ශ්‍රී ලංකා පිලේ හතුරුසිංහ සාධකය ගුණ ද? අගුණ ද? | සිළුමිණ

ශ්‍රී ලංකා පිලේ හතුරුසිංහ සාධකය ගුණ ද? අගුණ ද?

හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පුහුණුකාරිත්වය භාර ගත්තේ විශාල අභියෝගයකට මුහුණ දෙමිනි. ඒ වන විට ශ්‍රී ලංකා පිල පිට පිට තරග පැරදී නන්නත්තාර වී සිටි අවධියයි. එවකට සිටි ක්‍රිකට් බලධාරීන් විදෙස් පුහුණුකරුවකු ගෙන්වා ගැනීම පසෙක ලා බංග්ලාදේශ පුහුණුකරු ධූරයෙන් ගලවා හතුරුසිංහ මෙහි ගෙන්වන්නට තීරණය කළේ ඔහු පිළිබඳ ඉමහත් බලාපොරොත්තු තබමිනි.

හතුරුසිංහ ශ්‍රී ලංකා පිලේ ගැලවුම්කරු ලෙස සලකා ක්‍රිකට් බලධාරීහු ඔහුට අවශ්‍ය සියලු දේ සපයා දුන්නේය. මෙතෙක් කිසිවකුට නොගෙවූ මිලියන 6කට ආසන්න මාසික දීමනාවක් ද මෙතෙක් කිසිදු පුහුණුකරුවකුට නොඳුන් තේරීම් කමිටු සාමාජිකත්වයක්ද ඔහුට අවශ්‍ය සහාය පුහුණු කරුවන්ද මෙකී නොකී තවත් බොහෝ දේ ඔහු ඉල්ලු සැණින් ලබා දුන්නේ පරාජ වැලෙන් ක්ෂණයකින් මුදාගැනීමට සමත් දෙවියකු ලෙස සලකාගෙනය.

හතුරුසිංහගේ කොන්ත්‍රාත්තුව අවසන් වන්නේ ලබන වසර මැද එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියත් සමඟය. මේ වන විට හතුරුගේ කොන්ත්‍රාත් සමයෙන් අඩක් ගෙවී ගොසිනි.

තමන් ලෝක කුසලාන තරගාවලිය අතරතුර පවා අත්හදා බැලීම් කරන්නේ යයි පවසන හතුරුසිංහ ක්‍රිකට් බලධාරීන් බලාපොරොත්තු තැබු පරිදි මේ දක්වා ශ්‍රී ලංකා පිල ගොඩගැනීමට අසමත්ව තිබේ. කොතරම් විජ්ජාකරුවකුට වුවද දවසෙන් විපර්යාස කරන්නට නොහැකිය. එහෙත් මෙතෙක් හතුරුසිංහට කිසිදු විජ්ජාවක් සිදු කර පෙන්වීමට නොහැකි වීම ගැන ක්‍රිකට් ලෝලීන් හා බලධාරීන් තුළ ද ඇත්තේ කලකිරීමකි.

සියලු කටයුතු කණ්ඩායම ගොඩ ගැනීම සඳහා සර්වසාධාරණව ඉටු වන්නේ නම් හතුරුට තවත් සයමසක් කල් දුන්නද ගැටලුවක් නොවේ. එහෙත් ක්‍රිකට් කණ්ඩායම තව දුරටත් අර්බුදයෙන් අර්බුදයට යන තරම් වතාවරණයක් ගොඩ නැගෙන්නේ නම් හා හතුරුසිංහ ඒ සියල්ලේ තීරණාත්මක සාධකය බවට පත් වන්නේ නම් වහාම පිළියම් යෙදීම ක්‍රීඩා අමාත්‍යවරයාගේත් ක්‍රිකට් පරිපාලකයන්ගේත් වගකීමකි. එහෙත් අවාසනාවකට මේ වන විට ක්‍රිකට් පරිපාලනයද පවතින්නේ අකර්මන්‍ය තත්වයකය. තීරණ ගත හැකි ඔලුවක් එහි නොමැත. නිලවරණයක් පවත්වා ස්ථිර පරිපාලනයක් ඒමට තවත් මාස දෙක තුනක් ගත වනු ඇත.

හතුරුසිංහ බංග්ල‍ා‍ෙද්ශ කණ්ඩායමේ පුහුණුකාරිත්වය බාර ගන්නා විට බංග්ලාදේශ පිලද වූයේ පරාජිත තත්වයකය. ඒ වන විට බංග්ලාදේශ පිල ජ්‍යෙෂ්ඨයන් වැඩි පිරිසකගෙන් සමන්විත අත්දැකීම් සහිත කණ්ඩායමක් විය. ඒ වන විට කණ්ඩායම තුළ කණ්ඩායම් හැඟීමක් නොමැති කම හා ඇතැම් ජ්‍යෙෂ්ඨයන් අත්තනෝමතික ලෙස කටයුතු කිරීම බංග්ලාදේශ පිලට සාර්ථකත්වයක් ලබා ගැනීමට එරෙහි වූ කරුණු විය. කණ්ඩායමේ තිබූ එම පිළල ඉවත්කොට කණ්ඩායම ජයග්‍රහණයේ මාවතට ගෙන ඒමට ක්‍රම ක්‍රමයෙන් හතුරුට හැකි විය. ඒ සඳහා හතුරුසිංහට අවශ්‍ය සියලු බල තල ලබා දීමට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරිහු කටයුතු කළහ.

තමන්ට අවනත නොවන ක්‍රීඩකයන් පන්නා දැමීමේ න්‍යාය හතුරුට එහිදී මුල් අවධියේ සාර්ථකත්වයක් ගෙන දුන්නද මුෂ්ෆිකර් රහීම් දකුණු අප්‍රිකානු සංචාරය අතර තුර නායකත්වයෙන් ඉවත් කිරීමට ඔහු දරණ ලද ප්‍රයත්නය අසාර්ථක විය. මුෂ්ෆිකර් ශ්‍රී ලංකාවට පැමිණ නාග නැටුම දැක් වුයේද ඒ නිසාය.

හතුරුසිංහ ශ්‍රී ලංකා පිලට එක්වීමත් සමඟ ඔහු සමඟ කලක් කටයුතු කළ තිලාන් සමරවීර පිතිකරු පුහුණුකරු ලෙස ගෙන්වා ගත්තේය. කළමනාකරු ලෙස කටයුතු කළ අසංක ගුරුසිංහ ඉන් ඉවත් කර තැබුවේය. ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් පමණක් නොව කණ්ඩායමෙන්ද එළියට ඇද දැම්මේය. අලුත්ම සිද්ධිය නම් චරිත් සේනානායකටද කළමනාකාරිත්වය ඉවතට යන ලෙස කටයුතු කිරීමයි.

‍ග්‍රැහැම් ලැබ්‍රෝයි ප්‍රමුඛ තේරීම් කමිටුවක් සිටියද එය හුදෙක් නාමික තේරීම් කමිටුවකි. සියලු තේරීම් සිදු කෙරෙනුයේ හතුරුසිංහට අවශ්‍ය පරිදිය. ලැබ්‍රෝයි කරන්නේ අත්සන් තැබීම පමණකි. තරග නොබලන ක්‍රීඩකයන් ගැන නොදන්නා සෙසු තිදෙනා හුදෙක් නාම මාත්‍රික‍යෝය.

මේ අතර වාරයේ අවිශ්ක ගුණවර්ධන පුහුණුකරු ධූරය දරණ “ඒ” කණ්ඩායමේ දස්කම් දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමට පැමිණෙන ක්‍රීඩකයන්ගේ දස්කම් තව තවත් තීව්‍ර වනවාට වඩා සිදුවන‍්නේ මොට වීමය. පිතිකරුවන්ගේ සුපුරුදු පිතිකරණ රටාව හා පිත්ත හැසිරවීමේ ශෛලිය වෙනස් කරන බවටද ‍චෝදනාවකි. නැගී ගෙන ආ කුසල් මෙන්ඩිස් පවා දැඩි ලෙස පසු බෑමට ලක්වුයේය. ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇන්නාක් මෙන් රංගන හේරත්ගේ සමුගැනීම සිදු වද්දීම අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී විය. පන්දු යැවීමේ ප්‍රගතියක් පෙනෙන්නට නැත. මෙය සිදුවන්නේ රොමේෂ් රත්නායක හා පියල් විජේතුංග දිගින් දිගටම පන්දු යැවීමේ පුහුණුකරුවන් ලෙස හතුරුගේ සහායට කණ්ඩායම තුළ සිටියදීමය. පන්දු රැකිමේ අංශයද දුර්වලය.

කරුණු මෙසේ තිබියදී හතුරුසිංහ මාධ්‍ය හමු මග හරී. මාධ්‍ය හමුවල ප්‍රශ්න නගන මාධ්‍යවේදීන්ගෙන් පෙරළා ප්‍රශ්න අසයි. ක්ෂණයකින් කෝපයට පත් වෙයි. මේ සියල්ල හතුරු‍ට ලකුණු වැටෙන තත්ත්වයක් නොවේ. වරක් පරාජයන් තුළ තමන් ඉල්ලා අස්වන්නේ නැද්දැයි විමසු මාධ්‍යවේදියකුගෙන් ඔහු ඇසුවේ ඔබට හැකි නම් ඇවිත් පුහුණු කරන ලෙසයි.

මෙතෙක් ශ්‍රී ලංකාවට සිටි එකම ජාතික පුහුණුකරු හතුරුසිංහ පමණක් නොවේ. හතුරුසිංහ ගිය විට එම තැනට ඒමට ද ඕනෑ තරම් පුහුණු කරුවෝ සිටිති. ඒ නිසා හතුරුසිංහගෙන් විමසිය යුත්තේ ඔබට හැකි නම් කණ්ඩායම ජය මාවතට ගෙන එන්න. එතෙක් කණ්ඩායම තුළ අර්බුද නිර්මාණය නොකරන්න කියාය.

Comments