Vacation යන්නෙ කොහෙද සසිකාගෙන් Plan කරගන්න | සිළුමිණ

Vacation යන්නෙ කොහෙද සසිකාගෙන් Plan කරගන්න

 

ලතාවක් වෙලා, පිරිමියෙකුගේ රැකවරණය පතන සාම්ප්‍රදායික ගැහැනුන් අතර මහා වෘක්ෂයක් වෙලා නෑසිය හිත මිතුරන්ට රැකවරණය දෙන, සම්ප්‍රදාය ඉක්මවා ගිය දිරිය ගැහැනුන් ඉඳහිට අපට හමුවෙනවා. සසිකා සුරංජි හේමචන්ද්‍ර කියන්නෙත් ඒ වගේ කෙනෙක්. පවුලක බර දරන්න, ඇය ට්‍රැවල් ඒජන්සියක් පවත්වාගෙන යනවා තනියම. ඇගේම ශක්තියෙන්, ධෛර්යයෙන්.

කැලණියේ  පදිංචි සසිකා, ඉගෙනුම ලැබුවේ ශාන්ත පාවුළු බාලිකාවෙන්. යන්තම් වයස අවුරුදු 18ක් වනකොට ඇයට මංගල සීනු හැඬවෙන්නේ දෙමාපියන්ගේ ද විරෝධය මැදයි.

වසර දෙකකින් පසු පළමු විවාහයට තිත තබන සසිකා පුංචි පුතාවත් තුරුළු කරන් ජීවිතයට මුහුණ දෙන්න උත්සාහ කරන අතරවාරයේ ඇයට පීසා හට් ආයතනයේ රැකියාවක් ලැබෙනවා. එතන වැඩ කරගෙන ඉන්නකොට සසිකට ඩුබායි යන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ හෝටල් සේවිකාවන්ගේ කණ්ඩායම් නායිකාවක් විදිහට. දරුවත් අම්මාතාත්තා ළඟ පරිස්සමට තියලා සසිකා ඩුබයි රටේ ජීවිතෙත් එක්ක හරි හරියට හැප්පෙනවා. ඔය ඉන්නකොට තමයි දෙවැනි වතාවටත් විවාහ වෙන්න ඇය තීරණය කරන්නෙ. ඒ වුණත් ඒ විවාහයෙනුත් ඇයට සිද්ධ වෙන්නෙ පුංචි දුවෙක් එක්ක තනිවෙන්නයි. දුවට මාස තුනක් වෙද්දි ඇය ලංකාවට එනවා. අම්මාගෙයි තාත්තගෙයි. බබාලා දෙන්නගෙයි වගේම සසිකාගේ පුංචි මල්ලිලා දෙන්නගෙයි ඕනෑඑපාකම් හැම එකක් ගැනම බලන්න ඇයට දිවා රෑ නැතුව සල්ලි හොයන්න වෙනවා. ඒ වෙද්දි ඇගේ තාත්තා සැත්කමකට මුහුණ දීලයි හිටියෙ.

ඒ නිසා රැකියාවක් කරන්න පුළුවන්කමක් තිබුණෙ නෑ. සසිකට පවුලෙම බර දරන්න සිද්ධ වුණේ තනියම. පුංචි දුවට මාස 08ක් වෙද්දි එයාවයි පුතාවයි දෙන්නවම අම්මලා ළඟ දාලා ඇයට ආයෙමත් ඩුබායි යන්න වෙනවා.ජීවිතේ දුක වේදනාවක විතරක් ම ඉතුරු වෙනකොට මේ ලෝකෙට ඉපදුණේ නැත්නම් හොඳයි කියලා සසිකට හිතුණු වාර ඇති තරම්. මොන දේ වුණත් හැම පැත්තක් ගැනම හොඳ දැනුමක් වගේම වැඩක් හරියට කරන්න පුළුවන් විදිහේ දක්ෂතාවක් සසිකට තිබුණා. රැයක් දවාලක් නැතුව වැඩ කරලා දුක් මහන්සි වෙලා පවුල වෙනුවෙන් හම්බ කළා. ඩුබායි ඉන්න ගමන් ලංකාවටත් ආවා. වෝටර්ස් ඒජ් එකේ සම්බන්ධීකාරවරියක් විදිහටත් කාලයක් ඇය රැකියාව කළා. ඒ වුණත් ලංකාවේ රැකියාවක් කරලා ගන්න වැටුප ඇගේ මුළු පවුලම ජීවත් කරවන්න ප්‍රමාණවත් වුණේ නෑ. ඉතිං ආයෙමත් රට යන්න වුණා. ඒ ගිහින් එකතු වුණෙත් හෝටල් ක්ෂේත්‍රයට.

කිඩ්ස් ක්ලබ් කළමනාකාර තනතුරක් ඇයට ලැබුණේ ඇගේ හැකියාව සහ කැපවීම නිසාමයි. එහෙම ඉන්නකොට ඇයට බෙල්ජියමේ පුද්ගලික ආයතනයක වැඩ කරන්න අවස්ථාව ලැබුණා. බෙල්ජියමේ ඇය රැකියාව කළ ආයතනයේ ප්‍රධානියාගේම නිවසේ නවාතැන් ගෙන සිටිය සසිකා රැකියාව අවසන් වෙලා නවාතැනට ආවට පස්සේ ආයතන ප්‍රධානියාගේ දරුවන්ව රැකබලා ගත්තේ අමතර ආදායම් මාර්ගයක් විදිහට. මොකද දරුවො දෙන්නට හොඳට උගන්නගන්නයි. පවුලේ අයව ජීවත් කරවන්නයි සසිකට ලැබෙන වැටුප මදි වුණා. කොහොම හරි දුක් විඳලා තමන්ගේ දරුවො දෙන්නට ජාත්‍යන්තර පාසල්වල උගන්නන ගමන් තාත්තගේ සැත්කම කරන්නත්, ණය බරෙන් නිදහස් වෙන්නත් ඇයට පුළුවන් වුණා. කාලයක් යද්දි රට රැකියාව අතහැරලා දාලා සසිකා ලංකාවට එන්නේ තමන්ගේ දරුවො දෙන්නා වෙනුවෙන්.

රට ගිහින් හම්බ කරපු සල්ලි ටික ටික ඉතුරු කරලා ඇය ලංකාවට ඇවිත් තමන්ගෙම මහන්සියෙන්  ට්‍රැවල් ඒජන්සියක් පටන් ගන්නවා. ඒ නිකම්ම නෙවෙයි දැනුමක් වගේම පුහුණුවක් ඇතුව. සාමාන්‍ය පෙළ අවසන් කරපු ගමන්ම ටිකටින් පංති ගිය ඇය, ඒ කාලෙ ටිකටින් සම්බන්ධයෙන් මාස 6ක විතර පුහුණුවකුත් ලබලා තියෙනවා. ඒ වුණත් නැවත ඒ පුහුණුව අලුත් කරගන්න ඕන නිසා ඇය මිතුරකුගේ ටිකටිං ඔෆිස් එකක මාස එකහාමාරක් පුහුණු වෙනවා. එහෙම පුහුණු වෙලා තමයි අන්තිමට තමන්ගෙම කියලා කාර්යාලයක් පටන් ගන්නෙ.
“මං සාමාන්‍ය පෙළ කරපු කාලෙ ඉඳන්ම ජීවිතේ දුක් විඳපු එක තමයි කළේ. දැන් තමයි ඔළුව කෙලින් කරන්න ඉන්න පුළුවන් තත්ත්වෙක ඉන්නෙ. ටිකටින් ඔෆිස් එකත් කරගෙන හොඳ තැනක ඉන්නවා.  දැන් මගේ දුවට 7යි. පුතාට 14යි. මහත්තයෙක් නැතුව ළමයෙක් දෙන්නෙක් එක්ක තනි වෙන්න වුණාම ගොඩක් අය හිතින් වැටෙනවානේ. මං එහෙම වැටුණෙ නෑ. මගේ දරුවො දෙන්නා ගැන හිතලා මං පුළුවන් තරම් නැගිටින්නමයි බැලුවෙ.

මගේ ජීවිතේට පුදුම විදිහට ප්‍රශ්න ආවා. ඒත් මං ඒ හැමදේකටම ශක්තිමත්ව මුහුණ දුන්නා. දරුවො දෙන්නට දැන් මං හැමදේම දෙනවා. මගේ අම්මා තාත්තා මං නිසා ගොඩක් දුක් වින්දා. අද මට ගොඩක් සතුටුයි මගේ අම්මවයි තාත්තවයි දරුවො දෙන්නවයි මල්ලිලා දෙන්නවයි කාටවත් බරක් නැතිව තනියෙන් බලාගන්න පුළුවන් තැනක මං ඉන්න එක ගැන. ඉස්සර ඩුබායි ඉද්දි රෑට වැඩ කරලා ගෙදර ආවම සමහර දවස්වලට මං අඬනවා එළි වෙනකල්. ඒත් ඒ දුක පිටට පෙන්නන්නෙ නෑ. අම්මා තාත්තටවත් මගේ දුක පෙන්නන කෙනෙක් නෙවෙයි මං. ජීවිතේ අන්තිම බිංදුවට වැටෙන හැම වෙලාවකම මං හිතුවේ මගේ දරුවො දෙන්නා ගැන. එයාලා ගැන හිතලා මං වැටෙන වැටෙන හැම වෙලාවකම ආයෙත් නැගිට්ටා.”
දුක දිනා හිනහුණු හැටි සසිකා කියන්නේ ඒ විදිහටයි.

ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් දැනුම, භාෂාව හැසිරවීමේ හැකියාව වගේම ගනුදෙනුකරුවන් සමඟ සුහදව කටයුතු කිරීම නිසාම සසිකාගේ ට්‍රැවල් ඒජන්සියට ගනුදෙනුකරුවන්ගෙන් අඩුවක් තිබුණේ ම නෑ. ඇයට ඉන්න රට රටවල යහළු යෙහෙළියන් සහ විදෙස් සබඳතා නිසා මේ ට්‍රැවල් ඒජන්සිය පවත්වාගෙන යෑම ගොඩක් පහසුයි කියලයි සසිකා නම් කියන්නෙ. ඉතින් විදෙස් රටක හිතේ හැටියට සංචාරය කරන්න ඔයාලත් කැමැත්තෙන් ඉන්නවා නම්, කැලණිය බුළුගහ හන්දියේ තියෙන සසිකාගේ ට්‍රැවල් ඒජන්සියට ආවොත් ඒ හැමදෙයක්ම හරිම පිළිවෙළට, සාධාරණ මුදලකට සූදානම් කරලා දෙන්න ඇය සැදීපැහැදී ඉන්නවා. විදෙස් සංචාරයට ප්‍රවේශපතක් සූදානම් කරගන්න විතරක් නෙවෙයි සංචාරක වීසා සූදානම් කරගන්නත් මේ ඒජන්සියෙන් ඔබට පුළුවන්.

VacationPlanner.lk

ලිපිනය - නො. 593/2B, නුවර පාර, බුළුගහ හන්දිය, කැලණිය
දුරකථන -   070-3679142  /  0 112-914622
ඊමේල් - [email protected]
වෙබ් - www.vacationplanner.lk
ෆේස්බුක් - Vacation Planner

 

 

අදහස්