පළමු ටෙස්ට් තරගයෙන් අපට අමිහිරි පරාජයක් | සිළුමිණ

පළමු ටෙස්ට් තරගයෙන් අපට අමිහිරි පරාජයක්

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර දෙවන ටෙස්ට් තරගය ආරම්භ වන විට දෙපිල අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජය ගෙන 1-0 ලෙස ජය එංගලන්තය පෙරමුණ ගැනීමට සමත් විය. දෙපිල අතර පැවැති එක්දින සහ 20-20 තරගාවලිය ශ්‍රී ලංකාව පරාජය විය. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් සුපිරි වමත් දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් වෙනුවෙන් ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා කණ්ඩායම තරගයට පෙර පැවසීය. එහෙත් සිදු වුයේ එංගලන්තය ලකුණු 211 ක දැවැත්ත ජයක් ලැබීමයි. කෙසේ වෙතත් රංගනට ගාල්ල පිටියේ තම සියවැනි කඩුල්ල දවා ගැනීමට හැකි විය.

පළමු ටෙස්ට් තරගය පරාජය වීමෙන් අනතුරුව පුහුණුකරු චන්දික හතුරුසිංහ ප්‍රකාශ කළේ පාසල් ළමයින් මෙන් ක්‍රීඩා කිරීමෙන් තරග ජය ගැනීම ලෙහෙසි පහසු නොවන බවයි. මේ අතර චන්දික සහ කළමනාකරු චරිත් සේනානායක අතර පැවැති ඝට්ටනය අවසන් වූයේ චරිත් ඉල්ලා අස්වීමෙනි.

ශ්‍රීලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම කාලයක් තරග කළ ක්‍රීඩකයා වශයෙන් රංගන හේරත් තවත් වාර්තාවක් පිහිටුවමින් ගාල්ලේ දී ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දුන්නේය. ඊට පෙර වැඩිම කාලයක් ශ්‍රීලංකාව වෙනුවෙන් තරග කර තිබුණේ අර්ජුන රණතුංගයි. සිය තරග දිවියෙන් වසර හත අටක්ම නිකරුණේ ක්‍රීඩා පිටිවලම දිය කර හැරිමට ද රංගනට සිදු විය. කණ්ඩායමෙන් එළියට යෑම සහ ඇතුළට ඒම සුලබ සිදුවීමක් විය. නමුත් මෙකී කාලය තුළ රංගන ක්‍රීඩා පිටියේදී කල කී දෑ අධ්‍යයනය කිරීම සෑම ක්‍රීඩකයකුට ම ඉතා වැදගත් සාධකයක් වෙයි.

රංගන ක්‍රිකට් සමුදීමත් සමඟ සංගා රංගනගේ ක්‍රීඩා දිවියේ රහස් රැසක් එළිදරව් කළේය.

ඒ 2009 ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 292 ක් සහ දෙවැනි ඉනිමට ලකුණු 217 ක් රැස් ක‍ෙළ්ය. පාකිස්තානය පළමු ඉනිමට ලකුණු 342 ක් රැස් කළ අතර තරගයේ ජය ගැනීමට පාකිස්තානයට අවශ්‍ය වුයේ 168 කි. නමුත් රංගන ලකුණු 15කට කඩුලු හතරක් බිඳ හෙළමින් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් හිමි කර දීමට සමත් වුයේ තරගයේ වීරයා සම්මානයද හිමිකර ගනිමින්ය. පී.සරා ඕවල් පිටියේ පැවැති දෙවැනි තරගයෙන්ද ශ්‍රීලංකාව කඩුලු 7කින් ජය ගත් අතර දෙවැනි ඉනිමේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ රංගන කඩුලු පහක් බිඳ හෙළිමට සමත් විය. එස්.එස්.සී. පිටියේ තෙවැනි තරගයත් ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර, දෙවැනි ඉනිමේදී කඩුලු පහක් බිඳ හෙළිමට රංගන සමත් විය.

සිය ක්‍රීඩා දිවියේ හැරවුම් ලක්ෂ්‍යය වූ එකී ටෙස්ට් තරගාවලියට රංගන එක් වුයේ එංගලන්තයේ ප්‍රාන්ත තරගාවලියට එක්ව සිටියේදීය. රංගන 2009 එම ටෙස්ට් තරගාවලියට එක්වන්නේ සංගා ලබා දුන් දුරකතන ඇමතුමක් හරහාය. සංගා එවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරිය.

“මම විශ්වාස කරන විදියට රංගනගේ ක්‍රීඩා ජිවිතය වෙනස් වෙන්නේ මම දීපු දුරකතන ඇමතුමෙන් නෙවෙයි. මම හින්දාවත්, තේරිම් කමිටුව හින්දවත් නෙවෙයි රංගනට ඒ පාකිස්තාන් තරගයට ඇවිත් ඒ ලැබුණු අවස්ථාව කොහොමද බාර ගත්තේ? කොහොමද එතැනට ඇවිත් දස්කම් දක්වන්නේ කියලා කාටවත් පාලනය කරන්න බෑ.

ඒක පාලනය කරන්න පුළුවන් රංගනට විතරයි. ඒක තමයි රංගනට මම විශේෂ ගෞරවයක් දක්වන්නේ. ඉතාමත් අමාරුවෙන් ඇවිත් තරගයට ඉස්සර දවසින් ඇවිත් පස් වැනි දවසේ තරගය ජයග්‍රහණය කරලා දුන්නා. තනියම තමයි මේ දේ කළේ. පී.සරා තරගයට ගියාම තරගය ජයග්‍රහණය කරලා දුන්නා. අවුරුදු 4ක් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරග නොගහ ඉදලා. අන්න මනුෂ්‍යයා! ඔහුගේ අවාසනාවකට මුත්තයියා මුරලිදරන් කියන දඟ පන්දු යවන්නෙක් ශ්‍රී ලංකාවට බිහි වෙලා හිටියා, ඔහුත් එක්ක තරග කරන්න රංගනට විතරක් නොවේ වෙන කිසිම කෙනෙකුට ලෙහෙසි නෑ.

ඒත් රංගනගේ විශේෂ ම, දේ තමයි මම හැමදාම ගරු කරනවා කවදාකවත් කාටවත් දොස් පවරලා නෑ, අයියෝ මට මේ අසාධාරණය වුණා කියලා කවදාවත් කියලා නෑ. මුරලිදරන් හා සමාන වූ විශිෂ්ට ජයග්‍රහණ ලංකාවට ලබාදීලා, කණ්ඩායමේ විශේෂයෙන් පසුගිය වසර 2-3 තමන්ගේ පන්දු යැව්වේ හැම පීඩනයක්ම කරට අරගෙන අපට ජයග්‍රහණ ලබා දීලා තියෙන ක්‍රීඩකයෙක්.“

මේ සංගක්කාර රංගනට දෙන සහතිකයයි.

අදහස්