විශිෂ්ටයන් සොයා යෑමේ ඔබ්සර්වර් මොබිටෙල් සලකුණ | සිළුමිණ

විශිෂ්ටයන් සොයා යෑමේ ඔබ්සර්වර් මොබිටෙල් සලකුණ

 ලාංකේය ක්‍රීඩා කෙත නිරන්තරයෙන් ම පෝෂණය කරනු ලබන තවාන් බිම, තිඹිරිගෙය පාසලය. ලාංකේය පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ක්‍රිකට්, මලල ක්‍රීඩා, රග්බි, වොලිබෝල්, පාපන්දු, දැල් පන්දු සහ පිහිනුම් ක්‍රීඩාවන්ට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. මෙකී ක්‍රීඩා ඉලක්ක කරගත් සම්මාන උලෙළ අතර, අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස් ආයතනය) නැතහොත් පත්තර මහ ගෙදර සංවිධානය කරනු ලබන සන්ඩේ ඔබ්සර්වර් මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩක ඇගැයීමේ සම්මාන උලෙළට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි.

වාණිජ පරමාර්ථ මුල් කරගත් සමාජ ක්‍රියාකාරකම් අතු ඉතිසේ දලු ලා වැඩෙන ලාංකේය භූමිය මත ඔබ්සර්වර් - මොබිටෙල් ක්‍රිකට් ක්‍රීඩක සම්මාන උලෙළ යනු අංකුර ක්‍රිකට් ක්‍රීඩකයන් කරළිගත කිරීමේ උදාරතර සද්කාර්යයක් බව නොරහසකි. ලාංකේය ධජය යටතේ ජාත්‍යන්තර ටෙස්ට් - එක්දින සහ විස්සයි 20 ක්‍රිකට් ක්ෂේත්‍රයට විශිෂ්ටයන් රැසක් කරළිගත කළ සම්මාන උලෙළ ලෙසද මෙකී සම්මාන උලෙළට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. මුල් කාල වකවානුවේ මෙකී සම්මාන උලෙළේ ජයග්‍රහණ කොළඹට කේන්ද්‍ර ගත වුවද පසුගිය කාල පරිච්ඡේදයේ කොළඹ අබිබවා යාම තුළ අර්ධ නාගරික සහ ග්‍රාමීය අංකුර ක්‍රිකට් ක්‍රීඩකයන්ට ද නව ජවයක් වී තිබේ.

මෙවර 41 වැනි වරටත් කරළිගත වන මෙකී සම්මාන උලෙළට ශ්‍රී ලංකා ක්‍රිකට්, ලකුණු සටහන් කරුවන්ගේ සංගමය, පාසල් ක්‍රිකට් සංගමය සහ ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය ද සුපුරුදු පරිදි සිය දායකත්වය එක් කරති.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකවරුන්ගේ ප්‍රධානියා ලෙස ඉමහත් කීර්තියක් දිනා සිටින රන්ජන් මඩුගල්ලේ ගෙන් සමාරම්භය සටහන් වූ මෙකී සම්මාන උලෙළේ එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටයන් අතර අර්ජුන රණතුංග සහ මුරලිට හිමිවන්නේද සුවිශේෂ ස්ථානයකි. මුරලි ටෙස්ට් සහ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභියා වන විට ඩැරල් හෙයාර් සහ රොස් එමර්සන් මුරලිට එරෙහිව ක්‍රියාත්මක කළ පන්දුව දමා ගසනවා යැයි කියූ කුමන්ත්‍රණය ඉදිරියේ නායකයකු ලෙස අර්ජුන රණතුංග දියත් කළ සටන නොවන්නට, මුරලි ක්‍රිකට් ඉතිහාසයේ පුරාවෘත්තයක් නොවන්නට ද තිබුණි. එකී මෙකී සියලු ක්‍රිකට් ක්‍රීඩකයන් අංකුර ලෙස ගොඩ වූ එකම වේදිකාව ද මෙය ලෙස හැඳින්විය හැකිය.

ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව හතර ගාතින් ගමන් කරන මොහොතක මෙකී සම්මාන උලෙළ ක්‍රිකට් අංකුරලට වේදිකාවක් බවට පත්ව තිබේ. මෙකී කරලියට පැමිණෙන අංකුර ක්‍රීඩකයන්ට ඔබ්සර්වර් මොබිටෙල් සම්මාන උලෙළ සිහිනයක් නොව යථාවක් වනු දැකීම අපගේ අරමුණය.

රන්ජන්ගේ සිට හසිත දක්වා

ක්‍රිකට් වැනි ක්‍රීඩාවක් මුදල් මතම දිව යන නිසා මෙයින් ක්‍රීඩාව වගේම විනය ගරුකභාවය, මනුෂ්‍යත්වය වැනි උතුම් ගුණාංග ආරක්ෂා වෙන්න ඕනා. ක්‍රීඩාවක මේ වගේ දේවල් හරිම වැදගත්. ඒ නිසා මා යෝජනාවක් කරනවා ඊළඟ සම්මාන උලෙළේ ඉඳලා හොඳම විනයගරුක ක්‍රිකට් කණ්ඩායමක් තෝරා එයටද සම්මානයක් පිරිනැමීම වැදගත් කියලා.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකවරුන්ගේ ප්‍රධානියා ලෙස කටයුතු කරන රන්ජන් මඩුගල්ලේ මෙකී යෝජනාව ගෙන එන්නේ 30 වැනි ඔබ්සර්වර් - මොබිටෙල් සම්මාන උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් 2008 දීය. එකී යෝජනාව මල්ඵල ගන්වමින් 2009 දී එනම් 31 වැනි සම්මාන උලෙළේදී නාලන්ද විද්‍යාලය හාපුරා කියා මෙකී සම්මානයට හිමිකම් කීවේය. රන්ජන් මඩුගල්ලේ මෙකී සම්මාන උළලේ සුවිශේෂි තරුව වන්නේ පළමු සන්ඩේ ඔබ්සර්වර් සම්මාන උලෙළේ වසරේ ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වෙමින්ය.

රන්ජන් මඩුගල්ලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැනට ටෙස්ට් තරග 184 ක, එක්දින තරග 336 ක සහ විස්සයි 20 තරග 94 ක තරග තීරකවරයා ලෙස නොමැකෙන සටහනක් ද ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයට එක්කර තිබේ. සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට, විසිනමවන විය වන විට සමුදුන් රන්ජන් ලාංකේය ටෙස්ට් වංශ කතාවේ පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම දී අගනා අර්ධ ශතකයකින් සරසා ගැනීමට සමත් විය. 1988 දී හතරවැනි ටෙස්ට් නායකයා වූ රන්ජන් එක්දින නායකයන් අතර පස්වැනියා වෙමින් තරග 13 කදී ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පිටියට පිවිස තිබේ. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් සහ රාජකීය විද්‍යාලයෙන් සිය ක්‍රිකට් දිවිය පෝෂණය කරගත් රන්ජන් රාජකීය විද්‍යාලය නියෝජනය කරමින් මෙකී සම්මානය හිමිකර ගත්තේය.

96 ලෝක ශූරයෝ

1996 දී හයවැනි ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රි ලංකාව දිනා ගනිද්දී, එකී කණ්ඩායමේ නායකයා අර්ජුන රණතුංග, අසංක ගුරුසිංහ, රොෂාන් මහානාම, කුමාර් ධර්මසේන, මුරලි මෙකී සම්මාන උලෙළේ වසරේ ක්‍රීඩකයන් ලෙස සම්මාන දිනා තිබීම විශේෂත්වයකි. අර්ජුන රණතුංග 1980 සහ 82 දී වසරේ ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වී තිබේ. ආනන්ද විද්‍යාලය නියෝජනය කරද්දීම ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයට එක් වූ අර්ජුන රණතුංග පළමු අර්ධ ශතකලාභියා ලෙස ද ඉතිහාසගතය. ටෙස්ට් තරග 93 ක් සහ එක්දින තරග 269 ක් ක්‍රීඩා කර තිබේ. හයවැනි ටෙස්ට් හා එක්දින නායකයා ලෙස කටයුතු කර ඇති අර්ජුන එහිදී ටෙස්ට් තරග 56 ක සහ එක්දින තරග 193 ක නායකත්වය දරා ඇති අතර ලාංකේය ටෙස්ට් සහ එක්දින තරග වැඩිම සංඛ්‍යාවක නායකත්වය දැරු ක්‍රීඩකයා ද වෙයි. 1999 දී විස්ඩන් ක්‍රීඩකයා සම්මානයටත් පාත්‍ර වී තිබේ

රොෂාන් මහානාම

නාලන්දා විද්‍යාලයේ රොෂාන් මහානාම අඛණ්ඩව වසරේ ක්‍රීඩකයා සම්මාන දිනා ගත්තේ 1983 - 84 දීය. රොෂාන් මේ පිළිබඳ සිය “වේදනාත්මක සමුගැනීම“ කෘතියේ එක් තැනක මෙසේ සටහනක් තබා ඇත.

එම ක්‍රීඩා වාරය (මේ 1983) තුළදී සියලු ඉහළ පෙළේ පාසල්වලට එරෙහිව ලකුණු රැස් කිරීමට සමත් වූයෙමි. ශාන්ත අන්තෝනි 100, ශාන්ත තෝමස් 80, ශාන්ත පීතර 62, ශාන්ත ජෝශප් සමඟ තරගයේ 82 න් 50 ක්ද විය. ක්‍රීඩා තරග වාරය තුළ දැක්වූ පිත්තේ දස්කම් මෙන්ම පන්දු රැකීමේ දස්කම් නිසා ඔබ්සර්වර් පුවත්පත සංවිධානය කරන ලද සම්මාන උලෙළේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සහ දක්ෂතම පන්දු රකින්නා ලෙස නම් කළේය. ඊළඟ වසරේද (1984) එම ශූරතාව දිනා ගැනීම සුවිශේෂි ජයග්‍රහණයක් විය. ඊට අමතරව සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ පාඨකයන්ගේ ඡන්දයෙන් වසරේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසද තෝරා පත් කරගත්තේය.

සනත් ජයසූරිය සමඟ එක්ව ඉන්දියාවට එරෙහිව ඛෙත්තාරාම පිටියේ වාර්තාගත ටෙස්ට් ලකුණු සබඳතාවටද සම්මාදම් වූ රොෂාන් කලක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තරග තීරකවරයකු ලෙසද කටයුතු කළේය. අඛණ්ඩවම තෙවැනිවරටත් පාසල් ක්‍රීඩකයා සම්මානය නාලන්ද විද්‍යාලයට 1985 දී රැගෙන ගියේ අසංක ගුරුසිංහය.

ICC වසරේ විනිසුරු

2012 අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල සම්මාන උලෙළේ විශිෂ්ටතම විනිසුරුවරයා ලෙස සම්මානයට පාත්‍ර වූ කුමාර් ධර්මසේන 1989 දී නාලන්ද විද්‍යාලය නියෝජනය කරමින් වසරේ ක්‍රීඩකයා සම්මානය දිනා ගත්තේය. තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වූ කුමාර් වර්තමානයේ විනිසුරුවකු ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කීර්තිමත් නාමයක් වෙන්කරගෙන තිබේ.

දැනට ටෙස්ට් 55, එක්දින 89 සහ විස්සයි 20 තරග 22 ක විනිසුරුවරයකු ලෙස ක්‍රියා කර තිබේ.

බින්දුවෙන් උපන් මාවන්

සිය පළමු ටෙස්ට් ඉනිම් හයේදී බිංදු පහක්ම සටහන් කරගත් මාවන් සිය ප්‍රථම ටෙස්ට් ලකුණ සටහන් කරගත්තේ හතරවැනි ඉනිමේදීය.

අර්ජුන රණතුංග, සංජීව රණතුංග (1988) දී පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය ආනන්ද විද්‍යාලයට රැගෙන ගියාට පසු එකී සම්මානය මාවන් අතපත්තු දිනා ගත්තේ 1990 දිය. අර්ජුන, සංජීව සහ මාවන් ඥාතීන් වීමද විශේෂත්වයකි.

බින්දුවෙන් පටන්ගත් සිය ටෙස්ට් දිවිය මාවන් නිමා කළේ ද්වි ශතක පහක්ද සමඟ ලකුණු 5502 ක් රැස් කරමින්ය. ශතක 16 කි. ටෙස්ට් තරග 18 ක, එක්දින තරග 63 කදී නායකයා ලෙස කටයුතු කර තිබේ.

මුරලි

1990 දක්වාම කොළඹට කේන්ද්‍රගතවු වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය හාපුරා කියා කොළඹින් බැහැරට ගෙන ගියේ 1991 දී කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ මුත්තයියා මුරලිදරන්ය. ටෙස්ට් හා එක්දින පිටියේ වැඩිම කඩුලුලාභියා වන මුරලි ක්‍රිකට් ලෝක කුසලාන ශූරයන් (1996) සහ අනුශූරයන් (2007 - 11) වූ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ එකම ක්‍රීඩකයාද වෙයි. එමෙන්ම මෙකී සම්මානය හිමිකර ගෙන ලෝක කුසලාන අවසන් මහා තරග තුනකට ක්‍රීඩා කළ එකම ක්‍රීඩකයා ද වෙයි.

අඛණ්ඩ ජයග්‍රාහකයෝ

ආනන්ද විද්‍යාලයේ තිලාන් සමරවීර 1994 - 95, ශාන්ත පීතර විද්‍යාලයේ ළහිරු පීරිස් 2004 - 05, රාජකීය විද්‍යාලයේ භානුක රාජපක්ෂ 2010 - 11 සහ රිච්මන්ඩ් විද්‍යාලයේ චරිත් අසලංක 2015 - 16 දී අඛණ්ඩව දෙවතාව බැගින් මෙකී සම්මාන උලෙළේ වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනා ගෙන තිබේ.

1979 - 2018 වසරේ ක්‍රීඩකයෝ

 

01. 1979 රන්ජන් මඩුගල්ලේ - රාජකීය විද්‍යාලය

02. 1980 අර්ජුන රණතුංග - ආනන්ද විද්‍යාලය

03. 1981 රොහාන් බුල්ජන්ස් - ශාන්ත පීතර විද්‍යාලය

04. 1982 අර්ජුන රණතුංග - ආනන්ද විද්‍යාලය

05. 1983 රොෂාන් මහානාම - නාලන්ද විද්‍යාලය

06. 1984 රොෂාන් මහානාම - නාලන්ද විද්‍යාලය

07. 1985 අසංක ගුරුසිංහ - නාලන්ද විද්‍යාලය

08. 1986 රොෂාන් ජුරම්පති - රාජකීය විද්‍යාලය

09. 1987 රොහාන් වීරක්කොඩි - ශාන්ත ජෝශප් විද්‍යාලය

10. 1988 සංජීව රණතුංග - ආනන්ද විද්‍යාලය

11. 1989 කුමාර් ධර්මසේන - නාලන්ද විද්‍යාලය

12. 1990 මාවන් අතපත්තු - ආනන්ද විද්‍යාලය

13. 1991 මුත්තයියා මුරලිදරන් - ශා. අන්තෝනි විද්‍යාලය

14. 1992 සජිත් ප්‍රනාන්දු - ශාන්ත අන්තෝනි විද්‍යාලය

15. 1993 නවීඩ් නවාස් - ඩී. එස්. සේනානායක විද්‍යාලය

16. 1994 තිලාන් සමරවීර - ආනන්ද විද්‍යාලය

17. 1995 තිලාන් සමරවීර - ආනන්ද විද්‍යාලය

18. 1996 නිමේෂ් පෙරේරා - ශාන්ත සෙබස්තියන් විද්‍යාලය

19. 1997 චින්තක ජයසිංහ - ධර්මපාල විද්‍යාලය

20. 1998 ප්‍රදීප් හේවගේ - ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය

21. 1999 මුතුමුදලිගේ පුෂ්පකුමාර - ආනන්ද විද්‍යාලය

22. 2000 කෞශල්‍ය වීරරත්න - ත්‍රිත්ව විද්‍යාලය

23. 2001 කෞෂාල් ලොකුආරච්චි - ශාන්ත පීතර විද්‍යාලය

24. 2002 සහන් විජේරත්න - වේල්ස් කුමර විද්‍යාලය

25. 2003 ෆර්වීස් මහරුෆ් - වෙස්ලි විද්‍යාලය

26. 2004 ළහිරු පීරිස් - ශාන්ත පීතර විද්‍යාලය

27. 2005 ළහිරු පීරිස් - ශාන්ත පිතර විද්‍යාලය

28. 2006 ගිහාන් රූපසිංහ - නාලන්ද විද්‍යාලය

29. 2007 මලිත් ගුණතිලක - ආනන්ද විද්‍යාලය

30. 2008 උමේෂ් කරුණාරත්න - තර්ස්ටන් විද්‍යාලය

31. 2009 දිනේෂ් චන්දිමාල් - ආනන්ද විද්‍යාලය

32. 2010 භානුක රාජපක්ෂ - රාජකීය විද්‍යාලය

33. 2011 භානුක රාජපක්ෂ - රාජකීය විද්‍යාලය

34. 2012 නිරෝෂන් දික්වැල්ල - ත්‍රිත්ව විද්‍යාලය

35. 2013 කුසල් මෙන්ඩිස් - වේල්ස් කුමර විද්‍යාලය

36. 2014 සදීර සමරවික්‍රම - ශාන්ත ජෝශප් විද්‍යාලය

37. 2015 චරිත් අසලංක - රිච්මන්ඩ් විද්‍යාලය

38. 2016 චරිත් අසලංක - රිච්මන්ඩ් විද්‍යාලය

39. 2017 නිපුන් රන්සික - පී. ද එස්. කුලරත්න විද්‍යාලය

40. 2018 හසිත බෝයගොඩ - ත්‍රිත්ව විද්‍යාලය

අදහස්