බැඳීම් ඇති කරගත්තාම කරදර වැඩි නිසා තනිකඩව ඉන්නවා | සිළුමිණ

බැඳීම් ඇති කරගත්තාම කරදර වැඩි නිසා තනිකඩව ඉන්නවා

ෂෙහානි කහඳවල වර්තමානයේ නිතර ඇස ගැටෙන දක්ෂ, රුවැති රංගන ශිල්පිනියක්. ඇසිඩ්, සඳපිනි වැස්ස, වර්ණ ටෙලි නාට්‍ය ඔස්සේ සිය රංගන හැකියාව පෙන්වු ඇය රංගනයට අමතරව ගායනය, නර්තනය, නිවේදනය යන අංශ ගණනාවකටම දස්කම් දක්වනවා. 'පැකේජ්'ටෙලි නාට්‍යයෙන් මේ දිනවල අපේ නිවෙසට ගොඩ වදින මේ හුරුබුහුටි රංගන ශිල්පිනිය මෙවර රසඳුන තුන්වැනි පිටුව හැඩ කරන්නට එක්වූවා.

ෂෙහානි කතා කරන්න බැරි තරමටම කාර්යබහුල වෙලා..

මේ දිනවල ටිකක් කාර්යබහුලයි.

නිර්මාණ ගොඩකට දායකවෙලා ඇති..

එහෙමමත් නෑ. මම එකවර නිර්මාණ ගොඩක් බාර ගන්නේ නෑ. 'නේබරයා 'සහ 'පැකේජ්' ටෙලි නාට්‍ය දෙක රූගත කළා. පැකේජ් ටෙලි නාට්‍යය මේ දිනවල ස්වර්ණවාහිනියෙ විකාශය වෙනවා. ඒකට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. තවත් අලුත් ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබුණා. තවම එහි වැඩ ආරම්භ කෙළේ නෑ.

තවත් වැඩක නියැළෙනවා කියා ආරංචියි..

ඔව්. සුවඳ විලවුන් ආයතනයක සන්නාම නියෝජිතවරියක ලෙස වැඩකරනවා. පසුගිය කාලයේ දවස් හතරක වැඩමුළුවකට ලන්ඩන් ගියා. එහිදී කොහොමද සුවඳ විලවුන් වර්ග සාදා ගන්නෙ කියා දැනුවත් වුණා. ඇත්තටම එම අවස්ථාව මගේ ජීවිතේට ලැබුණු මහඟු අවස්ථාවක්. වසරක කාලයක් එම නිෂ්පාදනයේ අලෙවිය ප්‍රවර්ධනය කරන වැඩවලට මට සහභාගි වෙන්න සිදුවනවා.

නිවේදන කලාවට සමුදෙන්නද යන්නේ?

අපෝ නෑ. නිවේදනයට කැමැතියි. මම කලාවට එන්නේ දෙරණ නාළිකාවේ වැඩසටහනක් ඉදිරිපත් කරන නිවේදිකාවක් ලෙසින්. ඒ 2013 වසරේදී. ඉන් පසුව මියුසික් වීඩියෝවකට පෙනී සිටියා. ඉන් පසුව තමයි රඟ පාන්න ආරාධනා ලැබුණේ. පසුගිය කාලයේ හිරු නාළිකාවේ 'හිරු සුපර් හීරෝ' වැඩසටහන නිවේදනය කළා. නැවතත් ආරාධනා ලැබුණොත් භාර ගන්නවා.

ෂෙහානි වඩාත් කැමැති රංගනයටද? ගායනයටද? නිවේදනයටද?

රංගනයට. රංගන ශිල්පිනියක වීමෙන් බොහෝ පිරිසකගේ ආදරයට ලක්වුණා. අපේ රටේ කොහේ ගියත් අපිව හඳුනනවා. ළඟට ඇවිත් කතා කරනවා. ඒ වෙලාවට සතුටුයි. රංගනය කියන්නේ හැම කෙනා අතරටම යන්න ලැබෙන පහසුම මාධ්‍යය.

ෂෙහානිට ලැබෙන චරිත ඒකාකාරියි කියා සිතෙන්නේ නැද්ද?

එයට හේතුව මගේ පෙනුම වෙන්න ඇති. ගොඩක් වෙලාවට ලැබෙන්නෙ හුරු බුහුටි චරිත. මම කැමැතියි හුරුබුහුටි චරිතවලින් මිදිල වගකීම් වැඩි චරිත රඟ පාන්න. ඉදිරියේදි හෝ එවැනි නිර්මාණ ලැබුණොත් හොඳයි.

ඔබ ගායනයටත් දක්ෂයි..

ටිකක් විතර. තව සංගීතය ගැන හදාරන්න ඕනෑ. පාසල් කාලයේදී විෂයක් ලෙස උසස් පෙළ දක්වා සංගීතය හැදෑරුවා. සංගීතය ඉගෙන ගන්න කියලා කිව්වේ අම්මා. මගේ ආච්චි ගීත ගායනයට දක්ෂයි. ඒ වගේම මගේ තාත්තගේ පවුලෙ හය දෙනාටම හොඳටම චිත්‍ර අඳින්න පුළුවන්. ඒ අයගේ විවිධ දක්ෂතා තමයි මට පිහිටලා තිබෙන්නෙ.

මියුසික් වීඩියෝවල දකින්න නැත්තේ ඇයි?

මම රංගනයට එන්නේ මියුසික් වීඩියෝවකින්. ඒත් දැන් අවුරුදු දෙකහමාරකින් මියුසික් වීඩියෝවකට සම්බන්ධ වූයේ නෑ. කාර්යබහුලත්වයත් සමග එම කලාවෙන් දුරස් වුණා.

ෂෙහානි චරිත තෝරා බේරාගෙන රඟපානවා කියන්නෙ ඇත්තද?

ඇත්තම කියනවනම් මම ටිකක් චරිත තෝරා බේරාගෙන තමයි රඟ පාන්නෙ. ඒ නිසා තමයි මේ වනතුරු ටෙලි නාට්‍ය දොළහක පමණක් රඟ පා තිබෙන්නෙ. මම හැමදාමත් හිතන්නෙ එකවර නිර්මාණ කිහිපයක් භාරගත්තොත් මට එක චරිතයක්වත් හරියට කරන්න ලැබෙන්නෙ නෑ කියල. එය මුදල් පැත්තෙන් හොඳ වුණාට චරිතෙට කරන අසාධාරණයක්. එක පාර නිර්මාණ කිහිපයක් බදාගෙන මොකටද නිකම් අමාරුවෙ වැටෙන්නෙ.

ඔය දේවල් කියල දෙන්නේ ආදරවන්තයාද?

තවම මට ආදර වන්තයෙක් නෑ. කවුරුත් පිළිගන්නෙ නෑ මම එහෙම කිව්වම. ආදරය ඉල්ලගෙන එන කට්ටිය ගොඩයි. ඒත් තව ටික කාලයක් තනිකඩව ඉන්නවා. බැඳීම් ඇතිකරගත්තම කරදරයිනේ.

කවුරුද කලා කටයුතුවලට සහාය දෙන්නේ?

මගේ පවුලෙ ඉන්නෙ මමයි, අම්මා, තාත්තා. අම්මයි, තාත්තයි තමයි සියලුදේට සහයෝගය දෙන්නේ.

මොනවද අනාගත බලාපොරොත්තු?

කලාව තුළ හොඳ නමක් තියාගෙන ඉදිරියට යන එක වගේම ප්‍රේක්ෂකයන්ට මතකයේ රැඳෙන නිර්මාණ කරන එක.

Comments