එසේ ජය ගත් බ්‍රිතාන්‍ය ශූර‍යෝ වෙති.

මෙවර ලෝක සවාරියේ දී සයිමන්ගේ දස්කම් මතු වූ සවාරියන් ත්‍රිත්වයක් තිබිණි. ඒ ස්පාඤ්ඤ සවාරිය (ප්‍රථම), පැරිස් නීස් (දෙවන) සහ පෝලන්ත සවාරිය (දෙවන) වේ. ස්පාඤ්ඤ සවාරිය මෙවර පැවැත්වූයේ 73 වැනි වරටයි. ඊට අයත් වූ අදියර ගණන 21 කි. එහිදී මුළු දුර ප්‍රමාණය කිලෝමීටර් 3271.4 කි. සයිමන්ට සම්පූර්ණ සවාරියම නිමා කිරීමට ගත වූ කාලය පැය 82 විනාඩි 05 තත්පර 58 කි. එය වාර්තාගත ජයකි. එනම් මෑතකදී ප්‍රධාන සවාරියක් ජය ගත් ළාබාලතමයා (අවුරුදු 26) සයිමන් වීමයි.

සයිමන් පිලිප් යේට්ස් 1992 වසරේ අගෝස්තු මස 07 වැනිදා උපත ලැබීය. ඒ එංගලන්තයේ ග්‍රේටර් මැන්චෙස්ටර් හි බෙරි නුවරදීය. සයිමන් මෙලොවට පැමිණියේ තනිවම නොවේ. එනම් නිවුන් සොහොයුරු ඇඩම් සමඟින්ය. ඇඩම් ද වෘත්තීය පාපැදි ක්‍රීඩකයෙකි. මෙම නිවුන් සොහොයුරන්ගේ ස්වරූපයත් සමානය. එමෙන්ම ඔවුන්ගේ උසත් සමානය. එනම් අඩි 5 අඟල් 8 කි. ඔවුන් මේ වන විට නියෝජනය කරන්නේත් එකම කණ්ඩායමකි.

මෙම යේට්ස් නිවුන් සොහොයුරන්ගේ පියා වූ ජෝන් පාපැදි ක්‍රීඩකයෙකි. දිනක් ඔහු පාපැදියක ගමන් කරන විට මෝටර් රථයක ගැටී තුවාල ලැබීය. පසුව ඔහු සුවය ලබන තෙක් තම නිවුන් පුතුන් සමඟ සුප්‍රකට මැන්චෙස්ටර් පාපැදි ධාවන පථයේ පුහුණු විය.

අවසානයේදී යේට්ස් සොහොයුරන් පියා නි‍යෝජනය කළ ‍ෙබරි ක්ලැරියන් පාපැදි සමාජයට සම්බන්ධ වූහ. වයස අවුරුදු 18 වන විට සයිමන්ව බ්‍රිතාන්‍ය පාපැදි (බ්‍රිතාන්‍ය පාපැදි සම්මේලනය) විසින් ඔලිම්පික් ඇකඩමි වැඩසටහනට තෝරා ගත්තේය.

එම වසරේ ම එනම් 2010 ඉන්දියාවේ දිල්ලි නුවර පැවැති පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළට සහභාගි වූ එංගලන්ත කණ්ඩායමටත් සයිමන්ව තෝරා ගත්තේය. එහිදී ඔහුගේ කාමර සගයා වූයේ ක්‍රිස් ‍ෆෲම් ය.

2013 වසර සයිමන්ට කිසි දිනක අමතක නොවනු ඇත. ඒ බෙලරුසියාවේ අගනුවර වන මින්ස්ක්හීදී පැවැති ට්‍රැක් (ධාවන පථ) ලෝක ශූරතාවලියේදී සයිමන් ලකුණු තරගය ජය ගත්තේය. එම වසරේදී ම හෙතෙම මාර්ග ධාවන තරගවලට යොමු වූයේය. එම වසරේ බ්‍රිතාන්‍ය සවාරිය ජය ගත්තේ බ්‍රැඩ්ලි විගින්ස්ය. සයිමන්ට තෙවැනි ස්ථානය හිමි විය. එවර වයස අවුරුදු 23 න් පහළ දක්ෂතමයා ලෙසටත් ඔහු සම්මාන ලැබීය.

කෙසේ වෙතත් 2016 වසරේ සයිමන්ගේ ක්‍රීඩා දිවියට කළු පැල්ලමක් එක් කළේය. ඒ ටර්බියුටාලින් නැමැති තහනම් උත්තේජකය භාවිත කිරීම නිසා ඔහු වැරදිකරුවකු බවට පත් වීමයි. එම නිසා ඔහුට මාස හතරක තහනමකට ලක්වීමට සිදු වූයේය.

සයිමන්ගේ ක්‍රීඩා දිවිය තුළදී ඔහුගේ දස්කම් දැක ගැනීමට ලැබුණු තවත් අවස්ථා කිහිපයකි. 2010 - ජාත්‍යන්තර පාපැදි සංගමයේ කනිෂ්ඨ ට්‍රැක් ලෝක ශූරතාවලියේදී රන් සහ රිදී පදක්කම බැගින් හිමි කර ගැනීම.

2011 - ට්‍රැක් ලෝක කුසලානයේදී කණ්ඩායම් ලෝකඩ පදක්කම

2016 / 18 - ස්පාඤ්ඤ සවාරිවල කේවල (තනි) අදියර දෙකක ජය.

2017 - ප්‍රංස සවාරියේ දක්ෂතම යොවුන් ක්‍රීඩකයාය.

2017 - මිගෙල් ඉන්ඩියුරේන් ග්‍රෝන් ප්‍රී (ස්පාඤ්ඤ) තරගය ජය.

2018 - ඉතාලි සවාරියේදී කේවල අදියර තුනක ජය.

අදහස්