හිස, කඳ දෙපා වෙන්කර මරා දැමූ කාන්තාව කවුද? | සිළුමිණ

හිස, කඳ දෙපා වෙන්කර මරා දැමූ කාන්තාව කවුද?

  • හිස බොල්ගොඩින්
  • පෙනුම විදේශික කාන්තවක් වගේ
  • කඳ සෙවණගලින්

රටපුරා විවිධාකාර මිනිස් ඝාතන සිදු වුවද හිස, කඳ, අත-පය වෙන් කරමින් තැන තැන දමා යන ම්ලේච්ඡ ඝාතන සංස්කෘතිය මේ රටට අමුතුය. එවන් අමානුෂික ඝාතන රැල්ලක් මේ වනවිට රට තුළ නිර්මාණය වෙමින් තිබේ.

හිස එක් තැනෙකත් කඳ තවත් තැනෙකත් ලෙස සිරුරු කොටස් තැනින් තැන හමුවූ ම්ලේච්ඡ මිනිස් ඝාතනයක් පසුගියදා සිදුවී තිබිණි.

ඝාතනය කළ කාන්තාවකගේ යැයි සැක කෙරෙන හිස කොටසක් පසුගිය හතර වැනිදා උදෑසන 7.15ට පමණ බණ්ඩාරගම පොලිස් වසමේ පාණදුර - රත්නපුර ප්‍රධාන මාර්ගයේ බොල්ගොඩ පාලම අසල අතුරු මාර්ගයක තිබියදී හමුවුණේය.

උක්ත අතුරු මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවක විසින් එම හිස කොටස දැක තිබිණි. ඇය වහාම ඒ ගැන 119 දුරකථන අංකයට අමතා දැනුම් දුන්නාය. මිනීමැරුමේ තොරතුරු බණ්ඩාරගම පොලිස් ස්ථානයට වාර්තා වන්නේ එලෙසය. අනතුරුව පොලිස් පරීක්ෂණ ඇරැඹිණි.

පාණදුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි විජේසේන සහ සහකාර පොලිස් අධිකාරි සුසිල් විජේගුණවර්ධනගේ උපදෙස් මත බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපති කේ. ඩබ්ලිව්. වික්‍රමරත්න ඇතුළු පිරිසක් පරීක්ෂණවලට මුල පිරීය. ඒ අතරේ පාණදුර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක අසංක රාජකරුණාගේ ප්‍රධානත්වයෙන්ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කෙරිණි.

හිස කොටසින් දිස්වූයේ විදේශික කාන්තාවකගේ හැඩරුවය. එහෙත් නිශ්චිත ලෙස හඳුනාගන්නාතුරු ඒ ගැන යමක් පැවැසීමට පොලිසිය මැලි විය. පරීක්ෂණ පවත්වන පාණදුර නීතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපතිවරයා පවසා සිටියේ මෙවැනි හැඩරුව සහිත කාන්තාවන් මේ රටේද ජීවත් වන බවය.

හිස කොටස හමුවූ දින හෝ ඊට දින දෙකකට පෙරදී එය මෙතැනට ගෙනැවිත් දමන්නට ඇතැයි විශ්වාස කෙරිණි. හිස කඳින් වෙන්කර තිබුණේ මොට ආයුධයකින් පහර දීමෙනි. එහෙත් අවට ලේ බිඳුවක් හෝ දක්නට නොලැබිණි.එම ස්ථානයේ ඝාතනයක් සිදුවූ බවට කිසිදු සාක්ෂියක් ද නොවීය.

එසේම හිස කොටසින් කිසිදු දුගඳක් වහනය නොවීමට යම් රසායනික ද්‍රව්‍යයක්ද ගල්වා තිබුණු බව තහවුරු විය. එය ඉක්මනින්ම සතුන්ගේ ගොදුරක් වී ඝාතනය සදාකල් අබිරහසක් ලෙස වැළලී යාමට සැලැස්වීම ඝාතකයන්ගේ අරමුණ වූ බව සැක කළ හැකි යැයි පරීක්ෂණ පවත්වන උසස් පොලිස් නිලධාරියෙක් කීවේය.

මේ අතරේ හිස කොටස හමුවී පැය කිහිපයකට පසුව එනම් එදිනම සවස 5.50ට පමණ බොල්ගොඩ රක්ෂිතයෙන් හමුවූ හිස කොටස සේම පැහැපත්, හිස සහ පාද ඉවත් කළ කවන්ධයක කොටසක් හමු වූයේ බණ්ඩාරගමට කිලෝමීටර් සිය ගණනක් දුරින් පිහිටි සෙවනගල පොලිස් වසමේ කිරිඉබ්බන් වැවේ පාවෙමින් තිබියදීය. කළු පැහැති අත් දිග බ්ලවුසයක් සහ යට ඇඳුමක් පමණක් වූ එම කඳ කොටස ගැන සෙවනගල පොලීසියට සැල වූයේද 119 හදිසි ඇමැතුම් අංකය මඟිනි.

පසුව මොනරාගල කොට්ඨාස බාර පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල සහ සහකාර පොලිස් අධිකාරි ඩී. යූ. පී. අමරතුංග මහත්වරුන්ගේ උපදෙස් මත සෙවනගල පොලිස් ස්ථානාධිපති යූ. එන්. අමරසිරි ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කළේය.

කිසිදු ලෙසකින් අනන්‍යතාව තහවුරු කරගැනීමට හැකියාවක් නොමැති එම කඳ, බොල්ගොඩ රක්ෂිතයෙන් හමුවූ හිස කොටසට බොහෝ සෙයින්ම සමානය. කඳ කොටස හමුවූ අවටින්ද මිනිස් ඝාතනයක කිසිදු සේයාවක් දක්නට නොමැති බව පොලිස් අධිකාරිවරයා කීවේය.

මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන නිලධාරින් උත්සුක වනුයේ මුලින්ම කඳ සහ හිස එක් මිනිස් සිරුරක කොටස්ද යන්න හඳුනා ගැනීමටය. බැලු බැල්මට සියයට සියයක්ම එක හා සමානතාවක් හිස සහ කඳ කොටසින් දිස්වූවත් එය විද්‍යාත්මකව සනාථ කිරීම ඉදිරි පරීක්ෂණවලට අත්‍යවශ්‍යම කරුණක් බව පොලීසිය කියයි.

ඒ අනුව පසුගිය බදාදා ඇඹිලිපිටිය රෝහල් මෘත ශරීරාගාරයේ අධිශීතකරණයේ තිබෙන කඳ කොටසේ සාම්පල් කොටස් සහ පාණදුර රෝහල් මෘත ශරීරාගාරයේ තිබෙන හිස ‍කොටසේ සාම්පල් ඩීඑන්ඒ පරීක්ෂාවක් සඳහා පසුගිය අටවැනිදා බොරැල්ල ජින්ටෙක් ආයතනයට බාර දී තිබේ.

එම පරීක්ෂණ වාර්තා අනුව නුදුරේදීම සිරුරු කොටස් එක් පුද්ගලයෙකුගේද යන්න හඳුනාගත හැකි වනු ඇත. ඒ අනුව සිරුරු කොටස් සමාන වුවහොත් එලෙස ඝාතනයට ලක්වූ තැනැත්තිය කාගේ කවුදැයි යන්න සොයා ගැනීම පරීක්ෂණ නිලධාරීන්ගේ ඊළඟ ඉලක්කය ය.

අනතුරුව ඝාතනයේ සුල-මුල සොයා ගොස් එම කාන්තාව අමානුෂික ලෙස ඝාතනය කළ සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන නිලධාරීන් ඉදිරියේ තිබෙන ලොකුම අභියෝගය ය.

Comments