පාසල් යාළුවන් මට කිව්වේ 'පුංචි ජෝති' කියලා | සිළුමිණ

පාසල් යාළුවන් මට කිව්වේ 'පුංචි ජෝති' කියලා

රංගන ශිල්පී සුගත් ගායකයකු ලෙස කල එළි බසී

'ඔබ මගේ වෙලා'
රිදුණු නෙත්සර අවදිකෙරුවා
හස කැලුම් පාලා..
ආදරේ සිත දෝරෙ ගැලුවා
නෙතු දැහැන් බිඳලා..
රස රහස් මුව අගින් කොඳුරා
පපු තුරා රැඳිලා..
දිවිය ඇතිතෙක් එක්ව ඉන්නම්
පෙම් පැතුම් පුරලා..
ඔබ මගේ වෙලා..
මම ඔබේ වෙලා.. අපි අපේ වෙලා..

විජිත ජයරත්නගේ සංගීතයට, සුගත් ජානක පද රචනය කර ගායනය කරන ලද මෙම ගීතය මේ දිනවල රූපවාහිනී නාළිකා කිහිපයක සහ YOU TUBE හි නිතර දෙවේලේ අසන්නට සහ දකින්නට ලැබෙන ගීතයක්. වත්මන් පරපුරේ තරුණ දක්ෂ රංගන ශිල්පියකු ලෙස කවුරුත් ප්‍රිය කරන සුගත් මෙතරම් කාලයක් රසිකයන් අතර කතාබහට ලක්වූයේ රංගන ශිල්පියකු ලෙසින් වුවත් ජානකගේ කුලුඳුල් ගීතය එළිදැක්වීමත් සමග ඔහු ගායකයකු ලෙස කතාබහට ලක්වුණා. ඒ ගැන බොහෝ දෙනෙක් තුළ ප්‍රශ්නයක් ඇතිවෙලා. ඒ ගැන කියන්නට රසඳුනට ගොඩවැදුණු ජානක අප සමග පැවැසූවේ මෙවැනි කතාවක්.

'මම කලාවට එන්නෙ රංගන ශිල්පියෙක් ලෙස නෙවෙයි ගායකයකු ලෙසයි. මගේ පාසල වන කඳාන හපුගොඩ සාන්ත මරියා විද්‍යාලයේ බොහෝ පිරිසක් මාව හැඳින්වූයේ පුංචි ජෝති කියලා. සුගත් කිව්වට කිසිවකු අඳුනන්නේ නෑ. එයට හේතුව කුඩා කාලයේ සිටම මම ජෝතිපාලයන්ගේ ගීත ගායනා කළ නිසයි. සමහර අය මම ජෝති වෙන්න හදනවා කියා විහිළු කළා. ඔය කාලයේදි තමයි පාසලේ 'වැසියෝ' කියල නාට්‍යයක් කරන්නෙ. එම නාට්‍යයට කළ රංගනයත් සමග කලාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. ඉන් පසුව රංගනයට යොමු වූ නිසා ගායනය පැත්ත මග හැරුණා.'

සුගත් රංගන ශිල්පියකු ලෙසින් මේ වන විට ටෙලි නාට්‍ය 90ක, චිත්‍රපට තිස් පහක පමණ විවිධ චරිත නිරූපණය කර තිබේ.

'මම රඟ පෑ 'ඝරසරප' චිත්‍රපටය මේ දිනවල තිරගත වෙනවා. එහි මම නිරූපණය කරන්නේ මුදලාලි කෙනකුගේ චරිතයක්. එම චරිතයට දැන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම හිරු නාළිකාවේ ‘උරුමයක අරගලය‘ ටෙලි නාට්‍යයේ සුදු නිලධාරියකුගේ චරිතයක් රඟපානවා. තිස්ස විජේකෝන්ගේ සඳගල පාමුල චිත්‍රපටයේ සුද්දා නැමති ප්‍රධාන චරිතයෙන් මාව ඉදිරියේදි දැකිය හැකියි. මම හැමදාමත් කලාවේ බොහොම හිමින් ගමනක් යන රංගන ශිල්පියෙක්. ඇතැම් නිර්මාණවල මට ලැබෙන්නේ බොහොම සුළු චරිත. එම චරිත මඟින් වුවත් ප්‍රේක්ෂකයාට මතක හිටින දැනෙන යමක් කරන්න උත්සාහ කරනවා'

මේ වන විට සුගත් රංගන ශිල්පියකු මෙන්ම ගායකයකු ලෙසත් රසිකයන් අතර ජනප්‍රිය තරුවකි. එනිසා දිවයිනේ විවිධ පළාත්වල ප්‍රසංග වේදිකාවලින් ලැබෙන ආරාධනා දිනෙන් දින වැඩිය.

'මගේ අලුත් ගීතය නිසා මේ වන විට ප්‍රසංග වේදිකාවට ආරාධනා ලැබෙනවා වැඩියි. සංගීතය පාසලේදි ඉගෙන ගත්තාට අමතරව වැඩිදුර හැදෑරුවේ නෑ. මම හිතන්නේ ගායන හැකියාව මට උපතින් ලැබුණු දෙයක් කියලයි. කුඩා කාලයේ සිටම තිබුණු හීනයක් තමයි කවදාහරි මගේ කියා ගීතයක් කරනවා කියන එක. රංගන ශිල්පියකු වූ පසුවත් එම සිතුවිල්ල මගේ සිතේ වරින් වර මතකයට නැගුණා. ඉතින් කොහොම හරි මම ම පදවැල් ලියූ 'ඔබ මගේ වෙලා ගීතය' කාලයක් යන තුරු මම ළඟ තබාගෙන සිටියා. කවදා හෝ ගීතයක් ලෙසින් ගායනා කරනවා කියන අරමුණෙන් තමයි සිටියේ. එම ගීතයෙන් කියැවෙන්නේ මුදල් පසුපස හඹා යන ආදරවන්තියකට අවසානයේ අත් වන ඉරණම පිළිබඳවයි. ගීතය ගැන අනුෂා දමයන්ති සමග කියූ විට අනූෂා එක්වරම කීවා සුගත් මම තමයි මේ ගීතයේ ඉන්නේ කියා. ඇය මා සමග විෂුවල් එකේ රඟපෑවා වගේම ගීතය එළිදක්වන තුරු මට විශාල සහයෝගයක් දුන්නා. ඒ වගේම සුජිත් නිශාන්ත (මයියා) කැමරාකරණයෙන් විශාල සහයෝගයක් දුන්නා. සුදත් විජේසේකර, වගීෂා, නිෂි, සෝමෙ අයියා, සහ සංස්කරණ කටයුතු කළ දර්ශන සහ ග්‍රේෂා මට සහයෝගය ලබා දුන්නා. මේ සියලු දෙනාටම ස්තූතියි. කාලයක් තිස්සේ හිතේ තිබූ ලොකු බලාපොරොත්තුවක් ඉටු වුණා. දැන් මම මගේ දෙවැනි ගීතයට සුදානම් වන ගමන් රංගනයේ නියැළෙනවා.'

වර්තමානයේ නවක රංගන ශිල්පීන්ට සුගත් කදිම ආදර්ශයකි. ලැබෙන පුංචි චරිතයකින් හෝ ප්‍රේක්ෂකයාට දැනෙන්න යමක් කිරීමට ඔහු හැම වෙලේම උත්සාහ ගනියි.

'අපේ රටේ රියැලිටි වැඩසටහන් හැම නාළිකාවකම ප්‍රචාරය වෙනවා. ඒ සියල්ලටම වාගේ එකම රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් කොටසක් තමයි සහභාගි වෙන්නේ. මම හිතනවා සියලුම රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් එවැනි වැඩසටහන්වලට සහභාගි කරගන්නවානම් හොඳයි කියා. ඉදිරියේදි රටේ අනෙක් ක්ෂේත්‍ර වගේම කලාවටත් හොඳ කලක් උදාවෙයි කියා සිතනවා. ඒ සුබවාදී සිතුවිල්ලත් සමග තමයි රටේ සියලුම ජනතාව මේ දවස්වල වැඩ කරන්නේ.'

සුගත් අනාගතයේදී දේශපාලනයට එන්නේ දැයි මා කළ විමසීමේදි ඔහු කීවේ මට පසුගිය කාලයේ විවිධ ගෞරව සම්මාන කිහිපයක්ම ලැබුණත් දේශපාලනයට එන්න නම් අදහසක් නැති බවයි.

 

අදහස්