නගර හා රථවාහන ආලෝකවත් කිරීම සඳහා LED බල්බ ලක්ෂ 5ක් | Page 2 | සිළුමිණ

නගර හා රථවාහන ආලෝකවත් කිරීම සඳහා LED බල්බ ලක්ෂ 5ක්

ආකෘති නගර 13ක් ඇති කුරුමිටි විස්මලන්තය

මීට දින කිහිපයකට ඉහතදී ලෝකප්‍රකට Lonely Planet ආයතනය මඟින් 2019 වසරේදී සංචාරය කිරීමට හොඳම රට ලෙසින් ශ්‍රී ලංකාව නම් කරනු ලැබිණි. දර්ශනීය වෙරළ තීර, මනරම් කඳුකරය හා ඓතිහාසික වටිනාකම් හිමි ස්ථාන නිසා මෙම ගෞරවය ශ්‍රී ලංකාව වෙත හිමි විය. සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට ස්වභාව සෞන්දර්යය අනිවාර්යෙන්ම තිබිය යුතු නැහැ. තේමා උද්‍යාන වැනි මිනිසා විසින් සාදනු ලැබූ ස්ථානද සංචාරකයින් අතර අතිශයින් ජනප්‍රියයි. සාමාන්‍ය තේමා උද්‍යාන සංකල්පයෙන් බැහැර වූ ස්ථානයක් වන ලොව විශාලම දුම්රිය මාර්ග ආකෘතිය සහිත විස්මලන්තයක් වෙත අද අතැඹුල විශේෂාංගයෙන් ඔබව රැගෙන යනවා.

Miniatur Wonderland නමින් හඳුන්වන මෙය පිහිටා තිබෙන්නේ ජර්මනියේ හැම්බර්ග් නගරයේයි. 2000 වසරේ ජූලි මස ස්විට්සර්ලන්තයේ සුරිච් නගරයේ සැරිසරමින් සිටි ෆෙඩ්‍රික් බ්‍රවුන් කුඩා දුම්රිය ආකෘති අලෙවි සලක් දුටු විගස ඇතිවූ අදහසක ප්‍රතිඵලයක් ලෙසින් තමයි මෙය නිර්මාණය වන්නේ. එම සිතුවිල්ල පහළ වූ වහාම බ්‍රවුන් තම නිවුන් සොහොයුරා වන ගෙරිට් හට කතා කොට තම අදහස පවසා තිබෙනවා. ඉන්පසුව මේ දෙදෙනා හැම්බර්ග් නගරයේ සමාජ ශාලාවක අයිතිකරුවකු වූ ස්ටෙෆාන් හර්ට්ස් නම් පුද්ගලයා ඔවුන්ගේ ව්‍යාපාර සහකරු වශයෙන් සම්බන්ධ කරගෙන තිබෙන්නේ බොහෝ දෙනෙකුගේ උසුළු විසුළු මධ්‍යයේයි. කුඩා දරුවන් මෙන් මේ සිහිනය වෙනුවෙන් කැපවුණු මොවුනට බලධාරීන්ගෙන් හා බැංකුවලින් ලැබී තිබෙන්නේ සිතුවාටත් වඩා යහපත් ප්‍රතිචාරයකි.

මේ නිසා ඉක්මනින්ම පුරාණ සංරක්ෂණය කරන ලද ගොඩනැගිල්ලක් තුළ ජර්මනියේ පිළිගත් ආකෘති නිර්මාණකරුවකු වන ගර්හාඩ් ඩෝශර් හා ඔහු යටතේ සේවයට බඳවා ගත් තවත් 40ක පිරිසක් සමඟින් වර්ග මීටර 1500ක ප්‍රමාණයක මෙම කුරුමිටි විස්මලන්තය ආරම්භ කිරීමට හැකි වී තිබෙනවා. මෙම කුඩා විස්මලන්තයේ විශේෂත්වය වන්නේ මෙය සැබෑ නගරයක් ලෙසින්ම දිස් වන සේ සකසා තිබීමයි. රථ වාහන ගුවන් යානා හා දුම්රිය ගමන් කිරීම, දිවා රාත්‍රිය උදා වීම වැනි දෑ සිට කිමිදුම් කරුවකු පසුපස මෝරෙකු හඹා යෑම වැනි ඉතා කුඩා සිදුවීම් පවා චලනය වන ලෙසින් සාදා තිබීම විස්මයජනකයි. පරිගණක 64ක් මගින් මෙම චලනයන් ක්‍රියාත්මක කරන අතර නරඹන්න හට එක් එක් නගර වලදී බොත්තම් එබීම මගින් නගරයේ සිදුවන ක්‍රියාකාරකම් වෙනස් කිරීමටද හැකියාව තිබේ.

වර්තමානය වනවිට වර්ග මීටර දස දහසක් පුරාවට විහිදී තිබෙන මෙහි ආකෘති නගර 13ක් තිබෙනවා. මෙම නගර සාදා තිබෙන්නේ 1:900ක අනුපාතයෙන්. මධ්‍ය ජර්මනිය, හැම්බර්ග්, නුෆින්ගෙන්, නුෆින්ගෙන් ගුවන් තොටුපොළ, ඔස්ට්‍රියාව, ස්කැන්ඩිනේවියාව, ස්විට්සර්ලන්තය, ඇමෙරිකාව, ඉතාලිය හා වැනීසිය මෙසේ නිර්මාණය කර තිබෙන නගර වන අතර ප්‍රංසය හා මොනාකෝ මේ වන විට නිර්මාණය කරමින් තිබෙන්නේ ලබන වසරේදී විවෘත කිරීමටයි. මේ වන විට මෙම නගර සියල්ලෙහිම තිබෙන දුම්රිය මාර්ගවල එකතුව කිලෝමීටර් 20000ක් වන අතර දුම්රිය 1300ක් හා එයට අයත් දුම්රිය මැදිරි 17000ක් මෙම මාර්ග පද්ධතිය සතු වනවා. මෙහි තිබෙන දිගම දුම්රිය මීටර 14කට වඩා දිගින් යුතු වනවා.

 විවිධාකාර වූ ගොඩනැගිලි 6000 මෙම නගර පුරා ඉදිකර තිබෙන අතර නගර හා රථවාහන ආලෝකවත් කිරීම සඳහා LED බල්බ ලක්ෂ 5ක් යොදාගෙන තිබෙනවා. මෝටර් රථ 11000ක් හා ගස් ලක්ෂ 2ක් මෙහි තිබෙන අතර නගර වැසියන් ලක්ෂ 4ක් මෙම නගරවල සාදා තිබෙනවා. මෙම විශාල නිර්මාණය සඳහා මිනිස් පැය ලක්ෂ 9ක් වැය කර ඇති අතර, වර්තමානය වන විට සේවකයින් 300ක් යුහුසුලුව නිර්මාණ කටයුතු සඳහා දායක වන්නේ මෙම පුංචි විස්මයලන්තය දිනෙන් දින විශාල කිරීමටයි. ඉතා විශාල සංචාරක ආකර්ෂණයක් මේ වෙත හිමිවී තිබෙන්නේ මෙහි නිර්මාතෘවරුන් පවා පුදුමයට පත් කරමිනි. මෙම ගොඩනැගිල්ල තුළ ඉඩකඩ අවසාන වීම නිසා යාබද ගොඩනැගිල්ලක එංගලන්තය, අප්‍රිකාව හා ඉන්දියාව ඇතුළු ආසියාවද මෙසේ අලංකාරවත්ව නිර්මාණය කිරීම ඔවුන්ගේ මීළඟ අරමුණයි.

  

Comments