සඳසීලී ප්‍රනාන්දු රංගන ශිල්පිනියට ප්‍රණාම අභිෂේක සම්මාන | සිළුමිණ

සඳසීලී ප්‍රනාන්දු රංගන ශිල්පිනියට ප්‍රණාම අභිෂේක සම්මාන

මහරගම ප්‍රාදේශීය සභා සංස්කෘතික බල මණ්ඩලය, මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නිවුණු හැදුණු පිරුණු සොඳුරු මිනිසුන් පිරි දේශයක් උදෙසා බිහිකරන සාහිත්‍ය හා කලාව වෙනුවෙන් වසරක් පාසා සංවිධානය කරන සාහිත්‍ය කලා මහෝත්සවයේදී ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍ර යේ උන්නතිය උදෙසා රංගන ක්ෂේත්‍රය වෙනුවෙන් ඒ. සඳසීලී ප්‍රනාන්දු කලා ශිල්පිනිය ප්‍රණාම අභිෂේක සම්මානයෙන් පිදුම් ලැබීය. හිටපු සංස්කෘතික කටයුතු ඇමැති මෙන්ම වත්මන් උසස් අධ්‍යාපන ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අතින් එහිදී විශිෂ්ට කලාකරුවන් 5 දෙනකුට මෙම ප්‍රණාම අභිෂේක සම්මාන පිරිනැමිණි.

ඇය මහජන බැංකුවේ විශ්‍රාමික කලාකරු එකමුතුවේ කාරක සභා සාමාජිකාවක මෙන්ම උප භාණ්ඩාගාරික ලෙස කටයුතු කරන අතර සිද්ධාලේප ඇතුළු වෙළෙඳ දැන්වීම් ගණනාවක චරිත නිරූපණය කර ඇත. ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ ‘සූරිය කුසුම‘ ,සමනලී, ඉරේෂ් ලොකුබණ්ඩාරගේ තඹ පාට හැන්දෑව සහ දයාරත්න රටගෙදරගේ සිත නිවන කතා යන ටෙලි නාට්‍යවල රංගනයෙන් දායකවී ඇති සඳසීලී රංගනයෙන් දායක වූ දයාරත්න රටගෙදරගේ ‘කැලෑ හඳ‘ සහ අජිත් ලොකුගේ නිර්මාණය කළ ‘නාඩගම් සභා‘ යන ටෙලි නිර්මාණ මෙන්ම සමරසිරි දඩල්ලගේ අධ්‍යක්ෂණය කළ ‘භවයෙන් භවය‘ චිත්‍රපටය ඉදිරියේදී තිරගත වීමට නියමිතය.


එඩ්වඩ් ජයකොඩිගේ මාරම්බරී 18 දා කොළඹ බිෂොප්ස් රඟහලට

සිංහල සුභාවිත ගීතයේ ස්වර්ණ වර්ණය විශාරද එඩ්වඩ් ජයකොඩිගේ මාරම්බරී ඒකපුද්ගල ගී ප්‍රසංගය ලබන ඉරිදා (18) සවස 6.30 ට කොළඹ බිෂොප්ස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

නුගේගොඩ ව්‍යාපාරික හා වෘත්තිකයන්ගේ එකමුතුව මෙම මාරම්බරී ප්‍රසංගය සංවිධානය කරයි. විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස් සහ ශාරන්‍යා ජයකොඩි යුග ගායනයෙන් දායක වෙති. එඩ්වඩ් - චරිතා ආදරණිය පුතු චන්දිප ජයකොඩි ඉදිරිපත් කරන විශේෂාංගයක්ද මෙම ප්‍රසංගයට ඇතුළත් වේ.

මෙහි නර්තන වින්‍යාස චන්දන වික්‍රමසිංහගෙනි. මාරම්බරී ප්‍රසංගය සංගීත අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ප්‍රවීණ සංගීතවේදී සුසිල් අමරසිංහ විසිනි. ප්‍රසංග ඇමතුම ප්‍රවීණ නිවේදක වසන්ත රෝහණ ගෙනි.


අසිරිමත් පොහොය දිනය කෘතිය පිළිගැන්වූ මොහොත

ලේඛක සුසන්ත ජයමාන්න රචනා කළ ‘අසිරිමත් පොහොය දිනය‘ බෞද්ධ ග්‍රන්ථයේ මුල් පිටපත ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරාධිපති කැලණිය විශ්ව විද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයනාංශයේ අධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් වෙත පිළිගැන්වූ අවස්ථාවයි මේ.

මීට පෙර සුසන්ත ජයමාන්න අසිරිමත් කැලණිය, අසිරිමත් ආගමන, මිනිස් දිවිය බුදු ඇසින්, අසිරිමත් කැලණි සිතුවම්, අසිරිමත් කැලණි වරුණ යන කෘති රචනා කර තිබේ.

අදහස්