මාධ්‍යවේදියකු හමුවේ ඉවසීම නැති කරගත් ජනාධිපති ට්‍රම්ප් | සිළුමිණ

මාධ්‍යවේදියකු හමුවේ ඉවසීම නැති කරගත් ජනාධිපති ට්‍රම්ප්

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා මුළු ලෝකයම ඉදිරියේ මාධ්‍යවේදියකු සමඟ බහින්බස් වෙමින් තමන්ගේ ඉවසීම කොතරම් පටුදැයි පෙන්වා දුන්නේය. පසුගිය බදාදා දිනයේදී සුපුරුදු ධවල මන්දිර මාධ්‍ය හමුව පැවති අතර මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට ජනාධිපති ට්‍රම්ප් පැමිණියේය. මද වේලාවකින් CNN සේවයේ ධවල මන්දිර වාර්තාකරු ජිම් කොස්ටා නැඟී සිටිමින් තමන්ගේ ප්‍රශ්නය ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබා ගත්තේය. ඔහු ප්‍රථමයෙන් නැඟූ ප්‍රශ්නයට ජනාධිපතිවරයා පිළිතුරු ලබා දුන් අතර කොස්ටා තවත් අතුරු ප්‍රශ්න කිහිපයක්ද ජනාධිපතිවරයා වෙත යොමු කර සිටියේ ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමිනි. එහිදී ප්‍රථමයෙන්ම කිසියම් නුරුස්නා බවක් පෙන්නුම් කළ ට්‍රම්ප් ඕනෑවට එපාවට මෙන් යම් යම් වදන් මුමුණමින් කිසියම් පිළිතුරක් ගැටගසාගැනීමට උත්සාහ දරණ බවක්ද පෙනී ගියේය.

ජිම් කොස්ටා ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ මධ්‍යම අමෙරිකාවේ සිට එක්සත් ජනපදයට සංක්‍රමණය වන පුද්ගලයන් සම්බන්ධයෙනි. එහිදී ජනාධිපතිවරයා පැහැදිලිව පවසා සිටියේ තමන් ඔවුන් ‘නළුවන් ‘ ලෙස හඳුනා ගන්නා බවයි. එහිදී ජිම් කොස්ටා පුදුමයට පත් වූ බවක් පෙන්වමින් යළිත් ‘මේ ජනතාව නළුවන් ලෙස හඳුන්වනවාදැයි‘ ඇසුවේය. එහිදී ට්‍රම්ප් ජනාධිපතිවරයා පැහැදිලිව කියා සිටියේ ‘තමන් මේ සංක්‍රමණිකයන් හොලිවුඩ් නළුවන්ට සමාන කරන‘ බවයි. මධ්‍යම අමෙරිකාවේ සිට කැරවෑන් මගින් ජනතාව සංක්‍රමණය වීම සම්බන්ධව ජනාධිපතිවරයාගේ අදහස් විමසූ විට ඔහු පවසා සිටියේ මේ කැරවෑන් සංක්‍රමණය තමා ‘ආක්‍රමණයක්‘ ලෙස දකින බවයි. මෙහිදී මාධ්‍යවේදී කොස්ටා යළි යළිත් ජනාධිපතිවරයා විමසමින් මේ ‘ආක්‍රමණ‘ කථාව තහවුරු කර ගැනීමට උත්සාහ දැරුවේය. එසේ කරමින් කොස්ටා පවසා සිටියේ කැරවෑන් මගින් ජනතාව සංක්‍රමණය වීම ආක්‍රමණයක් නොවන බවයි. එවිට ට්‍රම්ප් ජනාධිපතිවරයා ‘බොහොම ස්තූතියි මට ඒ බව කිව්වාට. මම ඒක අගය කරනවා යැයි ‘ උපහාසාත්මක ලෙස පවසා සිටියේය.

අනතුරුව ජිම් කොස්ටා යළිත් වෙනත් ප්‍රශ්නයක් මතු කරමින් ‘රුසියානු ගවේශන සම්බන්ධව ඔබ සැලකිල්ලක් දක්වනවාද... ඔබ...‘ යනාදී වශයෙන් ප්‍රශ්නය ඉදිරිපත් කරමින් සිටියදී ජනාධිපති ට්‍රම්ප් ප්‍රශ්නය අවසන් කිරීමට හෝ අවස්ථාව නොදෙමින් උස් හඬින් පවසන්නේ ‘මම රුසියානු ගවේශන සම්බන්ධව කිසි දෙයක් සැලකිල්ලට ගන්නේ නැහැ. මොකද ඒක වංචාවක්‘ යනුවෙනි. එවිට යළිත් වරක් මාධ්‍යවේදී ජිම් කොස්ටා තවත් ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට උත්සාහ දැරීමේදී ‘දැන් ඇති‘ යනුවෙන් දැඩි උච්ඡ ස්වරයෙන් පැවසීමට ට්‍රම්ප් ජනාධිපතිවරයා කටයුතු කළේය. එහෙත් කොස්ටා යළිත් ප්‍රශ්න ඇසීමට උත්සාහ දැරූ අතර ජනාධිපති ට්‍රම්ප් මයික්‍රෆෝන සහිත ඇමතුම් ස්ථානයේ සිට මඳක් ඉවත ඇවිද යමින් සන්සුන් වීමට උත්සාහ දරන බවක් පෙන්නුම් කළේය. ඒ අතර කොස්ටා යළිත් ප්‍රශ්න ඇසීමට සැරසුණු අතර ජනාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වෙමින් ‘ඔබ අශිෂ්ඨ, භයානක මිනිසෙක්. ජනතාව ගේ සතුරෙක්. ඔබගේ සේවය ලබා ගැනීම සම්බන්ධයෙන් CNN ආයතනය ලැජ්ජා විය යුතු‘ යැයි පවසා සිටියේය.ඔහු මේ බව පවසා සිටියේ දබරැඟිල්ල ලෙළවමිනි.

මේ අවස්ථාවේදී ජිම් කොස්ටාගේ සහායට පැමිණි NBC මාධ්‍යවේදී පීටර් ඇලෙක්සැන්ඩර් ඔහු ‘උද්යෝගීමත් වාර්තාකරුවකු‘ බව පවසා සිටියේය. එහිදී ජනාධිපතිවරයා ඔහුට පිළිතුරු දෙමින් ඔහු වෙතට හැරී ‘ඒ වගේම මමත් ඔබගේ රසිකයෙක් නෙමෙයි. ඔබ හොඳම කෙනා නොවෙයි‘ යනුවෙන් පවසා සිටියේය.

මේ අතර කොස්ටාගෙන් මයික්‍රෆෝනය ලබා ගැනීමට ධවල මන්දිර මාධ්‍ය ලේකම් සාරා සැන්ඩර්ස් උත්සාහ දැරූ අතර එහිදී ජිම් කොස්ටා ඇයගේ අත ඉවතට තල්ලු කරනු දක්නට ලැබිණි.

මාධ්‍ය හමුව අවසන් වූ පසු දැනගන්නට ලැබුණේ ජිම් කොස්ටාගේ ධවල මන්දිර වාර්තාකරු ලෙස සේවය කිරීමේ අවසරපත්‍රය අහෝසි කර ඇති බවයි. මේ ප්‍රවෘත්තිය වාර්තා වීමත් සමඟම විශාල වශයෙන් එයට විවේචන එල්ල වන්නට විය. එහිදී සාරා සැන්ඩර්ස් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ජිම් කොස්ටාගේ ධවල මන්දිර වාර්තා කිරීමේ අවස්ථාව අහිමි කරන ලද්දේ කාන්තාවකගේ අතින් අල්ලා තල්ලු කිරීම හේතුවෙන් බවයි.

මේ සම්බන්ධයෙන් ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමය ප්‍රබල විරෝධයක් එල්ල කළ අතර ට්‍රම්ප් ජනාධිපතිවරයාට ද චෝදනාවලින් ගැළවීමක් ලැබුණේ නැත.

කෙසේ වුවද මේ ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍යවේදීන් සමග ගැටුම් ඇති කර ගත් එකම අවස්ථාව නම් නොවන බව සිහිපත් කළ යුතුය. 2015 වසරේදී ජනාධිපති අපේක්ෂකත්වයට පත්වූ අවස්ථාවේ සිට ඔහු විවිධ අවස්ථාවන්හිදී මාධ්‍යවේදීන් සමග ගැටුණේය. තමන් සතුව පවතින්නේ රාජ්‍ය නායකයකුට නොව ව්‍යාපාරිකයකුටවත් නොගැළපෙන තරමේ ඉතා සුළු ඉවසීමක් පමණක් බව ඔහු විවිධ අවස්ථාවලදී ලොවට පෙන්වා සිටියේය.

Comments