කුමාරිගෙ චිත්‍රයයි ලංකාවෙ තරුණයයි බොහෝ දුරට සමානයි | සිළුමිණ

කුමාරිගෙ චිත්‍රයයි ලංකාවෙ තරුණයයි බොහෝ දුරට සමානයි

දැන් ලෝකය පැහැදිලි ලෙස වෙනස් වී ඇත. මීට දශක ‍හතරකට ඉහත ගුවන් විදුලියට සවන්දීම, පුවත්පත් බැලීම විනෝදාංශ කරගත් අය ඉන් සතුටක් ලදහ. පාසල් විෂය මාලාව ද වෙනස්ය. එකල විෂය මාලාවට නිර්දිෂ්ට ග්‍රන්ථ ඇතුළත්ව තිබුණි. කතාවක, කවියක, ගීතයක රස විඳීම පාඩම්වලට ඇතුළත්ව තිබුණි. මේ ඊනියා අධ්‍යාපනය තුළ අද පිළිතුරුවලට ඉරි ගැසීම කිරීමෙන් දරුවන්ගේ රසඥතාවට බරපතළ හානියක් කර ඇත.

අද දරුවන් පොතපත කියවන්නේ නැත. කොම්පියුටර් හරහා හුදෙකලා වී සතුටු වෙති. ආදරයේ නාමයෙන් ලියුමක් ලියා තැපැල් පෙට්ටියට දැමීමෙන්, පිළිතුරක් වෙනුවෙන් පැය දින ගණන් බලා සිටීමේ ප්‍රහර්ෂය අද තරුණ ළමයින්ට නොමැත.

නීලකට අන්තර්ජාලයට පිවිසීමේ පිස්සුවක් නැත. ඉඳහිට තොරතුරු බැලීමට පිවිසෙනවා හැර ඔහු එහි වල්පල් බලන්නේ නැත. අන්තර්ජාලයේ සැරි සරද්දී දුටු රූපයෙන් හේ තිගැස්සී සිටියේය. මේ රුව හොඳින් මතකය. තම මනසේ රැඳී සිටින්නේ මේ රුවම නේද? තෙල් සායමින්, පැන්සලෙන්, පෑනෙන්, බෝල්පොයින්ට් එකෙන් හැම තැනම ඇන්ද රූපය ජීවතුන් අතර සිටින බවට කිසිම සැකයක් නැත. මේ දසුන් මුදා හැරියේ කවුද? දොස්තරවරුන් තමන් ඇඳි චිත්‍ර පරීක්ෂා කළ හැටි මතකය. එය ඔවුන් එක්තරා පිස්සුවක් ලෙස සැලකූ හැටි මතකය. ඔවුන් මෙය විකාරයක් ලෙස සිතන්ට ඇත.

තමා කාගෙවත් පෙලඹවීම මත අනුරුවක් ඇන්දා නොවේ. මේ සිටින්නේ කිසියම් දිනෙක තමා සතුටු කළ, සිතේ ජීවත් වන ගැහැනියයි. මේක හීනයක් නොවේ.

නීලක කාමරයට ගොස් පරිගණක තිරයේ සටහන්ව ඇති තිලකයක් තබා ඇති හින්දුස්ථානි රූපයට සමීප කර බැලුවේය. දෙවියනේ මෙය සිදුවිය හැකි දෙයක්ද? සාරි, සල්වාර් මෙන්ම ඩෙනිම්, නාන ඇඳුමින් සැරසුනු පින්තූර රැසක් මුදා හැර තිබුණි. නීලක අම්මා හා තාත්තා එනතෙක් බලා සිටියේ තමා කළ දේ සාධාරණීකරණය කිරීම සඳහාය.

නි‍ෙවස ඉදිරිපස රථයක් නතර කරනු ඇසී නීලක එදෙස බැලුවේය. මාර්ග තබදයක් වූ අවස්ථාවල ජාඇළ දෙසට යන රථ වාහන නි‍ෙවස අසල ඇති බිම් තීරයේ නතර කිරීම සිරිතකි. ඒ හැර බිම් තීරයේ නීලකගේ තාත්තාට රථයක් තිබුණේ නැත. ගණේමුල්ලට ජාඇළට යෑමට නීලකට ස්කූටරයක් තිබුණි.

“පුතා දොර අරින්ට” නීලකට අම්මාගේ හඬ ඇසුණි.

ඔහු නිහඬව දොර විවෘත කළේය.

තමාගේ මානසික වෛද්‍යවරයා සහ යුරෝපීය ඇඳුමින් සැරසී ඉන්දීය හිස් වැසුමක් පැලැඳි තැනැත්තකු සමඟ මවුපියන් එන අයුරු නීලක දුටුවේය.

“කෝමද නීලක අපි ඔයාව බලන්ට ආවා.” අජිත් මහතා නීලකගේ උරට තට්ටු කරමින් කීවේය.

නීලකගේ නෙත ගියේ ඉන්දීය ජාතිකයා වෙතය.

සීක් ජාතිකයා නීලක දෙස පුදුමයෙන් බලා සිටිනු දුටු වෛද්‍ය අජිත්ගේ මුහුණේ සිනහවක් සටහන් වුණි.

චම්පා චට්ටෝපාධ්‍යගේ චිත්‍රය දැකීමෙන් ‍මනෝජ්සිං කලබල වූයේ නැත. එහෙත් නීලක දැකීමෙන් හේ වෙනස් වූ බවක් පෙනුණි.

“අජිත් මේ... අර?”

“ඔව් ඒ ආට්වර්ක් එක අරන් බලන්න.”

මනෝජ්සිං කුමරිය ඇඳි චිත්‍රය ගෙන රහසේ බැලුවේය. චිත්‍රයේ සිටින රූපකාය සජීව ලෙස දැකීමෙන් හේ පුදුමයට පත්වුණි. මෙම පුනරුත්පත්ති පර්යේෂණය අද එළිපිට කතා කිරීමට සිදුව ඇත. මේ අවස්ථාවේ චට්ටෝපාධ්‍ය කුමරිය සිටියා නම්...

රාම් මෝහන් තුම‍ාගේ ඇමතුම ආවේ නීලකගේ නිවසේ සිටියදීය.

“ඔව් සර් මම මනෝජ්සිං”

“ම‍නෝජ් දැන් කොහෙද ඉන්නෙ?” රාම් මෝහන් උර්දු බසින් ඇසුවේය.

ඔහු අසුනෙන් නැගිට එළියට ගියේය.

“සර් මම දැන් ඉන්නෙ ලංකාවෙ.”

“ගමන සාර්ථකද?”

“අතිශයින් සාර්ථකයි. සර් හිටියානම් පුදුම වෙයි. කුමාරිගෙ චිත්‍රයයි ලංකාව තරුණයයි බොහෝ දුරට සමානයි.”

“අපි හිතාගෙන ආව නිසා එහෙම පේනව ඇති. මම ඩොක්ටව එව්වෙ දුවව ආරක්ෂා කර ගන්ටයි.”

“ඔව් ඒක තමා සර් මගෙත් වැඩ දමල ආවෙ. මම බටහිර මනෝ වෛද්‍ය විශේෂඥයෙක්. මට මෝහන චිකිත්සාව කරල හොඳට පුරුදුයි. දැන් පුනරුත්පත්තිය කියන එකේ ඇත්තක් තියෙනව කියල මට හිතෙනවා.”

“මට බයයි කුමාරිට කරදරයක් වෙයි කියල.”

“නෑ සර් මම ඔක්කොම ප්ලෑන් කරලයි තියෙන්නෙ. වීඩියෝ ක්ලිප් එකක් වෙනම කරනව. සර්ගෙ ෆෝන් එකට විස්තර එවන්නම්. මම දැන් ඉන්නෙ ඒ බෝයිගේ ගෙදර.”

“හොඳයි මට විස්තර එවන්න. හොඳයි.”

මනෝජ්සිං නැවත නි‍ෙවස තුළට ගියේය. අජිත් වෛද්‍යවරයා තමා එනතෙක් බලා සිටිනු ම‍නෝජ්සිං දුටු‍ෙව්ය.

“අපි අජිත් කිව්ව චිත්‍රය බලමුද?”

“එන්න යමු ඇතුළට.”

මනෝජ් සිං තරුණයකුව සිටි යුගයේදි තම නි‍ෙවසේ කාමරය පිරිසුදුව තබා ගත් හැටි මතකය. කාමරයක් තුළින් පුද්ගලයකුගේ ජීවිතය මැනීමට පුළුවන.

මනෝජ්සිං ලංකාවේ වෛද්‍යවරයා සමඟ නීලකගේ කාමරයට ගියේය. මෙම කාමරයේ ජීවත්වන තරුණයා නැතිව ඇතුළට ගියේ සැබෑ තත්වය අවබෝධ කර ගැනීමටය.

ඔහු මහා රාජාට යැවීම සඳහා අවශ්‍ය දසුන් රූගත කරමින් ඇතුළට ගියේය. ඔහු මීට ඉහත මාළිගාවට ගොස් ඇත. ඉංග්‍රීසින්ට යටත් වූ පසු ඉංග්‍රීසි පාලකයන් ආණ්ඩුකාරවරුන් පත් කළ ඇතැම් මහාරාජා වරුන්ට මාළිගාවල ජීවත්වීමට අවසර දී තිබුණි. මෙම මාළිගාවලට යා හැකි වුවත් කුමාරිකාවන්ගේ මැදිරිවලට යාමට අවසර නොමැත. එහෙත් කුමාරිකාවගේ ප්‍රශ්නය විසඳීමට ඔහුට මැදිරියට යාමට අවසර ලැබී තිබුණි. ඇයගේ රාජභවන මොහුගේ මැදිරිය හා සැසඳිය නොහැකිය.

ඔහුගේ අවධානය යොමු වූයේ නළලේ තිලකයතබා සාරියකින් සැරසී සිටි කුමරිය ගේ චිත්‍රය වෙතය.

“අජිත් ඔයා කිව්වෙ ඇත්ත.”

“මොනවද මම කිව්වෙ?”

“අජිත් මේ ඉන්නෙ ඒ කුමාරිකාව තමයි. මොකද මේ විදිහට තමයි බෙංගාලයේ තරුණ ගැහැනු අඳින්නෙ.”

“සර් මේ මනුස්සයා කවදාවත් මේ තරුණිය දැකලා නෑ. රටින් පිට කිසිම තැනක ගිහින් නැහැ.”

“තෙල්සායම් වලින් විතරක් නෙමේ එකම කෙනා පැන්සල්, පෑන්වලිනුත් ඇඳලා තියෙනව. හරිම පුදුමයි!”

“මහාරාජාට දැන්නුවද?”

“ඔව් දැන්නුව සමහරවිට මහාරාජා ලංකාවට එන්න බැරිනෑ.”

“සර් මේක සරල ප්‍රශ්නයක් කියල හිතන්ට එපා. පේනවද මේ මනුස්සයො ජීවත් වෙන හැටි පහළ මධ්‍යම පන්තිකයො.”

මනෝජ්සිං ද එම කතාව අනුමත කළේය.

“ගිය ආත්මභාවවල මොනව හරි දෙයක් වෙන්ට පුළුවන්. ඒ නිසා ඒ අනුව වැඩ කරන්ට ඉඩ දෙයිද?”

“මේ සිද්ධිය පුනරුත්පත්තිය පිළිබඳ කතාවක් විතරයි. ඒක ඇත්තද නැද්ද කියන එක බුද්ධිමත් සංවාදයක් කෙරෙයි. මේක නතර කරමු.”

“ඔව් ඒක ඇත්ත. ගිය ආත්මෙ යාළුකමක් මේ ආත්මෙට ගේන්න යන මෝඩයො කවුද? මහාරාජාටත් එන්න එපා කියල මේ කතාව ඉවර කරමු. ඔවුහු මේ කතාව අවසන් කළහ.

ලබන සතියට...

අදහස්