නිදහසේ පියා මගේ මුල්ම චිත්‍රපටයයි | සිළුමිණ

නිදහසේ පියා මගේ මුල්ම චිත්‍රපටයයි

මේ දිනවල බොහෝ දෙනකුගේ කතා බහට ලක්ව ඇති ‘නිදහසේ පියා D.S‘ සිනමා පටයේ සල්ගාදු මහත්මයාගේ චරිතයට පණ පොවන විජිත් හේවාවිතාරණ අපි මෙවර රසඳුන සමඟ කතාබහට එක් කරගත්තෙමු. ඔහු වීදි නාට්‍ය, වේදිකා හා ටෙලි නාට්‍ය ඔස්සේ සිනමාවට එක් වූ අයුරු ගැන ඔහු කියූ තොරතුරුයි මේ.

• නිදහසේ පියා DS චිත්‍රපටය සමඟ ඔබ සම්බන්ධ වන්නේ කොහොමද?

මුලින්ම කියන්න ඕන මේ මගේ මුල්ම චිත්‍රපටයි. මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න ලැබුණේ ඒ. ඩී. රංජන් ප්‍රසන්න කියන අධ්‍යක්ෂවරයා හරහායි. ඇත්තටම අපේ රටේ කීර්තිමත් චරිතයක් වටායි මේ චිත්‍රපටය නිර්මාණය කර තිබෙන්නේ. මගේ මුල්ම චිත්‍රපටය මෙවැනි අග්‍රගණ්‍ය කලා කෘතියක් වීම සැබැවින්ම මා ලැබූ භාග්‍යයක්.

• ඔබ එහි පණපොවන්නේ කුමන චරිතයටද?

සල්ගාදු මහත්තයගේ චරිතයට. සල්ගාදු මහත්තය තමන්ගේ වියදමින් පෙරහරක් සූදානම්කරගෙන යනවා. මේ පෙරහර අරන් යන්න හදන්නේ තමන්ගේ නිවස ඉදිරියෙන්. නිවස ඉස්සරහා මුස්ලිම් පල්ලියක් තිබෙනවා. පල්ලිය ඉස්සරහින් පෙරහර යනවාට එම පල්ලියේ අය විරුද්ධ වෙනවා. ඒ අය පෙරහරට පහර දෙනවා. එතැනින් තමයි සිංහල මුස්ලිම් කෝලාහලය පටන් ගන්නේ. ඊට මැදිවෙන සල්ගාදු මහත්තයගේ චරිතයටයි මම දායකත්වය ලබාදෙන්නේ.

• ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය රඟපෑ ඔබට සිනමාවට එක්වීම අභියෝගයක් වුණේ නැද්ද?

මම වේදිකා හා ටෙලි නාට්‍ය හරහා අද්දැකීම් රැසක් ලබාගෙන තමයි හිටියේ. ඒ නිසා මට ලොකු චකිතයක් නම් තිබුණේ නැහැ. හැබැයි මම මෙහිදී එක් දෙයක් තේරුම් ගත්තා. ඒ ටෙලි නාට්‍යවලින් සිනමාවට එද්දි තව ගොඩක් දේ ඉගෙන ගන්න ඕන කියලා.

• කලාවට එන්න කලින්, ඊට අවශ්‍ය අධ්‍යාපනයක් තිබිය යුතුයි කියන මතයේ බොහෝ දෙනෙක් ඉන්නවා. ඔබ කොහොමද එවැනි දේ දකින්නේ?

මම කලාවට ආවේ සහජයෙන් ලැබුණු දක්ෂතාවක් නිසා. පාඨමාලා හැදෑරුවේ නැති වුණාට කලාවේ නියැළෙද්දී ඒ මඟින් ලබාගන්නා අත්දැකීම් තමයි ඉගෙන ගන්නවා කියන්නේ. මටත් විවිධ කලා කටයුතුවල නිරත වෙලා ඉද්දි, ප්‍රවීණයන්ගෙන් අද්දැකීම් රැසක් ගන්න පුළුවන් වුණා. ඒ වගේම වීදි හා වේදිකා නාට්‍ය හරහාත් ලොකු දැනුමක් ලබාගන්න පුළුවන් වුණා. හැබැයි මොන දේ ඉගෙන ගත්තත් පාඩුවක් වෙන්නේ නම් නැහැ.

• නිදහසේ පියා හැරුණාම ඔබ මොන වගේ කලා කටයුතුවලද මේ දිනවල නිරත වෙලා ඉන්නේ?

රෝෂාන් රවීන්ද්‍රගේ ‘තණමල්විල කොල්ලා‘, නාලන් මෙන්ඩිස් මහත්මයගේ ‘සල්සපුනා‘, ෂර්ලි පී. දෙලංකාවලගේ ‘හිතුවක්කාරයා‘ ටෙලි නාට්‍යවල වගේම ‘නිවුන්නු‘ කියන වේදිකා නාට්‍යයේත් වැඩ කරමින් ඉන්නවා. ඊට අමතරව වීදි නාට්‍යවල සහ වෙනත් කලා කටයුතු කිහිපයකත් නියැලෙනවා.

• රංගන ජීවියේ විවිධ චරිත කරන ඔබ සැබෑ ජීවිතයේ කවුද කියන්න?

මගේ ගම මාතර. මුලින්ම පාසල් ගියේ කටුගස්තොට රාහුල විද්‍යාලයට. නැවත මම මාතරට ඇවිත් මන්තින්ද විද්‍යාලයෙන් ඉගෙන ගත්තා. පාසල් කාලයේ ඉඳලා කැපී පෙනෙන චරිතයක් වුණා. අධ්‍ය­ාපානය අවසන් කළ ගමන් වීදි නාට්‍ය කණ්ඩායමක් හදාගෙන රට වටේ ගියා. ඒ හරහා වේදිකා නාට්‍යවලටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මෙහෙම ඉන්න කොට තමයි ටෙලි නාට්‍යයවලට සම්බන්ධ වෙන්න ලැබුණේ. ඒ වගේම මම මේ වෙන කොට වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් පෙනී ඉඳලා තිබෙනවා. මගේ මුල්ම වෘත්තිය වුණේ ඉදිකිරීම් කේෂ්ත්‍රය. දැන් ඉන් ඉවත් වෙලා රක්ෂණ සමාගමක සේවය කරනවා.

• ඔබ විවාහකයි?

ඔව් විවාහකයි. මගේ බිරියගේ නම ඉනෝකා රම්‍යලී. එක පුතෙක් ඉන්නවා. එයාගේ නම ඉෂාන් බිඟුන් නුවන්.

• අනාගත බලාපොරොත්තු මොනවද?

මේ කේෂ්ත්‍රයෙන් දිගු ගමනක් යන්න ලොකු අසාවක් තිබෙණවා. ඒ වගේම කෙටි නාට්‍ය උලෙළක් පවත්වන්න ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා.

Comments