කපටිරාල සහ උක්කුරාල අප ගමෙහි ජීවත්වූ ගජ මිතුරන් දෙදෙනෙකි. දෙදෙනාම ජීවිකාව ගෙන ගියේ ගොවිතැනෙනි. කපටිරාලගේ නියම නම මුතුබංඩා වුවත් ඔහුගේ කපටි වැඩ නිසා ගම්මු ඔහු වෙනත් නමකින් හැඳින්වූහ. මිතුරන් දෙදෙනා හවස් යාමයේ හොරපොළකින් සූර්වීම පුරුද්දක් වශයෙන් කළහ. නමුත්කාලයාගේ ඇවෑමෙන් උක්කුරාල සිල් සමාදන් වීමට පටන් ගැනීමත් සමඟ කපටිරාල තනිවිය. කපටිරාල දිනක් උක්කුරාල හමුවීමට එක් සැන්දැවක ඔහුගේ නිවෙසට ගියේ යම් තරමක් සප්පායම් වී සූර්වීය.
“හා කොහොමද උක්කුරාලේ හුඟ දවසකින් දැක්කෙත් නැහැ. අද මේ උවමනා හින්ද ආවේ” යනුවෙන් පවසමින් අසල පුටුවක වාඩි විය.
ඔහු දුටු උක්කුරාල “උඹ බීල නේද ආවේ” යනුවෙන් විමසීය. “මම නම් බීල තමයි. මම බීවට උඹ වෙරිවෙනවැයි. මගේ කාරණය අහල හිටපන්කෝ” කීවත් උක්කුරාල ඔහුට කන් නොදුන්නේය. “බැහැපං එළියට මගේ ගෙදරට බීල එන්න එපා. නොබී වරෙං ඕනෑ දෙයක් කතා කරන්න” කියා කපටිරාල එළවා දැම්මේය. කපටිරාල ද සිදුවූ මදිපුංචිකම ගැන හිතමින් “හොඳයි මම කපටිරාල මමත් ඕකට වාඩුව අල්ලන්නන්” යැයි කියමින් ගෙදර ගියේ ය.
උක්කුරාලගේ ඉඩමේ පොල් ගස්වල කලක සිටම පොල් කඩන්නේ කපටිරාලය. පොල් කැඩීමේ දින ළංවුණත් කපටිරාල ඒ සඳහා ආවේ නැත. පණිවිඩ කීපයක් යැව්වත් කපටිරාල නොආ නිසා උක්කුරාලට ඔහු සොයා නිවෙසට යෑමට සිදුවිය.
“ඈ උඹැහැ මගේ පොල් ටික කඩා දෙන්ඩ එන්නැද්ද. දැන් දිනත් පහුවෙලා”
උක්කුරාල දිහා මොහොතක් බලා සිටි කපටිරාල “උඹ බීලද ආවේ” යනුවෙන් විමසීය.
“උඹට පිස්සුද? මම දැන් සිල් ගන්නවා කියල දන්නවනේ” උක්කුරාලගේ පිළිතුර විය.
“ආ එහෙමනම් බැහැපන් එළියට මගේ ගෙදර එනව නම් බීල වරෙන් කතා කරන්ඩ” කියමින් කපටිරාල සගයා එළවා දැම්මේ “දැන ගනිං මම කපටිරාල” යනුවෙන් ද පවසමිනි. ඉන්පසු දෙදෙනාගේ මිතු දමද අවසන් විය.
හුණුපොල
මොරගොල්ලේ සෙනෙවිරත්න