මහ සුපින නූතන කලාවේත් සාම්ප්‍රදායික කලාවේත් සම්මිශ්‍රණයක් | සිළුමිණ

මහ සුපින නූතන කලාවේත් සාම්ප්‍රදායික කලාවේත් සම්මිශ්‍රණයක්

පර්යේෂණාත්මක කලා කෘතී හි නියැළීම ඔහුට ආවේණික වූ ලක්ෂණයකි. හෙළ පැරැණි සංස්කෘතියත්, බෞද්ධ සංස්කෘතියත්, ජාතක කතාවත්, කලාවත් සුසංයෝගීව තම නිර්මාණ සඳහා උකහාගන්නා මේ කෘතහස්ත කලාකරුවා වේදිකා නාට්‍ය හා රූපවාහිනී නාට්‍ය නිර්මාණකරණය හරහා සුවහසක් ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගැනීමට සමත් වූවෙකි. ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ මහාචාර්ය ආරියරත්න ඇතුගලය. ඔහු ගේ නවතම නිර්මාණය වන මහ සුපින වේදිකා නාට්‍යය ලබන සිකුරාදා (නොවැම්බර් 16 වැනිදා) සවස 6.00 ට නෙළුම් පොකුණ රඟහලේ වේදිකා ගත වීමට නියමිතය. ඒ පිළිබඳ නව තතු ඔබ හා තබන්නටයි මේ සූදානම.

ඔබ ගේ මෙවර පෙරළිය ගැන සඳහනක් කළොත්?

මෙයත් වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය තුළ එක්තරා නිර්මාණාත්මක පෙරළියක‍. ඒ පෙරැළිය මා නම් කර තිබෙන්නේ 'මහ සුපින' නමින්.

මහ සුපින...?

ඔව්! මහ සුපින කියන්නෙ මහ සිහින කියන අර්ථයයි. බෞද්ධ සාහිත්‍යයේ ජාතක කතා වස්තුවක් පදනම් කරගෙනයි මෙය නිර්මාණය කළේ...

මේ නිර්මාණය හරහා ඔබ අපේක්ෂා කරන්නේ කුමක්ද?

කැලණිය විශ්වවිද්‍යාලයේ නිර්මාණාත්මක හා පර්යේෂණාත්මක ව්‍යාපෘතියක් ලෙසයි 'මහ සුපින' වේදිකා නාට්‍යය එළි දැක්වෙන්නේ. මෙහි විශේෂත්වය අන්තර් සංස්කෘතික බැඳීම තිබීමයි. විශ්වවිද්‍යාල දරුවන්, ජාතික මට්ටමේ කලාකරුවන් හා විශ්වවිද්‍යාල නාට්‍ය අංශයේ ආචාර්යවරු එක්වී එකම වේදිකාවක නිර්මාණයකට දායකවීම තවත් විශේෂත්වයක්.

එවැනි සුසංයෝගයකින් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද?

කලාකරුවන් විදියට අපි හු‍ෙදකලා වූ බවක් පේනවා. රටයි කලාකරුවායි අතර ගනු දෙනුවක් පවතින්නෙ නැහැ. මේ පුංචි රටෙත් කල්ලි හැදිලා, එසේ වෙන්වෙලා කලාව පිළිබඳ නොයෙකුත් නිර්වචන දෙනවා. ඒ නිසා මට හිතුණා කලාව පිළිබඳ මත පළකරනවාට වඩා කලාකරුවන් අතර අවබෝධය හා සහයෝගය ගොඩනැ‍ඟෙන කලා කෘතියකින් ආදර්ශය සැපයීම වඩා වැදගත් කියලා. ඒ හැරුණාම 'මහ සුපින' වේදිකා නාට්‍ය තුළ යම් පර්යේෂණ කීපයකුත් සිදු වෙනවා. එවැනි දේවල් ලංකාවේ මීට පෙර සිදු නොවූ නිසා ආගන්තුක බවකුත් දැනේවි.

'ජාතක කතාවක්' පදනම් කොට ගනිමින් නිර්මාණකරණයේ යෙදීමට අදහස් කළේ ඇයි?

ජාතක කතාව කියන්නේ බෞද්ධ ජනතාව මහත් භක්තියෙන් හා ගෞරවයෙන් පිළිගන්නා දෙයක්. ලෝකයේ වුණත් විශාල මානව ධර්මතාවක් තිබෙන සංයුක්තයක්. නූතන කලාවයි සාම්ප්‍රදායික කලාවයි සම්මිශ්‍රණයක් ගෙන හොඳ නිර්මාණයක් බිහි කිරීමේ අවශ්‍යතාව මට කලක පටන් තිබුණා. ඒකෙ ප්‍රතිඵලයක් ලෙසයි 'මහ සුපින' නාට්‍ය බිහිවෙන්නෙ. අපේ ජීවිත කාලය ඉතාම කෙටි වුවත් දීර්ඝ කාලයක් තිස්සේ ඔප මට්ටම් වෙලා පැමිණි පැරැණි නිර්මාණවල හොඳ ආභාසයක් තිබෙනවා. ඉන් ප්‍රයෝජනයක් ගන්න අපේ නිර්මාණකරුවන් උනන්දු වෙන්නෙ නැහැ. ඒ අතපසු වූ කාර්ය ශේක්ස්පියර්, සරච්චන්ද්‍රයන්, බ්‍රෙක්ට් වැනි කෘතහස්ත කලාකරුවන් ඉටු කළා. ඒ නිසා ඔවුන්ට වෙනස් වූ නිර්මාණ බිහිකරන්න හැකියාව ලැබුණා. අපේ රටේ මහාචාර්ය සරච්චන්ද්‍ර නතර කළ තැනින් මට පටන් ගන්න අවශ්‍ය වුණා.'

සාම්ප්‍රදායික ඥානය නූතනය සමඟ ගළපාගත්තේ කෙසේද?

මේ නිර්මාණයේ තිබෙන වැදගත්ම කාරණය එයයි. නූතන සමාජයේ එන මත හා මූලධර්ම එකට භාවිත කර සාම්ප්‍රදායික ගැමි නාට්‍ය කලාවේ එන චරිත මිශ්‍ර කරමින් සිදු කළ අලුත් ආරයේ පර්යේෂණාත්මක අත්දැකීමක් 'මහ සුපින' තුළින් බලාගන්න පුළුවන්.

අපට ස්වතන්ත්‍ර නිර්මාණ කලාව ඉදිරිපත් කිරීමේදී එතරම් බලසම්පන්න ආභාසයක් නැහැ. හුඟක් තිබෙන්නෙ පරිවර්තන කෘති. ඒත් අපි දන්නවා සුගතපාල, සරච්චන්ද්‍ර, නවගත්තේගම වැනි නිර්මාණ ශිල්පීන් ඓතිහාසික හා ජනප්‍රවාද ඇසුරෙන් බොහෝ නිර්මාණ කළා. එවැනි අතීත ආභාස යළි පෙරළා ගන්න ඕන නම් මේ වගේ කෘති සමඟ ගනුදෙනු කරන්න වෙනවා.

'මහ සුපින' වේදිකාගත කරන්න ජීවය දෙන පිරිස ගැන කතා කළොත්?

බුද්ධදාස විතානාරච්චි, සාරංග දිසාසේකර, මාධනී මල්වත්ත, නිස්සංක දිද්දෙණිය, අකිල ධනුද්දර, සුලෝචනා, ජනක රණසිංහ වැනි අ‍පේ රටේ ප්‍රතිභාපූර්ණ කලාකරුවන් හා කලාකාරියන් පිරිස ඇතුළුව කැලණි විශ්වවිද්‍යාලයේ සිසු දරු දැරියන් විසිපහකට අධික ප්‍රමාණයක් 'මහ සුපින' සඳහා රංගනයෙන් දායක වෙනවා. තරුපති මුණසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන්ද, රවිබන්දු විද්‍යාපති රංග වින්‍යාසයෙන් ද ජය ශාන්ත වේදිකා නිර්මාණයෙන් ද දායකත්වය ලබා දෙනවා. ලොව තිබෙන නවීන නාට්‍ය මූලධර්ම සමඟ අපේ පැරැණි සංස්කෘතික හා සාහිත්‍ය මූලධර්මද මෙතෙක් භාවිත නොකළ ක්‍රමවේද ද යොදා ගනිමින් මේ නාට්‍යය නිර්මාණය වෙනවා.

වත්මන් නාට්‍යකරණය පිළිබඳ ඔබේ මතය?

පවතින රටාව ගැන නිර්වචනය කිරීමට වඩා යමක් කර පෙන්වීම හොඳයි. මම උත්සාහ ගන්නෙ විශ්වවිද්‍යාල මට්ටමින් හෝ මානව සම්බන්ධතාවක් ගොඩනඟන්නයි. එය සුළු වශයෙන් ආරම්භ වුණත් හොඳ ප්‍රවේශයක් වේවි.

'මහ සුපින' වේදිකා නිර්මාණය නැරඹීමට එන ප්‍රේක්ෂකයන් වෙත යමක් පැවසීමට තිබේද?

මේ නාට්‍යය නරඹා තීන්දුව ගැනීම ඔවුන් සතුයි. මානව ධර්ම අලුත් විදියට නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කිරීම පමණයි මා කරන්නේ'

අදහස්