වසරේ ටෙනිස් කිරුළ සටන්කාමිත්වය අවිය කරගත් සිමෝනාට | සිළුමිණ

වසරේ ටෙනිස් කිරුළ සටන්කාමිත්වය අවිය කරගත් සිමෝනාට

මාටිනා නව්රතිලෝවා (චෙකොස්ලොවේකියාව / ඇමෙරිකාව), ක්‍රිස් එවර්ට් (ඇමෙරිකාව), ස්ටෙෆි ග්‍රාෆ් (ජර්මනිය), මොනිකා සෙලස් (යුගොස්‍ලාවියාව / ඇමෙරිකාව), වීනස් සහ සෙරිනා විලියම්ස් (ඇමෙරිකාව) සහ මරියා ෂරාපෝවා (රුසියාව) මේ ගත වූ දශක කිහිපය තුළදී ජාත්‍යන්තර ක්‍රීඩා ලොව සිය දක්ෂතා තුළින් වර්ණවත් කරන ලද විශිෂ්ටතම ටෙනිස් ක්‍රීඩා ශූරියෝ කිහිපදෙනෙකි.

ඔවුන් සියලු දෙනාට ම පොදු වූ ලක්ෂණ දෙකක් ඇත. ඒ ඔවුන් ප්‍රධානතම ග්‍රන්ඩ් ස්ලෑම් කේවල (තනි) ශූරියන්ය. එමෙන් ම ලොව අංක 01 ටෙනිස් ක්‍රීඩිකාවන් බවටත් පත්වී තිබේ. වත්මනදී ඉහත පිරිසට එක් වී තිබෙන්නේ රුමේනියාවේ සිමෝනා හැලෙප්ය.

2018 වසර 27 හැවිරිදි සිමෝනාට ඉතා යහපත් වූයේය. ඇය ප්‍රථම වරට ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරියක් වූවාය. පිට පිට දෙවන වරටත් වසර නිමා කළේ ලොව අංක 01 ක්‍රීඩිකාව වශයෙනි. එමෙන් ම කාන්තා ටෙනිස් සංගම‍යේ (ඩබ්.ටී.ඒ.) 2018 වැඩි ම ත්‍යාග මුදලක් ඉපයූ ක්‍රීඩිකාවත් ඇයයි. තවද එම සංගමය විසින් මෙම වසරේ ක්‍රීඩිකාව ලෙස තෝරා ගනු ලැබුවේත් සිමෝනාමය. එය හිමි කර ගත් ප්‍රථම රුමේනියානු ක්‍රීඩිකාවත් ඇය වේ.

මෙම වසරේ දී සිමෝනා තරගාවලි 15 කට ක්‍රීඩා කළා ය. එහිදී ජය ගත් කේවල ශූරතාවලි ගණන තුනකි. ඒ ප්‍රංශ විවෘත, චීනයේ සෙන්ෂෙන් විවෘත සහ කැනඩා විවෘතය. මින් සෙන්ෂෙන් විවෘත තරගාවලියේ කාන්තා යුගල ශූරතාවයත් ඇයට හිමි විය. එහිදී ඇගේ සහායක ක්‍රීඩිකාව වූයේ රුමේනියාවේ ම 28 හැවිරිදි ඉරිනා කැමෙලියා බෙගුය. මේ වසරේදී සිමෝනාට කේවල අනුශූරතාත් තුනකි. ඒ ඔස්ට්‍රේලියානු විවෘත, ඉතාලි විවෘත සහ ඇමෙරිකාවේ සින්සිනැටි විවෘත තරගාවලියන්ය.

මෙවැනි දස්කම් නිසාම ඇය ලොව අංක 01 ටෙනිස් ක්‍රීඩිකාව ලෙසට වසර නිමා කළාය. එහිදී හිමිකර ගත් සමස්ත ලකුණු ගණන 6921 කි. මෙවර දෙවන ස්ථානය ජර්මනියේ ඇන්ජෙලික් කර්බර්ටය. ඇයට ලකුණු 5375 කි.

මෙම වසරේදී සිමෝනා හිමිකර ගත් මුළු ත්‍යාග මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 7.4 කි. එහි සෙසු ස්ථාන මෙසේය. (2) කැරොලයින් වොෂ්නියෑකි (ඩෙන්මාර්කය) - මිලියන 6.65 (3) නයෝමි ඔසාකා (ජපානය) - මිලියන 6.39 (4) එලිනා ස්විටොලිනා (යුක්රේනය) - මිලියන 5.73 (5) කර්බර් - මිලියන 5.68

“මෙම වසරේ මගේ දස්කම් ගැන සතුටුයි. නව තරග වාරයේදීත් මේ ආකාරයට දස්කම් අතරට පැමිණීමට හැකි වේ යැයි මම බලාපොරොත්තු වෙනවා.” සිමෝනා පැවසුවාය.

සිමෝනාට විශේෂ සම්මානයකුත් මේ වසරේදී හිමි විය. එය හිමි වූයේ සිංගප්පූරුවේ පැවැති ඩබ්.ටී.ඒ. අවසන් තරගාවලියට පිට පිටම සුදුසුකම් ලැබීමට ඇය සමත් වූ බැවිනි.

වාර්ෂිකව මෙම තරගාවලිය සංවිධානය කරන්නේ ඩබ්.ටී.ඒ. විසිනි. එය වසර අවසන් තරගාවලිය ලෙසටත් ප්‍රචලිතයි. ඊට සුදුසුකම් ලබන්නේ ඒ වන විට ඩබ්.ටී.ඒ. ශ්‍රේණිගත කිරීමට අනුව මුල් ස්ථාන 08 හිමිකර ගෙන සිටින ක්‍රීඩිකාවන්ය.

ගතවූ 05 වසරක කාලය පුරාවට ම මෙම තරගාවලිය පැවැත්වූයේ සිංගප්පූරුවේදීය. එම තරගාවලි 05 ටම සුදුසුකම් ලැබූ එක ම ක්‍රීඩිකාව වූයේත් සිමෝනාය. ඇයට විශේෂ සම්මානය හිමි වූයේ ඒ නිසාය.

කෙසේ වෙතත් මෙවර තරගාවලියට සහභාගි වීමට සිමෝනාට හැකි වූයේ නැත. ඒ ආබාධයකට ලක් වූ බැවිනි.

සිමෝනා හැලෙප් 1991 වසරේ සැප්තැම්බර් මස 27 වැනිදා උපත ලැබුවාය. ඒ රුමේනියාවේ කොන්ස්ටන්ටා නුවරදීය. ඇගේ උස අඩි 5 අඟල් 6 කි. ඇය දකුණතහුරු ක්‍රීඩිකාවකි. 2006 වසරේ සිට වෘත්තීයමය වශයෙන් ක්‍රීඩා කරන්නීය.

ඇගේ මවුපියන් වනුයේ ස්ටියර් සහ ටානියා ය. පියා පාපන්දු ක්‍රීඩකයෙකි. පසුව කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තශාලාවක හිමිකරුවෙක් විය. ඇගේ වැඩිමහල් සොහොයුරා නිකොලේය. ඔහු ටෙනිස් ක්‍රීඩා කරනු දැක සිමෝනා ක්‍රීඩාවට යොමු වී තිබේ. ඒ වයස අවුරුදු 04 දීය.

සිමෝනාගේ ක්‍රීඩා වීරවරිය වනුයේ හිටපු බෙල්ජියන් සුපිරි ටෙනිස් ශූරියක් වන ජස්ටින් එනාන්ය. රුමේනියාවේ ඇන්ඩ්‍රෙයි පැවෙල් සහ ස්විස්ටර්ලන්තයේ රොජර් ෆෙඩරර් ඇගේ ටෙනිස් ක්‍රීඩා විරුවෝය. මින් පැවෙල් 2017 වසරේ සිට ඇගේ ප්‍රධාන පුහුණුකරුවාය.

මේ වන විට සිමෝනා හිමිකර ගෙන තිබෙන ඩබ්.ටී.ඒ. කේවල ශූරතා ගණන 18 කි. අනුශූරතා 15 කි. අන්තර්ජාතික ටෙනිස් සම්මේලන (අයි.ටී.එ‍ෆ්.) කේවල ශූරතා 06 කි. ඩබ්.ටී.ඒ. යුගල ශූරතාවයකි. අයි.ටී.එෆ්. යුගල ශූරතා සතරකි. ඇය ප්‍රථම වරට ලොව අංක 01 ක්‍රීඩිකාව බවට පත් වූයේ 2017 වසරේ ඔක්තෝබර් මාසයේදීය.

ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතාවල ඇගේ දස්කම් මෙසේය. ඔස්ට්‍රේලියානු විවෘත අනුශූරතාව (2018), ප්‍රංශ විවෘත ශූරතාව (2018), විම්බල්ඩන් අවසන් පූර්ව (2014) සහ ඇමෙරිකානු විවෘත අවසන් පූර්ව (2015)

මීට අමතරව 2014 ඩබ්.ටී.ඒ. අවසන් තරගාවලියේ අනුශූරතාවයත් ඇය සතුය. එහිදී ඇය පරාජය වූයේ සෙරිනා විලියම්ස් හමුවේය.

ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතාවලි අවසන් තරග සතරකට ඇය සුදුසුකම් ලබා සිටින්නීය. මින් ශූරතාවක් සහ අනුශූරතා ත්‍රිත්වයකි. ඇය 2018 ප්‍රංශ විවෘත ශූරිය වූයේ ඇමෙරිකාවේ ස්ලොඇන් ස්ටීවන්ස් පරාජය කරමින්ය. 2014 ප්‍රංශ විවෘත ෂරාපෝවා, 2017 ප්‍රංශ විවෘත ලැට්වියාවේ යෙලේනා ඔස්ටාපෙන්කෝ සහ 2018 ඔස්ට්‍රේලියානු විවෘත කැරොලයින් වොෂ්නියැකි හමුවේ සිමෝනා පරාජය වූවාය.

සිමෝනා 2008 වසරේ ප්‍රංශ විවෘත බාලිකා කේවල ශූරියත් වේ. මේ වන විට ඇය හිමිකර ගෙන තිබෙන සමස්ත ත්‍යාග මුදල ඇමෙරිකන් ඩොලර් 28,145, 579 කි. එය කාන්තා ටෙනිස් ක්‍රීඩා ඉතිහාසයේ වැඩි ම ත්‍යාග මුදලක් ඉපයූ ක්‍රීඩිකාවන් අතරින් සිමෝනාට 06 වැනි ස්ථානය හිමිකර දීමට ප්‍රමාණවත් වී තිබේ. මෙහි මුල් තැන සෙරිනා විලියම්ස්ටය. ඇයට හිමි මුදල ඇමෙරිකානු ඩොලර් 88,233,301 කි.

සිමෝනා ටෙනිස් ක්‍රීඩා ලොව ජනප්‍රිය චරිතයකි. ඊට මූලිකවම බලපා තිබෙන්නේ ඇයගේ සටන්කාමිත්වයයි. බොහෝවිට තරග කිරීමට සිදු වී තිබෙන්නේ ඇයට වඩා උසින් වැඩි ක්‍රීඩිකාවන් සමඟය. එය වත්මන් ටෙනිස් ක්‍රීඩාවේ තරග රටාව අනුව අවාසිදායකය. එසේ වුවත් සිමෝනාට ‍එරෙහිව තරග කිරීම පහසු කාර්යයක් නොවන බව සෙසු ක්‍රීඩිකාවන් දනිති. 2014 වසරේ ඩබ්.ටී.ඒ. ජනප්‍රියතම ක්‍රීඩිකාව වූයේත් සිමෝනාමය.

ඇයට රුමේනියානු සහ ඉංග්‍රීසි භාෂා චතුරව හැසිරවිය හැකියි. ඇගේ විනෝදාංශ වන්නේ සංගීතයට සවන් දීම, චිත්‍රපටි නැරඹීම සහ හෑන්ඩ්බෝල් (අත්පන්දු) ක්‍රීඩා කිරීමයි.

රුමේනියානු ක්‍රීඩා ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම ටෙනිස් ක්‍රීඩා තරු ද්විත්වයක් සිටිති. ඒ ඉලී නස්ටාසේ සහ වර්ජිනියා රුෂිසිය.

මින් නස්ටාසේ 1973 - 74 ලොව අංක 01 ක්‍රීඩකයා විය. හෙතෙම හිමිකර ගත් මුළු කේවල ශූරතා ගණන 58 කි. ඔහු 1972 ඇමෙරිකානු විවෘත සහ 1973 ප්‍රංශ විවෘත කේවල ශූරයාය. එමෙන්ම 1972 සහ 1976 විම්බල්ඩන් (එංගලන්තය) කේවල අනුශූරයාත් වේ. මීට අමතරව ග්‍රෑන්ඩ් ස්ලෑම් පිරිමි යුගල සහ මිශ්‍ර යුගල ශූරතා හිමිකරුවෙකි.

වර්ජිනියා 1978 ප්‍රංශ විවෘත කේවල ශූරියයි. එමෙන්ම 1980 ප්‍රංශ විවෘත කේවල අනුශූරියයි. ඇය මේ වන විට සිමෝනාගේ කළමනාකාරිනිය ලෙසට කටයුතු කරන්නීය.

මේ වන විට නැ‍‍ඟෙනහිර යුරෝපීය රටක් වන රුමේනියාවේ සුපිරිතම ක්‍රීඩා තරුව ලෙසටත් සිමෝනා හැඳින්වීමට හැකියි. එමෙන් ම නස්ටාසේ සහ වර්ජිනියා රුෂි‍සි වැනි එරටේ ක්‍රීඩා ශ්‍රේෂ්ඨයන් අතරටත් ඇය එක් වී අවසන්ය.

 

Comments