නීතිය අතට ගත් කතට මහ­ජ­න­යා­ගෙන් ප්‍රති­චාර | සිළුමිණ

නීතිය අතට ගත් කතට මහ­ජ­න­යා­ගෙන් ප්‍රති­චාර

පොලිස් දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් අතර මහ­ජ­න­යාට වඩාත්ම සමීප රාජ­කා­රි­යක නිරත වනුයේ රථ­වා­හන හසු­රු­වන නිල­ධා­රීන්ය. දිවා රෑ නොබලා රාජ­කා­රියේ නිරත රථ­වා­හන හසු­රු­වන පොලිස් නිල­ධා­රීන් තරම් මහ­ජ­න­යා­ගෙන් 'බැණුම්' අහන පිරි­සක් පොලිස් දෙපා­ර්ත­මේ­න්තුව තුළ නොමැති තරම්ය. ඇතැම් නිල­ධා­රීන් නොමනා ලෙස හැසි­රු­ණත් බොහෝ නිල­ධා­රීන් රාජ­කා­රිය අකු­ර­ටම ඉටු­ක­ළත් මහ­ජ­න­යා­ගෙන් ලැබෙ­නුයේ හොඳ ප්‍රති­චා­ර­ය­ක්නම් නොවේ.

පසු­ගිය තුන්වැ­නිදා ද රාජ­කා­රිය නිසි ලෙස ඉටු­ක­ර­මින් මහ­ජ­න­යාගේ යහ­පත වෙනු­වෙන් කැපව නිල­ධා­රීන් දෙදෙ­නකු රාජ­කාරි කර­මින් සිටියේ රාගම ගුවන් පාලම යට දුම්රිය හරස් මාර්ගය අස­ලය. දුම්රිය ගේට්ටු වසා දමා තිබි­යදී ඒ අත­රින් රිංගා යන රියැ­දු­රන් නිසා සිදු­වන අන­තුරු හේතු­වෙන් බොහෝ අව­ස්ථා­වල එම ස්ථානයේ පොලිස් නිල­ධා­රීහු රාජ­කා­රි­යෙහි නිරත වෙති. එලෙස එදින පෙර­ව­රුවේ රථ­වා­හන රාජ­කා­රි­යෙහි නිරත වූ පොලිස් නිල­ධා­රින් දෙදෙ­නෙ­කුට අක­ර­තැ­බ්බ­ය­කට මුහු­ණ­පෑ­මට සිදු­වූයේ යතු­රු­පැ­දි­යක් ධාව­නය කළ කාන්තා­වක විසින් නිල­ධා­රීන්ගේ රාජ­කාරි නිල ඇඳු­ම­ටද අගෞ­රව වන ලෙස අත-පය හසු­රු­ව­මින් බැණ වැදෙ­මින් කළ 'රංග­නය' නිසාය.

කාන්තා­වක එලෙස හැසි­රෙ­මින් නිල­ධා­රින් දෙදෙනා අස­රණ කරන ආකා­රය එදින එම සිදු­වීම රූගත කර­මින් සමාජ මාධ්‍ය­යට මුදා­හළ වීඩි­යෝ­වක මනාව දිස්විණි. එම වීඩියෝ දසුන් සමාජ මාධ්‍ය­යන්හි ප්‍රචා­රය වීමත් සමඟ මේ ගැන බොහෝ අයගේ අව­ධා­නය යොමු වූයේ එම කාන්තා­වගේ නොමනා හැසි­රී­මත් නිල­ධා­රීන් දෙදෙ­නාගේ නීතිය අකු­රට ඉටු­කි­රී­මත් ගැන විවිධ මත පළ කර­මිනි. සමාජ ජාල පුරා මේ කාන්තාව පොලිස් නිල­ධා­රීන් දෙදෙ­නාට ‘නීතිය ඉගැ­න්වී­මට’ ප්‍රයත්න දරන ආකා­රය සිද්ධියේ පටි­ගත වූ දසුන් ද සම­ඟින් හුව­මාරු වූයේ ඒ ගැන අපූරු කතාද සම­ඟිනි.

දුම්රිය හරස් මාර්ගය අස­ලදී රාජ­කා­රිය ඉටු­කි­රී­මට ගොස් කාන්තා­ව­කගේ පීඩ­න­යට හසු­වූයේ පොලිස් කොස්තා­ප­ල්ව­රුන් වූ සත්‍ය බණ්ඩාර දිසා­නා­යක (77426) සහ අජිත් ගාල්ලගේ(64689) යන පෑලි­ය‍ගොඩ දිසා රථ­වා­හන කොට්ඨා­ස­යට අනු­යුක්ත නිල­ධා­රීන් දෙදෙ­නාය.

කොස්තා­පල් සත්‍ය බණ්ඩාර එදින තමන් මුහු­ණපෑ සිදු­වීම ගැන අපට මෙසේ කීවේය.

“සාමා­න්‍ය­යෙන් දුම්රිය හරස් මාර්ග­වල අන­තුරු වැඩි නිසා අප එවන් තැන්වල රාජ­කා­රි­යට යොද­ව­නවා. මම ඔය රේල් ගේට්ටුව අසල රාජ­කා­රි­යට ගිය දෙවන අව­ස්ථාව. හරි­ය­ටම වෙලාව උදේ 10.40යි. ඒ අව­ස්ථාවේ රේල් ගේට්ටුව වහලා තිබුණේ. ඔය කාන්තාව විදු­ලි­යෙන් ක්‍රියා කරන බයික් එක­කින් ඇවිත් රේල් ගේට්ටුව ළඟ නතර කළා. හැබැයි බයික් එකේ නම්බර් ප්ලේට් තිබුණේ නෑ. මං ගිහින් ඒ ගැන විම­සුවා. ඒ කාන්තාව කිව්වා, 'මේක ඉලෙ­ක්ට්‍රික් බයික් එකක් නිසා ලයි­සන් කරන්න අවශ්‍ය නැහැ' කියා. මං කිව්වා, 'එහෙම බෑ... නීතිය අනුව ලයි­සන් කළ යුතුයි' කියා. ඊට පස්සෙ ඇය කිය­නවා, 'එහෙම ‍කොහේද මම මේක අවු­රුදු තුන­හ­මා­රක් තිස්සෙ පදි­නවා කිසිම කෙනෙක් මාව අල්ලලා නෑ. ඇල්ලු­වත් යව­නවා...' කියා. මා ඇයට කරුණු පහ­දලා දීලා පස්සෙ ඇයගේ රියැ­දුරු බල­ප­ත්‍රය ඉල්ලුවා. බල­න­කොට ඇයට ලයි­ස­නුත් නෑ. ඒ කාන්තාව අපි දෙන්නට හයි­යෙන් හයි­යෙන් ජරා කතා කියමින් බණින්න ගත්තා. ඒ අතරේ ඇය දුර­ක­ථන ඇමැ­තු­මක් අරන් කාටද කෝල් කළා. ඒත් එක්කම පිරිමි දෙන්නෙ­කුත් ආවා. හැබැයි ඒ දෙන්නා ඇයගේ වරද පිළි­ගත්තා. පස්සෙ කාන්තාව මට තර්ජ­නය කර­මින් 'තමු­සෙලා ජරාව කන්න හදන්නෙ' ආදි ලෙස පව­ස­මින් අත-පය දික්ක­ර­මින් පාට් එක දාන්න එනවා. ඇත්ත­ටම කාන්තා­වක එලෙස හැසි­රෙද්දී අපත් අස­රණ වෙනවා.”

විනාඩි ගණ­නක් පුරා කාන්තාව එලෙස හැසි­රෙද්දී මඟ­තොට යන­එන අය­ගේද අව­ධා­නය එම සිදු­වී­මට යොමු­වූයේ නිතැ­තිනි. ඒ අතරේ මාර්ගයේ රථ­වා­හන තද­බ­ද­යක්ද ඇති­වුණේ කාන්තා­වගේ හැසි­රීම් රටාවේ වූ ආවේ­ග­ශීලි බව නිසා සිද්ධිය දැක ගැනී­මට එතැ­නට සෙනඟ රොක්වීම හේතු­වෙනි. පොලිස් නිල­ධා­රීන්ගේ රාජ­කා­රි­යට බාධා වන ආකා­ර­යෙන් කාන්තා­වගේ නොමනා හැසි­රී­මෙන් අස­රණ වූ පොලිස් නිල­ධා­රීන්ගේ සහා­යට එසැ­ණින් එම ස්ථාන­යට රොක් වූයේ රාගම නගර වැසි­යෝය. ඒ අත­රින් මූලි­ක­ත්වය ගත්තේ අසල වෙළෙ­ඳ­ස­ලක් පව­ත්වා­ගෙන යන රාගම මැද­වත්තෙ පදිංචි ඩබ්ලිව්. එන්. එස්. සොයිසා නමැති කාන්තාව සහ යුද හමුදා සෙබ­ළෙකු වූ මධු­ෂංඛ ප්‍රේම­රත්න යන දෙදෙ­නායි. සොයිසා මහ­ත්මිය ගැටුම සම­ථ­ය­කට පත්ක­ර­මින් පොලිස් නිල­ධා­රින් දෙදෙ­නාට නීතිය ක්‍රියා­ත්මක කිරී­මට ඉඩ හසර විවර කර දෙන ආකා­රය එම සිදු­වීම පටි­ගත කළ වීඩියෝ දසු­න්ව­ලින් මනාව දිස්විය. එම සිදු­වීම සම­ථ­ය­කට පත්කි­රී­මට මැදි­හත්වූ ප්‍රේම­රත්න අප හා මෙසේ කීවේය.

“මං ඒ වෙලාවේ ත්‍රිවිල් එකෙන් යමින් හිටියේ. ඒ කාන්තාව පොලිස් නිල­ධා­රි­යාගේ ගෞර­වය නැති­වන විදි­හ­ට­මයි එතැ­නදී හැසි­රුණේ... අත-පය දික්ක­ර­ගෙන ගහ­න්නම වගේ ගියා... කාන්තා­වක තියා පිරි­මි­යෙ­ක්වත් රාජ­කාරි ඇඳු­මක් ඇඳපු කෙනෙකු ඉදි­රියේ එහෙම හැසි­රෙන්න හොඳ නැහැ. බයික් එක­ටත් ලයි­සන් නෑ... කාන්තා­වට රිය­දුරු බල­ප­ත්‍ර­යත් නෑ. පොලිස් නිල­ධා­රියා මුල ඉඳ­ලාම පහ­දලා දුන්නා එයාගේ වැරැදි ක්‍රියාව ගැන... ඒත් ඒ කාන්තාව ඒ කිසි­වක්ම ගණන් ගත්තෙ නෑ. පස්සෙ සිද්ධිය මුල ඉඳ­ලම දැකපු කඩේ අක්කා ආපු නිසා තමයි ගැටුම විස­ඳුණේ... ඒ අක්කා මුලින් හිතලා තියෙන්නෙ පොලිස් නිල­ධා­රි­යා­ගෙන් කාන්තා­වට වර­දක් වෙනවා කියලා... පස්සෙ තමයි තේරිලා තියෙන්නෙ මේ කාන්තාව වැරැදි විදි­හට හැසි­රෙ­නවා කියලා..”

වසර කීප­යක් තිස්සේම රියැ­දුරු බල­ප­ත්‍ර­යක් නොමැ­තිව යතු­රු­පැදි ධාව­නය, යතු­රු­පැ­දිය ලියා­ප­දිංචි නොකර ධාව­නය සහ නිල­ධා­රීන්ගේ රාජ­කා­රි­යට බාධා කර­මින් සාප­රාධි බල­හ­ත්කා­රය පා කට­යුතු කළ වැලි­සර කාන්තා­වක වූ 31 හැවි­රිදි සපුනි සචිත්‍රා පෙරේරා නමැති ඇය රාගම පොලි­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගෙන මීග­මුව අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කෙරිණි. ඒ අනුව ඇයව රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­ම­ටද අධි­ක­ර­ණය නියෝග කළේය.

සෑම විටෙ­කම පාහේ පොලිස් නිල­ධා­රීන්ට එරෙ­හිව නැඟී සිටින මහ­ජ­නයා මෙවර නිල­ධා­රීන් වෙනු­වෙන් පෙනී සිටීම මෙහිදී කැපී පෙනිණි. ඒ මොහොතේ නිල­ධා­රීන්ගේ සහා­යට එක්වූ අය අතර පෙර­මු­ණ­ගෙන ක්‍රියා කළ සොයිසා මහ­ත්මිය සහ මධුෂංඛ ප්‍රේම­රත්න යන දෙදෙනා පසු­ගිය 5 වැනිදා කොළඹ උතුරු දිසාව බාර නියෝජ්‍ය පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා විසින් තම කාර්යා­ල­යට කැඳ­වනු ලැබීය. නීතිය හා සාධා­ර­ණය වෙනු­වෙන් පෙනී සිටි දෙදෙ­නාට ප්‍රශංසා කළ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා සමස්ත මහ­ජ­න­යාගේ එම ක්‍රියාව අග­ය­මින් පොලිස්පති උපදෙස් මත පොලිස් ත්‍යාග අර­මු­ද­ලෙන් ත්‍යාග ප්‍රදා­නය කිරී­මට අවැසි කට­යුතු යොදන බවද ප්‍රකාශ කළේය.

මේ වෙද්දී සිද්ධිය මුළු රට පුරාම කතා­බ­හට ලක්වූ මාතෘ­කා­වක් බවට පත්වූයේ ඒ සම්බ­න්ධ­යෙන් ඇතැම් මාධ්‍ය ජාලා­වල පළ වූ අපූරු උප­හා­සා­ත්මක කියුම් ද සම­ඟිනි. ඉන් එක් කියු­මක් මෙසේ විය. “රිය­දුරු බල­ප­ත්‍රය නොමැ­තිව යතුරු පැදි ධාව­නය කළ හැකි බව පොලි­සි­යට වටහා දුන් දිරිය කාන්තා­වට අපේ උත්ත­මා­චා­රය” යන්නය.

පොලිස් දෙපා­ර්ත­මේ­න්තුව තුළ නීති­යට පිටින් කට­යුතු කරන නිල­ධා­රින් අත­ළො­ස්සක අත­රින් නීතිය අකු­රට ඉටු­කි­රී­මට වෙර දරන මෙවන් නිල­ධා­රීන්ට සහාය දීම සෑම පුර­වැ­සි­ය­කු­ගේම යුතු­ක­මයි.

Comments